වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




ගැයුම අමතක වී

ගැයුම අමතක වී

සමිතා එරන්දතී මුදුන්කොටුවට පසුගිය දවසක ආරාධනා ලැබුණා ජාතික රූපවාහිනියේ සුසර දැහැන සංගීතමය වැඩ සටහනට. ඇය ඉතින් බොහොම කැමැත්තෙන් මේ ආරාධනාව බාර ගත්තා. සුසර දැහැන කලින් පටිගත කොට විකාශය වන්නක්. ඒක එහෙම වුණු හින්දා හොඳයි. වෙලාවට එය සජීවී වැඩ සටහනක් නොවුණේ. එහෙම කිව්වේ සමිතා සුසර දැහැනට එදා ආව වෙලාවේ මරු වැඩක් වුණ හින්දා.

ඔන්න සුසර දැහැනේ පටිගත කිරිම ආරම්භ වුණා. විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා එදා ගැයූ සැරයටියෙන් අපි යනෙන තුරා ගීතය තමයි වාදන වෘන්දය විසින් වාදනය කළේ. එම ගීතයේ විජය ගැයූ කොටස ගයන්නට සූදානමින් සිටියේ ක්ලීටස් මෙන්ඩිස්. සමිතා ගැයීමට නියමිත වූයේ චන්ද්‍රලේඛාගේ කොටස.

'සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු, සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු'

ක්ලීටස් එහෙම ගයලා හමාර කළා. නමුත් සමීතා නෙවෙයි සින්දුවෙහි ඉතිරිය කිව්වේ. වැඩසටහන මඳකට නතර කළා. සුසර දැහැනේ නිෂ්පාදක ඇහැව්වා 'ඇයි සමිතා සින්දුව කිව්වේ නැත්තේ' කියලා. සමිතට එවලේ තමයි ඇහැ ඇරුණේ.

ඇය මොකක් දෝ වෙන කල්පනාවක ඉඳලා තියෙන්නේ. වටපිට බලද්දී වෙච්ච දේ දැනුණු සමිතා අහනවා 'මමද සින්දුවේ ඉතිරිය කියන්න ඕනෑ' කියලා. ඒ ප්‍රශ්නයට නිෂ්පාදක උත්තරයක් දුන්නේ නැහැ. නිෂ්පාදකගේ මුහුණෙහි ස්වරූපය දැකලා සමිතම ඊට උත්තරයක් හොයගෙන දෙවැනි වරට ගීතය පටන් ගත්තා.