වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




අතීතය මතක්වන විට දැන් දැනෙන්නේ හුදකලාවක්

අතීතය මතක්වන විට දැන් දැනෙන්නේ හුදකලාවක්

බැප්ටිස්ට් ප්‍රනාන්දු

පෙරකදෝරු බෑණා තිරගත වී වසර හැටක් සපිරීම නිමිත්තෙනි

දුෂ්ට චරිත නිරන්තරයෙන් රඟපෑ නළුවකුට ප්‍රේක්ෂකයන් අතර වීරයකු වන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එමෙන්ම ඒ දුෂ්ටත්වය, වීරත්වයට පමණක් සීමා නොකොට පෙම්වතාගේ චරිතය හරහා ද තම කුසලතාවන් ප්‍රකට කළ නළුවන්නම් සැබැවින්ම ඊටත් වඩා විරලය. එහෙත් වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු හෙවත් අප වඩාත් හොඳින් හඳුනන බැප්ටිස්ට් ප්‍රනාන්දු එවන් විරල ගණයේ නළුවෙකි. එනිසාවෙන්ම ඇතැම් විචාරකයන් ඔහු හැඳින් වූයේ ‘වීරයකු වූ ආදරණීය දුෂ්ටයා’ ලෙසිනි.

බැප්ටිස්ට් ප්‍රනාන්දු හා හා පුරා සිනමා රංගනයට පිවිසෙන්නේ ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයෙනි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ විලී ජයමාන්න නිෂ්පාදනය කළ ඒ. බී. රාජ් අධ්‍යක්ෂණය කළ ‘පෙරකදෝරු බෑණා’ මුල් වරට තිරගත වූයේ 1955 ඔක්තෝබර් 14 වැනි දිනය. ඒ මෙරට ප්‍රදර්ශනය වූ 33 වැනි චිත්‍රපටය ලෙසිනි.

මීට වසර හැටකට ප්‍රථම ‘පෙරකදෝරු බෑණා’ ප්‍රදර්ශනය වන විට එහි රඟපෑ බැප්ටිස්ට්ට වයස අවුරුදු විසි තුන සපිරුණා පමණි. දැන් ඔහුට වයස අවුරුදු අසූ තුනකි. නළුවකු ලෙසින් පමණක් නොව නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු ලෙසින් ද සිංහල සිනමාවට තම දායකත්වය පුද කළ මේ අපූර්ව රසවතා, ප්‍රවීණ කලාකරුවා බැහැ දකින්නට පසුගිය දිනෙක අපි ඔහුගේ නිවහනට ගොඩ වැදුනෙමු.

මඳ වේලාවකින් උඩු මහලේ සිට බැප්ටිස්ට් අප වෙත කැටුව ආවේ ඔහුගේ දියණිය ශාමිලා සහ මුනුපුරු රවින් විසිනි. ඔහු බැප්ටිස්ට්ගේ එකම පුතු වූ ශම්මි ප්‍රනාන්දුගේ දයාබර පුතණුවන්ය.

ආලින්දයේ අසුනකට බර වෙමින් බැප්ටිස්ට් අයියා අප දෙස මන්දස්මිතයක් පෑවේ අසුන් ගන්නා මෙන් අපට ද අතින් සන් කරමිනි. මම ආලින්දයේ නොයෙක් පස තබා ඇති ඔහුගේ විසල් ඡායාරූප දෙස නෙත් යොමමි. ඒ රුව බොහෝ සෙයින් කඩවසම්ය. පෞරුෂයෙන් පිරිපුන්ය. ඊළඟට මගේ නෙත් යොමු වන්නේ ටීපෝව මත තබා ඇති විශාල ප්‍රමාණයේ ඇල්බමයක් වෙතය. එහි බැප්ටිස්ට් අයියා රඟපෑ චිත්‍රපටවල ඡායාරූප ගොන්නකි. විවිධ ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටින ඔහුගේ ප්‍රතාපවත් දේහ ස්වරූපය එදා කෙතරම් ප්‍රේක්ෂක පිරිසක් වසඟයට ගන්නට ඇත්දැයි මට සිතේ.

ඉතින් බැප්ටිස්ට් අයියේ කොහොමද?

යළිත් ඔහු මුව මත සිත්තම් වන්නේ පෙර මඳ සිනහවමය. එහි ගැබ්ව ඇත්තේ අප්‍රමාණ අහිංසකත්වයකි. ඔහුගේ දෑස මත ලියැ වී ඇත්තේ කිසියම් සංතාප වේදනාවකැයි මට හැඟේ. හිස් බැල්මකින් මදෙස බලා සිටිය ද වදන් දසකින් පැවසිය නොහැකි බොහෝ දෑ ඒ බැල්්මෙහි සැඟව ඇති සෙයකි.

‘පෙරකදෝරු බෑණා’ රිලීස් වෙලා අවුරුදු හැටක්. පොඩ්ඩක් මතක් කරමුද ඒ අතීතය?

ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. මම ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයේ රඟපාන කොට පාසල් වේදිකාවේවත් රඟපාලා තිබුණේ නෑ. නළුවෙක් වෙන්න ඕනෑයි කියලා හැඟීමක්වත්, අදහසක්වත් මගේ හිතේ තිබුණෙම නෑ. ඒක මගේ යාළුවෙක් නිසා වෙච්ච දෙයක්.

වර්තමානයට වඩා ඒ අතීත ආවර්ජනය සිතට සුවයක් නිසාදෝ ඔහුගේ දෑස වඩාත් ජීවයෙන් පිරුණාක් මෙනි. හැට වසරකටත් එහා ඒ අතීතයට ඔබ මා කැටුව යන්නට ඉඩහැර මා මුනිවත රකිමින් වඩාත් ඕනෑකමින් ඔහු වෙත සවන් යොමු කළෙමි.

මං ඉපදිලා හැදුණු වැඩුණු ගම වෙන්නප්පුවේ කොලින්ජාඩිය. පාසල් ගියේ ජෝසප් වාස් විදුහලට. ඒ කලේ හරි සුන්දරයි. අපි යාළුවෝ රංචු පිටින් යනවා ළඟ පාත තියෙන පල්ලිවල මංගල්ලෙට. දවසක් නාත්තන්ඩියේ ‘ලූර්දු’ මංගල්ලෙට මම ගියා යාළුවෝ පිරිසක් එක්ක. එදා අපි හැමෝම පින්තූර ගත්තා. එහෙම ගත්තු මගේ පින්තූරයක් තිබුණා එස්. ඒ. ප්‍රනාන්දු කියන මගේ හොඳම යාළුවා ගාව.

බැප්ටිස්ට්ට සිනමාවේ දිගු ගමනක් යාමට මං පෙත් විවර කර දෙන්නේ එදා සිය මිතුරා ළඟ සුරැකිව තිබූ ඔහුගේ සේයාරුවය.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයා අලුත් චිත්‍රපටයකට නළුවෙක් අවශ්‍යයි කියලා පත්තරේක පළ කරලා තිබුණ දැන්වීමකට මගේ යාළුවා මටත් හොරෙන් මගේ ඒ පින්තූරය එක්ක අයදුම්පතක් යොමු කර තිබුණා. ලස්සනට අන්දවාගෙන ඔහු ඒ සම්මුඛ පරීක්ෂණයට මාව එක්කර ගෙන ගියේ එවකට එඩී ජයමාන්න සහ රුක්මණී දේවි යුවළ පදිංචිව සිටි මීගමුව ‘ජයරුක්’ නිවසට. සම්මුඛ පරීක්ෂණයෙන් මා තෝරා ගත් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මට අත්තිකාරම් මුදලක් දීලා කිව්වා ඉන්දියාවේ යන්න ලෑස්ති වෙන්න කියලා. ඔවුන් ගුවන් ගමන් බලපත්‍ර සියල්ල ලෑස්ති කර දුන්නා.

සිය කුලුඳුල් චිත්‍රපටයෙන්ම ද්විත්ව චරිත නිරූපණයකට බැප්ටිස්ට්ට භාග්‍යය උදා විය. ඒ ආනන්ද නමැති පොලිස් පරික්ෂකයා ලෙසත් මාක් සමරනායකගේ සහචරයකු ලෙසත් රඟපෑමටය. එහි ඔහු රඟපෑවේ එවකට සිංහල සිනමාවේ ජනකාන්ත නළු, නිළියන් වූ එඩී - රුක්මණී සහ රූබී ද මෙල්, මේබල් බ්ලයිත් ඇතුළු පිරිසක් සමඟිනි.

ඉන් පස්සේ 1959 දී මම ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රේම් ජයන්ත්ගේ වැඩිමහල් සොහොයුරාගේ චරිතයයි. 1969 දී ගාමිණී ෆොන්සේකා එක්ක සම ප්‍රධාන චරිත රඟපෑ ‘ඔබ නැතිනම්’ චිත්‍රපටයත් මගේ මුල්කාලීන රංගන දිවියේ සුවිශේෂ කඩයිමක්. ‘පුරුෂරත්නය’ චිත්‍රපටයේ රඟපාන කාලේම තමයි මට ‘අවිශ්වාසය’ චිත්‍රපටයේ රඟපාන්න ලැබෙන්නේ. ෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත්, කිංස්ලි රාජපක්ෂ සමඟයි මම එදා ඒ චිත්‍රපටයේ රඟපෑවේ.

මුල් යුගයේ ඔබ වඩාත් කැපී පෙනුණේ දුෂ්ට නළුවෙක් හැටියට?

ඒක ඇත්ත. නිකම්ම දුෂ්ට චරිත නෙවෙයි මට ඒ කාලේ රඟපාන්න ලැබුණේ, අති දුෂ්ට චරිත. ‘සිතක මහිම’ චිත්‍රපටයෙන් තමයි මම දුෂ්ටයෙක් විදිහට වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ. 1964 දී තිරගත වූ ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ ප්‍රේම් ජයන්ත්, රීටා රත්නායක, අශෝක පොන්නම්පෙරුම හා සන්ධ්‍යා කුමාරි සමඟ. සන්ධ්‍යා කුමාරිව දූෂණය කිරිමට සැරසෙන ජවනිකාවයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ ප්‍රේම් ජයන්ත් සමඟ ලොකු සටනක් කරන්න සිදු වුණා.

සමාජ ශාලා හිමිකරුවකු සේ මීළඟ දුෂ්ට චරිතය බැප්ටිස්ට් රඟ දක්වන්නේ ‘සත පනහ’ චිත්‍රපටයේය. එහි ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ගාමිණීය. ඉන් පසු ‘ඔහොම හොඳද’, ‘සහනය’, ‘කවුද රජා’ වැනි චිත්‍රපටවල බැප්ටිස්ට් දුෂ්ටයා වූ අතර වීරයා වූයේ ගාමිණීය.

ඔබට එක්තරා කාලෙක ගාමිණීගේ දුෂ්ටයා විදිහට චිත්‍රපට කිහිපයකම රඟපාන්න සිදු වෙනවා. කොහොමද ඒ අවස්ථාව උදාවුණේ?

නිශ්චිතවම මේකයි කාරණය කියලා මට කියන්න අමාරුයි. නමුත් සමහර විට අධ්‍යක්ෂවරු හිතන්න ඇති ගාමිණී වීර චරිතවලට රඟපාන කොට දුෂ්ට චරිතයට සුදුසුම නළුවා මම කියලා. ප්‍රේක්ෂකයන් එය පිළිගත්තා. ගාමිණියි මමයි සිනමාවේ කළ සටන් මේ තරම් ජනපි‍්‍රය වුණේ ඒ නිසා වෙන්න ඇති.

ඔබ සටන් කලාව හදාරලා තියෙනවාද?

අනේ නෑ, කවදාවත්ම නෑ. මම දන්නේ පොල් අඩි විතරයි. ඒත් ඒවා ප්‍රේක්ෂකයාට ඇල්ලුවා. ඒ පොල් අඩිවලට ප්‍රේක්ෂකයෝ විසිල් ගැහුවා.

ගාමිණිත් එක්ක එක චිත්‍රපටයක ඇත්තටම ගහගත්තා කියන්නේ ඇත්තද?

ගොඩක් චිත්‍රපටවල අපි ෆයිට් කළේ තාත්විකව. ඒ සටන් ජවනිකා කොයි තරම් සාර්ථක වුණාද කිව්වොත් ඒ කාලේ සමහරු හිතාගෙන ඉඳලා තියෙන්නේ මමයි, ගාමිණියි ඇත්තටම තරහයි කියලයි. ‘ඔහොම හොඳද’ චිත්‍රපටයේ මම මුලින්ම ගාමිණීට කසෙන් තලනවා. ඊළඟට ගාමිණී ඒ කසෙන්ම මට පහර දෙන්නේ ‘රජකම් කෙරුවත් කළකම් පළ දේ’ කියන ජෝති ගයන ගීතයට රඟපාමින්. ඒ ජවනිකාව නිසාම චිත්‍රපටය නරඹපු අයත් හිටියා.

ඒකාකාරී දුෂ්ට චරිතවලින් මිදී රිදී තිරයේ වීරයා වන්නට අවැසි වුව ද බැප්ටිස්ට එබඳු චරිතයක් ලබාදීමට නිෂ්පාදකයෝ අකැමැති වූහ. ඒ දුෂ්ට නළුවකු, වීරයකු ලෙස පිළිගැනීමට ප්‍රේක්ෂකයන් අකැමැති වෙතැයි ඔවුන් තුළ තිබූ අනියත බිය හා සැකය නිසාවෙනි. එහෙත් එය යථාර්ථයක් නොවන වග බැප්ටිස්ට් සාධාරණ සැකයකින් තොරවම ඔප්පු කර පෙන්වූයේ ඔහු විසින්ම නිෂ්පාදනය කළ ‘දුප්පතාගේ හිතවතා’ චිත්‍රපටයෙනි.

මුලින්ම මම නිෂ්පාදනයෙන් දායක වුණේ ‘සහනය’ චිත්‍රපටයට. නමුත් වීරයාගේ චරිතය රඟපෑවේ ගාමිණී. ඊට පස්සේ තමයි 1974 දී මම ‘දුප්පතාගේ හිතවතා’ නිෂ්පාදනය කළේ. එහි ආනන්දගේ චරිතයෙන් මම දුප්පතාගේ හිතවතා වුණා.

යළි බැප්ටිස්ට් අයියාගේ මුව මත විකසිත වන්නේ අර අවිහිංසක සිනා රැල්ලමය. මඳ වේලාවක් ඔහු සිතිවිලි අතර නිමග්නව හිඳින්නේ අතීත මතකය අතර සැරිසරමිනි. විටෙක ඒ මතකය අලුත් කර ගැනීම ඔහුට අසීරු කාර්යයක් බව අපට වැටහී යයි. ඔහු සිය හඬ අවධි කරන්නේ ද ඉතා සෙමිනි.

හුඟක් අය කිව්වා නේද ඔය චිත්‍රපටය කරන්න එපා කියලා?

මගේ සහෝදර නළු, නිළියන් වගේම පිටස්තර හිතවතුන් කිව්වා ‘බැප්ටිස්ට් ඔය මෝඩ වැඩේ විතරක් කරන්න එපා’ කියලා. ඒ අය හිතුවේ ප්‍රේක්ෂකයෝ මාව විරයෙක් විදිහට පිළිගන්න එකක් නෑ කියලා. මොකද මෙහි දුෂ්ට චරිතය රඟපෑවේ මම සිනමාවට එන්නත් කලින් දුෂ්ට චරිත රඟපෑ එච්. ඩී. කුලතුංග නිසා. ඒත් ඒ චිත්‍රපටය හිතුවාටත් වඩා සාර්ථක වුණා. ‘සුපර් හිට්’ එකක් වුණා.

බැප්ටිස්ට් ප්‍රනාන්දු නාමය සිංහල සිනමාවේ ඉහළටම ඔසවා තැබූයේ 1978 වසරේ ඔහු නිෂ්පාදනය කළ ‘ටිකිරා’ චිත්‍රපටයෙනි. ‘ටිකිරා’ චිත්‍රපටයේ ඔහු චරිත කිහිපයක් නිරූපණය කළේය. ජෝතිගේ අතිශය ජනප්‍රිය ගීයක් වූ ‘එතෙරින් මෙතරට ආවේ සෙවුමට ලෝකේ යුක්තිය වේ’ ඇතුළත් වූයේ ටිකිරා චිත්‍රපටයටය. එසේම ජෝති, ඇන්ජි ගැයූ ‘ළඳේ ළඳේ ළඳේ’ යුග ගීතයට එහි රංගනයෙන් දායක වූයේ බැප්ටිස්ට් හා ජෙනිිටා සමරවීරය.

ප්‍රේක්ෂකයෝ ‘දුප්පතාගේ හිතවතා’ වගේම ‘ටිකිරා’ත් ආදරයෙන් වැලඳ ගත්තා. ආරම්භක සිනමාහල් සියල්ලේම ඒ චිත්‍රපට දින 100 සීමාව පසු කළා. ‘ටිකිරා’ Box Office  චිත්‍රපටයක් වුණේ නොයෙක් බාධක, කම්කටුලු මැද්දේ.

එදා සම්භාව්‍ය පස්වැනි මණ්ඩලය ආරම්භ වුණේත් ‘ටිකිරා’ චිත්‍රපටය සම්බන්ධයෙන් පැන නැඟුණු අර්බුදයක් හේතු කරගෙන නේද?

‘ටිකිරා’ මට ප්‍රදර්ශනය කරන්න තිබුණේ ලිඩෝ, සෙයින්ස්ථාන් ඇතුළු සිනමාහල් කිහිපයකයි. චිත්‍රපට සංස්ථාවෙන් හදිසියේම ‘ටිකිරා’ ප්‍රදර්ශනය ප්‍රමාද කොට ‘වීර පුරන් අප්පු’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළා. මා ඊට විරෝධය පාමින් උසාවි නියෝගයක් ලබා ගත්තා. ‘වීර පුරන් අප්පු’ නිෂ්පාදනය කළේ එවකට පැවැති රජයේ අමාත්‍යවරයකු වූ ටිරෝන් ප්‍රනාන්දු මහතා. කෙසේ හෝ මට නියමිතව තිබූ සිනමාහල්වලට ‘ ටිකිරා’ ප්‍රදර්ශනයට අවසර ලැබුණා. ‘වීර පුරන් අප්පු’ අලුතින් ආරම්භ කළ පස්වැනි මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වුණා. ‘රජයේ නියෝගයක් මත ඔබගේ චිත්‍රපටයේ ප්‍රචාර කටයුතු නවතා ඇත’ කියා මට ගුවන් විදුලියෙන් නියෝගයක් ලැබුණා. එතකොට ‘ටිකිරා’ ප්‍රදර්ශනය ඇරඹිලා සති දෙකයි.

නමුත් ඒ බාධක වෙස්වලාගත් ආශීර්වාදයක් වුණා ඔබට?

මම වෑන් රථ කිහිපයක් යොදාගෙන මට පුළුවන් විදිහට ප්‍රචාරක කටයුතු කරගෙන ගියා. ‘ටිකිරා’ අති සාර්ථක චිත්‍රපටයක් වුණේ මෙවැනි බාධක, හිරිහැර මැද්දේ.

1972 වසරේදී ප්‍රේම් ජයන්ත් හා එක්ව ‘සහනය’ චිත්‍රපටය නිෂ්පාදනය කළ බැප්ටිස්ට් ඉන් පසු ‘සෙවන් ආර්ට්’ සමාගම යටතේ තනිවම ‘දුප්පතාගේ හිතවතා’, ‘ටිකිරා’’ ‘සුදු අයියා’, ‘ඒක දිග කථාවක්’, ‘නාමල් - රේණු’, යන චිත්‍රපට නිෂ්පාදනය කළේය. ‘අංගුලිමාල’ හා ‘රජ කෙල්ලෝ’ චිත්‍රපට යුගලයේ නිෂ්පාදකවරයා මෙන්ම අධ්‍යක්ෂවරයා වූයේ ද බැප්ටිස්ට්ය.

‘අංගුලිමාල’ චිත්‍රපටයේ අහිංසකගේ චරිතය රඟපෑවේ මගේ පුතා ශම්මි. අංගුලිමාල වුණේ රවීන්ද්‍ර රන්දෙණිය. එතකොට ‘රජ කෙල්ලෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මගේ දියණිය ශමිලා. පුතයි, දුවයි දෙන්නම සිනමාවට සම්බන්ධ වුණ එක ගැන මට සතුටුයි.

බැප්ටිස්ට් පවසන්නේ කිසියම් තෘප්තිමත් හැඟීමකින් යුතුවය. සිය දෑස්වන් දරු දෙදෙනා සිනමාවට දායාද කිරීමට ඔහු දෙවරක් නොසිතුවේ එය සිය ජීවිතය කොට ඔහු සැලකූ නිසා විය යුතුය. සිනමාව සමඟ එකල ඔහුගේ තිබූ සැබැදියාව කොතෙක්දැයි කියතොත් දිගු කළක් පුරා සමස්ත ලංකා නළු, නිළි සංගමයේ භාණ්ඩාගාරික තනතුර හෙබ වූයේ බැප්ටිස්ට්ය. සෑම නිලවරණයක් අවසානයේදීම බැප්ටිස්ට්ගේ නිවසේ හෝ ඔහුට අයත් හෝ්ටලයේදී මහා සාදයකි. කමින්. බොමින්, නටමින්, ගයමින් සොම්නසින් ගත කළ එවන් සොඳුරු රාත්‍රීන් කොතෙක් ඔහුගේ මතක පොතේ සටහන්ව ඇත්දැයි ඔහුටම නිනව්වක් නැත.

දැනුත් ඒ පරණ යාළු මිත්‍රකම් තියෙනවාද?

මගේ මුවඟින් එකී පැනය පිට වූයේ මට ද නොදැනුම්වත්වය. මෙතෙක් වේලා කිසියම් සොම්නස් හැඟුමකින් වෙළී තිබූ ඔහුගේ වුවන එක්වරම අඳුරු වලාවකින් වැසී ගියාක් මෙනි. දහසක් සේනා පිරිවරා, සුර සැප විඳිමින් කෙතරම් සුකුමාර ජීවිතයක් ගත කළ ද ජීවිතයේ සැඳෑ සමයේ අප සැමට බොහෝ විට ,උරුම වන්නේ මේ දැරිය නොහැකි හුදෙකලාවය.

ඉස්සර හැම වෙලේම මගේ ගෙදර, හෝටලයේ නැතිනම් විජය ස්ටුඩියෝ එකේ හිත මිත්‍රයෝ පිරිලා. හුඟක් අය ආවේ මගෙන් උදවු, පදවු ඉල්ලගෙන. ඒ කවුරුවත් මම හිස් අතින් යැව්වේ නෑ. අදටත් සමහර කලාකරුවෝ මට ලක්ෂ ගණනින් ණයයි. ඒත් කමක් නෑ. අඩු ගානේ මාව බලලා යන්න හරි එනවා නම්. ඉඳලා හිටලා හරි පහුගිය කාලේ ඇවිත් ගියේ වාමදේවන් විතරයි.

දිගු සුසුමක් හෙළමින් ඔහු නැවතත් කල්පනාවේ නිමග්න වේ. ඒ දෑසෙහි ලියැ වී තිබෙන්නේ අකුරු කරන්නට බැරි කුමක් දෝ දුක්බර කතා පුවතකි. එහෙත් සියල්ල ඇති වී නැති වී යන ලොවේ බැප්ටිස්ට් ද ඒ යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වූයේ දෛවයේ නියමයට අනුවය.

මම සිනමාවෙන්ම යැපුණු පුද්ගලයෙක් නෙවෙයි. කාලයක් මම රූපලාවණ්‍ය ද්‍රව්‍යය මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක් කළා. හෝටලයක් පවත්වාගෙන ගියා. ඒ වගේම කේ. ගුණරත්නම් මහතාගෙන් පස්සේ විජය චිත්‍රාගාරය පවත්වාගෙන ගියෙත් මම. මේ සියල්ල මම කළේ ජීවිතයේ අවසන් කාලයේ කාටවත් බරක් නොවී නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන. මගේ ඉඩකඩම් පවා විකුණලා මම දරුවෝ දෙන්නටත් මුදල් දීලා මටත් ජීවත් වෙන්න මුදලක් ඉතිරි කරගෙන තිබුණා. ඒත් . . .

බැප්ටිස්ට් අයියා දැන් මේ කියන්නට යන්නේ ඔහුට සිදු වූ බලවත් අසාධාරණයක් ගැනය. මේ ඔහුගේ දුක් ගැනවිල්ලක් නිසා ඇතැම් විට ඔබට එය නොදැනෙන්නට, නොහැඟෙන්නට ඉඩ තිබේ. මා එසේ පවසන්නේ වර්තමානය වන විට මුළු මහත් සමාජ දේහයේම සංවේදී ස්නායු ජාල නිර්වින්දනය වී ඇති හෙයිනි. එහෙත් අනුන්ගේ දුකට මඳක් හෝ සවන් දෙන සැබෑ මිනිසුන් අතරින් පතර හෝ මේ සමාජයේ වෙසෙනා බව අපි දනිමු. මේ කතාව අදාළ වන්නේ ඔවුනට පමණි.

මගේ මුළු සේසතම තැන්පත් කළේ් ගෝල්ඩන් කී එකේ. ඒ මුදල ලක්ෂ එකසිය තිස් එකක්. මගේ මහන්සියෙන් දුක් විඳලා හම්බ කර ගත්තු සල්ලි. මේ ආයතනයට මගේ පුතාත් විශාල මුදලක් තැන්පත් කළා. මගේ අසනීප තත්ත්වය වැඩි වුණේ ඔය සිද්ධියෙන් පස්සේ. දැන් නම් තැන්පත්කරුවන්ට කොටස් වශයෙන් ඔවුන්ගේ මුදල් ලබා දෙනවලු. අපටත් සාධාරණයක් කරන්න කියලා මම වගකිවයුතු සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

බැප්ටිස්ට් අපෙන් ඉල්ලා සිටින්නේ සිනමාව වෙනුවෙන් ඔහු කළ කැපවීමට හෝ දායකත්වයට සම්මාන, ගෞරව නාම නොවේ. තුටු පඬුරු ද නොවේ. වැර වෑයමින් ඔහු උපයා ගත් ධනයයි. ඒ ධනය කොල්ලකෑමට කිසිවකුටත් අයිතියක් නැත. එබැවින් වරද කාගෙන්, කවදා කෙසේ සිදු වුව ද එය වහා නිවැරැදි විය යුතුය. නිවැරැදි කළ යුතුය.