|
හෝම් වීඩියෝවටත් ප්‍රමිතියක් ඕනෑ
රාජ් රණසිංහ
රාජ් රණසිංහ යනු මෙරට ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'ජීවිතයෙන් ජීවිතයක්' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඔහු 'නොම්මර එකයි, චාන්දනී, හිත හොඳ පුතෙක්, පෙරළිකාරයෝ, ඔන්න බබෝ' ඇතුළුව චිත්‍රපට රාශියක් සඳහා දායක වූයේය. මේ දිනවල ඔහු පිළිබඳව අලුත්ම ආරංචියක් නම් මෙරට හෝම් වීඩියෝ චිත්‍රපට වෙළඳපොලට අවතීර්ණය වීමය. ටෙනිසන් කුරේගේ අධ්‍යක්ෂණයක් ලෙස 'එයා තමයි මෙයා' චිත්‍රපටය නිපදවමින් හෝම් වීඩියෝ නිෂ්පාදනයට එක්වන රාජ් එයින් සාර්ථක පළ නෙලා ගත්තේය. ඔහු නිපද වූ ඊළඟ චිත්‍රපට යුගල 'රෝද තුනේ මනමාලයා' සහ 'ඔන්න බබෝ පිස්සෝ' එනවා හෙට වෙළෙඳපොලට නිකුත්වීමට නියමිතය. රාජ් වැනි චිත්‍රපට නිෂ්පාදකයකු අලුත් සිනමා වෙළෙඳපොලට පිවිසීම පිළිබඳ අපි ඔහුගෙන් විමසුවෙමු. මම 'කවුද මචං ඇලිස්' චිත්‍රපටය නිපදවද්දී තිරගත කරන්නට චිත්‍රපටයක් තිබුණේ නෑ. ඒ දවස්වල මාසෙක ඉඩකඩක් තිබුණා. මම ඒ අනුව ප්‍රදර්ශකයන් එක්ක කතා කරලා පිටපත් හතරක් තිරගත කරන්න තීරණය කළා. ඒත් පෙන්වන්නට ලැබුණේ 10.30 යි, 2.30 යි විතරයි. 6.30 වෙන කොට ප්‍රදර්ශනය නවත්වලා. හොයලා බලන කොට විරෝධය පළ කරලා තිබුණේ ඒ වන විට මාත් සාමාජිකත්වය දරපු නිෂ්පාදකයන්ගේ සංගමයේ සමහර සාමාජිකයෝයි. ඒ වෙනුවට මුදා හැරියේ හින්දි චිත්‍රපටයක්. මම ඇහැව්වා ඉන්දියාවේදී සිංහල චිත්‍රපටියක් ගැප් එකකට දැම්මොත් කොහොම තියෙයි ද කියලා. ඊට පිළිතුරක් නැහැ. ඊටත් පස්සේ මම නිපදවපු 'ඩබල් ට්‍රිබල්' චිත්‍රපටය පෙන්වන්න යනකොට පිටපත් හයක්ම මට ගෙදර තියාගන්න සිද්ධ වුණා. ඒකට හේතුව වුණේ ඒ සිනමාහල්වලට අලුත් හින්දි චිත්‍රපටයක් මුදා හැරපු එකයි. මම ඒ වෙලාවේ හිතාගත්තා ආයේ සිංහල චිත්‍රපට නිපදවන්නේ නෑ කියලා. ඒ වුණත් ලාල් වීරසිංහ මුලින්ම අධ්‍යක්ෂණය කරපු 'සිංග මචං චාලි' චිත්‍රපටයට මම විධායක නිෂ්පාදනයෙන් දායක වුණා. ඒක රූපගත කරන්න මම ගියේ ටෙනිසන් කුරේත් එක්ක. එක ගමකදී ඒ ගමේ මිනිස්සු ඔක්කොම ටෙනීව වට කර ගත්තා. ඔවුන් ඉස්සර සිනමාහල්වට ගියපු දැන් එහෙම යන්න වත්කමක් නොමැති උදවිය. ඒ මිනිස්සු මාව අඳුරන්නේ නැති වුණත් ඔවුන් කියපු දේවල් මගේ හිතට තදින් වැදුණා. එදා රෑ මම ටෙනිසන් කුරේත් එක්ක මේ ගැන දිගින් දිගට කතා කළා. ඒ වගේම පසුගිය කාලේ අපේ රටේ හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වන හැම සිනමාහලක්ම ඩිජිටල් වුණත් සිංහල චිත්‍රපට පෙන්වන ශාලා පමණක් එහෙම ඩිජිටල් වුණේ නැහැ. එක එක්කෙනා කඹ ඇද ඇද හිටියා. මේ කාරණාවත් මට තදින් බලපෑවා. අනික් අතට අපට හමුවුණු හැම දෙනාම එදා විසිල් ගහ ගහ චිත්‍රපට බලපු පිරිස. පස්සේ මම 'එයා තමයි මෙයා' නමින් මුල් චිත්‍රපටය නිපදවන්න තීරණය කරලා ටෙනිසන් කුරේට අධ්‍යක්ෂණයත් බාර දුන්නා. ඒක ලාභෙට හදන්න මට වුවමනා වුණේ නැ. ඒ නිසා නොමඳ තාක්ෂණික කැමරා භාවිත කරමින් ජී. නන්දසේන වගේ සම්මානනීය ශිල්පියකු කැමරා අධ්‍යක්ෂණයට යොදා ගනිමින් ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු වගේ අය සම්බන්ධ කරගෙන ඒ චිත්‍රපටය නිපද වූවා. එය අති සාර්ථක වුණා. ඒ අනුව මම ටෙනිසන්ව යොදාගෙන 'රෝද තුනේ මනමාලයා' කියලා තව චිත්‍රපටයක් කළා. මගේ මුල් චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර දැක්කාම මට සතුටක් දැනුණා. ඒ වගේම මෑත කාලයේ 'හෝම් වීඩියෝ' සඳහා නිපද වූ චිත්‍රපට දැක්කාම මට දුකකුත් හිතුණා. ඒවා ඒ තරම්ම බාලයි. ඔබේ චිත්‍රපට සිනමාහල්වලට ගෙන එන්නේ නැද්ද? මේ චිත්‍රපට තාක්ෂණය සිනමා ශාලා සඳහා පිටපත් සැකසිය හැකියි. ඒ විතරක් නෙමෙයි සමහර ශාලා හිමියන් මගෙන් පිටපතක් ඉල්ලා හිටියා. ඒත් දැනට එහෙම ශාලාවලට මුදා හරින්නට අදහසක් නැහැ. වර්තමානයේදී හෝම් වීඩියෝ චිත්‍රපට සඳහා ලංකාවේ ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ ඒවා නීති විරෝධී ලෙස පිටපත් කිරීමයි. ඔබ එයට මුහුණ දෙන්නේ කොහොමද? ඉස්සර එහෙම දෙයක් තිබුණත් අද එහෙම දෙයක් දැනගන්නට නැහැ. කොහොම වුණත් අපි ච් ඍ ච් එකක් නිකුත් කරන්නේ නියමිත මුද්‍රා තැබීමෙන් පසුවයි. එය අනවසරයෙන් පිටපත් කිරීමට අසීරුයි. අනෙක අප බෙදා හරින්නන්ට චිත්‍රපටය ලබා දෙන්නෙත් සුළු ලාභයකින්. ඒ නිසා අලුත් චිත්‍රපට එලෙස හොරෙන් මුද්‍රණය කරන්නට අවශ්‍ය නැහැ. වර්තමානයේ හෝම් ඩී. වී. ඩී. තත්ත්වය පිළිබඳ ඔබ දකින්නේ කෙසේද? අද මේ ව්‍යාපාරය දිහා බලන්නේ මේක මහ ජරා බිස්නස් එකක් විදියට. එහෙත් මෙය ලෝකේ පිළිගත් විශාල කර්මාන්තයක්. අපේ වෙලා තිබෙන්නේ ඉතා ලාභෙට මේ චිත්‍රපට හැදීමයි. සමහර චිත්‍රපට පැයක්වත් ධාවනය වන්නේ නෑ. මම නිපදවන චිත්‍රපට බැලුවාම සංස්කරණ ශිල්පීන් කියන්නේ ඕනෑවටත් වඩා රූගත කරගෙන එනවා කියලා. මෑතකදී මට එක් අයෙක් පැවසුවා එයාට චිත්‍රපටය හදන්න යන්නේ රුපියල් ලක්ෂයයි කියලා. සමහරු හැත්තෑ පන්දාහෙනුත් හදනවලු. මට නම් එහෙම කරන්න බෑ. මම හදන්නේ චිත්‍රපට විනා ටෙලි නාට්‍ය නෙවේ. අනාගතයේ මේ චිත්‍රපටවලට කවුරුන් හෝ රාජ්‍ය මැදිහත්වීමකින් හෝ සහතිකයක් නිකුත් කරලා මේ කර්මාන්තයටත් ප්‍රමිතියක් ලබා දිය යුතුයි. ඔබ විශාල මුදලක් වැය කරන්නේ කෙසේද? මම බොහෝ විට අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා. ඔවුන්ගෙන් මම මුදල් ලබා ගන්නේ චිත්‍රපටයේ මුල් පිටපත පෙන් වූ පසුවයි. මේ වසර ඇතුළත ඔබ හෝම් චිත්‍රපට ත්‍රිත්වයක් නිෂ්පාදනය කළා. මෙතරම් ඉක්මණින් චිත්‍රපට නිපදවනවා යනු තත්ත්වය බාල කිරීම නොවේද? කිසි විටෙකත් එහෙම වන්නේ නැහැ. මම චිත්‍රපටයක් ගැන හිතන්නේ රාත්‍රී කාලයේදී. ඒ පිළිබඳ මූලික අදහස වැටුණාම මම මූලික කතාව හරිගස්සනවා. මගේ අල්ලපු ගෙදර ඉන්නේ දක්ෂ සිනමාකරුවෙකු වූ පරාක්‍රම ජයසිංහයි. ඔහු මගේ අක්කාගේ මහත්තයා. මම මහ රෑම ඔහුට මේ අදහස ගැන කියනවා. ඊට පස්සේ මගේ ගැටලුව ඔහු විසඳන්නට උත්සාහ ගන්නවා. ඊළඟට ඒ ගැටලුව ඔහුගේ ගැටලුව බවට පත් වෙනවා. මම ඊ ළඟට චිත්‍රපටයට සූදානම් වෙනවා. මේ හෝම් වීඩියෝ ක්‍රමය යටතේ තරුණ සිනමාකරුවන්නට තමන්ගේ නිර්මාණ එළිදක්වන්නට ඉඩක් හදාගත හැකියි නේද? පැහැදිලිවම. මේ වනවිටත් ඇල්පිටිය පැත්තේ කුසලතා පිරි තරුණයන් දෙදෙනෙක් මට කතා කළා. මා හිතන්නේ අලුත් හොඳ සිනමාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්නට මේ ක්‍රමය ඉතා හොඳ යැයි මා විශ්වාස කරනවා. හොඳ චිත්‍රපට, මෙරට සිනමා ශාලාවල තිරගත නොවූවත් විදෙස් සම්මාන උළෙලයන්ට පවා ගෙන යා හැකියි. ඔබ මේ පරම්පරාවට උදව් කරන්නට කැමැතිද? අනිවාර්යයෙන්ම ඔව්. ඔබේ අලුත් චිත්‍රපටවලට නළු නිළියන් තෝරා ගන්නේ කෙසේද? ෆේස් බුක් හරහා මට විශාල ඉල්ලුමක් ලැබෙනවා. නිර්මාණකරණයේදී විනය මෙන්ම හැකියාවත් අත්‍යාවශ්‍යයි. මගේ මුල් හෝම් වීඩියෝ චිත්‍රපටය රූපගත කරන්නට සැරැසුණ දවසේ එහි ප්‍රධාන නළු නිළි යුවලම මඟ ඇරියා. එහෙත් මම එය ගැටලුවක් කර ගත්තේ නැහැ. ඔවුන් ඒ අපරාධය කළේ වෙනදාට තමුන්ට ආදරය කරන රසික රසිකාවන්ටයි. වර්තමානයේ දුර පළාත්වලට ගියාම ඔවුන් වට කර ගන්නා රසික රසිකාවන් ඡායාරූප ලබා ගන්නවා. ඒ ප්‍රේක්ෂකයන් කොළඹ බැල්කනියේ ඉඳන් චිත්‍රපට බලන පිරිස නොව තමන්ට හදවතින්ම ආදරය කරන ප්‍රේක්ෂකයින්. හෝම් වීඩියෝ චිත්‍රපට අලෙවිය සිදු වන්නේ කොයි ආකාරයෙන්ද? සාමාන්‍යයෙන් ඒ සඳහා ගැනුම්කරුවන් සිටිනවා. මුල් චිත්‍රපටයේදී මිල තීරණය කළේ ඔවුන්. ඇත්තටම මෙහි වැඩි ලාභ උපයන්නේ නිෂ්පාදකයා නොව අතරමැදි බෙදා හරින්නායි. අනාගතයේදී මේ රටාවත් විධිමත් කරන ලදහොත් වඩාත් සුබඵල දෙනවා.
|