වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




චලක චමුපති රංගනයට එක්වෙයි

චලක චමුපති රංගනයට එක්වෙයි

චලක චමුපති පෙරේරා ටික කාලයක ඉඳලා ප්‍රසංග වේදිකාවේ දකින්නත් හිටියේ නැහැ. සමහරු විවිධ දේ කිව්වා. චලක කලකිරිලා රට හැරදා විදේශ ගත වුණා කියලා සමහරු කිව්වා. ඇත්තටම චලක ගායන ක්ෂේත්‍රයෙන් සමුගත්තා ද? අපිටත් ලොකු ප්‍රහේළිකාවක්. කෝකටත් අපි විපරම් කළේ මේ කතාවේ ඇත්ත දැනගන්න. අපිට ලැබුණු තොරතුරකට අනුව දැනගන්නට ලැබුණේ චලක යළිත් ප්‍රසංග වේදිකාවට ගොඩ වදිනව කියලා. මේක ඔහුට ආදරය කරපු, එදා මිල්ටන් පෙරේරාගේ ගීතවලට ආදරය කරපු රසික රසිකාවන්ට හොඳ ආරංචියක්.

කොහොම හරි අපි ගායකයෙක් ලෙස හඳුනගෙන හිටිය චලක නළුවෙක් ලෙසත් සිනමාවට එක්වන්න යනවා කියලා ලැබුණු ආරංචියට චලක හා කතාබහ කරන්නට අපිට සිතුණේ මේ කතාවේ ඇත්ත නැත්ත ඔහුගෙන්ම දැනගන්න. ඒ වගේම චලකගේ පියා ගායක ජේ. ඒ. මිලටන් පෙරේරාගේ ගුණානුස්මරණයත් මේ සතියෙම යෙදිල තියෙන නිසා.

අලුත් ආරංචි කීපයක් කියන්න තියෙනවා කිව්වේ, කියන්න?

මම තාත්තාගේ සඳ ඉල්ලා, හිරු ඉල්ලා . . . සිකුරුලියා . . . ගීත දෙකත් මගේම අලුත් ගීතයකුත් මගේම හඬින් කසුන් කල්හාරගේ නව ගී තනු සංයෝජනයෙන් පටිගත කිරීමක් සිද්ධ කරනවා. ඒ වැඩ කටයුතුවල මේ දිනවල නියැළී සිටිනවා.

කාලෙක නිහඬ බවත් එක්ක ඔබ යළිත් ගී ඇල්බමයක් රැගෙන එන්න ද අපේක්ෂාව?

අපෝ නැහැ. දැන් ගීත ඇල්බම් ගහල විකුණ ගන්න පුළුවන් කාලයක් නොවෙයි. අඩුම තරමින් ඇල්බමයට යන වියදමවත් හොයා ගන්න බෑ. ඒ තරමට ප්‍රෝඩා විජ්ජා රට පුරා. බුද්ධිමය දේපළ කොල්ල කන කොට අපි කොහොමද සී. ඩී. කරලා කීයක් හරි හොයා ගන්නේ.

ඒ කියන්නේ ඔබ අලුත් හෝ පරණ ගීත එකතුවක් ඇල්බමයක් ලෙස එළි දැක්වීමේ කිසිදු සූදානමක් මින් ඉදිරියට නෑ කියන එකද?

ඒකට ඔව් කිව්වොත් හරි. අද ඕනෑ තරම් පෙන්ඩ්‍රයිව් එකට සිංදු දාගෙන තියෙනවා. ඒවා වැහි වැහලා. ඔය තත්ත්වය තුළ කවුද ඇල්බමයක් කළාට මුදලක් දීලා ගන්නේ?

එතකොට ඔයා තාත්තාගේ සින්දු දෙකක් එක්ක ඔබේ එක් ගීතයක් යළිත් පටිගත කරනවා කිව්වේ?

ඒ මගේ ජනප්‍රියත්වයට ඒක අලෙවි කරන්න නෙමේ මම කරන්නේ.

එහෙනම් මොකටද?

මීඩියාවලට දෙන්න. සී. ඩී. කරන්න ලොකු වියදමක් යනවා. අන්තිමට වියදම් කරපු ගාණවත් හොයා ගන්න බැහැ.

ඔබේ උත්සාහය මීඩියා හරහා ජනප්‍රිය වෙන්න?

ජනප්‍රිය කියන දේ දැනටමත් මම ළඟ තියෙන දෙයක්. මට ඕනෑ කාලෙන් කාලෙට අලුත් දෙයක් මගේ කියලා ඉදිරිපත් කරන්න. රසිකයෝ ළඟට අලුත් නිර්මාණයකින් එක් වෙන්න.

මීඩියා ඒකට හොඳ මෙවලමක් කියලා ඔබ විශ්වාස කරනවාද?

මේකයි, මම රෙකෝඩ් කරලා ඒවා ආයතනවලට දෙනවා. ඒ අය තමයි ඒක ප්‍රචාරය කරනවාද නැද්ද තීරණය කරන්නේ. හැබැයි මම අලුතින් සින්දු කළා කියලා සල්ලි දීලා නම් ඒවා මම ප්‍රචාරය කරන්නේ නැහැ.

අද ගුවන් විදුලි, රූපවාහිනී චැනල්වල සල්ලි දීලානේ සින්දු ජනප්‍රිය කරන්නේ?

ඒක සහතික ඇත්ත. ඒ අය ළඟ අමුතු තාලේ පැකේජ් තියෙනවා. සින්දුවක් ජනප්‍රිය කරන්න ලක්ෂ 3 1/2 ක් ඉල්ලනවා. මාසෙට සින්දුව විසිපස් වතාවක් ප්‍රචාරය කරන්නම් මේකයි ගාණ කියලා. ඉතිං අනේ සින්දුව ජනප්‍රිය කරගන්න ඔය විදියට සල්ලි දීලා කරගන්න අයත් ඕනෑ තරම් ඉන්නවා.

එතකොට ඔබ කොයි ගණයේද?

මම සින්දු කරනවා, හැබැයි සම්තින් දීලා සින්දු ප්‍රචාරය මම ළඟ නැහැ.

ඔය තත්ත්වය තුළ ඔබේ උත්සාහය වතුරේ යනවානේ?

මගේ හිතවත් අය ඔය ආයතන කොයි එකෙත් ඉන්නවා. මට වගේම මගේ තාත්තාටත් ආදරය කරන හිතවත්තු අදත් මට ඔය ආයතනවල ඉන්න නිසා මාසෙට එක වතාවක් හරි මගේ සින්දුවක් ප්‍රචාරය කරයිනේ. ඒක මට හොඳටම ඇති.

මට පේන්නේ ඔබ කියන්නේ හරියට බලෙන් සින්දු අස්සනවා කියලා වගේනේ?

ඒක තමයි අද කෙරෙන්නේ. ඉස්සර තමයි අපි සින්දු ඇහුවේ. අද කරන්නේ බලෙන් සින්දු අස්සවනවා.

සල්ලි දීලා සින්දු ජනප්‍රිය කරවීම තුළ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

තමන්ට ඉක්මනින් හොඳ මිලක් ඇති කර ගැනීම. ඒ වගේම අද ජනප්‍රිය ගීත රිගිංටෝන්වලට යොදා ගන්නවා. ඒකත් අද හොඳ ආදායම් මාර්ගයක් වෙලා.

මේ වගේ මුදල් මාෆියාවක් මත හොඳ නිර්මාණයක් රසිකයන් වෙත නොයන ඉඩකඩ වැඩියි කියලා හිතෙන් නැද්ද?

මෙහෙම ගියොත් හොඳ එක නරක එක හොයා ගන්නත් බැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් බලෙන් දෙන කොට හොඳ එක තෝරන්නත් බෑ. නරක එක තෝරන්නත් බැහැ. රසිකයා නන්නත්තාරයි. සල්ලි තියෙන ගායකයා ගොඩේ ගොඩ. සල්ලි නැති ගායකයාට වැලේ වැලුත් නැහැ.

ඔබ කලකට පසු මුහුණේ ස්වරූපයත් වෙනස් කරලා?

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මම දැන් මේ දවස්වල මුහුණ පුරා රැවුල වවනවා. මීට පෙර මම ඒ වගේ රැවුල වවලා තිබුණේ නැහැ.

ඒකට හේතුව?

මට රඟපෑමට ආරාධනයක් ලැබුණා.

ගායකයෙක් ලෙස අප හඳුනාගෙන සිටි ඔබ දැන් රංගන ශිල්පියෙක් වෙන්නත් සූදානම්?

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන උදය කුමාර නිෂ්පාදනය කරන 'අප්පට සිරි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ එක් කෙනෙක් මම. අනික් කෙනා මහේන්ද්‍ර පෙරේරා.

පෙරේරලා දෙන්නෙක් එකතු වෙච්ච මේන් රෝල් එකකින් ඔබේ සිනමා සම්ප්‍රාප්තිය?

මේ මාසේ විසි දෙවැනිදා තමයි ෂූටින් පටන් ගන්නේ. යටියන්තොට, රඹුක්කන, කෑගල්ල ප්‍රදේශවල තමයි රූපගත කිරීම් සිද්ධ කරන්නේ.

හොරෙක් හැටියටලු නේද රඟපානවා කියන්නේ?

මම එක හොරෙක්. මහේන්ද්‍ර පෙරේරා හොරෙක්. හැබැයි මේ චිත්‍රපටයේ මිසක් සැබෑ ජීවිතයේ නම් නොවෙයි.

හාපුරා කියලා රංගනයට එන මුල්ම අවස්ථාව මේකමද?

නැහැ. මම මුලින්ම වයස අවුරුදු දහතුනේදී තමයි රඟපෑවේ. ඒ දයා කරුණාරත්නගේ කුරුමිටි පැංචා චිත්‍රපටයේ. නෙගටිව් එක විජය චිත්‍රාගාරයේදී 83 ජූලි කෝලාහලවලදී පිච්චිලා ගියා. එදා මම දර්ශන පනංගල, ජෝ අබේවික්‍රම, මැණිකේ අත්තනායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක්ක චිත්‍රපටයේ රඟපෑවා. එදා මගේ පළමු උත්සාහය කුරුමිටි පැංචා. මෙවර දෙවැනි උත්සාහය අප්පට සිරි.

මොකද මේ සින්දු කිව්වට සංගීතය ගැන ඔබ දන්නේ නෑ කියන්නේ?

ඇත්ත කියන්න එපායැ. මම සිංදු කියන්න දන්නවා. හැබැයි සංගීතය දන්නේ නැහැ. ඕනෑ සිංදුවක් තාලෙට කියන්නම්. හැබැයි සරිගමපදනිස . . . සංගීතය ගැන මම කිසිවක් දන්නේ නැහැ. සංගීතය ගැන ප්‍රශ්න නම් අහන්නත් එපා. අද සංගීත විශාරදල කී දෙනෙක් ඉන්නවද සින්දු කියන්න බැරි. ගායනය එකක්. සංගීතය තව එකක්. ඔය දෙකෙන් මම ගායකයෙක් විතරයි.

පුංචි අවධියේ ඔබ ගායකයෙක් වෙන්න ආශාවකින් පසු වුණාද?

කොහෙත්ම නැහැ. අපේ ගෙදර නිතර ඇහුණේ සංගීතය ගැන වචන හරඹ. සංගීතඥයෝ, ගායකයෝ, ගීත රචකයෝ තමයි නිතර අපේ ගෙදර ආවේ ගියේ. ගී තනුවලට පද වැල් එක් කරනවා තමයි අපි නිතර දැක්කේ. මේවා දැකලා අහලා අපිට ඒ කාලේ සංගීතය අරහන්. මම ආශා කළේ යන්ත්‍ර සූත්‍ර පැත්ත. ඒ ගැන තමයි මම ඉගෙන ගත්තේ. ඇඟේ මැකැනිසම් තිබ්බට පහුවෙන කොට එළියට ආවේ ගායනය.

ගායකයෙක් වුණේ කොහොමද?

මගේ කටහඬ බොහෝ විට තාත්තාගේ කටහඬට සමීප වුණා. ඒක මට ආශිර්වාදයක් වුණා. තාත්තාගේ අභාවයත් එක්ක ඒ තාත්තාගේ හිඩැස පුරවන්න හිතවත් අයගෙන් මට ආරාධනා ගලාගෙන ආවා. ඔය අතරේ මාව ගායකයෙක් ලෙස හඳුන්වලා දෙන්න එවක සත්සර පත්තර් ගොඩක් උපකාර කළා. ඒකෙ වැඩ කළ ආනන්ද පද්මසිරි මහත්තයා තමයි මාව පත්තරය හරහා ගායකයෙක් ලෙස රසිකයන් අතරට රැගෙන ආවේ.

රංගනය සාර්ථක වුණොත් ගායනය අත හරිනවාද?

සාර්ථක වෙයි ද නැද්ද කියලා ඉදිරියේදී බලමු. රංගනය සාර්ථක වුණත් ගායනය අත අරින්නේ නැහැ. අද වෙන කොට තාත්තලාගේ සින්දු කියන පුත්තු ඉන්නේ කීිප දෙනයිනේ. හැමෝම තාත්තා ගායකයා වුණා කියලා සින්දු කියන්නේ නෑනේ. මොන දේ මම කළත් රටේ ට්‍රෙන්ඩ් එක කොහොම වෙනස් වුණත් මම වෙනස් වෙන්නේ නැහැ.

මේ වසරේ අපට ඔබගේ අලුත් ගීතය අසන්න ලැබෙයි?

මේ වසර අවසන් වෙන කොට සින්දුව එළියට එයි. ලබන අවුරුද්ද මුලදී සිංදුව අහන්න ලැබෙයි. කසුන් කල්හාර අමුතුම තාලේ සින්දුවක් නිර්මාණය කරයි. බලමු එදාට රසිකයෝ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා.

ඇත්තද මේ තාත්තාගේ සින්දු අවසරයකින් තොරව රිගිංටෝන්වලට දාලා කියන්නේ?

එහෙම දෙයක් කරලා තිබුණා. අපේ රටේ ප්‍රධාන පෙළේ දුරකථන සම්බන්ධතා ආයතන දෙකක්. මම ඒ ආයතනවලට විරුද්ධව නඩු දාන්න ගියේ නැහැ.

ඒ වෙනුවට මුදලක් ඔබට දුන්නාද?

අපෝ නැහැ. කවුද මේ ලංකාවේ අඬ ගහලා සල්ලි දෙන්නේ.

මාධ්‍ය හරහා විකාශය වන ගීත ගායනා වෙනුවෙන් කර්තෘ භාගයක් ලැබෙනවා ඇති?

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයාගෙ කාලේ අපිට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා යම් මුදලක් ගීත ප්‍රචාරය වීම අනුව ලැබුණා. ඒ වැඩේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආවට පස්සේ නැවතුනා. එදා ඉඳලා අද වෙනකන් එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට මාධ්‍ය ආයතන සල්ලි දෙන්න ඕනෑ එකේ, අද වෙන්නේ අපි සල්ලි දීලා සින්දු ප්‍රචාරය කරගන්න වෙලා තියෙන එකනේ.

කර්තෘභාගය ලබා ගැනීමට අදහසක් නැද්ද?

අපේම අය අතර තියෙන බෙදීම මේකට හේතුවක්. කොටසක් කර්තෘ භාගය ලැබෙනවාට සතුටුයි. තව කොටසක් එයාලට සල්ලි දීලා තමන්ගේ සිංදුව ජනප්‍රිය කර ගන්න හදනවා. මෙන්න මේ බෙදීම තියෙනකම් අපිට යහපතක් වෙන්නේ නැහැ.

ඔබේ අම්මා වගේම සහෝදරයෝ එහෙම කොහොමද?

අම්මා කල්‍යාණි පෙරේරා. අම්මාගේ මහ ගෙදර තමයි මම පදිංචි වෙලා ඉන්නේ. අයියා ලුලිත ප්‍රියංකර පෙරේරා. මම වගේම ගායකයෙක්. මල්ලිලා දෙන්නාගෙන් අරෝෂ අසංග පෙරේරා මියන්මාර්වල රැකියාව කරනවා. අනිත් මල්ලි පමෝද් පියුෂාන් එංගලන්තයේ රැකියාව කරනවා.

ලුලිත ප්‍රියංකරට ද, චලක චමුපතිට ද වැඩියෙන් ප්‍රසංග සඳහා ඉල්ලුම?

එහෙම කියලා නැහැ. අපි දෙන්නටම තියෙනවා. සමහර ෂෝවලට ප්‍රියංකර භාර ගත්ත ඒවට මට යන්න කියනවා. මම භාර ගත්ත ඒවට ප්‍රියංකරට යන්න කියනවා. සමහර ෂෝවල අපි දෙන්නම එකට ගිහින් සින් කරනවා.

පුතාලා හතර දෙනාගේම නම්වල නිර්මාණකරු කරුණාරත්න අබේසේකර කියන්නේ ඇත්තද?

එදා කරු අන්කල් වාගේම අපේ තාත්තාත් හරියට ගහට පොත්ත වගේ. ඒ තරමට කල්‍යාණ මිත්‍රයෝ. කරු අංකල් අපේ තාත්තාට විශාල ප්‍රමාණයක් ගීත ලියලා තියෙනවා. මගේ අම්මා වෙනුවෙන් විතරක් ගීත පහක් ලියලා තියෙනවා. තාත්තාගේ හඬින් ගායනා කළ කරු අංකල්ගේ ගී රචනා අදත් ජනප්‍රියයි.

ඔබේ පවුලේ වත්මන් තොරතුරු කොහොමද?

බිරිය පද්මි රණසිංහ. ඇය ගෘහණියක්. දුව අංජනා දසුනි පෙරේරා. පුතා චමත් චමුපති පෙරේරා. තවම ඉගෙන ගන්න දරුවෝ.

කාලයක් රසික රසිකාවන්ගෙන් ඈත් වෙලා හිටිය නිසාම එයාලටත් කතා කරන්න ලියන්න දුරකථන අංකය වගේම ලිපිනයත් මතක් කළොත්?

0773101980, 0776261155 දුරකථන අංක දෙකට ඕනෑ වෙලාවක මට කතා කරන්න. එහෙමත් බැරි නම් 217/1/6, ජය මාවත, මීගහවත්ත, දෙල්ගොඩ ලිපිනයට මට ලිපියක් එවන්න.