|
බේර ගන්න දම් පාට රෙදි ඇන්දුවා
නිෂ්පාදක සෝමරත්න මාලිම්බඩ
ඕනෑම කෙනෙක්ගේ පළමු නිර්මාණය උසස් එකක් වෙන්නේ නැහැ
ඊළඟ නිර්මාණයට මම යන්නේ අලුත් නිර්මාණකරුවකු ලෙසින්
මේ දිනවල තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය අනාථ දූපතයි. ඒ සමඟ අලුත් අධ්යක්ෂවරුන් දෙදෙනෙකු සිනමාවට පිවිසෙයි. ඒ සෝමරත්න මාලිම්බඩ සහ නන්දන විජයකුමාරයි. තම කුළුඳුල් චිත්‍රපටය පිළිබඳ සංවාදයක යෙදෙන්නට සෝමරත්න මාලිම්බඩ අප හා එක් විය. අපි ඔහුට ප්‍රශ්න මාලාවක් යොමු කළෙමු. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙසේය.
* අනාථ දූපත අනාථයි කියලා සමහරු කියනවා? මොනවද පවසන්න තියෙන්නේ? වෙන්න ඇති. මේක මගේ පළමු චිත්‍රපටය. ඕනෑම කෙනෙකුගේ පළමු නිර්මාණය ඉතා උසස් එකක් වෙන්නේ නැහැ. මටත් ඒ සිද්ධාන්තය පොදුයි. ඒ හින්දා අනාථ දූපතේ යම් යම් අඩුපාඩු ඇති. ඒක මම පිළිගන්නවා. * ඔබ සැනින් අධ්යක්ෂවරයකු වුණු කෙනෙක්. ඔබේ ඉතිහාසය පිරික්සා බලද්දී, සහාය අධ්යක්ෂවරයකු විදිහටවත් ඔබ වැඩ කරලා නැහැ කියලා අහුවෙනවා? ඒක ඇත්ත. මගේ ගම අම්පාර, ගෝනගල, මායාදුන්න. මගේ තාත්තා කලාවට ළැදියි. ඔහුට ඕනෑ වෙලා තියෙන්නේ නළුවෙක් වෙන්න. ඒත් ඔහුට එහෙම වෙන්න බැරි වුණා. ඒ හින්දා තාත්තාට ඕනෑ වුණා මාව නළුවෙක් කරන්න. එම බලාපොරොත්තුවෙන් ඔහු මාව කොළඹ එව්වා නාට්‍ය කලාව හදාරන්න. කාලයක් මං ධම්ම ජාගොඩ මහත්තයාගේ භාර්යාව වන මානෙල් ජාගොඩ ලඟ නාට්‍ය කලාව හැදෑරුවා. ඊට පස්සේ මම ගුවන් විදුලි නාට්‍ය ලිව්වා. ඔය අතරේ රඟපෑවා. මට හිතුණා වාර්තා චිත්‍රපට කිහිපයක් කරන්න. ඒකත් කළා. * එතකොට කොහොමද ඔබ අධ්යක්ෂවරයකු බවට පත් වුණේ? මට අපේ නිෂ්පාදකතුමන් වන ඇලෙක්සැන්ඩර් කුරේ මහතාව හමු වුණා අහම්බෙන්. ඔහු මගේ වාර්තා චිත්‍රපටයක් දැකලා තිබුණා. ඔහුට ඕනෑ කරලා තිබුණේ ස්නයිෆර් වගේ ෆිල්ම් එකක් කරන්න. නමුත් මට තේරුණා ඒක ලොකු වියදමක් යන වැඩක් කියලා. ඔහුව බේර ගන්නත් ඕනෑනේ. ඒ හින්දා අනාථ දූපතේ පිටපත දුන්නා. ඔහු ඊට කැමැති වුණා. * ඔබ චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ නන්දන විජය කුමාර කියලා කෙනෙක්ව හඳුන්වා දෙනවා සම අධ්යක්ෂවරයා ලෙසට. ඔබ අනාථ දූපත සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කළේ නැහැ කියලද ඒ නොකියා කිව්වේ? චිත්‍රපටයක් කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් කියලා දැනුණේ අධ්යක්ෂවරයාගේ අසුනේ වාඩි වුණාමයි. මම ඇතැම් අංශ කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා දන්නේ නැහැ. ඒ හින්දා මට ඕනෑ වුණා යම් දැනුමක් ලබා ගන්න. නන්දන තමයි මට ඒ හැම එකක්ම කියලා දුන්නේ. ඇතැම් දර්ශන ඔහු අධ්‍යක්ෂණය කළා. මොකද මං අනාථ දූපත වෙනුවෙන් නළුවකු ලෙස ද එකතු වුණානේ. * චිත්‍රපටයේ කොල්ලො කෙල්ලො සෙට් එක අනාථ දූපතහි ඉන්න එක්තරා දර්ශනයකදී අයිනෙන් ඇස්බැස්ටෝස් වහළයක් පේනවා. පාළු දූපතක ගෙයක් තියෙන්න පුළුවන්ද? ඒක බරපතල වැරැද්දක් තමයි. මට කල්පනා වුණේ නැහැ මේක පේන්නේ ලොකු ස්ක්‍රීන් එකක කියලා. පොඩි මොනිටරයෙන් දකින ප්‍රමාණයට නෙවෙයිනේ සිනමා ශාලාවක පේන්නේ. එයට මාගේ අවධානය මදි වුණා. ආයෙත් එවැනි වැරැද්දක් මගේ අතින් නොවේවි. * චිත්‍රපටයේ සමහර දර්ශන ඉතාම හදිස්සියට රූගත කරලා තියෙන අයුරක් පේනවා? අපේ නළු නිළියන් බොහොමයක් කාර්යබහුල යුගයකයි ඔවුන්ව අපේ වැඩේට ගත්තේ. අනික අපට නිසියාකාරයෙන් සැලසුමක් තිබුණේ නැහැ. අවශ්‍ය දර්ශන ඉක්මනින් රූගත කළා. චිත්‍රපටය සඳහා වැය කළෙත් අඩු කාලයක්. * අනාථ දූපතට ළමුන් යන්නට කලින් ඔවුන්ගේ ගුරුවරයකු හමුවන්නට යනවා. එහිදී එම ගුරුවරයා හා ළමුන් කතා කරන්නේ යාළුවන්ටත් එහා ගිය විදිහට. එක ගැහැනු ළමයෙක් ගුරුවරයාගේ කරටත් අත තියනවා? මට තව හිතන්න තිබුණා. ඒත් බරපතල වැරැද්දක් නෙවෙයි. ඇතැම් විට මෙහෙම වෙන්න පුළුවන්. අර ගුරුවරයා ළමුන්ට ඉතාම හිතෛෂියි. එහෙව් තත්ත්වයක් මත අත තියන්නත් පුළුවන්. කමක් නැහැ මං ඒ සියල්ල ප්‍රේක්ෂකයාට බාර කරනවා. * අනාථ දූපතේ වැද්දන් හා සමාන අමුතු මිනිස්සු රැලක් ඉන්නවා. එහි ඇතැම් අය ඇඳගෙන ඉන්නේ දූවිලි පොදක්වත් ගෑවිලාවත් නැති අලුත්ම රෙදි? එතනදි මං හිතුවේ චිත්‍රපටයට වර්ණවත්භාවයක් ගේන්න. හැම තැනම එකම වර්ණය යොදවලා ඩල් වෙයි කියලා මං හිතුවා. නිෂ්පාදකතුමන්වත් බේරගන්න එපායැ. දම් පැහැ රෙදි පැළඳුවෙ ඒකයි. * අනාථ දූපතට යන ළමුන් සමඟ එකතු වෙනවා ඇන්ටා කියලා මග පෙන්වන්නෙක්. ගෝත්‍රිකයින් අනිත් හැම දෙනාවම නොමරා ඔහුව විතරක් මරනවා. ඇයි එහෙම වුණේ? ඔහු හදන්නේ ළමුන් කණ්ඩායම නැවත ගොඩට අරගෙන යන්න ක්‍රමයක් හදන එක. ඒකයි ඔහුව මරන්නේ. ඒත් ගෝත්‍රිකයින් කොහොමද හරියටම දැනගන්නේ ඔහුම තමයි ළමුන්ව ගොඩට ගෙනි යන්නේ කියලා. ගෝත්‍රිකයින් ඒ පිළිබඳ දැනුවත්ව ඉන්නේ. ඔහුව මරන්නේ ඒ හේතුව උඩ. * ගෝත්‍රිකයින්, කණ්ඩායමේ සිටින ගැහැනු ළමයින්ව පැහැර ගන්නේ ඇයි? ඒ ගෝත්‍රයේ තරුණ ගැහැනු ළමයි නැහැ ඔවුන්ගේ වර්ගයා බෝ කරන්න. ඉන්නේ වයසක අය. ගෝත්‍රික නායකයාගේ පුතාට විවාහ කර දීලා ළමයකු හදන්නයි ගැහැනු ළමයෙක්ව පැහැර ගන්නේ. ඒ අතරේ ඉන්න ලස්සනම ගැහැනු ළමයව විවාහ කර දෙනවා. ඒ ළමයා පෙම්වතියක් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ ජනාගේ. ජනා විදිහට රඟපාන්නේ පුබුදු ගමගේ. * අවසානයේ ජනා තම පෙම්වතිය ගෝත්‍රික නායකයාගේ පුතාට බාර දීලා එනවා. ඔහු සැබෑ ආදරවන්තයකු විදිහට මුකුත්ම සටනක් කරන්නේ නැහැ? එතන තියෙන්නේ පරිත්‍යාගය. ජනා තමන්ගේ ගැහැනු ළමයා බාර දීලා එනවා. ගැහැනු ළමයා අර ගෝත්රිකයව විවාහ කරගන්න ජනා ඇතුළු පිරිසව නිදහස් කරදීමේ පොරොන්දුව පිට. ඒ වන විටත් ජනා සහ යහළුවො ඉන්නේ ගෝත්රිකයින්ගේ සිරකරුවන් වශයෙන්. එතන තියෙන්නේ පරිත්‍යාගය පමණයි. පුබුදුගෙ චරිතය මං හැදුවේ තමාට වඩා අනිත් අය පිළිබඳ හිතන කෙනෙක් හැටියටයි. * කොහොම හරි අවසානයේ ගෝත්‍රික නායකයාගේ පුතා විසින් අර ගැහැනු ළමයව ජනාටම බාර දෙනවා. ඒත් ගැහැනු ළමයා තමන්ගේ පෙම්වතා ගාවට යන්නේ හරිම නොකැමැත්තෙන්? එතෙන්දි මම පෙන්නුවේ ඇගේ ස්වාමි භක්තිය. ඒ වන විට ඇය විවාහක කෙනෙක්. ඒ කම්පනයෙන් ඇය ඉන්නේ. ඒකයි ඇය අදිමදි කරන්නේ යළිත් ජනා ගාවට යන්න. * චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ ගෝත්‍රික නායකයා හැටියට. ඔබ එහිදී අධි රංගනයක යෙදෙනවා. ඇයි එහෙම වුණේ? රඟපාන්න නිරවුල් මනසක් තිබිය යුතුයි. මම ඒ වෙලාවේ චිත්‍රපටයේ සෑම අංශයක් ගැනම ඉතාම අවධානයෙන් හිටියේ. ඒ වෙලාවේ රංගනය කියන දේ මාගෙන් හරියට ආවේ නැහැ. * චිත්‍රපටයේ එක්තරා තැනකදී තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාළු දූපතකට යන්න හදද්දී ගුරුවරයා හේතුවක් කියන්නේ නැතුව නොකැමැත්ත ප්‍රකාශ කරනවා. චිත්‍රපටය අවසන් වන තෙක් කියන්නේ නැහැ ගුරුවරයා දූපතට යන්න එපා කියපු හේතුව? මම එහෙම කළේ ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් යුතුව තියාගන්න. ඒක පොඩි උපක්‍රමයක්. මම හිතනවා ඒ වැඩේ සාර්ථකයි කියලා. * ඔබ බොහෝ අවස්ථාවල කිව්වා මේ චිත්‍රපටය කළේ ශිල්පය දැනගෙන නෙවෙයි කියලා. ඒ වගේම ඔබ බොහොම අවංකව තමන්ගේ අඩුපාඩු ප්‍රකාශ කළා. එහෙම කරලා ඔබ ඊළඟ නිර්මාණකරණයට නිෂ්පාදකවරයකු ඔබට සොයා ගන්න පුළුවන් වේවිද? මා මේ චිත්‍රපටය හරහා දෙවැනි නිර්මාණයට මඟ පාදා ගන්න මට කිසිදු වුවමනාවක් නැහැ. මං ඊළඟ වැඩේට යන්නේ අලුත් නිර්මාණකරුවකු හැටියට. ඒ හින්දා මං කියපු අදහස් එහෙම්පිටින්ම පළ කළාට මට කිසිම ප්‍රශ්නයක් නැහැ.
|