වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රාර්ථනා එළිදුටුවේ අම්මාගේ ඉඩමක් උකස් කරලා

ප්‍රාර්ථනා එළිදුටුවේ අම්මාගේ ඉඩමක් උකස් කරලා

එඩ්වඩ් මල්ලවාරච්චි

අපේ රටේ නවකතා ක්ෂේත්‍රයේ කාලයක් පුරා රැඳි සිටිනවා කියන එකත් එක්තරා අන්දමක අභියෝගාත්මක කටයුත්තක්. සාහිත්‍යකරුවන් කුමන ආකාරයෙන් ලිව්වත් අවසානයේදී ඒක බාර ගන්නේ පාඨකයා. ඒ වගේම පාඨකයන්ගේ ආදරයට ගෞරවයට පාත්‍රවෙමින් දීර්ඝ කාලයක් ඒ ගමන සාර්ථකව යන නවකතාකරුවොත් දුලබයි.

එඩ්වඩ් මල්ලවආරච්චි තම ප්‍රථම නවකතාව එළිදැක්වූයේ, 1970 වසරේදීයි. ඔහුගේ ලේඛන දිවියට වසර 45ක්. රචනා කළ නවකතා ප්‍රමාණය සියයකටත් වඩා අධිකයි. එදා සේම අදත් ඔහු වටා සිටින රසික, රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාරයන්හි කිසිදු වෙනසක් නැත. ඔහු විසින් රචිත කෘති ඇසුරින් ටෙලි නාට්‍ය රැසක් ද නිර්මාණය වීම විශේෂත්වයකි. ජනතාව ඒ වටාද රොක් වූයේ නවකතාව කෙරෙහි වූ උන්මාදයද සමඟිනි. අද මං සලකුණු සමඟින් ඔහු කතා කරන්නේ 1970 වසරේදී ඔහු එළිදැක්වූ සිය ප්‍රථම නවකතාව වූ ‘ප්‍රාර්ථනා’ නවකතාව පිළිබඳවයි.

“මම විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා සිටින කාලය තමයි මෙයට විශේෂ වූ කාලය වුණේ. එදා විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියාවක් නොමැතිව දුක් කරදර වලට මුහුණ දෙමින් සිටි අවිනිශ්චිත කාලයේදී මම සාහිත්‍යකරණයට පිවිසෙන්න තීරණය කළා. ඒ කාලයේ මටත් ප්‍රාර්ථනා බලාපොරොත්තු බොහොමයක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු ලෙහෙසියෙන් ඉටුකරන්න පුළුවන්කමක් අපට තිබුණේ නැහැ. මට මතකයි මිරිස්වත්ත ඉස්කෝලෙකට ගුරුවරු ගන්නවා කියලා බලන්නත් මම ගියා. ඒත් ලැබුණේ නැහැ. අද වගේ උපාධිධාරීන් බහුතරයක් නොසිටියත් දේශපාලන බලයේ අවශ්‍යතාවත් තිබුණා. කවුරුවත් පසුපස නොගිය නිසා රැකියාවක් ලබා ගන්නාවා කියන එකත් ලොකු ගැටලුවක් වුණා. එදා තිබුණු ඒ අවිනිශ්චිත තත්ත්වය නිසා මමත් සාහිත්‍යකරණයට පිවිසෙන්න තීරණය කළා. එහි ආරම්භය සනිටුහන් කළේ ‘ප්‍රාර්ථනා’ නවකතාවයි.

පුංචි කාලයේ මම හොඳ ශ්‍රාවකයෙක්. ඒ කාලයේ අපේ අම්මා පියදාස සිරිසේන, ඩබ්ලිව් ඒ. සිල්වා වැනි කතුවරුන්ගේ පොත් ගෙනැවිත් ලාම්පු කුප්පි එළියෙන් තාත්තාට ඇහෙන්න කියවනවා. ඒ කතාවල ආකෘතික ලක්ෂණ මට මැනවින් වටහා ගන්න පුළුවන් වුණා. ඒ ඔස්සේ මමත් නවකතා කියවන්න පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි චිත්‍රපට නැරඹුවෙත් හරිම ආසාවෙන්. මේ සියල්ල තමයි මගේ නිර්මාණ හැකියාවට මූලික පදනම වුණේ. ‘ප්‍රාර්ථනා’ නවකතාවට වස්තු බීජය වුණේ යෞවන යෞවනියන්ගේ ප්‍රාර්ථනා. ඒක අදටත් වෙනස් නැති සර්වකාලීන තේමාවක්”.

ප්‍රථම කෘතිය ලෙසින් පමණක් නොව මේ පොත ඔබට ඉතාම සුවිශේෂී වන තවත් කාරණා තියෙනවා නේද?

මේ කවරයත් මට විශේෂයි. ඒ කාලයේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ සිසුවියකව සිටි ලලිතා පීරිස් මෙනවිය තමයි මෙහි කවරයේ පින්තූරය වෙනුවෙන් පෙනී සිටියේ. ඇය තමයි මගේ ආදරණීය බිරිය. ඇත්තටම මම පොතක් රචනා කළාට එහි කවරය නිර්මාණය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. මගේ යහළුවන් මට උදව් කළා. පී. ටී. සිරිල් පෙරේරා ඒ වෙනුවෙන් ගොඩක් උදව් කළා. ඔහුගේ මිතුරෙක් වූ ඩෙන්සිල් වීරවංශ ඡායාරූප ශිල්පියා වුණේ.

ඇත්තටම මේ පොත මුද්‍රණය කරන්න මට මුදල් තිබුණේ නැහැ. පසුව මම අපේ පළාතේ මුදල් යහමින් තිබූ කිහිප දෙනෙක් හමුවෙන්න ගියත් එයත් සාර්ථක වුණේ නැහැ. ඉන්පසුව පොත් ප්‍රකාශකයෙක් හමුවෙන්න ගියා. දෙදෙනාම මුදල් සම සමව යොදා මේ පොත මුද්‍රණය කරන්න ඔහුගේ යෝජනාව වුණා. ඒත් ඉතිං මං ළඟ සල්ලි තිබුණේ නැහැ. ඒකත් අතහැරුණාට පසුව මගේ අම්මා අපේ ඉඩමක් උගස් තියලා සල්ලි අරගෙන දුන්නා. මාස කිහිපයක් ඇතුළත පොත විකිණී අවසන් වුණා. දෙවැනි මුද්‍රණයත් එළෙසම අලෙවියක් වාර්තා කළ පසු මම මුලින් හමු වෙන්න ගිය පොත් ප්‍රකාශන ආයතනය මගේ පොත මුද්‍රණය කරන්න භාර ගත්තා.

 ‘ප්‍රාර්ථනා’ රචනා කරන්න ප්‍රධානතම හේතුව වුණේ? එදා අපි අත්විඳි සමාජ අසාධාරණය තමයි මේ කෘතිය රචනා කරන්න ප්‍රධානතම හේතුව වුණේ. නමුත් මෙහි එන චරිත හැම කෙනා තුළම ජීවත් වෙලා තියෙනවා. ඇතැම් අයගේ යම් යම් කාල මේ තුළින් නිරූපණය වෙනවා. ඒ නිසා කාගෙ කාගේත් ජීවිතවල විවිධාකාර අත්දැකීම් මේ තුළ අන්තර්ගත වෙනවා. මේ කෘතිය සර්වකාලීන වෙන්න හේතුවත් එයම තමයි. ඒ කාලයේ කෑම එකක් සත 60යි. වර්තමානයේදී කෑම එකක් රුපියල් තුන්සිය පහනක් විතර වෙනවා. මේ කෘතිය එදා මම මිල කළේ රුපියල් 4.50ට. ඒකත් හරිම බයෙන් කළේ. අද මේ පොත රුපියල් 350ක්. එදාට වඩා අද ලෝකය ගොඩක් වෙනස් වෙලා. නමුත් මිනිසුන්ගේ ප්‍රශ්න තවම එතැනමයි.

 ‘ප්‍රාර්ථනා’ නවකතාව ගොඩනැංවීම ගැන කතා කළොත්?

නිර්මාණකරුවෙක්, නිර්මාණකරණයේදී සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙනවා. සිදුවීමක් සිදු වූ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම ඔහුට නොගැළපෙන්නක්. ඔහුගේ නිර්මාණ කාර්යය බැඳී තිබෙන්නේ, යම් සිදුවීමක් සිදු විය හැකි යැයි විශ්වාසයක් ඇති වන තත්ත්වයට පාඨකයා කැඳවාගෙන යාම තුළයි. ඒ කටයුත්තට පාඨකයා ඇද බැඳ තබා ගැනීමට ලේඛකයා සමත් විය යුතුයි. පසුගිය කාලයේ විවිධ සිදුවීම් රැසක් අප සමාජයෙන් අපට අසන්න දකින්න ලැබුණා. ඒවා සියල්ල අප දුටුවේ වාර්තා ආකාරයෙන්. නමුත් මේ ඇසුරෙන් නවකතාවක් රචනා කළොත් එහෙමත් නැතිනම් ටෙලි නිර්මාණයකට ගත්තොත් පසුබිම යොදා ගන්නා ආකාරයේ වෙනසක් තියෙනවා. මේ කාරණයේදී ලේඛකයාට ස්වයං වාරණයක් තිබිය යුතුයි. හොඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් තිබිය යුතුයි.

මෙහිදී අප සමාජයෙන් ලැබූ අත්දැකීම් රචනා කළේ අපි අත්විඳි ආකාරයෙන්. නමුත් ඒ අත්දැකීම් තවත් බොහෝ දෙනා අනුමත කරලා තියෙනවා. අශෝක නවාතැන් ගන්නා සිරිමාන්නගේ නිවසට මූලික වුණේ ඩොනල්ඩ් එක ළඟ තියෙන නිවෙසක්. මගේ මිනිබිිරිය අරගෙන බෞද්ධ කාන්තා විද්‍යාලයට ගියාම ඇස්වාට්ටුව ළඟ තියෙන බස් නැවතුම දකිනවිට ‘ප්‍රාර්ථනා’ නවකතාවේ සුභා සහ ඇගේ මිතුරියන් අශෝකට විහිළු කළ බස් නැවතුම අදටත් මම දකිනවා. ඒ විතරක් නොවෙයි අශෝකගේ චරිතය ගත්තොත් ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට වී රැකියාවක් නොමැතිව පර්යේෂණ කරමින් උපකාරක පංතිවල උගන්වන්නත් යනවා. මමත් විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියා විරහිතව කාලය ගත කළා. මගෙයි ලලිතාගෙයි සම්බන්ධයට මුලදී ඇයගේ නිවෙසින් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇයගේ මවුපියන් විසින් පැවැසූ ඇතැම් දෙබස් පවා ‘ප්‍රාර්ථනා’ තුළ ඇතුළත්. ඒ වගේම ප්‍රාර්ථනා හි සුභා කියන චරිතය ගත්තේ තේරී ගීතයේ සුභා තෙරණිය ගෙන්.

වර්තමාන පුරපුර නවකතා සමඟ සබැඳියාව ඔබ දකින්නේ කෙළෙසද?

පසුගිය පොත් ප්‍රදර්ශනයේදීත් යෞවනියන් ඇවිත් ‘ප්‍රාර්ථනා’ පොත ඇතුළුව ‘සුභා’ ‘සුභ ප්‍රාර්ථනා’ කෘති ඉල්ලා සිටියා. එක් තරුණියකගෙන් ඔයා මේ පොත් තුනට කැමැති ඇයි දැයි විමසා සිටි විට ඇය සඳහන් කළේ ‘අම්මා තමයි අරගෙන බලන්න කියලා කිව්වේ කියලයි ඇය පිළිතුරු දුන්නේ. ඇත්තටම ‘ප්‍රාර්ථනා’ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන කෘතියක්. හැත්තෑව දශකයේ මේ පොත පරිශීලනය කළ අය ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටත් මේ පොත පරිශීලනය කිරීමට උනන්දු කරවනවා.

නමුත් වර්තමාන පරපුර නම් පොතපත කෙරෙහි වැඩි උනන්දුවක් නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ. ඔවුන් වඩාත් සමීප නවීන තාක්ෂණයටයි. එදා අපි විවේකයක් ලැබුණාම පොතක් අරගෙන බැලුවා. අද එහෙම නොවෙයි. ජංගම දුරකථනයක් නැති කෙනෙක් අද සමාජයේ ඉන්නවාද? අද ලෝකය ගොඩක් සමීප වෙලා. ළමා පරපුරේ සෙල්ලම් භාණ්ඩ බවට පත් වෙලා තියෙන්නෙත් ජංගම දුරකථන හා අයි පෑඩ්. තරුණ පරපුරත් තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් සිටින්නේ. ඒ කාලයේ අපි කළ ලොකුම වරද වුණේ චිත්‍රපටයක් නරඹන එකයි. ඉතිං අද ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ විතරක් නොවෙයි චිත්‍රපට ශාලා බොහොමයක් වැසී ගිහින්.

ප්‍රාර්ථනා තුළින් පිළිබිඹු කෙරෙන්නේ ආදරයේ පරිත්‍යාගශීලි බවද?

මේ කතාවෙන් ආදරයේ ඊට වඩා අර්ථකථනයක් පෙන්නුම් කරනවා. සමහරු ප්‍රේමය අහිමි වුණා කියලා බීමත්කමට ඇබ්බැහි වෙනවා. ඇතැම් අය හිතාමතා නොකෙරුවත් මිනිසුන්ගේ හිත්වලට මේ දේවල් වදිනවා. කලාව සමාජයේ බොහෝ දෙනෙක් වැලඳ ගන්නා දෙයක්. ඒ නිසා නිර්මාණකරුවන් සතුව විශාල වගකීමක් තියෙනවා. සමහර නිර්මාණවල බරපතළ අයුරින් ලිංගිකත්වය පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. එම වරද බොහෝ විට සිදු වන්නේ විදෙස් නිර්මාණ මෙරටට හඳුන්වා දීම සමඟින්. අතීතයේ සිට අපේ සමාජයේ පැවැති සදාචාරයක් තියෙනවා. අතීතයේදී ආදරය නොලැබුණා කියලා පිහියෙන් ඇන්න, ඇසිඩ් ගැසූ කතා අපට අසන්න ලැබුණේ නැහැ. විදෙස් සමාගම් අපේ රටවල් වෙළෙඳ පොළවල් බවට පත් කරගන්න බලාගෙන සිටින බවක් පෙනෙන්න තියෙනවා. ජාත්‍යන්තරයේ එවැනි නිර්මාණ ඉහළින් අගැයෙන විටදී අපේ අයත් රචනාවේදී එය භාවිතයට ගන්නවා. අපේ දරුවන් එය වරදවා වටහා ගන්නා අවස්ථා තියෙනවා.

මේ වසර 45 පුරාවටම ‘ප්‍රාර්ථනා’ කෘතිය නොකඩවා පාඨකයන් අතරට යාමේ රහස?

මම නම් හිතන්නේ මේ කෘතියේ ජීවත් වන චරිත බොහොමයක් විවිධ යුගවල විවිධ සමාජ නියෝජනය කරමින් ජීවත්වීම කියලයි. ඒ චරිත අපි ඉදිරිපත් කරන ආකාරයේ වෙනස තමයි මෙතැන තියෙන්නේ. මගේ අදහස නම් නිර්මාණකරුවා ඒ කටයුත්තේදී හෘදයාංගම විය යුතුයි. එවිට කරන්නා වූ නිර්මාණය අතිසාර්ථක නිර්මාණයක් බවට පත්වීම වළක්වන්න අපහසුයි.

ප්‍රාර්ථනා කියන්නේ තුන් ඈඳුතු නවකතා පෙළක ආරම්භයක්?

මෙහි ඇත්තටම මේ නවකතාවේ සමාප්තියක් සටහන් කරන්න බැහැ. ප්‍රාර්ථනා නිකුත් වූ පසු එය සමඟ බැඳුණු අය සුභාට මොකද වුණේ කියලා මගෙන් අහන්න පටන් ගත්තා. ඒ නිසා ‘සුභා’ නමින් මම එය නිර්මාණය කළා. ඒ වගේම එක චරිතයකට පමණක් නොවෙයි අනෙක් චරිතවලට ඇලුම්කළ අයගෙත් ඉල්ලීම් තියෙනවා නේ. ඒ විදියට කුමාරිගේ ඉදිරි කාලය මොකද වුණේ කියන ප්‍රශ්නයත් ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් තමයි ‘සුභ ප්‍රාර්ථනා’ රචනා කරන්න වුණේ. ඒ විතරක් නොවෙයි පාඨකයන්ට මේ ඉදිරිය තවදුරටත් දැනගන්න ඕනි වෙලා. ඒ නිසා සිව්වැනි කෘතියක් ගැනත් මට හිතන්න සිදු වෙලා. කුමාරිගේ දරුවෙක් සහ සුභාගේ දරුවෙක් මූලික වූ නවකතාවක් වෙනුවෙන් කතාවේ මේ අදහස දැනටමත් පාඨකයෝ මට එවලා තියෙවා.

පාඨක ප්‍රතිචාර කොහොමද?

මගේ පොත් ඇසුරු කරන පාඨකයන් හැමෝම වගේ කියන්නේ ‘ඔයාගේ හොඳම පොත ප්‍රාර්ථනා. අපි කැමැති ප්‍රර්ථනා නවකතාවට’ කියලයි. සමහර පොත් එළිදැක්වුවාම ඇතැම් පාඨකයන් ‘මේ පොත ප්‍රාර්ථනා තරම් නම් හොඳ නැහැ’ කියලා මගේ මුණටම කියනවා. පාඨක ප්‍රතිචාරවලත් තියෙන්නේ සෞන්දර්යාත්මක බවක්. හැම අවුරුද්දකම ඇවිත් මගේ අස්සන අරගෙන යන එක පාඨක හිතවතියක් ඉන්නවා. තවත් සමහරු ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එන විට මා හමුවන්න එන්නේ කැවුම් පාර්සල එහෙමත් අරගෙන.

පසුගිය දවසක අම්පාර ප්‍රදේශයේ දියණියක් දුරකථනයෙන් කතාකරලා මගෙන් සෙනුරි පොත තියෙනවාද කියලා ඇහුවා. පොත් සාප්පුවල විකිණී අවසන් වෙලා. ඇයට ඒ පොත මිලදී ගන්න හැකි වෙලා නැහැ. ඇය දන්නා කෙනෙක් ළඟඳී කොළඹ පැමිණෙන බවත් ඔහුට මේ පොත ලබා දෙන්න කියලා සඳහන් කළත් එහෙම පුද්ගලයෙක් මා හමුවෙන්න ආවේ නැහැ. ඔහුට මම සිටින තැන හොයා ගන්න අපහසු වෙලා. ඒ දියණිය යළිත් කතා කළා. සෙනුරි පොත් පෙළේ අලුත්ම පොත ඇය සොයා තිබුණේ ඇයගේ මවගේ උපන්දිනය වෙනුවෙන් තෑගි දෙන්නයි. ඉතිං මම ඇයට නොමිලයේම ඒ පොත ලැබෙන්න සැලැස්සුවා.

ඔබේ නවකතා රැසක් මේවන විට රූප මාධ්‍යයටද නැඟී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

මගේ නවකතා ඇසුරෙන් දැනට ටෙලි නාට්‍ය විසිහතක් නිර්මාණය වෙලා තියෙනවා. මේ හැම කෘතියක්ම මිනිසුන් ඉතාම ආදරයෙන් වැලඳගත් කෘති. ඒක මා ලද විශේෂ භාග්‍යයක්. පොතක් සහ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම කාර්යයන් දෙකක්. සමහර වෙලාවට පොතෙන් දෙන පණිවුඩයම ටෙලි නිර්මාණයෙන් නොලැබී යන්නත් ඉඩ තියෙනවා. යම් නිර්මාණයකට නිර්මාණකරුවාගේ දක්ෂතාව, හැකියාව, ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් බලපානවා. අපිත් අපේ කතාවල චරිත විනාශ වෙනවා දකින්න කැමැති නැහැ. අපි පොත් විතරක් ලියලා ගෙදර තියාගෙන වැඩක් නැහැනේ. නමුත් නිර්මාණ ප්‍රතිනිර්මාණය කිරීමේදී ලේඛකයන් දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

ඔබ මෙරට ජනප්‍රිය පත්තර කිහිපයකම නවකතා රැසක් රචනා කළ ලේඛකයෙක් ලෙසත් විශේෂයි?

තරුණි පත්තරේට විතරක් නවකතා දොළහක් ලියලා තියෙනවා. සරසවිය පත්තරේට මම රචනා කළ නවකතාව ‘තෙපුලී’. එහිදී අපි ඒ ඒ දේ කතා කරන්නේ පුවත්පතේ පාඨකයන් අනුවයි. පත්තරේ කාටද අමතන්නේ. වයස් සීමාවන් කොහොමද වැනිදේ ගැන මම එහිදී සැලකිලිමත් වෙනවා. දැනට මෙරට ප්‍රධාන කාන්තා පත්තර පහකට මම එකවර කතාපහක් ලියනවා. එවැනි අවස්ථාවක් ලද වෙනත් ලේඛකයෙක් සිටිනවාදැයි මම නම් හිතන්නේ නැහැ.

ලේඛකයෙක් ලෙසින් සමාජයට කළ හැකි දේ ගැන ඔබේ අදහස?

ඇත්තටම යෞවනයට මීට වඩා දෙයක් සමාජයෙන් ඉටුවිය යුතුයි. ඔවුන් නොමඟට යන්නේ, දිවිනසා ගැනීම්වලට පෙළඹෙන්නේ මේ අඩුව නිසයි. ඇත්තටම ඒ කාලයේ සමාජයේ අද වගේ දරුණු සිදුවීම් සිදුවුණේ නැහැ. හැමදෙයම වෙනස් වූ යුගයකදී සමාජයට යහපතක් කිරීම වෙනුවෙන් කළ හැකි සියලු උපක්‍රම යෙදිය යුතුයි. අපි මොකක්ද කියන්නේ? අපි කාටද කියන්නේ ආදි වූ ලෙසින් ලේඛකයෙක් ඉතා වගකීමෙන් සමාජය දෙස බැලිය යුතුයි. එහිදී යම් යම් හේතු නිසා සීමා මායිම් තුළ ලේඛකයෙක් තමන්ටම ස්වයංවාරණයක් පනවා ගත යුතු අවස්ථාද එළඹෙනවා. ඕනම දෙයක් ලියන්න පුළුවන්. නමුත් පළමුව ඒ පණිවුඩය දෙන අය හඳුනාගත යුතුයි.