වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රසකතා

බලු කපුටන්ටත් අහිමි වූ මුදල් දානය

ඉඳලා ඉඳලා ආරංචි වුණා සිරාම සිරා කතාවක්. ඇහැව්වොත් පුදුම හිතේවි. මට නම් ඒක අහද්දි හිනහත් ගියා. සාමාන්‍යයෙන් මොන දේ පිච්චුවත් සල්ලි පුච්චන්නෙ නැහැනෙ. මොකද සල්ලි කියන්නේ දෙවියන්ගේ බාල මලයා නෙ. බහුතරයක් අය සල්ලි සුරකින්නේ පණ වගේ. ඒත් අපේ කලා ලෝකේ ඉන්නවානේ සල්ලිවලට ගිනි තියපු නිළියක්. තවත් විදිහකින් කිව්වොත් මෙයා සල්ලි පුච්චලා. කවුද දන්නවද ඒ වැඩේ කරපු හපනි. ජල තරංගයක් වගේ විහිදෙන හිනාවක් තියෙන මුතු තරංගා තමයි මෙහෙම සල්ලිවලට ගිනි තියලා තියෙන්නේ.

අපි දන්න විදිහට මුතු කෝටිපතිනියක් නෙවෙයිනෙ එහෙම සල්ලි පුච්චන්න. අහගන්නකො වෙලා තියෙන දේ. මුතු ඊයේ පෙරේදා දවසක ඩුබායි ගිහිල්ලා සංගීත ප්‍රසංගයකට. එහෙ සිං කරලා හොඳ ගතමන්ට් එකක් එහෙමත් ලැබිලා. ඒකත් අතට අරගෙන පොඩි ෂොපිං පාරකුත් දාලා. එහෙ වැඩ කටයුතු ඉවර කරගෙන ලංකාවට ආවලු. ගිමන් හැරලා ගමන් මලුවල තිබුණු අනවශ්‍ය දේ මුතු අයින් කරන්න පටන් අරන්. ඔහොම බෑග් සුද්ද කරද්දි අතට අහු වෙලා ගුවන් ටිකට් පතෙහි කවරය. මේක දැන් මොකට කියලා හිතලා දැම්මලු ඒකත් කුණු කූඩෙට. හවස් වෙන කොට අර කුණු කුඩෙ තිබුණු සේරම දේවල් ටික මුතු ගිනි තියලා. ඒ වැඩ ටික අහවර වුණාට පස්සෙයි මුතුට කල්පනා වුණේ තමන් ෂොපිං කරලා ඉතුරු වුණ මුදල හොයන්න.

දැන් ගෙය පීර පීර මුතු සල්ලි හොයනවලු. බෑග් ටිකත් සේරම ආයෙ ඇදලා. පර්ස් එකටත් බැහැලා බලලා. ඒත් සල්ලි නැහැලු. පොඩි වෙලාවක් ගත වුණු ගමන මුතුට මතක් වුණාලු හය දහසකටත් වැඩි ඉතුරු සල්ලි කොහෙද තමන් දැම්මේ කියලා. එවලෙම ගියාලු කුණු ගොඩ ගාවට. ඒක ඔලිම්පික් පහන වගේ ගජ රාමෙට ඇවිලෙනවලු. එතකොට තමයි මුතුට අනේ අපොයි කියලා කියවුණේ. අර සල්ලි සේරම තිබිලා තියෙන්නෙ මුතු විසික් කරපු ගුවන් ටිකට්පත් කවරය ඇතුළෙලු.

අනේ අපොයි, මොනවා කරන්නද බලු කපුටු දානයක් දුන්නා කියලාවත් හිත හදාගන්න තමයි වෙන්නේ මුතු . . .

ගණ දෙවි නුවණයි මිහිරගෙ මොලයයි

මිහිර සිරිතිලකට වෙච්ච හදියක මහත. මිහිරටම ඒක වුණ හින්දා හොඳයි. නැත්නම් වෙන කාට හරි වුණා නම් මොනවා කර ගනියි ද මන්දා. කඳ බඩ මහතටම සරිලන මොලයක් තිබුණු හින්දම මිහිර තැනට සුදුසු විදිහට ක්‍රියාත්මක වෙලා වැඩේ ගොඩ දාගත්තා. අගය කළා ඇති. එහෙනම් මෙතැන් පටන් ලියන්නම්කො මිහිරට වෙච්ච ඇබැද්දිය. මිහිර මේ දවස්වල අධ්‍යක්ෂණය කරනවා බොහොම අපූරු වේදිකා නාට්‍යයක්. ඒකේ නම කෝ කුක්කෝ. මේක ජයවර්ධන පුර කැම්පස් එකේ ශිෂ්‍යයන් විසින් එහි ප්‍රධාන ශාලාවේ වේදිකා ගත කරන්න සැලසුම් කරගෙන හිටියා. ඔන්න නාට්‍ය තියෙන දවස කිට්ටු වෙද්දි කැම්පස් එකේ ගැටුමක් ඇති වෙලා, සතියකට කැම්පස් එක වැහැව්වලු. මේක මිහිරටත් ආරංචි වෙලා. ඒත් සමහර විට ෂෝ එක පැවැත්වෙන දිනට කැම්පස් එක විවෘත වේවි යැයි කියලා හිතාගෙන මිහිර කලබල නොවී ඉඳලා.

කරුමෙ කියන්නේ ෂෝ එක තියෙන දිනයටත් කැම්පස් එක වහලලු. දැන් මිහිර ඇඟිල්ලකුත් කටේ ගහගෙන කැම්පස් එකේ ගේට්ටුව ළඟ එහෙ මෙහෙ ඇවිදිනවලු. ෂෝ එක කැන්සල් කරන්නත් බැහැ. මොකද එතකොටත් පිට මිනිස්සු රැසකටම ටිකට් විකුණලත් ඉවරයිලු. ඒ අයව අපහසුතාවයට පත් කරන්නත් බැහැනෙ. ඔය වෙලාවෙ තමයි මිහිරට ගණ දෙවි නුවණ පහළ වෙලා තියෙන්නේ. එවලෙම තමන් දන්න දන්න හෝල්වලට කෝල් කළාලු එදා ගන්න පුළුවන් ද අහන්න. වෙලාවට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ශාලාව එදා ෆ්‍රීලු. ටක් ගාලා එතන නාට්‍යයේ පසුතල නිර්මාණ හැදුවලු.

ගෙනාවලු බස් දෙකක් කැම්පස් එක ගාවට. තුනයි තිහ ෂෝ එක බලන්න කැම්පස් එන අයව ටිකට් එක බල බල බස් දෙකට නග්ග ගත්තලු. එක්කගෙන ඇවිත් පන්නිපිටියේ ධර්මපාල එකට නාට්‍ය පෙන්නුවලු. ඒ දර්ශනය ඉවර වෙද්දීි ඒ සෙනඟ නග්ගගෙන ජපුරෙ ළඟින් බැස්සුවලු. ඊළඟට හයයි තිහේ දර්ශනයට එන අයව ටිකට බල බල බස් දෙකට නග්ගගෙන ධර්මපාලෙට එක්කගෙන ගිහින් ෂෝ එක පෙන්නුවලු.

බයිට් නිසා 'බයිට්' වෙලා

ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ඩ්‍රම්ස් වාදක නිරෝෂන් ඩ්‍රිම්ෆ්ව දැකලා ඇති නේද? නිහාල් නෙල්සන් වගේ ගායකයන්ගේ සිංදුවලට උඩ පැනගෙන ඩ්‍රම් එකට තලන්නේ මෙන්න මේ නිරෝෂන් තමයි. පොරට අහම්බෙන් ටෙලි ඩ්‍රාමා එකක් සෙට් වෙලා මියුසික් කරන්න. ඒක තමයි හර්ෂ උඩකන්දගේ පිටකොටුව. ඉතින් නිරෝෂන්ට හරි හැපි මේ වගේ වැඩක් සෙට් වෙච්ච එකට. මේ සතුට සමරන්නත් එපායැ. ඒ හින්දම නිරෝෂන් තමන්ට මේ අවස්ථාව දුන්නු යාළුවන්ට පොඩි පාටියක් දෙන්න ප්ලෑන් කළා (අන්න මිනිස්සු, මේවා අනිත් අයත් ආදර්ශයට ගන්න ඕන). මෙයට සංස්කරණ ශිල්පි තිවංක අමරසිරි නැවතී සිටින තලාහේනෙ නිවස හොඳයි කියලා තමයි හැමෝගෙම යෝජනාව වුණේ.

ඔන්න ඉතින් සුවබර පැහැබර සෙනසුරාදාවක නිරෝෂන් මිත්‍ර සේනාව වන හර්ෂ, නව පරපුරේ රංගන ශිල්පී ගයාන් කාංචන සහ අංග රචක ධනුෂ්ක හුලංගමුව සමඟ තිවංකගේ ගෙදර ගියා. මේ සෙට් එකේ ඉන්නවා බයිට් විතරක් කන බුවෙක්. කවුද කියලා නම් අහන්න එපා. මේ හින්දා ඉතාම සුළු වේලාවකින් බයිට් ටික ඉවර වුණා.

'පොඩ්ඩක් ඉන්නකො මං කන්න මොනව හරි අරගෙන එන්නම්' කියලා නිරෝෂන් කාර් එකත් අරගෙන පිටත් වුණා. පැය භාගයක් ගත වුණා ගිය මිනිහා නැහැ. පැය භාගය පැය වුණා. ඒත් මිනිහා නැහැ. ෆෝන් එකත් ඕෆ්. ඔන්න පැය දෙකකට විතර පස්සේ පොර එනවා අතින් කටින් එල්ලගෙන. දැන් යාළුවන්ටත් පුදුමයි මෙච්චර වෙලා ගිය හේතුවට. ඒ හින්ද කට්ටියම නිරෝෂන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එයා දුන්නු උත්තරේ ඔහුගේම වචනවලින් මං ලියන්නම් මෙන්න මෙහෙම.

මට තිවංකගෙ ගෙදරට හැරෙන පාර මතක නැති වුණා මචං. මං කටුනායක නිසා මේ පැත්තෙ පාරවල් එච්චර දන්නෙ නැහැනෙ. පාර හොයා ගන්න ට්‍රයි කළා ට්‍රයි කළා ඒත් බැරි වුණා. අන්තිමේ මං පාරේ හිටපු කෙනෙකුගෙන් පාර අහගෙන බොරැල්ලට ගියා. එහෙම කළේ මුල ඉඳන් ආපහු එන්න. ටික දුරක් එනකොට රාජගිරිය පහුවුණා. එතකොට ටිකක් පාර මතක් වුණා.ඊට පස්සේ බත්තරමුල්ලට ආවා. එතකොටයි හොඳටම පාර මතක් වුණේ. යන්තම් එතනින් තලාහේනට එද්දී හැරෙන තැනත් මතක් වුණා. බොරැල්ලේ ඉඳන් ආපු නිසයි මේ විදිහටවත් පාර හොයා ගන්න පුළුවන් වුණේ. නැතිනම් තවමත් මං මේ අවට කැරකෙනවා. කරුමෙට ෆෝන් එකත් ඕෆ් වුණා. බැටරි ලෝ වෙලා.

ඔය කතාව ප්‍රසිද්ධ වුණු දවසේ ඉඳලා නිරෝෂන්ව කවුරුවත් බයිට් ගේන්න යැව්වේ නැතිලු.

අනේ හැබෑටම මෙහෙමත් නාටක

සතියේ දිනවල රාත්‍රී 9.30 සිට 10 දක්වා ජංගම දුරකතනයට නොඑන නිළියක් ඉන්නවා. ඒ බුවිනි. ඇය ඒ වෙලාවේ කරන්නේ හුස්ම ගන්න එක විතරයිලු. ඇස්පිල්ලම්වත් ගහන්නේ නැතුව බුවිනි ඒ වෙලාවේ ටී. වී එක දිහා බලාගෙන ඉන්නවා. බුවිනි එහෙම කරන්නේ මේ ආදරයයි හින්දා. බුවිනි ආසාවෙන් බලන එකම නාට්‍යයත් ඒකලු. දවසේ කොයි වෙලාවෙත් ෆෝන් එක කනේ ගහගෙන ඉන්න බුවිනි මේ වෙලාවට නම් ගරා යකා ආවා කිව්වත් හ්ම් සද්දයක් නැතුව ටී. වී. එක දිහා බලාගෙන ඉන්නවලු. ඔන්න දවසක් මෙහෙම ඉන්න වෙලාවක බුවිනිගෙ යාළුවෙක් ගෙදරට ඇවිත් කිහිප පාරක්ම බුවිනිට කතා කරලා. කිසිම සද්දයක් නැතිලු. අන්තිමේ යාළුවා බය වෙලා බුවිනි ගල් වෙලා කියලා. ඩෝං ගාලා පිටට එකක් ගහපුවාමලු බුවිනි හොඳ සිහියට ඇවිත් තියෙන්නේ. අනේ අනේ මෙහෙමත් ඇබ්බැහිවීමක්.