වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සසර වසන තුරු ලියන්න පෙර ඩෝල්ටන් අල්විස් දුටු අපූරු සිහිනය

සසර වසන තුරු ලියන්න පෙර ඩෝල්ටන් අල්විස් දුටු අපූරු සිහිනය

බිරිය ආරියවතී සේනානායක හෙළි කරයි

ඉර හඳ පවතින තුරා මේ දෙරණ තලයේ රැව් පිළිරැව් දෙන ගීත කලාවක් අපට උරුම කළ කෘතහස්ත ගීත රචකයකු ලෙස තම ප්‍රතිභාව ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට තිළිණ කළ ඩෝල්ටන් අල්විස් කලාකරුවා අප අතරින් වියෝ වී මෙම මස පළමුවැනිදාට වසර විසි අටක් සපිරිණි. ගීත රචනයෙන් එදා රට තුළ සුපතළ නමක් දිනූ ඩෝල්ටන් අල්විස් පවුලේ අද දවසේ තොරතුරු සොයා අප පියමැන්නේ 156/1, කැලණිමුල්ල අංගොඩ ලිපිනය සඳහන් නිවහන වෙතය. එහිදී අපට හමු වූයේ එදා මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවාට සෙවණැල්ලක් වූ ඔහුගේ බිරිය ආරියවතී සේනානායක මහත්මියයි. ඇයත් සමඟ අපි සංවාදාත්මක කතා බහකට මුලපිරුවේ එදා අතීත මතකයන් සිහිපත් කරමිනි.

ස්වාමියා නොමැතිව ගෙවූ විසි අට වසරක කාලය තුළ ඔහු වෙනුවෙන් මොන වගේ කටයුතු ද සිද්ධ කළේ?

අපි උපතින් බෞද්ධයෝ. මේ විසි අට වසර පුරාම එයා වෙනුවෙන් ඒ මියගිය අගෝස්තු පළමුවැනිදාට දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කළා. මමත් එක්ක එදාට දරුවෝ හය දෙනත් පවුලේ ඥාති පිරිසත් එකට එකතු වෙලා මේ පින්කම සිද්ධ කරනවා. මෙවරත් දරුවොත් එක්ක කොටිකාවත්ත සරණංකර විහාරයට දානමය පින්කමක් සිද්ධ කළා.

පින් දහම් කටයුතුවලින් පමණක් නොව ඔහු වෙනුවෙන් උපහාරාත්මක මතක සැමරුමකට මුල පුරන්න අදහසක් මේ විසි අට වසර පුරා ඇති නොවුණේද?

මොකද ඇති නොවුණේ. මට මතක හැටියට මහත්තයාගේ විසි දෙවැනි ගුණ සැමරුම යෙදුණු 2009 වසරේ මගේ දරුවෝ එකතු වෙලා ඒ වසරේ අගෝස්තු මස 03 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සසර වසන තුරු නමින් එයාගේ ගීත රචනා ඇතුළත් ගී ප්‍රසංගයක් පැවැත්වූවා. මේ ප්‍රසංගය සඳහා මහත්තයාගේ ගීත ගායනා කළ එදා ජීවතුන් අතර සිටි සියලුම ගායක ගායිකාවන්, සංගීතවත් කළ මුල්ම සංගීතවෙදීන් ආදී බොහෝ පිරිසක් එකතු වුණා. මහත්තයා පිළිබඳ අපූරු දේශනයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එදා ඉදිරිපත් කළා. අපි මේ ප්‍රසංගය එදා පැවැත් වූයේ කිසිදු මුදලක් නොගෙන නොමිලයේම. මුළු සම්මන්ත්‍රණ ශාලාවම එදා අතුරු සිදුරු නැතිව පිරිලා ඉතිරිලා ගියා. ඉඳගන්න ආසන නැතුව මිනිස්සු පොර කකා හිටගෙන බැලුවා. ඒ තරම් ඉහළ ප්‍රතිචාරයක් සසර වසන තුරු ප්‍රසංගයට එදා ලැබුණා.

මම හිතන්නේ ඔබලා කර තිබෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් සිදු විය යුතු කටයුත්තක්?

අදටත් රාජ්‍ය මැදිහත්වීමකින් මගේ මහත්තයා වෙනුවෙන් කිසිම උත්සවයක් සංවිධානය වුණෙත් නැහැ. අපි ඒ වගේ දෙයක් මෙච්චර කාලයක් ගිහිල්ලත් බලාපොරොත්තු වුණෙත් නැහැ.

පසුගිය විසි අට වන ගුණ සැමරුම දිනයේවත් මහත්තයා කාලයක් වැඩ කළ ගුවන් විදුලියෙන්වත් අඩුම තරමේ සිහිපත් කිරීමක්වත්?

මම දන්න තරමින් එහෙම දෙයක් වුණේ නැහැ. අද ගුවන් විදුලියේ ඉන්න අයවත් දන්නවද දන්නේ නැහැ මගේ මහත්තයා ඒකෙ රැකියාවක් කළා කියලවත්. එයා ලිව්ව ඕනෑ තරම් ගීත ගුවන් විදුලියේ තැටි ගබඩාවේ රාක්කවල පිරිල ඇති. ඒත් මගේ මහත්තයා වෙනුවෙන් ඒ එක ගීතයක්වත් උපහාරයක් ලෙස එදා දවසටවත් අහන්න සලස්වන්න තරම් ඕනෑකමක් දැනුවත්කමක් අද ඉන්න අයට නැතුව ඇති.

ඔබලා සංවිධානය කළ ප්‍රසංගයට සමගාමීව ඩෝල්ටන් අල්විස්්ගේ ගී රචනා ඇතුළත් ගී පොතකුත් එළි දැක් වූවා නේද?

ඒ ගීත රචනා පොතත් සසර වසන තුරු නමින් නම් කර තිබුණා. මහත්තයාගේ තෝරා ගත් ගී රචනා, කවි ආදිය තමයි ඒ පොතට එකතු කළේ. මගේ බාල පුතා ගයා රම්‍ය අල්විස් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසාම මහත්තයාගේ ගීත රචනා බොහොමයක් වෙහෙසක් දරා හෝ ගුවන් විදුලියෙන් සොයා ගන්න හැකි වුණා.

ඩෝල්ටන් අල්විස් අතින් රචනා වූ ගීත තව බොහොමයක් අදටත් ගී ගායනයන් ලෙසින් එළිදක්වා නැතුව ඇති?

තව බොහොමයක් තියෙනවා. අපිවත් දන්නේ නැති ගීත රචනා එමටයි. සමහර ගායක ගායිකාවන් ළඟ අදටත් පුද්ගලිකව තියෙනවා එයාලට ලියා දුන්න ගීත. එක ගායිකාවක් අපිට කිව්වා මහත්තයා ලියා දුන්න ගීත තිහක් තවමත් එයා ළඟ තියෙනවා කියලා. ඔය වගේ තව කී දෙනෙක් ළඟ ඇතිද?

ඔබේ ස්වාමියා පුද්ගලිකව ගීත ලිව්වේ ඇයි?

එයා අදහසක් ආව වෙලාවටත් ආරාධනයකින් තොරව ගීත ලිව්වා. ගීත ලියා ගන්න ආරාධනා ලැබුණහමත් ගීත ලිව්වා. සමහර ගායක ගායිකාවන්ට එයා පුද්ගලිකවම ගීත ලිව්වා. ඒ ඒ අයගේ කටහඬට. ඒ ගීත ඒ හඬවලට ලිව්ව නිසා එයාලම සතු දෙයක් වුණා.

ඩෝල්ටන් අල්විස් මිය ගිහින් සතියක් ඉක්ම යන්නත් පෙර ඔහුගේ ගීත රචනා කොල්ල කන්න පටන් ගත්තලු නේද?

එහෙම දෙයක් වුණා. හත් දොහේ දානේ දෙන්න ලැබුණේ නැහැ මෙන්න ගුවන් විදුලියේම ප්‍රචාරය වෙනවා මහත්තයා ලිව්ව ගීත වෙන අයගේ නමින්. මම ඒ වෙලාවේම ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජෙනරාල්ට ලියුමක් ලියලා මහත්තයාගේ අත් පිටපත් පවා පෙන්නලා ඒ වරද නිවැරැදි කර ගත්තා.

කවුද ඔය වගේ පහත් දෙයක් එතුමාගේ නිර්මාණයන්ට සිද්ධ කළේ?

කියන්න කනගාටුයි, මහත්තයා එක්කම එකට හිටිය අපේම ගෙදර ඇවිත් නිතර කාල බීලා ගිය මහත්තයාගේම හිතවතුන් වශයෙන් හිටිය අයම තමයි ඔය වගේ පහත් නීච වැඩ කළේ. 1987 අගෝස්තු 01 වැනිදා මහත්තයා මිය ගියත් හරි එයාගේ ගීත රචනා එක් එක්කෙනා කොල්ල කන්න පටන් ගත්තා ඉවක් බවක් නැතුව.

ඒ හින්දමද ඔබලා ගීත රචනා එකතුවක් පොතක් ලෙස එළි දැක් වූයේ?

ඒකත් එක හේතුවක්. තවත් ගීත රචනා තියෙනවා පොතට එකතු නොවූ.

ඔබේ දරුවෝ එහෙම කොහොමද?

ලොකු පුතා රණදේව අල්විස්, දෙවැන්නා දුව කාංචනා අල්විස්. තෙවැන්නා දුව චූලභද්‍රා අල්විස්. සිව්වැන්න පුතා වජිරවංශ අල්විස්. පස්වැන්නා පුතා සේනාධීර අල්විස්, හයවැන්නා බාල පුතු ගයා රම්‍ය අල්විස්. අද මේ සියලු දෙනා විවාහකයි.

දරුවෝ කවුරුවත් ගීත රචනයට යොමු වුණේ නැද්ද?

ඉස්කෝලේ යන කාලේ දරුවෝ හය දෙනාම ගීත ලිව්වා. ඒත් ඒ හැකියාව දුරදිග ගෙන ගියේ නැහැ. බාල පුතු ගයා රම්‍ය අල්විස් තමයි අදටත් ඒ හැකියාව ඔපමට්ටම් කරමින් කලා ක්ෂේක්‍රයේ නියැළෙන්නේ.

දරුවන්ට නම් දැම්මෙත් ඩෝල්ටන් අල්විස් වෙන්න ඇති?

ඔව්. හැම දරුවකුටම එයා තමයි නම් යෝජනා කළේ.

ඔබට කොහොමද ඩෝල්ටන් අල්විස් මුණ ගැහෙන්නේ?

අපි දෙන්නාගේ විවාහය සිදු වෙන්නේ ආදර සම්බන්ධයක් මත. මගේ මුල් ගම මාතර. මහත්තයා බෙන්තර. එහෙ මුල් ගම වුණත් අපි පදිංචි වෙලා හිටියේ දෙමටගොඩ පරිප්පු වත්තේ. මහත්තයාත් ඒ කාලේ හිටියේ දෙමටගොඩ. මහත්තයාට සිංහල, ඉංග්‍රීසි භාෂා දැනුම හොඳට තිබුණා. ඉංග්‍රීසියෙන් කියෙව්වා, සිංහලෙන් ලිව්වා. ඔය කාලයේ එයා වැඩ කළේ බොරැල්ලේ වයි. එම්. බී. එකේ පුස්තකාලයේ පුස්තකාලයාධිපති ලෙසින්. රැකියාවට අමතරව ඉංග්‍රීසි ටියුෂන් දීමත් මහත්තයා සිද්ධ කළා. මහත්තයා ඉංග්‍රීසි ටියුෂන් දෙන නිසා අපේ අම්මත් මහත්තයාව ගෙදරට එක්කන් ඇවිත් මටත් ඉංග්‍රීසි ටියුෂන් දුන්නා. ඔන්න ඔහොම මට ඉංග්‍රීසි ටියුෂන් දෙන්න ඇවිත් අන්තිමට මගෙයි එයාගෙයි ආදර සම්බන්ධයක් ඇති වුණා.

එතකොට විවාහ වුණේ?

1960 මැයි පළමුවැනිදා අපි දෙන්නා විවාහ වුණා. අපි පදිංචි වෙලා හිටියෙත් දෙමටගොඩ . ඒ විවාහ වෙන කොට එයාට වයස අවුරුදු තිස් දෙකක් විතර ඇති.

ඔබ දෙපළ විවාහ වෙන කොට ඩෝල්ටන් ගීත රචනයේ ජනප්‍රිය චරිතයක්ද?

මම හිතන්නේ එයා ගීත ලියනවා, ඒත් ජනප්‍රිය චරිතයක් නෙමේ. 1969 දී විතර එයා මුලින්ම ගුවන් විදුලියට බාහිර නිෂ්පාදකවරයෙක් ලෙස එක් වුණා. ගුවන් විදුලියේ යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ළමා පිටියට තමයි මෙයා මුලින්ම සිංදු ලියන්නේ. ඔය ඇසුර වැඩි වෙන කොට එයා වයි. එම්. බී. එකෙන් අස් වෙලා ගුවන් විදුලියේ නිෂ්පාදකයකු ලෙසින් ගුවන් විදුලියේ රැකියාවට ගියා. ගුවන් විදුලියේදී තමයි එයාගේ ගීත රචනා කලාවේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. ඒ කාලේ ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහනට එන ගායක ගායිකාවන්ට සිංදු ලියන්න පටන් ගත්තේ ඔය කාලයේ.

මම අසා තියෙනවා ඩෝල්ටන් අල්විස් ජීවිතයට රැකියා දෙකයි කළේ කියලා?

ඔව්. ඒක ඇත්ත. එයාගේ පළමු රැකියාව වයි. එම්. බී. එකේ. දෙවැනි රැකියාව ගුවන් විදුලියේ.

එවක ගායක ගායිකාවන් නිතර ආගිය තැනක් වෙන්න ඇති ඔබගේ නිවහනත්?

අමරදේවගේ ඉඳලා ආපු නැති ගායක ගායිකාවක් නැහැ. ඒ එන්නේ මහත්තයාට කියලා සිංදු ලියව ගන්න.

එහෙම සිංදු ලියපු අත් පිටපත් එහෙම අදත් ඔබ සතුද?

සමහර ඒවා අප සතුයි. තව කොච්චර දේවල් පිටතදී ලියන්න ඇතිද. ඒවා මොනවද කියලා අපිවත් දන්නේ නැහැ. ඒ කාලේ සමහරු සිංදු ලියවගෙන යන කොට අපේ දුවල දෙන්නා ඒ අයගේ පස්සෙන් දුවන් ගිහින් තාත්තාගේ අත් අකුරින් ලියල තියෙන සිංදු කොලය ඉල්ලාගෙන එයාලගේ අත් අකුරින් සිංදුව ලියලා දීලා යවනවා තාත්තාගේ අත් පිටපත් අප ළඟ තියාගන්න.

මෙතරම් ජනප්‍රිය ගීත රචනා ලියවෙන කොට ඒ සඳහා මුදලකුත් ලැබෙන්න ඇති?

අනේ නැහැ. ඒ කාලේ සල්ලි බලාගෙන මහත්තයා සිංදු ලිව්වේ නැහැ. දුන්නොත් දෙයක් ගන්නවා. ඉල්ලන්නේ නැහැ මට අච්චර ඕනෑ කියලා. මම සමහර දාට එයාට දොස් කියනවා ඔහොම කරන්න එපා කියලා. එතකොට එයා මට බනිනවා, මම කොහොමද සල්ලි ඉල්ලන්නේ එයාල දැනගන්න එපායැ සල්ලි දෙන්න කියලා. සමහරු ගෙදර ආවා සිංදු ලියාගන්න එළවළු මල්ලක් අරගෙන. එළවළු මල්ලක් අරගෙන ඇවිදිනුත් සමහරු ඩෝල්ටන් අල්විස්ගෙන් සිංදු ලියාගෙන ගියා. මහත්තයාගේ හිත හොඳයි. ඒ හොඳකමින් අනිත් අය ප්‍රයෝජනය ගත්තා.

මහත්තයා අතින් රචනා වූ අති විශාල ගීත රචනා අතරින් ඔබ වඩාත් ආශා කරන ගීත රචනා මොනවාද?

එයා අතින් ලියැවුණු කොයි ගීත රචනයටත් මම කැමැතියි. සසර වසන තුරු නිවන් දකින තුරු . . . ගීතය ඒ අතරින් මගේ ජීවිතයේ අනුස්මරණීය මතකයක්. උඩඟු ලියන් ගොතා බඳින . . ., එගොඩහ යන්නෝ . . ., තුන් තුඹ මල් . . ., නිවහල් සිතුවිලි . . . ආදී බොහෝ ගීත වැලක්ම තියෙනවා මතකයන් අතර.

ඩෝල්ටන් අතින් ලියැවුණු සසර වසන තුරු ගීතය ඔබේ ජීවිතයට අනුස්මරණීය ගීතයක් බව කිව්වේ ඇයි?

ඩෝල්ටන් කීප වරක් මට කියා තිබුණා එයා අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය ලෙස එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.

මේ ගීතය ලියනු ලැබුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මාව හදිසියේ ඇහැර වුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සිංදුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

සසර වසනතුරු ගීතයේ සිහින කතාවකුත් ඔබට කිව්වා නේද?

පිරිත් යන රේඩියෝව දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුනාලු. සසර වසන තුරු - නිවන් දකින තුරු - පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කණට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයාව සසල වෙලා ගියාලු කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.

සිංහල ජාතිය පවතින තාක් කල් ගීත රචකයකු වශයෙන් ඩෝල්ටන් අල්විස් නම පවතින්නට මේ ගීතය ප්‍රමාණවත් කියායි මට හැඟෙන්නේ?

මුළු සිංහල ජාතියේම වංශ කතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. ඩෝල්ටන්ට මේ ගීතය ලිව්ව පිනම ඇති නිවන් යන්න කියලයි මම හිතන්නේ.

ඔහුගේ ගීත රචනා කලාවේ මුල්ම විවේචකයා ඔබද?

මම එක් අයෙක් පමණයි. ගෙදරදී ලියන බොහෝ ගීත රචනා මටත් ලියලා ඉවර වෙලා බලන්න දෙනවා. මමත් මට හැඟෙන දේ ඒවා බලලා කියනවා. සමහර අදහස් එහෙම එකතු කරන අවස්ථාත් තියෙනවා.

ඔබ හිතන්නේ ඩෝල්ටන් මොන තේමා මුල් කරගෙන ද ගීත රචනා ලියන්න ඇත්තේ කියලද?

ආගම, ප්‍රේමය, ජාතිය, නිදහස, මානව දයාව, කර්මය, ස්වභාව සෞන්දර්ය, විරහව, සතුට ආදී සියලු අංග ඔහුගේ නිර්මාණවලට වස්තු විෂය වුණා කියලා මට හැඟෙනවා.

ඔහුගේ ගීත රචනාවල තිබූ සුවිශේෂතා ලෙස ඔබ හඳුනගෙන තිබුණේ?

එයාගේ කවිය වගේම ගීතත් හරිම සරලයි. එයා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල බසක් තමයි යොදා ගෙන තිබුණේ. ලිව්ව පද රචනයේ තනුව තිබුණා. සංගීතඥයාට වුණත් තනු දාන්න හරිම ලේසියි. අපි අතරේ භාවිත වන වචනවලින්ම තමයි එයා ගීත නිර්මාණය කළේ. ඒ සරල බව එයාගේ ගීත කලාව ඔපමට්ටම් කළා.

ගීත රචනයේ කීර්තිමත් පුද්ගලයෙකු වූ ඔබේ ස්වාමියා ජීවිතයේ එක් වරක් පමණක් සම්මානයට පාත්‍ර වූ බව කියන්නේ ඇත්තක්ද?

ඔව්. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයෙන් 1984 දී මහත්තයා ලියූ සාමය කවි පන්තිය සඳහා ප්‍රථම ස්ථානය හිමි වුණා. ඒ තමයි ඩෝල්ටන් අල්විස් කියන මේ සුවිශේෂ ගීත රචකයා ජීවිතයේ ලැබුව එකම සම්මානය.

ඔබේ ස්වාමියාගේ ගී රචනා අදටත් ගීතවත් නොවූ බොහොමයක් ඇති. මේවා කිසියම් හෝ අයකුට දෙන්නට අදහසක් නැද්ද?

සමහරු ආශාවට ඉල්ලනවා. මට හිත දෙන්නේ නැහැ ඒවා මුදලට විකුණන් කන්න.

ගුවන් විදුලියේ රැකියාවට යාමත් සමඟ ඩෝල්ටන් මත් වතුරට ඇබ්බැහි වෙනවා නේද?

කොහොම වුණාද නම් දන්නේ නැහැ. ඒ දේ එහෙම වුණා. එයාව මම බඳින කොට අරක්කු පොදක් කටේ තිබ්බේ නැහැ. ගුවන් විදුලියට ගියත් හරි එයාට ආශ්‍රය කරන්න හම්බවුණු කවුරුත් වැඩි හරියක් මත් ලෝලී පිරිස්. මේ අයගේ ඇසුර දවසින් දවස එයාව මත් රකුසාට කිට්ටු කළා. එයාට ලේසියෙන් ලෙඩක් දුකක් හැදුණේ නැහැ. මම කවදාවත් එයාට කොත්තමල්ලි ටිකක් හදලා දීලා නැහැ අසනීපයකට කියලා. ඒ තරමට එයා නීරෝගීව හිටියේ. බීමත්කම තමයි එයාට ඉක්මන් මරණය රැගෙන ආවේ.

නිසි වේලාවට සේවයට නොපැමිණීම නිසාම ඩෝල්ටන් අල්විස් මහතාට ගුවන් විදුලියේ දොර වැහෙනවා?

එහෙම වුණා. එයාට චෝදනාවක් ලෙස තිබුණේ කල් වේලා ඉක්මවා සේවයට පැමිණීම සිරිතක් ලෙස සිදු කළ නිසා රැකියාව අහිමි කරනවා කියලා. එයාව රැකියාවෙන් ඉවත් කරලා හිටියත් උදේ පුරුදු පරිදි ගුවන් විදුලියට ගියා. කොහොම හරි සතියක් විතර ගියාට පස්සේ දවසක් එච්. එම්. ගුණසේකර මහතා මේ බව දැනගෙන එවක සිංහල සේවා අධ්‍යක්ෂ රිජ්වේ තිලකරත්න හමුවට ඩෝල්ටන් රැගෙන ගිහින් කිව්වලු සසර වසන තුරු ගීතය ලිව්වේ මෙන්න මෙයා කියලා. ඒ පාර රිජ්වේ තිලකරත්න පුටුවෙන් නැගිටලා ඩෝල්ටන්ව බදාගෙන කිව්වලු ඒ සිංදුව තමයි මම ගුවන් විදුලියේ අහන්න ආසම සිංදුව කියලා. ඒ පාර එච්. එම්. කිව්වලු ඒත් ඩෝල්ටන්ව රස්සාවෙන් අස් කරලා ලියුම ගහලා තියන්නේ ඔබතුමා කියලා. ඒ වෙනකම් දැන ඉඳලා නැහැ රිජ්වේ මේ සිංදුව ලියපු කෙනාවයි මම අයින් කරන්න කියලා ලිපියට අත්සන් කරලා තියෙන්නේ කියලා. ඒ ගැන කම්පා වෙච්ච රිජ්වේ කිව්වලු සසරණ වසන තුරු මට මෙවන් ලිපියක් නිකුත් කරන්න නොලැබේවා කියලා ආයෙත් ඩෝල්ටන්ව ගුවන් විදුලියේ රැකියාවට බඳවා ගත්තලු.

නිෂ්පාදකයකු ලෙසින් ඩෝල්ටන් අතින් එවක මොන වගේ වැඩසටහන් ද සැකසුණේ?

ගුවන් විදුලියේ විකාශය වූ රස බිංදු, කොහෝ කාමරේ, පංච මධුර වැඩසටහන්.

උදේ ගෙදරින් ගුවන් විදුලියට යන ඩෝල්ටන් මධ්‍යම රාත්‍රියේලු ආයේ ගෙදර එන්නේ?

එයාට ඒ තරම් යාළුවෝ. ගුවන් විදුලියට යන කොට කට්ටිය බලන් ඉන්නවා මගදීම එයාගෙන් සිංදුවක් ලියව ගන්න. සමහර විට ඒකට සන්තෝසම් වශයෙන් ලැබුණේ මත්පැන්. ඔය විදියට එයා ජීවිතේ ගෙනිච්චත් කවදාවත් මටවත් දරුවන්ටවත් අඩුපාඩුවක් කළේ නැහැ. දරුවෝ ගැන සොයා බැලුවා. දරුවොත් තාත්තට හරිම ආදරෙයි. සේනාධීර පුතා, ගයා රම්‍ය පුතා ඒ දවස්වල ගොඩක් කුඩායි. එයාලා තාත්තා එන්න රෑ වෙන කොට තාත්තාගේ සරම බිම එලලා ඒකේ නිදා ගන්නවා. තාත්තා ආවහම එයාලව ඇඳෙන් තියලා තමයි එයා සරම ඇඳගන්නෙත්. ගොඩක් එයා දරුවො එක්ක විනෝදයට ගමන් ගියේ අනුරාධපුරයේ වගේම කතරගම. කතරගම දෙවියෝ ගැන ලොකු භක්තියක් එයාට තිබුණා.

ඔහුගේ වියෝවීම කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ?

එයා මිය යනකොට වයස අවුරුදු 59 යි. අසනීපයක් තිබුණට බේත් ගන්න හරිම අකමැති පුද්ගලයෙක්. මගේ බලේට තමයි දොස්තර ළඟටත් එක්ක යන්නේ. කොහොම හරි එයාට තිබුණේ මත්පැන් බීම නිසා අසනීප තත්ත්වයක්. වෛද්‍යවරු සායනවලට මාස්පතා එන්න කියලා තිබුණත් ඒවට යනවා කියලා ගෙදරින් යනවා. අන්තිමට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගිනිච්චාමයි දන්නේ කවදාවත් ක්ලිනික් ඇවිත් නැහැ කියලා. ශ්‍රී ජයවර්ධන පුර රෝහලේදී තමයි එයා මිය ගියේ. ඒ දවස්වල රටේ කලබල. ඇඳිරි නීතිය රජ කරන වකවානුවක්. කොහොම හරි මගේ ලොකු පුතා රණදේවත්, සේනාධීර පුතාත් රෝහලට යන කිට්ටුවම වගේ එයා අපිව තනි කරලා සදහටම සමුගෙන තිබුණා. රෝහලේ මිසීලත් කිව්වලු එයාලත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාලටත් සිංදුවක් ලියලා දෙන්නම් කියලා විහිළු කරමින් ඉන්දැද්දිමලු නැති වෙලා තියෙන්නේ කියලා.

ඩෝල්ටන් අල්විස් මරණයට පෙර ඔබට කියූ දෙයක් ඔහුගේ මරණෙන් පසු සැබෑ වුනාලු නේද?

එයා රෝහලේ නතර කරන්න එක්ක ගිය දවසේ සිංදු ලියන්න ඕනෑ කියලා කොළ මිටියක් අරන් ගියා. ඒත් ඒ එකක විතරක් සීගිරිය කියලා ලියලා තිබුණා. ගෙදරින් එළියට බැස්සේ ඕන් ආරියවතී මම අද කිව්වා කියලා හිතාගන්න මම මැරුණදාට හිඟන්නගේ ඉඳලා රටේ ජනාධිපතිත් මේ මගේ ගෙදරට එයි කියලා. ඒ කිව්වත් වගේම ඒ දවස්වල අපි හිටිය දෙමටගොඩ ගෙදරට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයත් ආවා. ඒ වගේම යාචකයෙකුත් ඇවිල්ලා එයා කිව්වා වගේම එයාගේ මිනියේ කකුල් දෙක අල්ලන් පැය භාගයක් විතර හොඳටම ඇඬුවා. මම හිතන්නේ මේ යාචකයාට එයා කාලයක් තිස්සේ සලකන්න ඇති. ඒ නිසාම කිව්ව දේවලින් අපට ඒ බව හොඳට දැනුණා. කොහොම හරි එයා මරණෙට කලින් ගෙදරට එනවයි කිව්ව රටේ ජනාධිපතිත් අවා. හිඟන්නත් ආවා. ඒක මට පුදුමයක්.