|
||||||
රුක්මණී අන්තිමට ගී ගැයූ ප්රසංගයෙත් අන්තිමට ගී ගැයූ ප්රසංගයෙත්සෑම් පෙරේරා
සෑම් පෙරේරා නම් වයස දාසයක් තරම් වයසැති යෞවනයා චිත්‍රපට නරඹා එහි සිටි නළු නිළියන්ට කොතරම් ලොබ බැඳ තිබුණේ ද යත් ඔහු ඔවුන් දකින්නට දැක්වූයේ මහත් ආශාවකි. ඒ නිසාම එකල ‘මංගලිකා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සේනාධීර කුරුප්පු සමඟ හේ රූගත කරන ස්ථානයට ගියේ සිය හදවත ඇඳ බැඳගත් රුක්මණී දේවිය දැකීමේ ආශාව පෙරදැරි කරගෙන ය. එසේ දින කිහිපයක් එහි ගිය මේ තරුණයාට චිත්‍රපට කණ්ඩායමේ විවිධ කටයුතුවලට සහභාගි වන්නට අවස්ථාව හිමි වන්නේ නිතැතිනි. ඒ ඔහු මේ දක්වා පැමිණි වේශ නිරූපණ ශිල්පය හා කොණ්ඩ සැකසුම් ශිල්පය නම් ගමනේ ආරම්භයයි. ඒ පටන් අද දක්වා ගෙවුණු ඔහුගේ මේ ජීවිතයට වසර පනහකි. ඒ අතීතය පිළිබඳ ඔහු සරසවිය සමඟ මෙසේ සොඳුරු කතාබහක නියැළිණි. ඔබ වඩාත්ම කැමැත්තෙන් වේශ නිරූපණයේ යෙදුණ නිළිය කවු ද? මම වඩාත් ම ආදරය කළ නිළිය වුණේ රුක්මණී දේවියි. ඇය කිසිම කෙනෙකුගේ හිත රිද්දන්න කැමැත්තක් දැක් වූ කෙනෙක් නොවෙයි. ඇයත් සමඟ මුලින් ම ඔබ මිත්රවුණේ වේශ නිරූපණය නිසා ද? නැහැ. එහෙම නම්? රූ ගත කිරීම් නරඹන්න ගිය අතරේදියි ඇයගෙයි මගෙයි හිතවත්කමක් ඇති වන්නේ. ඇයගේ තිබුණු නිහතමානි කම නිසාමත්, ප්‍රධාන නළුවා මගේ නෑදෑයා වීමත් කියන කාරණා නිසා ඇය මා සමඟ කතා කරනවා. මගේ පවුලේ විස්තර අහනවා. ඒ නිසා ඇතිවුණු කුළුපග බව වර්ධනය වෙන්න දවසක බොහොම අපූරු සිද්ධියක් බලපානවා. ඒ සිද්ධිය මොකක් ද ? ඩේසි අක්කට තිබුණේ දිග කොණ්ඩයක්. ඒ දිග කොණ්ඩය කටු අත්තක පැටලෙනවා. ඈට එයින් කොණ්ඩය ගලවගන්න මම උදව් වෙනවා. ඒ වගේ ම ඒ කොණ්ඩය තිබුණු විදියට ම හදලත් දුන්නා. ඒක එවෙලේ වැඩේට හරියට ම හරි ගියා. ඒ තැනින් ද ඔබගේ වෘත්තිය පටන් ගැන්ම වෙන්නේ ? ඊට පස්සේ මේකප් ටච් කරන්න, ග්ලිසරින් දාන්න වගේ දේවල්වලට ඔවුන් මාව උනන්දු කළා. අවසානයේ වේශ නිරූපණය වගේ ම කොණ්ඩා සැකසුම් ශිල්පියාත් වුණේ මමයි. ඒ පටන් ගැන්ම හිතවත්කමකට පෙරළුණා ? අවසානයේ ඩේසි අක්කාගේ පෞද්ගලික ජීවිතයේ අනෙක් ගමන්වලදිත් මම ඇයගේ වේශ නිරූපණ ශිල්පියා වුණා. ඒ අවස්ථාවලදි ඇය මට වාහනයක් එව්වා. ඒ වෙලාවේ අන්දගෙන, මේකප් කරගෙන මමත් ඇයත් සමඟ යනවා. මඟුල් ගෙදරකටත්, ප්රසංගයකටත් යන විට මා ඇය ළඟ ම සිටියා. අවසන් වරටත් ඔබ ද ඇයට වේශ නිරූපණ කටයුතු කළේ ? ඇය අන්තිමට ගී ගයන්න ගිය ප්රසංගයේදිත් මේකප් කළේ මමයි. මාතර ගිහින් එන ගමනේදි මම ගාල්ලෙන් බැස්සා. ඇයගේ සිතේ තිබුණේ ඊට පසුවදා කරන්න යන ඒක පුද්ගල ප්‍රසංගයයි. ඒ සඳහා අපි කලින් ම සූදානම් වුණා. සංවිධායකයන් ඇයට කියලා තිබුණා එන අය ඇය දිහා විතරක් බලන නිසා ග්ලැමර් විදියට අඳීන්නේ නැතිව ලස්සනට, චාම්ව අඳීන්න කියලා. ඒ නිසා ඇය ඒකට තැඹිලි පාට සාරියක් තෝරා ගත්තා. එල්ලෙන කරාබු දමලා, නළල මැදින් තිතක් තියලා, බන් එකක් දාලා ඒකට පිච්චමල් ගහන්නයි අපි තීරණය කරගෙන සිටියේ. ඒත් ඒක කරන්න ලැබුණේ නැහැ. ඇයට අමතරව වේශ නිරූපණ කටයුතුවල යෙදුණේ ? ඊළඟටයි මට නීටා ප්‍රනාන්දු, මාලිනී ෆොන්සේකා, ජීවරාණි, සන්ධ්‍යා කියන මේ ශිල්පිනියන්වත් මුණ ගැසෙන්නේ. මේ අයගේ වේශ නිරූපණ කටයුතුවලදි ඔවුන් කරන්න අකැමැති දේ තිබුණ ද? සමහර අවස්ථාවලදි වයසක චරිත සඳහා කොණ්ඩය සුදු කරන එකට ඒ තරම් කැමැත්තක් බොහෝදෙනෙක්ගේ තිබුණේ නැහැ. එහෙම කරන්න අකැමැති වුණු නිළිය කවුද? ඒ කාලයේ ඒ චරිත රඟපෑම හැමෝම ඒ වගේ තමයි. හිනා යන වැඩේ තමයි ගෙදරින් එනවිට ඒ අය අම්මගේ චරිතයට ඩයි කරලමයි එන්නේ. ඇත්තට ම එහෙම කළේ කවුද? වයසක චරිත කළ රුබී ද මෙල් එහෙමත් ඒකට අයිතියි. ඒ වගේ කිහිපදෙනෙක් සිටියා. ඒ අය කවුද කියලා දැන් මට මතක නැහැ. කළු සුදු චිත්‍රපට නිසා ඒ තරමට ම වේශ නිරූපණය අවශ්‍ය වුණා ද? ලස්සනට පේන්න නම් කැමරාවයි වේශ නිරූපණයයි දෙක ම එකට යන්න ඕනෑ. වාමදේවන් හා සුමිත්ත අමරසිංහ කියන කැමරා අධ්යක්ෂවරු දෙන්නා චිත්‍රපටය කළු සුදු වුණත් මේකප් එක හොඳට බලනවා. ඒ නිසාදෝ ඒ නිළියන් ලස්සනට පේනවා. වේශ නිරූපණයේ දී කරදරයක් වුණු අයත් සිටිය ද? හෙලන් කුමාරි ගැන මතක් වනවිටත් මට සිනහ යනවා. ඇය දෙමළ නිසා කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. එයාගේ වැඩේ ම ෆිල්ම් ෆෙයාර්වල ඉන්න අයගේ පින්තූර අරන් එන එකමයි. හින්දිවල හිටිය හෙලන්ගේ මෝස්තර, ඇඳුම් තිබෙන පින්තූර අරන් ඇවිත් ඒ විදියට අඳීන්න, සැරසෙන්න ඈ බොහොම ආසයි. එහෙම දෙයක් පෙන්නලා සෑම් මගේ මෙතැන පුම්බන්න. මෙතැන උඩ පුම්බන්න. පුම්බලා ඊට පස්සේ දෙකක් තමයි එල්ලෙනවා දෙපැත්ත කියලා කියනවා. කාටද ඉතිං ඕවා තේරෙන්නේ. ඊට අමතරව ෆරීනා ලායි කියන නිළියත් හරියට මේකප් එක ගැන ගොඩක් වද වන නිළියක්. එයා ලස්සනයි. නිතරම වගේ දුම්කුඩු උරනවා. එවිට හැම තිස්සේ ම කිඹුහුම් යනවා. මේකප් එකේදි අපි නහය හයිලයිට් කරනවා. ඒ සඳහා නහය දෙපැත්තේ ෂැඩෝ එකක් දමනවා. කිඹිහුම් යන නිසා ඒ ෂැඩෝඑක නිතර ම වෙනස් වෙනවා. එතකොට නහය පේන්නේ මුක්කන් වෙලා. හැම තිස්සේ ම මේක අපට හදන්න වෙනවා. ඈ අන්තිමට මට වදයක් වුණා. වේශ නිරූපණයේ දි ඔබගේ වඩාත් සිත් ගත්ත නිළියක් හෝ නළුවෙක් ඉන්නවද? බොහෝ වෙලාවට ඒ අය මාත් සමඟ සුහදයි. ඔවුන් අපව තරහ කර ගන්නේ නැහැ. ඒ වගේ ම රුක්මණී, නීටා, මාලිනී වගේ අයත් සමඟ වැඩ කරන්න පහසුයි. නළුවන්ගෙන් මා වඩාත් කැමැති ම නළුවා විජයයි. ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ දි මම ඔහුට විශේෂ විග් එකක් පවා නිර්මාණය කළා. කිහිපවරක් ම වේශ නිරූපණය දමන්න සිද්ධ වුණු අවස්ථා තිබුණ ද? කිචි නිසා ඇන්න ගමන් කුණුහරුපෙන් බණින, ගහන සහය කැමරා අධ්යක්ෂ කෙනෙක් සිටියා. මිනිහගේ නම ඒ.කේ.ධර්මසේන. මේ සිදුවීම සිද්ධ වුණේ ‘අනූපමා’ චිත්‍රපටයේ කියලා මට මතකයි. රූගත කිරීම් ආරම්භ කරලයි තිබුණේ. කෑම මේසයක් තියෙන දර්ශනයේ ඒ අසල ම සුවිනීතා වාඩිවෙලා සිටියා. එතැනින් ගිය ධර්මසේනට ඒ ළඟ සිටිය කෙනෙක් කිචි ගැන්නුවා. එකපාරටම මිනිහා කෑම මේසයේ තිබුණු සම්බෝල භාජනේ අතට ගත්තා. ඒකේ තිබුණු සම්බෝල ටික අනලා සුවිනීතාගේ මුහුණේ උලාගෙන උලාගෙන ගියා. එතැනින් පස්සේ ෂුටින් කැන්සල් කළා. ඔබගේ වේශ නිරූපණයට විශේෂ වූ කෙනෙක් සිටියා ද? නීටා ප්‍රනාන්දුට මගෙන් විශේෂයක් සිදුවුණා. මොකද එයා හිටපු රාමුවෙන් වෙනස්ම රාමුවකට ආවේ මා වැඩ කරන්න ගත්තට පස්සේ. ඇගේ කොණ්ඩයේ මාරුවීමක් ඇතිවුණේ මං වැඩ කරන්න ගත්තට පස්සේ. එයින් ඇයට අපූරු වෙනසක් ලැබුණා. තමන් කරන චරිතය පිළිබඳ වඩාත්ම සැලකිලිමත් වුණු නිළිය කවුද? මම හිතන්නේ මාලිනී ෆොන්සේකා. ඇය ‘සිරිපාල හා රන්මැණිකා’ චිත්‍රපටයේදී රන්මැණිකාගේ චරිතයට සමාන රූපයක් හදාගන්න බොහොම සැලකිලිමත් වුණා. රන්මැණිකාව බලන්න හැතැප්ම ගණනක් පයින් ගියා. ආවට පස්සේ අමරනාත්ට කියලා කැත මේකප් එකක් දා ගත්තා. ඒ තරමට ඇය තමන් රඟපාන චරිතයට කැපවීම් කළ නිළියක්. වර්තමානයේ ඉන්න නළු නිළියන්ගෙන් මේ කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද? වර්තමාන නිළියන්ට හොඳම ආදර්ශය රුක්මණී. මොකද අද කාලයේ නළු නිළියන් සෑම කටයුත්තකට ම දෙන සහයෝගය බොහොම අඩුයි නේ. සමහර වෙලාවට එයාලා මුහුණ හෝදන්නෙත් අපි ආවට පස්සෙයි. ඒවා නම් විනය පිළිබඳ ප්‍රශ්නයක්. මේ අතර විනයක් තියෙන හොඳ අය ඉන්නවා. ඒ අය අතරින් දිනේෂ් ප්‍රියසාද්ගේ දූලා තුන්දෙනා ම විශේෂයි. විශේෂයෙන් ඔබටම කියලා වේශ නිරූපණය කරන නිළියන් සිටිනවද? පුණ්‍යා හීන්දෙණිය ඒ වගේ කෙනෙක්. පසුගිය දවස්වල සුමති සම්මාන උලෙළට ඇය ආවා. ඒ එනවිටම ගුවන්තොටුපොළේ දීම මට කතා කරලා දින ටික වෙන්කර ගත්තා. තවත් ඒ වගේ කිහිපදෙනෙක් ම ඉන්නවා.
|
||||||