වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝඨයිම්බර කෝලමෙන් මතු වන පාරිභෝගික සමාජයේ නිරුවත

ගෝඨයිම්බර කෝලමෙන් මතු වන පාරිභෝගික සමාජයේ නිරුවත

ඩෙනිස් පෙරේරා තුරුණු නාට්‍යකරුවෙකි. සිනමාකරුවෙකි. 'ගෝඨයිම්බර කෝලම' ඔහු විසින් රචනා කළ අධ්‍යක්ෂණය කළ නාට්‍යමය යාගයකි. අගෝස්තු 15 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00ට කොළඹ පදනම් ආයතනයේදී රඟ දැක්වේ. සුනේත්‍රා බණ්ඩාරණායක පදනම මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

'හොඳයි ගුරුන්නාංසෙ අපි එහෙනං යමු පළවෙනි මහා භද්‍රකල්පෙට. '

බෙරකරු 1: කොහෙට ?

නායකතුමා: පළවෙනි මහා භද්‍රකල්පෙට

බෙරකරු : මගෙ අම්මෝ ඕයි මං හිතුවෙ මේ දොට්ට පිලට යන්න කතා කළා කියල, නිකං ඒ වගේනෙ කතා කළේ'

නායකතුමාට මහා භද්‍ර කල්පයට යාමට වුවමණා 'ගෝඨයිම්බර කෝලම' අතරතුරය. පැත්තක ගිනි පන්දම්ය. බෙරකරුවෝය. නටන්නට පේ වුණ චරිතය. යාගයට සූදානම් කළ පසුතලයකි. ගැහැනියකට ඇන්ද නිනෝ අරලිය ය. රතු පැහැති දිලිසෙන ඇඳුම් ආයිත්තම්ය. නායකතුමා යාදින්නක් කියන්නට පටන් ගනී. ඒ මහා භද්‍ර කල්පයට යන්නට දෙවියන්ගෙන් අවසර ගන්නට විය යුතුය. කවි ගායනය උච්ඡස්ථානයට පත් වන විටම හේ ආවේශයෙන් මෙන් අසල ඇති පැදුරක් මතට ඇද වැටෙයි. ඊළඟට බෙරකරු ගයයි. බෙරකරුට අනුව රටට සෙත් පතන යාගය පටන් ගන්නේ දැන්ය. ඒ ගෝඨයිම්බර රජතුමාගේය.

සබයේ ආලෝකය නිවී ගොස් එක්වර පහළ වන අඳුරත් සමඟ සැබෑ යාගය පටන් ගනී.

'කල්ප ලක්ෂයක් අවුරුදු දෙව්ලොව වසමින
දීපංකර බුදුන්ගෙ කල සිරිලක ඉපදුන
රුපුසේනා වසඟෙට ගෙන රජ ලෙස පත්උන
පින්වත් ගොඨඉඹුරු රජිඳු දක්වමි මෙලෙසින '

ඩෙනිස් පෙරේරා ගේ 'ගෝඨයිම්බර කෝලම' දෙවැනි අංකය පටන් ගන්නේ එලෙසිනි. එළිමහන් වේදිකාවක රඟ දැක්වෙන හෙයින් පුරාණ තොවිල්, පවිල්, යාග, හෝමයන් හි සෙවනැළි සමඟ ඡේදනය වෙමින් තිබෙයි.

පාත්‍ර වර්ගයා සාම්ප්‍රධායික ශාන්තිකර්ම ආදියෙහි ඇඟලන ඇඳුම්වලට සමාන, ඊට වඩා නූතන ඇඳුම්, ආයිත්තමෙන් සැරසීගෙනය. පසුතලය පවා අමුතුය. අලුත් හැඩයකි. වඩාත් ජව සම්පන්නය. නොනැවතීම බෙර වැයෙයි. අහසට ගිනි විදියි. පුවක්කොළ මල් ඔටුණු පළඳාගෙන වේගවත් නැටුම් නටයි. පාත්‍ර වර්ගයාට කවා ඇති දෙබස් පැරැණි අච්චුවේ ලා තැනූ අලුත් ඒවාය. වඩාත් දේශපාලනිකය. බහු අරුත් සපයා ගැනීමේ අවකාශ සලසයි. හුදෙක් ච්‍යාර්ථය ඉක්මවා යන්නටම ඉඟි කරයි. මේ යාගය අත්‍යවශ්‍ය තාලේ එකක් බව කෙමෙන් වැටහෙන්නේ ඒ දෙබස් දිගේ ඉදිරියට යන විටය. ආතුරයන් එකා ,දෙන්නා සභාවට පැමිණෙන විටය. බෙර හඬ උස්, උස්ව නැඟී එන විටය.

වැසියෙක් සහ කාන්තාවක් රජු හමුවට යන්නේ මේ වටපිට වර් ණනාවට මගේ හිත යොමු වුණ තැනය.

'වැසියා : අනේ රජතුමනි අපිට පිහිට වන්න අපි ඉවරවේගෙන එන්නෙ .

ඇමති : හරි හරි..ඔක්කොටෝම කලිං උඹ කවුද කිංද මංද කොයි දේසෙංද ආවෙ කියන එක රජ්ජුරුවන්ට කියල හිටපං.

වැසියා : මම ප්‍රත්‍යන්ත දේසෙ හීංබබා..මේ මගෙ ගෑනි.

බිසව : ආ ගෑනිද.. මම හිතුවෙ හරකෙක් කියලා.

වැසියා : (වැල්පට අතහැර දමයි) අනේ එහෙම කියන්න එපා ආයිබොවන්ඩ. මේ අසනීපයක්.'

හීංබබා තම බිරිය වැල්පටකින් බැඳගෙන සබයට එන්නේත්, රජුට බය පක්ෂපාතකමට දොඩන්නේත් එක විටය. මේ උල් පිහියක් අතට දී ඇනගන්න කීමකි. 'ගෝඨයිම්බර කෝලම' මෙහෙව් දේ කියන්නේ ඇයිදැයි ඩෙනිස් පෙරේරාගෙන අප ඇසිය යුතු යැයි මට හිතෙන්නේත් එකම වේලාවේය.

'වැඩිම පරිභෝජනයක් සිද්ධ වෙන ජීවීන් විදිහට ස්ත්‍රීන්ව හඳුන්වන්න පුළුවන්. සමාජයේ පිරිමි, ගෑනු දෙගොල්ලොන්ටම ස්ත්‍රී ගති ලක්ෂණ ආරෝපනය වෙලා තියෙනවා. ඒක කතා කරනවා එක තලයකදී. පිරිමි සහ ස්ත්‍රීන්ට හැසිරෙන්න දෙන රේන්ජ් එකෙන්නෙ ඒ අය පිරිමි සහ ගැහැනු කියලා අපි හඳුන්වන්නේ. සමහරක් පිරිමින්ට කියනවා ගෑනු වගේ කියලා. සමහර ගැහැනුන්ට කියනවා පිරිමි වගේ කියලා. එතකොට රේන්ජ් එක මාරු වුණොත් මේ හැඳීනගැනීම අවුල් වෙනවා. දැන් වෙද්දි කලින් පිරිමින්ට හැසිරෙන්න දීලා තිබ්බ රේන්ජ් එක අඩු කරලා කලින් ස්ත්‍රීන්ට වැඩිපුර හැසිරෙන්න දීලා තිබුණ රේන්ජ් එකට පිරිමි,ගෑනු දෙගොල්ලොම දාන එකක් මේ වෙද්දි තියෙනවා.

ඒ කියන්නේ පිරිමිත් ගෑනු වගේ. ගෑනුත් ගෑනු වගේ කියන හැසිරීම් රටා පද්ධතියකට දෙගොල්ලොන්ම ගේන වාතාවරණයන් මම දකිනවා. පිරිමින්ට කාන්තා මෙන්ටලිටි එක ආවම ඒ අය පරිභෝජනය වැඩි කරනවා. අනිත් එක දේශපාලනිකව විකල්ප අදහස්වලට යන එක කාන්තාවන්ට වැඩිය පිරිමින්ගෙ වැඩියි. පිරිමින්ට පවතින දේශපාලනයකට එකඟ වෙලා ඉන්නවට වඩා ඒකට විරුද්ධ වෙන්නයි කැමති. නමුත් මේ වෙනකොට එහෙම විකල්ප ගොඩනඟන එක පිරිමින් සම්බන්ධයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට මොකක් හරි අහිතකර තත්ත්වයක් නිර්මාණය වුණොත් ඒකට එරෙහි විකල්පයක් එන්නෙ නැති ස්වභාවයක් තමයි මට පේන්න තියෙන්නේ.’

දැන් ඩෙනිස් සමාජයට හිනා වෙන්නට පටන් ගනී. රජතුමාටද හිනා වෙන ගමන් වැසියාගේ කිහිල්ලටද ඇණ ඔහුව කිති ගන්වා සිනාසෙයි. ඊළඟට මිනිසා සහ ගැහැනියට පරිභෝජනවාදී සමාජයේ අත් වී ඇති ඉරණම ගැන කියන්නට පටන් ගනී. ඒ නරඹන්නා අදාල සමාජ වටපිටාවට සැනින් එය ආදේශ කර ගනී. කණ්ණාඩියෙන් බලන්නා මෙන් තමන් දෙසද බලමින් යළි සිනහා වෙන්නත්, හඬන්නත් පටන් ගනී. එළිමහනේ වාඩි වී සිටින ප්‍රේක්ෂකයා මහත් කුතුහලයෙනි. ඉදිරියට නැවී දෙබස් අසා ගන්නට තැත් කරයි. වැසියා සහ ගැහැනිය මොන නැටුමකට සැරසෙන්නේදැයි කල්පනාවකට වැටෙයි. රජු දෙසද නොපහත් බැලුම් හෙළයි. ඩෙනිස් පෙරේරා දෙබස් ඇතුළේ සැඟවූ සෝපහාසය හරියටම අල්ලා ගැනීමට ප්‍රේක්ෂ්කයා තැත් කරයි.

යාගයක් වුවමණා මනසින් එය ඉල්ලා සිටින විට 'ගෝඨයිම්බර කෝලම' ආයෙන් ඒ අඩුව සම්පූර්ණ යැයි සිතන්නට වෙයි. යාගය නොනැවතී රඟ දැක්වෙයි. පන්දම්, විලක්කු නොනැවතී දැල්වෙයි. ඉදහිට උද්වේගකර මොහොතක පන්දමකට සාම්බ්‍රානි දා අහසට ගිනි පිඹියි. හාත්පස ආලෝක වී සැනින් අඳුරු වෙයි.

'රජතුමා : මොකද බං තටමන්නෙ.. මොකක්ද වෙලා තියෙන්නෙ කියපං .

වැසියා : රජතුමනි අපිට.. මේ අපේ මේ ..මෙයා ..අනේ කියන්න හිතෙන්නෑ රජතුමනි .

රජු : මම දැං ගහනව තොට කොහොමද දන්නවද..මගෙ වෙලාව නාස්ති නොකර කියපං කියන මළ ඉලව්වක් '

මේ දෙබස් ඔබේ ප්‍රීතිය පිණිස නොවේ. මේ දෙබස් ඔබේ අතීතය මතක් කිරීම පිණිසය. වැඩවසම් ඔළුවල ඉන්නා ස්වල්ප මිනිසුන් ලොකු මහත් කිරීමටය. ඒ අර්ථයෙන් ගත් විට උඩු පෙළින් කියන කතාන්දරයට ආදේශ කර ගැනීමට බොහෝ දේ තිබිය හැකිය. මෙතැන හැර අන් තැනක සතුට සහ පිළිතුරු ඇතැයි සිතන ජන සමාජයට කොතැනවත් පිළිතුරු නැතැයි කියන්නා සේය. පිළිතුරු තිබී ඇත්තේ ඔබ තුළමය.

රටේ දියුණුවට ආශිර්වාද පතා රඟ දැක්වෙන 'ගෝඨයිම්බර කෝලම' නාට්‍යමය යාගය සමාජයෙන් පෙත්තක් කපා පෙන්වනවා වෙනුවට සමාජයේ සම්පූර්ණ මුහුණම වෙනත් ආකාරයකින් පෙන්වන්නා සේය. ඩෙනිස් පෙරේරාට අනුව මෙය නාට්‍යයක් ද නොවේ; ශාන්තිකර්මයක් ද නොවේ. ඒ අතර තවකෙකුගෙන් පැනයක් නැගෙයි. ඒ 'ගෝඨයිම්බර කෝලම' මඟින් සමාජයට යම් කිසි පනිවුඩයක් දීමට තැත් කරන්නේද යන්නයි. හේ මද කල්පනාවකය. පිළිතුර වේගවත්ය.

'පනිවුඩ දෙන එක සෑහෙන පරණ වැඩක්.මොකද අපි වගේම ප්‍රේක්ෂකයා දැන් සෑහෙන්න දැනුවත්. එතකොට අපි ඒ අයට වඩා ඉහළින් ඉන්නවා කියලා දෙයක් නෑ. දැන් හැමෝම එක වගෙයි. එතකොට තව කෙනෙකුට සමාජයට පනිවුඩ දෙන්න උත්සාහ කිරීම තේරුමක් නෑ. මං උත්සාහ කරන්නේ මොකක් හරි සාකච්ඡාවක් අවුළුවන්න. එතකොට ඒකට ප්‍රේක්ෂකයා සහභාගි වෙන්න ගත්තම අපි දෙගොල්ලො අතරේ අර කලින් කියපු සාකච්ඡාව ඇති වෙනවා. මොකද මේක අපි කලින් සකස් කරගත්ත අදහසක් ඉදිරිපත් කිරීමක් නෙවෙයි මේ සිද්ධ කරන්නේ. එතකොට එහෙම බැලුවම මං සමාජෙට පනිවුඩයක් කියන්නෙ නෑ. මං උත්සාහ කරන්නේ සංවාදයක් ඇති කරන්නයි.

මං කරන්නේ ඔබේ දැනීම් පද්ධතිය විවර කර ගන්න පොඩි උදව්වක් කරන එකයි. ඊට පස්සෙ ප්‍රේක්ෂකයාට පුළුවන් ඒ ඔස්සේ වෙනත් විදිහකට හිතන්න පටන් ගන්න. ඒකයි මෙතනදී මම කරන්නේ'

ඩෙනිස් එහෙම කියන අතරතුර තොරණ පිටුපස මහසෝනාය. මන්ත්‍රී කෝලමය. මීඩියා කෝලමය. නේපත්‍යාගාරය ඉදිරිපිට සිංහාසනාරූඩ නායක කෝලමය.

'මහසෝන මහසෝන.. මුන්ට වැහිල ඉන්නෙ මහසෝන '

ඊහෙම කියන්නේ බියට පත් ඇමැතිය. ගැහැනුන්ට මහසෝනා වැහීම, පිරිමින් ඊට බිය වීම උත්ප්‍රාසයට නංවන බොහෝ තැන් සාවධානව පිරික්සීමෙන් සොයා ගත හැකිය. මේ සටහනේ මුලින් කී සමාජයේ පරිභෝජනයෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාව අත්පත් කර ගැනීම සහ ඊට සෙසු සියලු දෙනා දක්වන ප්‍රතික්‍රියා සිහියේ තබා ගැනීමට අමතරව අවිඥාණිකව ඔබේ සිහියට නැඟෙන දෑ බොහෝ විය යුතුය. ඔහු අවුළුවන්නට තැත් කරන්නේ එයම විය යුතුය. සංවාදයක්, අවිඥාණික මතක රාශියක් සමඟ සංසන්දනය වෙන සැබෑ සිදුවීම් රාශියක් 'ගෝඨයිම්බර කෝලමෙන්' සැකිලි රූ මෙන් මතුව එයි. ස්වල්ප මොහොතකින් ඊට මස් පෙවී ශක්තිමත් වී කතා බහ පටන් ගනී.

මේ ඒ කතා බහ දිගේ යාමට හොඳම අවස්ථාවයි. රටේ දියුණුවට ආශිර්වාද පතා පවත්වන නාට්‍යමය යාගයට සජීවීව සහභාගී වීමයි.

අගෝස්තු 15 සෙනසුරාදා රාත්‍රී 7.00ට කොළඹ පදනම් ආයතනයේදී ඒ රඟ දැක්වෙනු ඇත.