|
කටට රස දැනෙන සිනමා උලෙළක්
මට ජපාන චිත්‍රපටයක් මුල් වරට නරඹන්නට ලැබුණේ 1982 වසෙර්ය. ඒ එවකට පැවැති බම්බලපිටියේ මැජස්ටික් සිනමාහලේ තිරගත වූ ජපාන මහා සිනමාකරු අකිර කුරොසවගේ කගෙමුෂා චිත්‍රපටය නැරඹීම සමඟය. මේ අවදියේ චිත්‍රපටයක් නැරඹිය හැකි එකම මඟ සිනමා ශාලාව පමණි. මා කුරොසව ගැන කියවා තිබුණේ ඒ වන විට මා සරසවිය පාඨකයකු නිසාය. කගෙමුෂා බලන්නට ගියේ කුරොසවගේ චිත්‍රපටයක් නිසාය. චිත්‍රපටය නරඹන්නට ගිය මම එහි දැවැන්ත බවෙන් වසඟ වීමි. එහෙත් චිත්‍රපටයේ අඟලක්වත් මට තේරුණේ නැත. ඉංග්‍රීසි උප ශීර්ෂ යොදා තිරගත වුව ද, ඒ ඉංග්‍රීසි කියන්නට දැනුමක් එකල මට තිබුණේ ද නැත. අනික් අතට චිත්‍රපටයේ රඟපාන ජපනුන් ඔක්කොම එක වාගේය. කොයි එකා මොකාදැයි කොයි විධියටවත් හිතා ගනු බැරි විය. එහෙත් මාත් අත ඇරියේ නැත. අද මෙන් චිත්‍රපටය අතරමඟ දමා නැගිට ගියේ නැත. පසු කලෙක කගෙමුෂා යළි නරඹද්දී මේ මාහැඟි චිත්‍රපටය යන්තම් තේරුම් ගන්නට මම සමත් වීමි. ජපාන සිනමාව පිළිබඳ මගේ ආදරය පටන් ගත්තේ එයටත් පසුවය. ඒ 1982 වසරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය මඟින් ආරම්භ කරන ලද ජපාන චිත්‍රපට උලෙළත් සමඟය. ජපාන චිත්‍රපටවලට මගේ පිස්සුව තවත් වැඩි වුණේ ඒ දවස්වල හිත ගත් ජපන් කෙල්ලක් නිසාවෙනි. කෙසේ හෝ වේවා ජපාන සිනමාව නිසාම මම ජපන් බස ඉගෙන ගන්නට ද උත්සාහ කළෙමි. පන්තියේ හොඳම සිසුවා වූයේ ද මාය. එහෙත් ජපන් ජාතිකයකු පැමිණි දා මගේ ජපන් ඔහුට ද ඔහුගේ ජපන් මට ද තේරුම් ගත නොහැකි විය. එතැන් පසු මම ජපාන චිත්‍රපට ලෝලියකු පමණක් වීමි. මගේ ජපාන චිත්‍රපට ලෝලිත්වය දැනගත් එදා පටන්ම ජපාන තානාපති කාර්යාලයේ සේවය කරන ජනක බණ්ඩාරනායක මහතා නිරන්තරයෙන් මෙරට පවත්වන සිනමා උත්සව පිළිබඳ මා දැනුම්වත් කළේය. දිගු කලකට පසු ජපාන සිනමා උලෙළක් යළි කොළඹදී පැවැත්වේ. සාමාන්‍යයෙන් සිනමා උලෙළක් සඳහා විවිධ තේමාවන් යොදා ගැනීම සුලබ කරුණකි. හාස්‍ය, සටන්, සංගීතය ආදී වශයෙන් බෙදෙන මෙම සිනමා උලෙළයන්ගෙන් මෙවර ජපාන චිත්‍රපට උලෙළ තෝරා ගෙන ඇත්තේ ජපානයේ ආහාර පිළිබඳවය. ආහාර ගැන පැවසුවාට ඒ වාර්තා චිත්‍රපට නොවේ. ආහාර වට්ටෝරු තේමා කර ගත් චිත්‍රපටය. එබැවින් ජපාන චිත්‍රපට නරඹමින් ඒ ගැන රස විඳින්නට ඔබට ඉඩ දෙමින් ජපාන සිනමාව ගැන ලියන්නට මෙය අවස්ථාවක් කොට ගනිමි. ශත වර්ෂයකට අධික ඉතිහාසයක් ඇති ජපාන සිනමාව ලොව පැරැණි, වන රමණීය ජාතියේ දැවැන්ත සිනමාවකට උරුමකම් කියති. වර්තමානයේ පවා එය නිෂ්පාදනයෙන් ලොව සිව් වන ස්ථානය උරුමකම් කර ගනී. සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව පළ කරන පරිද්දෙන් ආසියාවේ හොඳම චිත්‍රපට තනන රටක් ලෙස තවමත් ජපානය සිය කීර්්තිය අත් හළ නැත. ජපන්නු චලන චිත්‍රයක් මුල් වරට දකිනුයේ ප්‍රංශයේ ලුමියර් සහෝදරවරුන්ට පෙරාතුව අමෙරිකාවේ තෝමස් එඩිසන්ගේ කිනෙමෝස් කෝජ යන්ත්‍රයක් මඟින් 1896 වසෙර්ය. (මේ යන්ත්‍රය චිත්‍රපට ප්‍රක්ෂේපණ ක්‍රමයක් නොවේ). සිනමාවේ පියවරුන් වන ලුමියෙර් සහේදරවරු ජපානයට පැමිණෙන්නේ තවත් වසරක් ගත වූ තැනය. ජපානයේ ව්‍යාපාරිකයකු වූ ඉනබාතා කත්සුනරෝ, ඔගස්තේ ලුමියර්ගේ පන්ති සගයෙක් වූයේය. ඒ ඉනබාතා ප්‍රංශයේ ඉගෙන ගත් හෙයිනි. ලුමියර් සහෝදරවරු චිත්‍රපට කර්මාන්තය ආරම්භ කළ පසු යළි ප්‍රංශයට ගිය ඔහු ලුමියෙර් වෙතින් ලබා ගත් චිත්‍රපට හා ඔවුන්ගේ තාක්ෂණික ශිල්පියෙකු වන ෆාංශුවා කොග් ස්තන්ක් ගිරෙල් සමඟ පැමිණියේය. මේ ජපාන චිත්‍රපට ප්‍රක්ෂේපණ ප්‍රදර්ශනයේ ආරම්භයයි. එයින් පසු තමන්ගේ පවුලේ දර්ශන රූගත කරන ඔහු එම චලන චිත්‍ර ප්‍රදර්ශනය කළේය. මුල් යුගයේ ජපාන සිනමාවේ තැනුණු බොහෝ චිත්‍රපට කබුකි හෝ නෝ වැනි සම්ප්‍රදායික නාටය ගුරු කොට ගත් ඒවා විය. නැතහොත් බුන්රාකු නම් සම්ප්‍රදායික ජපාන රූකඩ නාට්‍ය රූ ගැන්වීම් විය. සම්ප්‍රදායික ජපාන නාට්‍ය ගුරු කොට ගත් ඔවුහු විදේශ චිත්‍රපට ප්‍රදර්ශනයේදී බෙන්ෂි හෙවත් පොතේ ගුරෙකු ගෙන තිරය ඉදිරිපිටට වී චිත්‍රපටයේ කතාව විස්තර කළේය. 1908 දී ෂෝෂෝ මකිනේ විසින් මුල්ම ජපාන වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කරන ලදී. ඒ හොනොනොජි ගස්සෙන් නමිනි. ජපාන සිනමාවේ මුල්ම සිනමා තරුව මන්සුනොෂිකේ ඔනෝ බිහි වනුයේ එයිනි. ඒ වන විටත් ඔහු ප්‍රසිද්ධ කබුකි නළුවෙකි. ඔහු 1926 වසෙර්දී මිය යන විට චිත්‍රපට දහසකට අධික සංඛ්‍යාවක රඟපා තිබිණි. කෙසේ වෙතත් ජපාන සිනමාවට නිළියක අවතීර්ණය වූයේ 1911 වසෙර්ය. ඈ තොතුකෝ නාගයි නකාශි නම් විය. ජපාන චිත්‍රපටය ආරම්භයේදීම එය වඩා වර්ධනය වන්නට හේතු වූයේ සිනමා විචාර කලාවක් ද ඒ සමගාමීව ආරම්භ වීම හේතුවෙනි. මේ විචාර සිනමාත්මක ගුණයෙහිලා වැඩි අවධානයක් යොමු නොකළ ද ජපාන සිනමාවේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක් වූයේය. එමෙන්ම සොචිකු, නිකත්සු, තකිකත්සු වැනි පුරෝගාමී චිත්‍රාගාර ද මහත් මෙහෙයක් ඉටු කරන ලදී. නිහඬ සිනමා යුගයේ බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවා වූයේ කෙන්ජි මිශුගුචිය. විසි වන සියවසේ දෙවැනි දශකයේදී ජපානයේ වාමාංශික ව්‍යාපාරයේ නැඟීමත් සමඟ සිනමා සම්ප්‍රදායන්ගේ ද වෙනසක් දැක ගත හැකි වූයේය. තරුණ සිනමා සම්ප්‍රදායක් එමඟින් ගොඩ නැගුණි. සම්ප්‍රදායික සිනමාකරුවන් මිලිමීටර් 35 දළ සේයාපටය භාවිත කරද්දී මෙම රැඩිකල් තරුණයන් මිලි මීටර් 16 හෝ මිලි මීටර් 9.5 ප්‍රමාණය භාවිත කළහ. මිලි මීටර් 9.5 එවකට ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගම මඟින් හඳුන්වා දෙන ලද්දකි. 1923 වසරේ ටෝකියෝවේ සිදු වූ මහා භූමිකම්පාව ජපාන සිනමාවට විශාල බලපෑමක් කළේය. (මෙම භූමි කම්පාවෙන් 142800 ක් දෙනා මිය ගිය අතර 40,000 කට අධික පිරිසක් අතුරුදහන් වූහ). සියලුම චිත්‍රාගාර පොළවට සමතලා විය. එහෙත් පුරුදු පරිදි අළු මතින් නැඟී සිටින්නට ජපානයට හැකි විය. ජපාන සිනමාවේ කතානාද යුගය ආරම්භ වනුයේ 1931 වර්ෂයේය. ඒ ගොෂො ගෙයිනොයුකෝ අධ්‍යක්ෂණයන කළ ද නේබර්ස් වයිෆ් ඇන්ඩ් මයින් නම් හාසේයීත්පාදක චිත්‍රපටයෙනි. ජපානය නිරන්තර ස්වාභාවික පීඩාවෙන් පමණක් නොව, දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ද දැඩි ලෙස බැට කෑවේය. එහත් මේ හැම විටම එහි සිනමා කාර්මාන්තය ඉහළට ඔසවා තැබීමට ඔවුහු සමත් විය. ජපාන සිනමාව ලෝකය පුරා අවධානය දිනා ගන්නට කෙන්ජි මිශුගූචි, යසුජිරෝ ඕශු මෙන්ම අකිර කුරොසව ද හේතු විය. මේ අතරින් ද ලෝකයේ වඩාත් අවධානයට පාත්‍ර වූයේ 1951 දී රෂොමාන් චිත්‍රපටය වැනිස් සිනමා උලෙළේදී සම්මාන දිනා ගැනීම සමඟය. එතෙක් වැඩිපුර ලෝකයට අවතීරණය නොවූ ජපාන චිත්‍රපට දෙස ඇස යොමු කරන්නට ලෝකයා වගබලා ගත්තේය. කෙසේ වෙතත් මිය යන තුරුම ජපාන සිනමාව යනු අකිර කුරෙසව පමණකැයි තරමටම ලොව පුරා ප්‍රතිරූපයක් තබා ගැනීමට ඔහු සමත් විය. කුරොසව තරම් ලෝක සිනමාවට බලපෑමක් කළ තවත් ආසියාතික සිනමාකරුවකු නොමැති තරම්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද සෙවන් සමුරායි, ත්‍රෝන් ඔෆ් බ්ලඩ්, හිඩ්න් ෆ්‍රෝට්‍රස් වැනි චිත්‍රපට අමෙරිකවේ පවා ප්‍රතිනිර්මාණය වූයේය. කොටින්ම කියන්නේ නම් ජෝර්ජ් ලූකස් ස්ටාර් වෝරිස් චිත්‍රපට මාලාව සඳහා උපයෝගී කොට ගත්තේ කුරොසවගේ හිඩ්න් ෆ්‍රෝට්‍රස් චිත්‍රපටයේ එන කතා ප්‍රවෘත්තියයි. ඔහුගේ සෙවන් සමුරායි පාදක කොට ගෙන ලොව පුරා චිත්‍රපට රාශියක් නිර්මාණය වූ අතර අමෙරිකාවේදී තැනුණු මැග්නිෆිෂන්ට් සෙවන් චිත්‍රපටය යළි ලබන වසරේ ජනවාරියේ ප්‍රති නිර්මාණයක් ලෙස එළි දැකීමට නියමිතය. ලෝකයේ දීර්ඝතම චිත්‍රපට මාලාවේ ගෞරවය අයත් වනුයේ ද ජපානයටය. ඒ තෝරා සං චිත්‍රපට මාලවයි. යෝජි යාමාදා නිර්මාණය කළ එහි ප්‍රධාන චරිතය රඟපාන ලද්දේ අත්යුමි කියේසිය. තෝරා සං නූතන ජපානයේ උඩු ගං බලා යන චරිතයකි. හාසේයීත්පාදක චිත්‍ර පට මාලාවක් වූ එය කොටස් 48 කින් යුක්තය. 1969 වසරේ ඇරඹි මේ චිත්‍රපට මාලාව 1995 වසරේ නතර වූයේ කියෝශිගේ මරණයත් සමඟය. මෙම චිත්‍රපට මාලාවට අයත් චිත්‍රපට 14 ක් පමණ එකල පැවැත් වූ වාර්ෂික ජපාන චිත්‍රපට මාලාව ඔස්සේ තිරගත විය. මෙම සමස්ත චිත්‍රපට මාලාවටම රංගනයෙන් දායක වූයේ එකම පිරිසකි. කොටින්ම හය මස් දරුවකුව සිටියදී රඟපාන්නට එක් වුණ තත්සු මන්සුමාරා ගජ ඉලන්දාරියකු වනතුරු එහි රඟපෑවේය. එක් වකවානුවක වාර්ෂිකව ලෝකයේ වැඩිම චිත්‍රපට තනන රටවල් අතරට ජපානය පත් වුව ද පසු කලක එය තරමක් පසුබා ගියේ ටෙලිවිෂන සම්ප්‍රාප්තියත් සමඟය. එහෙත් 1990 හා 2000 අතර කාලය ජපාන සිනමාවේ ස්වර්ණමය ද්විතියක අවධිය ලෙසට නම් කෙරෙණි. එහි මුල් ස්වර්ණමය යුගය 50 - 60 දශකයයි. ලෝක සිනමාවේ පැත්තෙන් බලන කළ ජපාන සිනමාව එහි දෙවැනි ස්වර්ණමය යුගයට පිවිසියේ ඇනිමේෂන් චිත්‍රපට සමඟය. ඒ කෙසේ වෙතත් වාණිජමය අතින් සාර්ථක නොවූවද ෂුන්ජි ඉවායි ගේ ඕල් එබවුට් ලිලි චෝ දෝ, ටකෂි කිටානේ ගේ බැට්ල් රෝයල් වැනි චිත්‍රපට මෑත භාගයේ ලොව පුරා තරුණයන්ගේ අවධානය දිනා ගත්තේය. නයෝමි කබාසේ ගේ ද මෝනින් ෆොරස්ට් කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස 2007 වසරේදී සම්මාන දිනා ගැනීම යළිත් ජපාන සිනමාව පිළිබඳ ඇස් අවදි කළ අවස්ථාවක් විය. කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා තරග වැදි මුල්ම ත්‍රිමාණ චිත්‍රපටය 2011 වසරේදී එළි දුටු තකාෂි මිල්කිගේ හරා කිරි : ඩෙත් ඔෆ් අ සමුරායි චිත්‍රපටයයි. 2014 වසර වන විට ද ජපානයේ චිත්‍රපට නරඹන වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 161 ක් වූයේය. එය 2013 වසරට වඩා මිලියන 5 ක වැඩි වීමකි. ජපානය යනු නූතන ටෙලිවිෂන තාක්ෂණය ඉහළින්ම වැලඳ ගත් රටකි. එහෙත් ජපාන සිනමා ශාලා සඳහා ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ධනය වනුයේ කෙලෙසද? එය දිනෙන් දින මෙරට ප්‍රේක්ෂක සංඛ්‍යාව සිනමා ශාලා වලින් බැහැර වන සිදුවීම සමඟ සසදා විමසා බැලිය යුතුය. සමහර විට අප නොදන්නා රහසක් එහි ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් මෙවර ජපාන චිත්‍රපට උලෙළ රසවත් වනු ඇති බව නම් නිසැකය.
|