|
අවුරුදු හයේ දී රුක්මණීට බැඳි ආලේ
වසර 49 ක් සපිරි මගේ සිනමා පුවත්පත් කලා ජීවිතය දෙස ආපසු නැවත හැරී බලන විට, එහි රසබර තොරතුරු මෙන්ම, හාස්‍ය ජනක හා ශෝක ජනක මෙන්ම හැඟීම්බර අවස්ථා ද ආවර්ජනය කර ගත හැකිය. එහෙත් ඒ මතක සටහන් මගේ සිතට නැඟෙන්නේ කාලානුරූපව නොවේ. එක් අවස්ථාවක් සිතට නැඟී එය තවත් අවස්ථාවකට චිත්‍රපටයක මෙන් ඡේදනය වෙයි. හාපුරා කියා මගේ ලිපියක් සිනමා පුවත්පතක පළ වන්නේ 1966 වසෙර්ය. දවස නිවසින් ප්‍රකාශයට පත් ආතර් යූ. අමරසේන ප්‍රධාන කර්තෘත්වය දැරූ 'විසිතුර' පුවත්පතේය ඒ. ඊට සමීප කාලයක සිනමාස් සමාගම ප්‍රකාශයට පත් කළ ආරියරත්න කහවිට සංස්කරණය කළ 'කලා' සිනමා සඟරාවට ද විශේෂංග ලිවීමට මට අවස්ථාව සැලසුණි. එවකට මගේ වයස අවුරුදු දහ නවයකි. එම නිසා මගේ සිනමා පුවත්පත් ජීවිතයට මග හසර සකසා දුන් ආතර් යූ. අමරසේන හා ජීවිතයෙන් සමු ගත් ආරියරත්න කහවිට මහතුන් ද ගෞරවයෙන් කෘතඥතා පූර්වකව මතක් කරමින් මේ ලිපි මාලාව මම අරඹමි. මා උපන්නේ 1947 වසරේ අප්‍රේල් මස 07 වෙනිදාය ඒ. ප්‍රථම සිංහල කතානාද සිනමාපටය වූ 'කඩවුණු පොරොන්දුව' තිරගත වී මාස තුනකට පසු දෙවන චිත්‍රපටය වූ 'අසෝකමාලා' තිරගත වී දින දෙකකට පෙරය. මා ඉපදී හැදී වැඩුණේ කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් හී ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ කොස්ගස් හන්දියේය. 1953 වසර, මගේ කුඩා කාලයේ මුලින්ම මතකයේ රැඳී ඇති අතර එවකට මගේ වයස අවුරුදු හයකි. මා මුලින්ම දෙමාපියන් සමඟ එම වසරේ සිංහල චිත්‍රපට දෙකක් හා එක් දමිළ චිත්‍රපටයක් නරඹා ඇති අතර ඒ චිත්‍රපටවල දර්ශනයක් දෙකක් යාන්තමට මගේ මතකයේ රැඳී තිබුණි. මෙසේ මා එල්ෆින්ස්ටන් සිනමාහලේ දුටු 'කැලෑ හඳ' මුල්ම චිත්‍රපටයයි. දෙවැන්න ගාමිණී සිනමාහලේ දුටු 'ප්‍රේම තරඟය'යි. කිංස්ලි සිනමාහලේ දීම දුටු 'මල්ලිකා' දමිළ චිත්‍රපටය තෙවැන්නය. 'කැලෑ හඳ' චිත්‍රපටය නැරඹීමට මා ගියේ අම්මාත්, තාත්තාත්, ඥාති සොහොයුරියක වූ ජයන්ති මොනිකා තලගල (මනම්පේරි) සමඟය. මගේ ලොකු අම්මා කෙනෙකුගේ දියණිය වූ ඇය විදුහල්පතිනියක්ව සිට විශ්‍රාම ගොස් දැනට විදුර ජාත්‍යන්තර පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරන්නීය. 'කැලෑ හඳ' චිත්‍රපටයේ අවසාන හරියේ එහි ප්‍රධාන චරිතය රඟපෑ රුක්මණී දේවිය ගඟක් අසල වැටී සිටින දර්ශනය මා ජීවිතයේ කුඩා කල දුටු ප්‍රථම චිත්‍රපට දර්ශනයයි. වයසක සීයා කෙනෙකු ඇය වැලඳ හඬයි. සෙනඟ පිරී ඇත. මම අම්මා දෙස බැලුවෙමි. අම්මාගේ ඇස්වල කඳුළු පිරී ඇත. 'ඇයි අම්මා අඬන්නේ' 'මම අඬන්නේ නැහැ. ඔයානෙ අඩන්නේ' අම්මා කීවේ ඇත්තය. මම ද බියපත් වී කඳුළු සහිතව අම්මාට තුරුලු වී සිටියෙමි. චිත්‍රපටය බලා කොස්ගස් හන්දියට එන තෙක්ම තාත්තාත්, අම්මාත්, අක්කාත් කතා කළේ රුක්මණීගේ රඟපෑමත්, ඇය ගැයූ ගීත ගැනත්ය. ජයන්ති අක්කා සිනමාහලේ විකුණූ 'කැලෑ හඳේ' සින්දු පොතක් මිල දී ගෙන තිබුණි. ඒ පොතේ කවරයේ තිබූ රුක්මණී දේවි ගසක අත්තක් අල්ලාගෙන සිටින පින්තූරය දෙස මම බොහෝ වේලාවක් බලා සිටියෙමි. චිත්‍රපට ගැනත්, රුක්මණි ගැනත් මට ආසාවක් ඇති වූයේ පුවත්පත්වල රුක්මණීගේ සහ 'කැලෑ හඳේ' පින්තූර පළ වීම නිසාය. මම ඒවා කපාගෙන කළු ඩ්‍රෝවින් පොතක අලවා ගතිමි. 'කවුද' අද පත්තර් කපලා තියෙන්නේ' තාත්තා කෝපයෙන් අසයි. මම නිහඬ වීමි. අම්මා තාත්තාට අභිනයෙන් මාව පෙන්වයි. අම්මා ද රුක්මණීගේ පත්තරවල පළ වන පින්තූර කපා ඇඳුම් අල්මාරියේ ඇතුළු දොරේ අලවාගෙන තිබුණි. ජයන්ති අක්කා ළඟ තිබුණු රතු පාට ඇක්සයිස් පොතක රුක්මණී ගැයූ සින්දු රාශියක් ලියාගෙන තිබූ අතර එහි පිටුවක් හැර පිටුවක රුක්මණීගේ පත්තරවල පළ වූ පින්තූර අලවා තිබුණි. අම්මාට හා අක්කාට විවේක අවස්ථාවල රුක්මණීගේ ගීත ගැයීමට උපකාර වන්නේ මේ පොතය. අම්මාට ඇඳුම් මැසීමට තිබූ දක්ෂතාවය මුළු කොස්ගස් හන්දියේ පමණක් නොව ආමර් වීදිය, කොටහේන හා තොටළඟ දක්වාම පැතිර ගොස් තිබුණි. රුක්මණී ගේ ඇඳුම් විලාසිතා සහිත පත්තර කෑල්ලක් රැගෙන ආ අම්මාගේ මිතුරියක් වන මුස්ලිම් කාන්තාවක් ඒ විදිහටම හැට්ටයේ කර හැඩය කැපිය යුතු බව කීවාය. අම්මාත්, ඒ මිතුරියත් රුක්මණීගේ විලාසිතා සහිත හැට්ට මසා ඇඳ මරදානේ වින්ස් ස්ටුඩියෝවෙන් ගත් ඡායාරූපයක් තවමත් අපේ මහ ගෙදර ඇත. ඒ පින්තූරයේ අම්මා රුක්මණී මෙන් හිස කෙස් ද සකසා ගෙන තිබුණි. අම්මා වයස අවුරුදු 39 දී (1962) ජීවිතයෙන් සමුගත්තේ හරියටම මගේ පහළොස් වැනි උපන් දිනයදාය. රුක්මණී දේවි මා ජීවමානව මුලින්ම දුටුවේ අම්මා සහ නෑ පිරිසක් සමඟ මීගමුවේ අඟුරුකාරමල්ලේ පන්සලට වන්දනාවේ ගොස් එදිදීය. රුක්මණී - එඩී පදිංචිව සිටි 'ජයරුක්' නිවස තිබුණේ පන්සලට කිට්ටුවය. 'රුක්මණී ගෙදර හිටියොත් අපේ වාසනාව. අර කාර් එකත් තියෙන්නේ' අම්මා ප්‍රීතියෙන් කීවේ ඇගේ ප්‍රියතම නිළිය හා ගායිකාව දැක ගැනීමේ නොතිත් ආසාවෙනි. අප පැමිණි බව උඩු මහලේ සිට් දුටු රුක්මණී සිනාමුසු මුහුණින් පැමිණ විනාඩි කිහිපයක් කතා කළාය. අම්මාගේ ඉල්ලීම නිසා ඇය තම අත්සන තැබූ කුඩා ඡායාරූපයක් දුන් සැටි මට දැනුදු මතක් කර ගත හැකිය. රටක් රාජ්ජයක් ලැබුණාක් මෙන් අම්මා ඒ පින්තූරය පරෙස්සම් කළ අයුරුත්, මහ ගෙදර පරණ ඇඳුම් අල්මාරියේ කපුරු බෝල සුවඳ සමඟ තිබූ ඒ ඡායාරූපය මා සතු කොට ගෙන 2002 වසරේ ජනවාර් 15 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදීත්, 2008 ඔක්තෝබර් 28 වෙනිදා ටවර් රඟහල පදනමේ ශ්‍රවණාගාරයේදීත් දොරට වැඩි රුක්මණී දේවිය ගැන මා ලියූ 'යුගයක ස්වර්ණ ගීතය' නම් ග්‍රන්ථ ද්විත්වයට ඇතුළත් කිරීම ද සුවිශේෂ සිද්ධියකි. මගේ පියාට (ඒ. ඩී. ඇඩ්මන්) අයත් මුද්‍රණාලය තිබුණේ කොස්ගස් හන්දියේ අපේ නිවසේ එක කොටසකය. එහි නම 'ඇඩ්මන් සහ සමාගම' මුද්‍රණකරුවෝය. 1953 වසරේ අප මුද්‍රණාලයේ කවියෙන් ලියූ සිනමා තොරතුරු, නළු නිළි වර්ණා, විචාර ඇතුළු කවි සඟරාවක් මුද්‍රණය කළේය. ලංකාවේ පළ වූ ප්‍රථම සිනමා කවි සඟරාව මෙය විය. සඟරාවේ නම 'නිළිය' යි. කොබ්බෑවල රණසිංහ නම් කවියා සංස්කරණය කළ මෙම සඟරාවේ සිංහල හා හින්දි නළු නිළියන්ගේ ඡායාරූප හා තොරතුරු කවියෙන් පළ විය. වරක් මෙම සඟරාවේ මුල් පිටුව රුක්මණී දේවි 'කැලෑ හඳ' චිත්‍රපටයේ රඟපෑ සමීප රූපයකින් සැරසුණේය. සඟරාව මුද්‍රණය වීමෙන් පසු එම පින්තූරය අයිති කර ගැනීමට ජයන්ති අක්කාත් මාත් අතර තරගයක් ඇති විය. ඇත්ත වශයෙන්ම එය තරගයක් නොව යුද්ධයකි. තාත්තා හැම විටම උත්සාහ කළේ එවැනි ඡායාරූප ජයන්ති අක්කාට ලබාදීමටය. 'ඔයා තාම පොඩිනේ. අක්කට දෙමු ඒ පින්තූරය. ඔයා ලොකු වුණාම මම රුක්මණීගේ පින්තූර ගොඩක් ගෙනත් දෙනවා' කොබ්බෑවල කවියා මා සනසමින් කීවත්, අර පින්තූරය ඉල්ලා මා ගෙදර දෙවනත් කළ බව ජයන්ති අක්කා අදත් සිහිපත් කරන්නීය. 'නිළිය 'සඟරාව මට සිහිනෙන් ගෑ සුවඳක් සේ දැනෙයි. වර්තමානයේ නුගේගොඩ පාගොඩ පාරේ අංක 117/2 නිවසේ පදිංචිව සිටින කොබ්බෑවල රණසිංහ මහතා හමු වූ විට 'නිළිය' සඟරාව මුද්‍රණය කළ අතීත සිදුවීම් මතක් කොට සිහිවටනයක් ලෙස සඟරාවේ වැඩිපුර කලාප මට තිළිණ කළේය. ('තරුණී' පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය වූ චම්පිකා දීපානි රණසිංහ කොබ්බෑවල කවියාගේ දියණියයි). 1953 මැයි 27 වෙනිදා 'කැලෑ හඳ' තිරගත වීමෙන් පසු 'නිළිය' සඟරාවේ සැප්තැම්බර් - ඔක්තෝබර් කලාපයේ ඒ පිළිබඳ විචාරයක් සපයා තිබුණේ විල්සන් නුගේගොඩ විසිනි. එම විචාරයේ එක කවියකි මේ.
ගීත කෝකිලා රුක්මණී, මාලිනී මෙන් සිතුවමේ මුල් තැන සුදුම සුදු ජාතික ඇඳුමෙන් සැරසුණු කඩවසම් තරුණයකු වූ කොබ්බෑවල කවියා තම සහායක තරුණ කවියකු වූ වික්ටර් පී. ලියනගේ සමඟ අපේ අච්චු කන්තෝරුවට එදා පැමිණි අයුරු මට මතකය. පාට පාට සීනි බෝල පොදියක් මේ කිවියන් දෙදෙනා මගේ හිස අත ගා මා අතට දුන් ආකාරය මට අදත් සිහිපත් කර ගත හැකිය. 1926 නොවැම්බර් 20 වෙනිදා ගලිගමුවේ උපත ලැබූ කොබ්බෑවල රණසිංහ කවියා 90 දසකයට පා තැබීමේ අදිටනින් සිය සන්ධ්‍යා කාලය ගත කරයි. වයස අවුරුදු 6 සිට මම රුක්මණීට ආලය කළෙමි. අදටත් ඇය මගේ ප්‍රියතම නිළිය මෙන්ම ප්‍රියතම ගායිකාව ද වෙයි. ඇගේ පැරණි ශෝකී ගීතයක් අදත් ඇසෙන විට මගේ සිත අතීත සිදුවීම් ඔස්සේ ඈතින් ඈතට ගොස් හදවත දවාලයි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තිියේ ඉගෙන ගන්නා කාලයේ (1968) පාසලේ පන්ති මිතුරන් (රංජිත් ලාල් සමඟ) අප නිපද වූ 'නිම්වළල්ල' (ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය) සිනමා කෘතියට රුක්මණී දේවිය පැමිණ රඟපෑමෙන් අපට දුන් සහාය අමතක නොවේ. 1972 වසරේ නිමල් සිල්වා සහ මා මුලදී සම අධ්‍යක්ෂණය කළ 'ලස්සන දවසක්' චිත්‍රපටයේ රුක්මණී හා එඩී ජයමාන්න අධ්‍යක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව එවකට විසි පස් වියේ සිටි මට හිමි වීම ආශ්චර්යවත් අත්දැකීමකි. 1969 වසරේ මා 'සරසවිය' පුවත්පතට සම්බන්ධ වීමෙන් පසු රුක්මණී නම් නිහතමානී අව්‍යාජ මානව දයාවෙන් පිරිපුන් කලාකාරිය සමීපව ඇසුරු කිරීමට හැකි විය. තමා ගැන පුංචි ප්‍රවෘත්තියක් පළ වුව ද එයට ස්තුති කොට (ඉංග්‍රීසියෙන්) ලිපියක් එවීමට එතුමිය නිහතමානී වූවාය. සරසවියට ලියූ ඇගේ අන්තිම විශේෂාංගය ලෙස මිය යෑමට දෙදිනකට පෙර ස්වර්ණ ගී ප්‍රසංගය ගැන මට ලිවීමට ලැබිම දෛවයේ සරදමක් වැනිය. |