වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




රාණිට මව් පදවිය

රාණිට මව් පදවිය

මුඛර්ජි සම්රත් පවුල බොලිවුඩ් සිනමාවේ යුග යුග ගණන් ඔපවත් කළ දැවැන්ත පවුලක්. අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් ඔවුන් දුර්ගා පූජා උත්සවය සැමරුවේ මහ ඉහළින්. පසුගිය වසර කිහිපයම මුඛර්ජි පවුලේ දුර්ගා පූජාව පවත්වන්න සියලු කටයුතු කලමනාකරණය කළේ රාණි මුඛර්ජි විසින්.

දුර්ගා පූජාවට මුඛර්ජි පෙළපතේ සියලු දෙනාම සහභාගි වීම චාරිත්‍රයක්. වත්මන් පරපුරේ කාජල් සහ තනීෂාත් මේ අවස්ථාවට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. වෙනදා වගේම මෙවර උලෙළ රාණි විසින් කලමනාකරණය නොවන බව තමයි ආරංචි වෙන්නේ. මේ අවුරුද්දෙ මෙතෙක් පැවැති වෙනත් උත්සව අවස්ථාවලටත් ඇය සහභාගි වෙලා නැහැ.

බොලිවුඩයේ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ආදිත්‍ය චොප්රා සමඟින් රාණි අතිනත ගත්තේ පසුගිය අවුරුද්දේදියි. රාණි මේ දිනවල නගරයේ කලබලකාරීත්වයෙන් තරමක් ඈත් වෙලා බොහොම නිදහසේ කාලය ගත කරන බවත් ආරංචියි. ඇය මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බවටත් ආරංචි ගෙන එනවා. විවාහයෙන් පසුව බොලිවුඩ් සිනමාවෙන් ටික කාලයකට සමුගත් රාණි අවසන් වරට රංගනයෙන් දායක වුණේ මර්ධානි චිත්‍රපටයට. ඒ 2014 වසරේදීයි.

මවර දුර්ගා පූජාවේ කලමනාකරණ කටයුතු තමා අතින් සිදු නොකළත් ආශිර්වාද ලබා ගන්න රාණි අනිවාර්යයෙන්ම සහභාගි වේවි.