|
මං කොහොමද මචං සිරිසඟබෝ ගැන මෙයාට කියලා දෙන්නෙ?
විදේශීය නාට්‍ය නිෂ්පාදිකාවක් ශ්‍රී ලංකාවේ වේදිකාවට පරිවර්තන නිෂ්පාදනයක් ගේනවා 1984 දී පුන්තිලා කියලා. ඇගේ නම හෙලේනා ලෙහ්තිමතී, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ. පුන්තිලා සිංහල නිෂ්පාදනයට පිටපත පරිවර්තනය කළේ වසන්ත නවරත්න බණ්ඩාර. පුන්තිලා මහත්තයාගේ චරිතය රඟපෑවෙ මේ කාලේ සිංහල වේදිකාවේ ජනප්‍රියම නළුවා නිහාල් සිල්වා. සාජන්ට් නල්ලතම්බි එක්ක රට පුරා ජනප්‍රිය වෙච්ච නිහාල්ට ඒ දවස්වල ප්රේක්ෂකයන්ගෙන් තිබුණු ඉල්ලුම එතෙක් වේදිකාවේ වෙන කිසිම නළුවෙකුට තිබිච්ච එකක් නෙවි. ඔහු හාස්‍යය චරිත රංගනයට වගේම ගැඹුරු චරිත නිරූපණයෙහි විශිෂ්ටයෙකු බව එක රැයකින් ප්‍රදර්ශනය කළේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලවේ ප්‍රේක්ෂාගාරය මැද තැනූ විශේෂ වේදිකාවකදී පුන්තිලා මහත්තයගේ චරිතය රඟපාමින්. ඒ නම් විස්මිත රංගනයක් ලෙසටයි ප්‍රේක්ෂකයෙක් විදියට එදා පුන්තිලා නැරඹූ මගේ මතකයේ රැඳිලා තියෙන්නේ. පුන්තිලා මහත්තයාගේ සගයා, රියදුරු මත්තිගෙ චරිතෙ රඟපෑවේ අපේ මහේන්ද්‍ර පෙරේරා. රඟපෑමට අමතරව මහේන්ද්‍ර නිෂ්පාදන කටයුතුවලටත් සහාය වුණා. ඇතැම් අවස්ථාවල හෙලේනගේ තෝල්කයගේ භාෂා පරිවර්තකගේ Inter Preter චරිතයත් රඟපාමින්. නාට්‍යයේ අංග රචනය භාරව සිටියේ අද දවසෙ, වේදිකාවෙ, පුංචි තිරයේ සිනමාවෙ මේ ඕනෑම තැනක අංග රචනයට සම්මාන දිනූ විශිෂ්ටයා වසන්ත විට්ටච්චි. පසු වේදිකාවේ කතාව මට මුලින්ම කිව්වේ වසන්ත. පස්සේ මම මහේන්ද්රටත් කතා කරලා, සිද්ධ වෙච්ච සන්තෑසිය මොකක් ද කියලා හරියටම දැනගත්තා. නාට්‍යයේ පූර්ව ප්රචාරක කටයුතුවලට වගේම ෆින්ලන්තෙ මාධ්‍ය සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ වෙනස්ම පින්තුර ටිකක් ගන්න ඕනෑ වුණේ හේලේනට. වෙනස් කියන්නේ රඟහල වේදිකාවෙන් බැහැර ගිහින් පුන්තිලා මහත්තයගෙ චරිතයට සම්බන්ධ ස්ථාන කීපයක රූගත කිරීම් කරන්න. ලංකවේ ප්‍රධාන පුවත්පත් ආයතනයක ප්‍රවීණ කැමරා ශිල්පියෙකුට ආරාධනා ලැබුණා ඡායාරූප ගන්න. රූගත කිරීම් ස්ථාන විදියට, සමාජ ශාලා, බිලියඩ් ක්‍රීඩා කරන ස්ථාන, ගෝල්ෆ් ක්‍රීඩාංගණය වගේ එළිමහන් හා ඇතුළත ලොකේෂන්ස්. වසන්තගේ පුන්තිලා මහත්තයා මේක්අප් එකට නිහාල්ගේ ඔළුව තට්ටෙ ගාලා තියෙන්න ඕනෑ. මේක අහපු ගමන් නිහාල් කලබල වුණා. 'බුදු අම්මෝ තට්ටෙ නම් ගාන්න බෑ පුතෝ' කියල වසන්තට කියපි. 'එහෙම කියල කොහොමද චරිතෙ විදියට තට්ටෙ ගාන්න එපායැ. ඒ තට්ටෙ මැද මට වෙනම කොණ්ඩයක් අලවන්නත් වෙනවා'. වසන්ත තරයේම කියා සිටියා. 'මොනා කරන්නද උඹට ඕනෑ එකක් කර ගනින්' කියලා නිහාල් වසන්තට කිව්වා. වසන්ත ඔළුව වටේට නිහාල්ගේ සැබෑ කොණ්ඩෙ ඉතිරි කරල මැද තට්ටෙට ක්රේෂ් හෙයාර්වලින් දිගට කොණ්ඩයක් ඇලෙව්වා. ඡායාරූප ගන්න වැඩේට දවස් දෙකක් විතර ගත වුණා. ඒ දවස්වල ෆිල්ම් රෝල්ස්වලින්නේ පින්තූර ගන්නේ. 36 එර් රෝල්්ස් තුන හතරක් ඉවර වෙකල්ම නිහාල්ගෙත් සගයා මහේන්ද්රගෙත් පින්තූර ගත්තේ ස්ටාෆ් ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්. හෙලේනත් සතුටින් හිටියේ පින්තූර ඉක්මනින් අපේ පත්තරවලටත්, ෆින්ලන්තෙ පත්තරවලටත් යවන්න. නාට්‍ය ප්රචාරක කලාවේ වෙනස්ම වැඩක් විදියට ඉදිරිපත් කරන්නයි හෙලේනාගේ ඔළුවේ තිබුණේ. පින්තූර අරගෙන දවස් දෙක තුනකට පස්සේ කට්ටිය රිහර්සල්ස් සුදර්ශියේ. මහේන්ද්‍ර දැක්කා ෆොටෝ ග්‍රැෆර් සුදර්ශියේ කැරකෙනවා. මිනිහා මහේන්ද්‍රට එළියට එන්න කියලා කියපු කතාව අහලා මහේන්ද්‍ර අන්දුන් කුන්දුන් වුණා. මිනිහා ෆිල්ම් නෙගටිව් රෝල් එක පෙන්නුවා. එකම එක පින්තූරයක්වත් නෑ. කැමරා එකේ මොකක් ද අප්සෙට් එකක් වෙලා. ඔළුව නැති නිහාල්, හරහට දිගට විකෘති වෙච්ච ෆොටෝස්. අනේ මහේන්ද්‍ර, හෙලේනටයි නිහාල්ටයි මේක කියලා මොනවා හරි කරන්න බලන්න. ෆොටෝ කැචර්ගේ කුරු කුරුව. මහේන්ද්‍ර ඇතුළට ගිහින් හිමින් සැරේ හෙලේනට විස්තරේ කිව්වා. මොනවා කරන්න ද එහෙම දේවල් වෙනවානේ, නිහාල්ටත් කියන්න කියලා හෙලේනා වෙච්ච දේ බාර ගත්තා. මහේන්ද්‍ර නිහාල්ව පැත්තකට අරගෙන විස්තරේ කිව්වා. නිහාල් ළඟ තිබුණු බිත්තියේ ඔළුව ගහගෙන ගහගෙන ගියා. කෝ ඕකව කියාගෙන සුදර්ශියේ වත්ත පුරා දුවනවා ෆොටෝ ග්රැෆර්ව අල්ල ගන්න. මහේන්ද්‍ර දුවල ගිහින් නිහාල්ව ඇතුළට ගෙනාවා. දැන් හොඳටම අඬනවා පුන්තිලා. බලපං මචං මගේ හැටි, ඔළුව නැතුව හරියට සිරිසඟබෝ හිස ගලවල දන් දුන්නා වගේ කතාවක්නේ. නිකන් හිතපන් මහේන්ද්‍ර මගියා සිරිසඟබෝගෙන් හිස දෙන්න කියලා ඉල්ලුවට පස්සේ ඒක ගලවල අතට දෙන කොට, එක පාරටම මගියා ඒක එපා කිව්වොත් මොකද වෙන්නේ? ඔළුව අරගෙන ආපහු බෙල්ලට තියලා හයි කර ගන්නද? ආපහු නිහාල් අඬ අඬා මහේන්ද්‍රට කියනවා හෙලේනාට මේ කතාව කියන්න කියලා. හෙලේනා ඇවිත් නිහාල්ව සනසන්න උත්සාහ කරනවා. මහේන්ද්‍ර උඹ කියපං මෙයාට සිරිසඟබෝගෙ කතාව. මහේන්ද්‍රට කතා නෑ. උඹ මෙයාට ඒක කියන්න කැමති නෑ. හේලේනට යන්තම් සිරිසඟබෝ කෑල්ල ඇහුණා. සිරිසඟබෝ, වට්ස් ඉට්? මහේන්ද්‍ර නිහාල්ගේ ඇඬිල්ල නතර වුණාම මෙහෙම කිව්වා. මචං මම මෙයාට ෆොටෝ කේස් එක ඔක්කොම කිව්වා. ඒ වුණාට මම කොහොමද මචං සිරිසඟබෝ ගැන මෙයාට කියලා දෙන්නේ' පින්තූර ටික අප්සෙට් එක යන්තම් ඉංග්‍රීසියෙන් ගැට ගහ ගත්තට ඉතිරි කතා ඉංග්‍රීසියෙන් කියලා දෙන්න අමාරු වග දන්න මහේන්ද්‍ර යාළුවට කිව්වා පස්සෙ දවසක මම උඹේ සිරිසඟබෝ කතාව හෙලේනට කියලා දෙන්නම් කියලා. වසන්තත් පැත්තකට වෙලා බලාගෙන හිටියා මහන්සි වෙලා දාපු මේකප් එක වතුරේ ගියා නේද කියලා.
|