|
ආයෙත් රඟපාන්න මම ආසාවෙන් ඉන්නේශ්රීමතී හීනටිගල
මට රංගනයට වරම් ලැබුණේ ආදරණීය සැමියා නිසයි
මුලින් රඟපෑවෙ මහලු රෙදි නැන්ද කෙනෙකුගේ චරිතයක්
හැමදාම හැම නාළිකාවකම බලන බලන ටෙලි නාට්‍යවල ඉන්නේ එකම නිළියෝ, එකම නළුවෝ කියන දේ දැන් බොහෝ වෙලාවට එල්ල වන චෝදනාවක්. හැමදාම එකම පිරිස අපි පුංචි තිරයෙන්, චිත්‍රපටවලින්, දුටුවත් නිතර හමු නොවන කලාකරුවන් කලාකාරිණියන් ඉන්නවා. අද අපට හමු වුණේ කාලයක් අපූරුවට චරිත මවලා දිගු කලක් රංගන ක්ෂේත්රයෙන් ඈත් වෙලා හිටපු චරිතයක්. ඇය කාලයක් පුරා පුංචි තිරය වගේම සිනමාව හා වේදිකාවත් සිය රංගන ප්‍රතිභාවෙන් ඔපවත් කළා. ඇය ශ්‍රීමතී හීනටිගල. ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පා තැබුවේ 1987 වසරේදියි. ඒ 'හිමගිරි අරණ' ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ඉස දසුන, සිත්තර ගුරුන්නාන්සේ, බෝඩිංකාරයෝ, දළ රළ පෙළ, නිවටයා, මිරිඟු සයුර, දුමාරය, කරදිය, රන්ගිරි දඹ, වෙස් මුහුණු ඇතුළු නාට්‍ය රැසක්ම ඇයගේ රංගනයෙන් ඔපවත් විය. ඉතිං කොහොමද කාලයකට පසුව ඔබ තරු අතරට ඇවිත්? කාලයක් පුරා රංගන ක්ෂේත්රයට කැප වෙලා හිටියත් පසුගිය කාලයේ පවුලේ කටයුතු වෙනුවෙන්ම විතරක් මම මගේ කාලය කැප කළා. මම රංගන ක්ෂේත්රයට ආවේ විිවාහ වෙලා පුතා ලැබුණාටත් පසුවයි. පුතා විවාහ වෙලා ඔහුගේ පුංචි දියණිය වෙනුවෙන් සහ මගේ ආදරණීය සැමියා වෙනුවෙන් මම කිසිම කලා කටයුත්තකට දායක නොවී ඔවුන් ළඟින්ම සිටියා. ජීවිතයේ බොහෝම කනගාටුදායක සිදුවීමක් වූ බවත් ආරංචියි? මගේ මහත්තයා සෙනරත් හීනටිගල. පසුගිය කාලයේ වසර දහයක් පමණ ඔහු අසනීප තත්ත්වයෙන් එක්තැන්ව සිටියේ. පසුගියදා ඔහු ජීවිතයෙන් සමු ගත්තා. ඔහු අසනීපව සිටි කාලය පුරා මට ඔහු හොඳින් රැක බලා ගන්න ලැබුණා. ඒ මම රංගනය කැප කළ නිසා. ඒ ගැන නම් දැනෙන්නේ ආඩම්බරයක්. ඔබගේ රංගන ජීවිතයේ පදනම දැමුවෙත් ඔහු? මම රංගනයට විශාල ආසාවක් දැක්වුවත් ඒ වෙනුවෙන් මට අවස්ථාව ලැබුණේ විවාහ වුණාට පසුවයි. මම පොඩි කාලයේ පටන්ම සරසවිය පත්තරය කියවනවා. දැන්වීමක් දාලා තිබුණා දැක්කම මට ඇති වුණේ ලොකු ආසාවක්. එහි තිබුණේ විමලදාස පෙරේරා මහත්තයාගේ සමනල කුමරියෝ චිත්‍රපටයට රංගන ශිල්පීන් තෝරා ගන්නා දැන්වීමක්. ඒ වෙනුවෙන් අයදුම් කර සුදුසුකම් ලැබුවත් කොළඹ ඇවිත් නවාතැන් ගැනීමේ අපහසුව නිසා ඒ අවස්ථාව මගෙන් ගිලිහුණා. මම විවාහ වෙලා පුතා ලැබිලත් අවුරුදු දොළහක් ගත වූ පසුව මට යළිත් රංගනයට ආශිර්වාද ලැබුණේ මගේ මහත්තයාගෙන්. ඔහු තමයි මාව රංගනයට තව තවත් උනන්දු කළේ. රංගනයේදී ඒ වෙනුවෙන් කාලය වැය කරන විට පවුලේ යුතුකම් වගකීම් ගැන කියමින් කවදාවත් මට ඔහු චෝදනා කළේ නැහැ. ඔහු මට රංගන කටයුතු වෙනුවෙන් පූර්ණ නිදහස ලබා දුන්නා. ඔබේ මුල්ම රංගනය ඉදිරිපත් කළේ වේදිකාවෙන්? මට මුලින්ම රඟපාන්න ලැබුණේ වේදිකා නාට්‍යයක්. එහි රංගනය දැකලා මට ලාල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ තිස්මඩ මිනීමැරුම ටෙලි නාට්‍යයට දායක වෙන්න ලැබුණා. ඒ කාලයේ මගේ වයස අවුරුදු විසි හතක් වුණත් රඟපෑවේ මහලු රෙදි නැන්දා කෙනෙකුගේ චරිතයක්. ඉන් පසුව මම වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වුණා. ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කළේ සොමී රත්නායකගේ සබඳ මම රස්පුටින් වේදිකා නාට්‍යයේ. එහි ඇලෙක්සි කුමරාට රඟපෑවේ මගේ පුතා නාමල්. මම වේදිකා නාට්‍ය විසි දෙකකට විතර දායක වෙලා තියෙනවා. කාලයක් රංගනයට දායක වෙලා නිවෙසට වෙලා සිටින විට දුක හිතුණේ නැතිද? ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපට දකින විට දුක නම් හිතුණා. ඒ වුණත් මම මගේ පවුලට ඊට වඩා ආදරය කළා. මගේ පුතාගේ දියණිය සහ මගේ මහත්තයා බලා ගන්න තමයි මම ඒ කැප වීම කළේ. මගේ මිනිපිරිය අංජානා දැන් ලොකුයි. නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ හය වසරේ ඇය ඉගෙනුම ලබනවා. ඇයත් මගේ රංගනය බලන්න කැමැති බව කියමින් නිතරම රංගනයට මා උනන්දු කරනවා. මහත්තයාගේ අවසන් ඉල්ලීම වුණෙත් ආයෙමත් රඟපාන්න යන්න කියලයි. ඔබ කලා නිර්මාණ සඳහා නිෂ්පාදන අංශයෙනුත් දායක වුණා නේද? නිර්මාණ කිහිපයකටම මම නිෂ්පාදන දායකත්වය ලබා දී තියෙනවා. අගාධයෙන් ආ මිනිසා, කෝප්රල් සර්, උමතු රාත්‍රිය සඳහා රංගන දායකත්වය වගේම නිෂ්පාදනයටත් දායක වුණා. ඉදිරියේදී යළිත් රංගනයට පිවිසෙන්න තීරණය කරලා ඇති? එදා වගේ නෙවෙයි අද ක්ෂේත්රයේ බොහෝ දේ වෙනස් වෙලා. තාක්ෂණය අතින් දියුණුව ඉහළයි. අද දුර රූගත කිරීමකට යන්න වුණත් අපහසුතා අඩුයි. නවක පරපුරේ දක්ෂයන් රැසක් ඉන්නවා. කුඩා වියේ පටන්ම රංගනයට ආදරය කළ මම ආයෙමත් රංගනයට සම්බන්ධ වෙන්න ආසවෙන් ඉන්නේ. ප්‍රියා රණසිංහ ඇයගේ අලුත්ම ටෙලි නාට්‍යයට මට ආරාධනා කළා. ඊට අමතරව තවත් ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී එම නිර්මාණ සමඟින් ආදරණීය රසික රසිකාවන් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
|