වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයො එහෙම වෙන්නැති

සිංහයො එහෙම වෙන්නැති

පසු වේදිකාවේ මෙවර කතාව, නාට්‍ය ක්ෂේත්‍රයේ තරමක් ප්‍රසිද්ධ කතාවක් කියලයි මට ඇහිල තියෙන්නේ. ඒත් කතාවෙ චරිත ගැන නොයෙක් මත තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රධාන චරිතය නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර බව මම දන්නවා. ඒත් අනෙක් ප්‍රධාන චරිතය පිළිබඳ නිශ්චිතම තොරතුරක් නැති වුණත් මා අසා තියෙන්නේ විශ්වාස කරන්නේ ඒ චරිතය රඟපෑවේ තවත් මහාචාර්යවරයෙක් කියලයි. මේ මහාචාර්යතුමා සරච්චන්ද්‍ර මහාචාර්යතුමා වගේ නාට්‍ය කලාවට සාහිත්‍යයට සාජුව සම්බන්ධ කෙනෙක් එහෙම නෙවි. ඒත් එතුමා හොඳ කලා රසිකයෙක්. විචාරකයෙක්.

එච්චරක් ද එතුමා අපූරු ගීත රචකයෙක්. නිදහස් මතධාරියෙක්. දාර්ශනිකයෙක්. සරච්චන්ද්‍ර මහාචාර්යතුමා ගැන විස්තර අවශ්‍ය නැහැනේ. ඒත් මේ අනිත් මහාචාර්යතුමා වෛද්‍ය විද්‍යාලයේ කීර්තිමත් වෛද්‍යවරයෙක් මෙන්ම මහාචාර්යවරයෙක්. ඔහු ලියූ ගීත අතරේ ජනප්‍රියම ගීතය නන්දා මාලිනී රෝහණ වීරසිංහ සංගීතඥයා එක්ක ගායනා කරන මඟුල් උත්සවවලට නැතුවම බැරි ගීතය රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ - ඔබයි දිවිය අර්ථවත් කළේ. අනිත් ගීත දෙකත් කිව්වම මහාචාර්යතුමා කවුද කියලා මම කියන්න ඕනෑ වෙන්නෙත් නෑ. සුනිල් එදිරිසිංහ ගායනා කරන රුදුරු තුරු වදුලේ හා වික්ටර් රත්නායක ගායනා කරන පෙම් සිනා සුන් වුණා ඇගේ ඇසුර නැති වුණා. පසු වේදිකාවේ දෙවන ප්‍රධාන චරිතය රඟපාන මහාචාර්යවරයා කාලෝ ෆොන්සේකා බව දැන් අපි දන්නවා. නාට්‍යමය ජවනිකාව ඊළඟට.

මහාචාර්ය සරච්චන්ද්‍ර උපහාසයෙහි සූරයෙක් බව හැමෝම දන්නා කාරණයක්. එතුමගේ උපහාසය හරිම තියුණුයි. අයේ කාටවත් එහෙම, එතුමාගේ උපහාස කතාවකට ප්‍රතිඋත්තර දෙනව බොරු. මේකත් තරමක උපහාසය කැටි වෙච්ච සංවාදයක්. ඉඳහිට විවේක දවසක හරි සති අන්තයේ දවසක හරි සැන්දෑවක මහාචාර්ය කාලෝ, සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ එපිටමුල්ලේ ගෙදර ගිහින් කතා කර කර ඉන්න වෙලාවක ඇති වෙච්ච සංවාදයක් විදියටයි මේ කතාව වාර්තා වෙන්නේ.

මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතාමත් සරල, සැහැල්ලු බැනියමක් ඇඳගෙන ආලන්දයේ සක්මන් කරමින් ඉන්න වෙලාවකයි මහාචාර්ය කාලෝ ඇවිත් තියෙන්නේ. ආ ගිය තොරතුරු රටේ තොටේ සිද්ධ වෙන දේවල්, කලා සංස්්කෘතික කටයුතු ගැන තමයි දෙන්නගෙ සංවාදය. ඔන්න මේ අතරතුර කාලෝ මහාචාර්යවරයා මෙහෙම කියනවා. ඩොක්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න සිංහබාහු ගැන. ‘සිංහබාහු ගැන ප්‍රශ්නයක්, ඔව්, මොකක්ද කාලෝ ප්‍රශ්නෙ? මහාචාර්ය කාලෝ ඔහුටම ආවේණික කතා ශෛලියෙන් මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් මෙහෙම අහනවා.

‘ඩොක්ටර් සිංහබාහුවල ගල්ලෙන බිඳලා සිංහබාහු එයාගේ අම්මයි, නංගියි එක්ක ගියාට පස්සේ සිංහයා ඇවිත් කියන සිංදුවෙ නොගැළපෙන තැනක් තියෙනවා නේද?’ ‘මොකක්ද කාලෝ නොගැළපෙන දේ?’ සරච්චන්ද්‍ර මහැදුරුතුමා ඇඟට පතට නොදැනෙන සිහින් හඬින් අසයි. ‘ඇයි ගොඩක්ටර් සිංහයා ගල්ලෙනට ඇතුල් වෙලා ගල්ලෙන බිඳලා සිංහබාහු සුප්පා දේවිත්, සිංහවල්ලීත් සමඟ ගිය බව දැනගෙන කියන්නේ මම දැන ගතිමී මම සැක කළෙමී සිංහබා, සිංහබා කියලා’. ඉතින් කාලෝ දැන් මොකක්ද එතන තියෙන නොගැළපීම? සරච්චන්ද්‍රයන් ප්‍රශ්න කරයි. ‘ඇයි ඩොක්ටර් ඒක වෙන්නෙ කොහොමද මම දැනගතිමි මම සැක කළෙමි කියලා. අපි දන්න විදියට මිනිස්සු ඉස්සර වෙලා සැක කරනවා, ඊට පස්සේ නේ දැනගන්නේ. සරච්චන්ද්‍රයන්ගේ මුවඟට සිනාවක් එක් වේ. ඔහු කාලෝ ෆොන්සේකා මහැදුරු දෙස නොබලාම මෙසේ පිළිතුරු වෙයි. ‘ඔව් කාලෝ, මිනිස්සු ඉස්සර වෙලා සැක කරල පස්සෙ දැනගන්නව ඇති. ඒත් සිංහයො එහෙම වෙන්නැති, දැනගෙන පස්සේ සැක කරනවා ඇති’ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ පිළිතුරෙන් නිරුත්තර වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙන්ම නාට්‍ය රසික අපි ද තවමත් ඒ පැනයට පිළිතුරු සොයන්නෙමු. එතුමාගේ පිළිතුරෙහි තර්කානුකූල බවක් වේදැයි සොයන්නට කවුරු සමත් වේද? එහෙත් එතුමන්ගේ පිළිතුර අප හද තුළ නිධන්ගතව ඇති බව පමණක් අපි දනිමු.