|
සුහද කොකා ඉගිළෙද්දී සිදු වූ රස කතා
'සමන් තවම ගෙදර ආවෙ නැහැනෙ, ෆෝන් එකත් ඕෆ්' ඇය ගිරාට එහෙම කිව්වලු. ගිරිරාජ් ඔරලෝසුව බලලා. එතකොටත් රෑ දොළහත් පහු වෙලාලු. ඔහු හොඳටම බය වෙලා. ගලහිටියාවෙ ඉඳලා සමන්ගේ ගෙදරට වාහනයකින් යන්න ගතවන්නේ පැයකටත් අඩු කාලයක්. එහෙව් තත්ත්වයක් මත මේ වෙච්ච දේ ගිරාටතේ හිතා ගන්න බැහැ. ඔහු නිෂ්පාදන කණ්ඩායමේ හැමෝමව කීද්දුවලු. 'සමන්ව කවුරු හරි ඉස්සුවද දන්නෙත් නැහැ' එයාට මොකක් හරි කරදරයක් වුණාද මන්දා? ෂා . . . අපරාදෙ අපිට හිටපු හොඳ නළුවෙක් තමයි. මෙහෙම කතා වටින් ගොඩින් ඇහෙද්දී ගිරාටත් හීන් දාඩිය දාලා. දැන් කට්ටියම සමන්ව හොයන්න යන්නලු ලැහැස්තිය. ඔන්න එතකොටම ගිරාට සමන්ගෙන් දුරකථන ඇමතුමක් අවිල්ලා. මචං මං ගෙදර ආවා. මොකද බං වුණේ? කොහෙද මෙච්චර වෙලා ගිහිල්ලා හිටියේ? ගිරාට තද වෙලා නහුතෙටම. ටයර් එකක පැච් එකක් ගියා මචං. හරියටම පාළු තැනක. මොකද කරන්නේ කාත් කවුරුවත්ම පේන්න හිටියේ නැහැ. මමම තනියම ටයර් එක මාරු කළා. හරියටම පැය හතරක් ගියා වැඩේට. සමන් එහෙම කියද්දී ඔහුගේ ඇඟේ හැටි මතක් වෙලා ගිරාට හිතුණලු පැය හතරෙන් වැඩේ ගොඩ දාගත්තු එකත් පුදුමයක් කියලා. සුහද කොකා හි අවුරුදු උත්සවයක දර්ශනයක් තියෙනවා. ගිරා එය රූගත කරලා තියෙන්නේ බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගණයේදී. සියලු නළු නිළියන් කැඳවලා එදා රුගත කිරීම් පටන් ගත්තලු. ටික වේලාවක් වැඩේ හොඳට ගිහිල්ලා. ඔන්න හදිසියේම තඩි කලු ගලක් අරගෙන පුද්ගලයකු මැදට පැන්නලු. ඔහු ගල උළුක් කර කර හැමෝටම ගහන්න හදනවලු. ගිරා එදත් හොඳටම බය වෙලා. ඇයි ඉතින් මේ මනුස්සයා ගලෙන් ගැහැව්වොත් මොන දෙවියන්ට කියන්නද. අනික තමන්ගේ ඔළුවේ කෙස් නැහැ නේද කියලත් මතක් වුණාලු. කොහෙවත් යන පුද්ගලයෙක් ගලක් උස්සන් ආවා කියලා රූපගත කිරීම් නවත්වන්නත් බැහැනේ. වෙලාවට ඒ මනුස්සයගේ හඳුනන කවුරු හරි එයාව එතනින් එක්කගෙන ගිහිල්ලා. ඊට පස්සේ පුරුදු විදිහට ගිරා රූගත කිරීම් ආරම්භ කළාලු. ගිරාට තවමත් හිතාගන්න බැරිලු කවුද ඒ කඩාකප්පල්කාරී තැනැත්තා කියලා.
විජය නන්දසිරි සුහද කොකා සිනමාපටයේ රාජමන්ත්රී වෙද්දී ඔහුගේ සහායකයා වන්නේ සුමනසිරි. සුමනසිරිගේ චරිතයට පණ පොවන්නේ රොඩ්නි වර්ණකුල. රොඩ්නි තරමක මිටි පුද්ගලයකු කියලා ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. මේ උස නැතිකම හින්දා සුහද කොකා රූපගත කරද්දී රොඩ්නි කරදරයක වැටිලා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ රොඩ්නි ඇස් දෙක බැඳගෙන රඟපාන දර්ශනයක. එදින රූගත කිරීම් සිදු වෙලා තියෙන්නේ ජයවර්ධන පුර පළතුරු කඩයක් අසල. රොඩ්නි ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් කළු රෙදිවලින් ඇස් බැඳගෙන ඇවිත් එක්තරා තැනැත්තෙකුට පහර දෙනවා. ඔය දර්ශනය ගන්න කලින් රොඩ්නිගේ දෑස බැඳලා තියෙද්දී ඔහුව වැරදිලා කාණුවකට වැටිලා. කාණු ගැඹුරුයිලු රොඩ්නිට වැඩිය. රොඩ්නිව පේන්නෙත් නැතිලු රොඩ්නි කොට හින්දා. හදිසියේම සිදු වූ රොඩ්නිගේ අතුරුදන්වීම ගැන දැන් හැමෝටම ප්‍රශ්නයක්ලු. 'මම මෙහේ' එහෙම කියලා රොඩ්නි කිහිප සැරයක්ම කෑගහලා. ඒත් කාටවත්ම ඇහිලා නැහැ. අන්තිමේ ගිරිරාජ්ම දැකලයි රොඩ්නිව ගොඩ අරගෙ තියෙන්නේ. නැතිනම් වරුවක් විතර රොඩ්නි ඒක ඇතුළේ ඉන්නවා. වාසනාවට කාණුවට වැටුණත් රොඩ්නි තවත් මිටි වෙලත් නැහැ, කිසිදු අනතුරක් වෙලත් නැහැ.
|