වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය ගෙනෙන අලුත්ම නවකතාව

සරසවිය ගෙනෙන අලුත්ම නවකතාව

තරු විමනක අතරමං වූ මානවිකාවක පිළිබඳ සත්‍ය කතාන්දරය

අතිවිශේෂ හේතුවක් මත නම හෙළි නොකළ ආදරණීය ලේඛකයකු අතින් සරසවියට විශේෂයෙන් ලියැවේ

ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

පුවත්පත සඳහා අලුත් කතාවක් ලියන්නට යැයි සරසවිය කතුවරයා මගෙන් ඉල්ලිමක් කළේ ටික දවසකට ඉස්සරිනි. ඒ සාදයකදී හමු වූ අවස්ථාවකය. සාමාන්‍යයෙන් සාදයකදී හමු වී කරනු ලබන එබඳු යෝජනා පසුවදා වන විට අමතක වීම ස්වාභාවිකය. එය අත්දැකීමකි. එහෙත් මේ යෝජනාව එබන්දක් නොවීය. එයින් පසුව ද කිහිප වරක්ම දුරකථනයෙන් මේ සම්බන්ධව කතා කෙරිණි.

කොටස් වශයෙන් පළවන කතාන්තරයක් වුව කෙනෙකු පැවසූ පලියට ලියන්නට නොහැකිය. මා එසේ බාර ගන්නේ ද නැත. නිර්මාණයට අවතීර්ණය වන්නට නම් කාටත් කලින් හදවතට දැනිය යුතුයි මම සිතමි.

පසුගිය දවසක මගේ සමීප නෑයෙකුගේ විවාහ මංගලෝත්සවයට ගියේ භාර්යාවත් කැටිවය. මංගල සාදය විශාල වියදමකින් කළ එකකි. ආරාධනා පත්‍රයේ අපගේ අසුන් වෙන් කර තිබිණි. යුවතියක් අප නියමිත අසුනට කැඳවාගෙන ගියාය. ඒ ඇරියුම් පත පරීක්ෂා කර බැලීමෙන් පසුවය. දන්නා හඳුනන කිහිප දෙනෙක්ම පසු කර යන්නට අපට සිදු විය. නෙක වූ විසිතුරු සැරසිලි මැද උසුලු විසුලු කරමින් දුව පනින නාඹර යුවතියන් රැසක් මැද උන් එකියක මා සමීපයට ආවාය.

'සර්ට මාව මතකද?'

ඇය මගෙන් විමසුවාය. මට ඈ ගැන නිච්චියක් තිබුණේ නැත.

'ඉස්සර මං සර්ගේ ක්ලාස් ආවා'.

ඇය අතීත කතාවක් ගෙන හැර පෑවාය. මගෙන් උගත් බොහෝ දරුවන් රටේ විවිධ පළාත්වල සිටිති. මේ ඒ අතරින් එකියකැයි මම අනුමාන කළෙමි. දැන් ඇගේ වගතුග විමසන්නට පෙර තවත් එකියක ඈ ඇදගෙන ගියාය.

'සර්, මං ටක් ගාලා එන්නං' ඇය ආපසු යමින් ඉක්මනින් පැවසුවාය.

'මගේ ගෝලයෙක්ලු. මට මතක නෑ'

මම භාර්යාව දෙසට හැරී පැවසුවෙමි.

'මානවී නේ?'

ඇය පැවසුවාය.

'මානවී? ඔයා දන්නවාද ඒ ළමයාව'

'අයියෝ ඔයා මොනවද දන්නේ? මානවී මේ දවස්වල අර ටී. වී එකේ ඉන්නේ'

ඇය පැවසුවේ අසල සිටි කිසිවකුට හෝ මගේ නොදැනුවත්කම පිළිබඳ නොහැඟෙන්නටය.

'මානවී කියන්නේ? මොකක්ද සර්නේම් එක?'

'මානවී කියන්නේ රතු වැස්ස ටෙලි නාට්‍යයේ ඒ ළමයා ඉන්න කැරැක්ටර් එක. නම දන්නේ නෑ'

බිරින්දෑ එහි සිටියේ ලත්පඳුර පවුලේ ඇත්තන් සමඟය. ඔවුහු ඇයට දුරින් නෑයන් වෙති. ගැහැනුන් දෙදෙනා කතාවකට අර ඇන්දාහ. මේ කතාව ඇද සිටි සාරියේ විලාසිතාවන්ගෙන් පටන් ගෙන අනුන්ගේ ඇදකුද දක්වා දිවයන්නකි. මම 'මානවී' දෙස බැලුවෙමි. තරුණියන් කිහිප දෙනෙකුම ඇය සමඟ 'සෙල්ෆි' ගනිති. මනාල යුවළ අප දෙසට පැමිණියහ.

එදා රාත්‍රියේ මම රතු වැස්ස නැරඹුවෙමි.

මානවී තාත්තාගෙන් ඉගෙන ගෙන තියෙනවා කියන්නේ'

මගේ බිරින්දෑ ටෙලිවිෂනය දෙස ඇස් කඩාගෙන බලා සිටින දියණියට පැවසුවාය. ඇය මා දෙස බැලුවේ අයාගත් දෑසිනි. මානවී ලස්සන යැයි මට නිකමට සිතිණි.

'ඇත්තද තාත්තේ?'

'ඔව්! අද වෙඩිං ඒකේදී හම්බ වුණා'

'අයියෝ මාත් ගියා නම් සෙල්ෆියක් ගන්නවා'

දියණිය පැවසුවාය. මානවී තරුණයකුට ළං වී පෙම් බස් දොඩවයි. මම උන් තැනින් නැඟිට්ටෙමි.

'ඇයි ඇති ද බැලුවා'

බිරින්දෑ ඇසුවාය. දහවල් ගත් මධුවිත හීන් ඔළුවේ කැක්කුමකට මඟ පාදා ඇත.

'මට බුදිමතයි'

මේ මානවී පිළිබඳ මගේ මුල්ම අත්දැකීමයි. ඉන් සතියකට පසු ඈ යළි මට මුණ ගැසුණාය. ඇය මගේ දුරකථන අංකය සොයා ගෙන තිබුණි.

'සර්ව හම්බුවෙන්න ඕනෑ'

ඇය මට පැවසුවාය.

'එන්න ඕනෑ වෙලාවක. මොකද හදිසියේ?'

'ඇවිත් කියන්නම්'

මානවී එනවා යන ආරංචිය අපේ ගෙදර ඇත්තන්ට අමුතු කලබලයක් ඇතිවීමට කාරණයක් විය. නියමිත දවසේ අපේ ගෙදරට ඇය ආවේ අලුත්ම රථයකිනි.

'මේගොල්ලන් නම් ඔයාගේ හොඳ ෆෑන්ස්ලා'

මම බිරින්දෑ හා දියණිය හඳුන්වා දෙමින් පැවසීමි. ඇය සිනාසුණාය.

'මම ආවේ සර්ගේ යෞවනයේ දවසක් නවකතාව ටෙලියක් කරන්න ඉල්ලන්න'

මම හිස සලා එයට කැමැති වීමි. ටෙලි නාට්‍යයකට කතාව දුන්නොත් මගේ මෝටර් රථයේ ෆිනෑන්ස් එක ගෙවා සම්පූර්ණ කළ හැකිය.

'කවුද නිෂ්පාදක?'

'මමයි සර්. මම ටිකක් අමාරුවෙන් කරන්න යන්නේ'

ඈ පැවසුවාය. අපි ගණං හිලව් කතා නොකළෙමු. මගේ නිර්මාණයක් ටෙලි නාට්‍යයක් බවට පත් කරන්නට ඇත්නම් මැනවි යැයි මට සිතුණේ බොහෝ කලක සිටය. ඉඳින් මානවී ගේ යෝජනාවට මම කැමැති වන්නට තීරණය කළෙමි.

මානවීගේ ජීවිතය පිළිබඳ දැනගන්නට ලැබුණේ මේ සමඟය. කෙනෙකු පිළිබඳ අපූරු තොරතුරු සටහන් සේ තබා ගැනීම සිරිතක් කොට ගත්තේ බොහෝ කලක සිටය. මානවී පැවසූ ඇතැම් කත්නදර එලෙස කුඩා සටහන් ලෙස තබා ගන්නේ ඇයිදැයි මම නොදත්තෙමි. එහෙත් මගේ ටෙලි නාට්‍යය ගැන නොව අද මානවී ගැන ලියන්නට මම තීරණය කළෙමි. ඒ ඇයිදැයි ඉඳුරා කියන්නට මට නොහැකිය.

එහෙත් එක කොන්දේසියක් මතය. මගේ නම හෝ 'මානවී' ගේ සැබෑ නම කිසිවකුට හෝ අනාවරණය නොකිරීමේ කොන්දේසිය මතය. මට හෙළිදරව් කළ නොහැක්කේ මානවී කවරෙක්දැයි ඔබ අනාවරණය කර ගන්නා බැවිනි. ඈ පිළිබඳ බොහෝ දේ මට වඩා ඔබ දන්නවා විය හැකිය. එබැවින් මේ කතාව කියවන ඔබ ඒ ඇය යැයි අනුමාන කරනු ඇත. එහෙත් එය ලියන්නේ මා යැයි අනාවරණය නොකරන්නට මම තීන්දු කර ඇත්තෙමි. ඈ පිළිබඳ මා දන්නා බොහෝ කරුණු ඔබ නොදන්නා අතර අපි ලබන සතියේ සිට මානවීගේ කතාව සරසවියෙන් කියවමු.