වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක් තැන් වූ ‘සුසර දැහැන’

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක් තැන් වූ ‘සුසර දැහැන’

මෙවර සුසර දැහැනින් ටී.එම්.ජයරත්න හා දමයන්ති ජයසූරිය

මිනිස් හදවත සියුම්ව කම්පනය කරමින් මිනිසාගේ භාවමය හා බුද්ධිමය සෛලවලට ආමන්ත්‍රණය කරන්නට සමත් අග්‍රගණ්‍ය කලාවකි සංගීතය. සංගීතය පිළිබඳව, එහි අන්තර්ගත එක් එක් කලා අංශ පිළිබඳව කතා කරන මෙරට බිහි වූ රූපවාහිනී වැඩසටහන් රැසකි. ඒ වැඩසටහන් අතරින් ශ්‍රී ලාංකේය නාමය පෙරදැරිව සුභාවිත ගීතයේ කලාත්මක ඉසව් සොයා ගොස් සහෘද සිත විචාරයට බඳුන් කර ප්‍රේක්ෂකයාගේ හද රැඳි ගී සිතුවම් රස විඳින්නට ඉඩ සලසන සංගීතමය වැඩසටහනකි 'සුසර දැහැන'. ජාතික රූපවාහිනියේ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 10.10 ට විකාශය වන සුසර දැහැනේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක සුමිත් සී. දිසානායක සමඟ කළ සංවාදයකි මේ.

'සුසර දැහැන' නමින් සුභාවිත ගීතය අරමුණු කරගෙන වැඩසටහනක් ජාතික රූපවාහිනියෙන් මේ වසර ආරම්භයේදීම ප්‍රේක්ෂකයා හමුවට එනවා. මේ වැඩසටහනේ ඇරැඹුම කෙබඳුද?

'සුසර දැහැන' නමින් සංගීතමය වැඩසටහනක් විකාශය කරන්න අදහස ඉදිරිපත් කළේ ජාතික රූපවාහිනියේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා. ඔහුට අවශ්‍ය වුණා වර්තමානයේ මාධ්‍ය නාළිකා තුළින් නිතරම ප්‍රෙක්ෂකයාට නොඇසෙන නමුත්, පේ‍්‍රක්ෂකයා අතිශය සමීපව වැලඳ ගත් ගීත, ඒ ගීතවල පද රචකයන්, තනු නිර්මාපකයන් ගැන සමාජය තුළ නැවත කතිකාවක් ආරම්භ කිරීමට. ආරම්භක අවධියේ වැඩසටහන රූපවාහිනයේ එළිමහන් රජත මැදිරියේ සජීවීව පටිගත කළා. නමුත් අද එය මැදිරි අංක තුනේ පටිගත කරනවා. පළමු වැඩ සටහනට ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දසිරි, ගීත කෝකිලා ලතා වල්පොල හා ප්‍රවීණ විචාරක මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන අය ආරාධිතයන් ලෙසින් සහභාගී වුණා. මෙහි වැඩසටහන් අධීක්ෂණය කරන්නේ විමරත්න අධිකාරි සහ සංගීත අංශයේ අධ්‍යක්ෂක අජිත් ජයවීර.

'සුසර දැහැන' ඇරැඹුමේ මූලිකම අරමුණ වෙන්නේ කුමක්ද?

අද වගේ නෙෙවි, මිට දශක කීපයක සිට මෙරට සම්භාව්‍ය ගීතයට නැතිනම් සරල ශාස්ත්‍රීය ගීතයට ආල වඩපු ප්‍රේක්ෂකයෝ සහ නිර්මාණකරුවෝ පිරිසක් ලංකාවේ සිටිනවා. ඔවුන් නූතන තාරුණ්‍යයට ගීතයේ රස වින්දනය ගැන, එහි සුභාවිත සුන්දරත්වය ගැන, ගීතයෙන් හදවතට දැනෙන සංවේදීකම ගැන සමාජයට යමක් උගන්වන්න උත්සාහ කරනවා. අද බිහි වන බොහෝ හරසුන් ගීත පද රචනයන් අතරින් මිනිසුන්ගේ හදවත රිදවන, කිතිකවන සහ සදාකල් මතකයේ රැඳෙන ගීත, තනු හා පද රචකයන් මෙන්න මේවායි කියලා කියන්න පුළුවන් ගීත රාශියක් අප සතුව තිබෙනවා. එවැනි ගීත පමණක් තෝරා ගෙන එහි නිර්මාණයට දායක වූ සියල්ලෝම කැටුව එකම වේදිකාවක හිඳ සජීවීව ගීත රස විඳිමින් අරුත්බර විචාරයක් හා රස වින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදීමයි 'සුසර දැහැනේ' මූලිකම අරමුණ වන්නේ.

සුසර දැහැන වැඩසටහනට ප්‍රේක්ෂකයොත් සජීවීව සහභාගී වෙනවා?

ඔව්, ඒක විශේෂයි. මේ වැඩසටහනට නිවේදිකාව ලෙසින් පාරමී රණතුංග සම්බන්ධ වෙනවා. ඊට අමතරව ගායිකාවක් හා ගායකයෙක්, විචාරකයෙක්, සංගීත කණ්ඩායමක් හා ඒ මොහොතේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයො පිරිසකුත් සහභාගී වෙනවා. ගීත රස වින්දනය අතරතුර ඔවුන්ටත් ගීතය ගැන, එහි තනුව, පද රචනය ගැන දැනෙන හැඟීම්, තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන්නට වගේම ප්‍රශ්න අසන්නටත් ඉඩ ප්‍රස්ථාව හිමි වෙනවා.

මෙතෙක් සහභාගී වූ ගායක ගායිකාවන්, විචාරකයන් සිහි කළොත්?

ප්‍රණීත් අබේසුන්දර, බන්දුල නානායක්කාරවසම්, අරුණ ගුණරත්න, දිලීප අබේසේකර, සරත් විජේසූරිය, ගරු බෙනඩික් ජෝශප් පියතුමා, නුවන් නයනජිත් කුමාර වැනි අය විචාරක පක්ෂයෙනුත්, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, රෝහණ බැද්දගේ, නෙලූ අධිකාරි, අතුල අධිකාරි, ශෂිකා නිසංසලා, පුන්සිරි සොයිසා, ඇන්ජලින් ගුණතිලක, නිර්මලා රණතුංග, කීර්ති පැස්කුවල්, සමිතා මුදුන්කොටුව වැනි ශිල්පීන් ගායනය පක්ෂයෙනුත් සහභාගි වෙලා තියෙනවා. මේ අයට අමතරව තව බොහෝ ප්‍රවීණ කලාවේදීන් සම්බන්ධ වුණා. ඉදිරියටත් මෙලෙස ප්‍රවීණයන් සහභාගී කර ගන්නවා.

වැඩ සටහනේ සංගීත අධ්‍යක්ෂණය කෙබඳු අයුරින් ද සිදු වන්නේ?

ප්‍රධාන වශයෙන්ම මෙයට පෙරදිග හා අපරදිග යන සංගීත කණ්ඩායම් සම්මිශ්‍රව සහභාගී වෙනවා. නව පරපුරේ ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම මෙරට නමක් රැන්ඳූ තමාගේම අනන්‍යතාවක් ගොඩ නැඟූ සුදක්ෂ සංගීත ශිල්පීන් මීට සහභාගී වෙනවා. සරත් ද අල්විස්, මහින්ද බණ්ඩාර, කපිල පූගලාරච්චි, සුසිල් අමරසිංහ, ප්‍රේමනාත් කොඩිතුවක්කු, තිළිණ තුෂාර ආදීන් දැනට අපි වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබෙනවා.

සජීවී පටිගත කිරීමක් ලෙස වැඩ සටහන කරන අතරතුර සිදු වූ රසබර සිදුවීම් සිහි කළොත්?

මේක සජීවී පටිගත කිරීමක් නිසා සමහර අවස්ථාවල ගායක ගායිකාවන්ට වචන පැටලෙන අවස්ථා තියෙනවා. ඒවාත් වැඩසටහනේ විනෝදය හා රස වින්දනය වැඩි කිරීමට හේතු වෙනවා.

ජාතික රූපවාහිනිය කවදත් සමාජයට හරවත් දෙයක් තිළිණ කරනවා. ඒ අනුව සුසර දැහැන හරහා සමාජයට ලැබෙන ප්‍රතිලාභ කෙබඳුද?

මෙම වැඩසටහන මෙරට බුද්ධිමත් ප්‍රේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහනක්. මීට සහභාගී වන්නේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. විටෙක මෙහි සංවාද මණ්ඩපයක් නිර්මාණය වෙනවා. ප්‍රේක්ෂක අදහස් ඉස්මතු වෙනවා. පැමිණෙන විචාරකයා තනුවේ, පද රචනයේ ගායන කටහඬේ රසතැන් සොයා යනවා. එපමණක් නොව පරිණත තාරුණ්‍යය නියෝජනය කරන පවතින රැල්ලෙන් එහාට විනිවිද ගිය සමාජයට වටිනා යමක් නිර්මාණය කළ තරුණ සංගීත කලාවේදීන්ට මීට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. සුභාවිත ගීතයට ආලවඩන මුනිවර විචාර කලාවකට මින් දොරටු විවර වෙනවා. ගායනය පමණක් නොව එහි තනුව, පද මාලාව පිළිබඳ විද්වත් කතිකාවක් සමාජයට දායාද කරනවා.

මෙම වැඩසටහනේ නිෂ්පාදක හා අධ්‍යක්ෂක වන ඔබ රාජ්‍ය සම්මානලාභියෙක්. ඔබ ගැනත් තොරතුරු පැවසුවොත්?

මම කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය සරසවියට ඇතුළු වී ජනසන්නිවේදන උපාධිය ලැබ දැනට ජාතික රූපවාහිනියේ වසර විසි එකක සිට සේවය කරනවා. ජනසන්නිවේදන දර්ශනපති උපාධියට මම පෙනී සිට දැනට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා. සංගීතය පිළිබඳව ගාන්ධර්ව හා භාත්කණ්ඩේ ඩිප්්ලෝමාධාරියෙක් මෙන්ම රූපවාහිනී පිළිබඳ කොරියවේ පුහුණුවක් ලබලා තියෙනවා.

ඔබ ලැබූ සම්මාන?

මැයි දිනය වෙනුවෙන් 'රතු කඳුළේ ගීතය' නමින් කළ වැඩසටහනට මට 2006 දී රාජ්‍ය සම්මාන හිමි වුණා. එයටම සුමිති සම්මානත් ලැබුණා. අවුරුද්ද අලළා කළ 'වසත් ගී සර' වැඩසටහනට 2009 දී රාජ්‍ය සම්මාන ලැබුණා. එය එම වසරේදී A B U  සම්මාන උළෙලටත් නිර්දේශ වුණා. 2003 දී මම අධ්‍යක්ෂණය කළ 'බක් මහ ගී සිරි' වැඩ සටහනට සුමති සම්මානය හිමි වුණා.

වසර 21 ක සේවා කාලය තුළ ඔබ මෙතෙක් කළ වැඩසටහන් ගැන මතක් කළොත්?

මම බොහෝ විට සංගීත වැඩසටහන් තමා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කළේ. අලුත් ගායකයන්ට අවස්ථාව ලබා දුන් 'ඉඳුවර සර' වැඩසටහන, වාදන ශිල්පීන්ට අවස්ථාව ලබා දුන් 'රෑ රූ' වැඩ සටහන, 'නිම් තෙර', 'පන්සිළු අරණ', 'සඳ රඟමඬල', ' නුග සෙවණ' ආදියත් 'ශ්‍රී ලංකන් ලයිෆ්' වැඩසටහනේ සම අධ්‍යක්ෂවරයා ලෙසත් 'තුරුණු ශක්ති' වැඩසටහනේ නිෂ්පාදකවරයෙක් ලෙසත් මම සේවය කරලා තියෙනවා.

සුසර දැහැන වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

බොහොම ඉහළයි. පළමු විකාශයෙන්ම ප්‍රේක්ෂකයෝ ගොඩක් කතා කරලා සුබපැතුවා. වැඩසටහන ගැන බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ තෘප්තියෙන් සිටින්නේ. සුනිල් ශාන්තයන් ගැන අපි විශේෂිත වැඩ සටහනක් කළා සුසර දැහැනින්. එහි අයිවෝ ඩෙනිස් ගීත ගායනා කළා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමයි විචාරය කළේ. ගායන ශිල්පී ජෝතිපාල වෙනුවෙනුත් අපි විශේෂ වැඩසටහනක් කළා. නුවන් ගුණවර්ධන, ඉෂංකා ප්‍රියදර්ශනී, අරුණ ගුණරත්න යන අය ඊට සහභාගි වුණා. මීට ලැබුණු ප්‍රතිචාර ඉහළ මට්ටමක තිබුණා.

මේ සතියේ වැඩසටහනට සහභාගි වෙන ආරාධිතයෝ කවුද?

ටී. එම්. ජයරත්න, දමයන්ති ජයසූරිය ගීත ගායනයෙන් සහභාගි වෙනවා. මහාචාර්ය සරත් විජේසූරිය තමයි විචාරයට පැමිණෙන්නේ.

'සුසර දැහැන' පිළිබඳ රසිකයෙකු ලෙස ඔබේ පෞද්ගලික අදහස?

ලංකාවේ ගොඩක් මිනිස්සු ගීතය තමයි බොහෝ විට සංගීතය ලෙස දකින්නේ. නමුත් සංගීතය කියන්නේ ගීතය පමණක්ම නොවේ. ඊට වඩා පුළුල් දෙයක්. සුසර දැහැන වැඩසටහනෙන් හරවත් පොදු ප්‍රේක්ෂකයාට සංගීතය ගැන පුළුල්ව විඳගන්න අවස්ථාවක් ලැබෙනවා කියා මා හිතනවා.

අවසාන වශයෙන් මෙම වැඩසටහනට සහභාගි වන්නට නූතන ජනප්‍රිය තරුණ ගායකයින්ට අවස්ථාවක් තිබෙනවාද? නැතිනම් එය ඔවුන්ට අභියෝගයක්ද?

ඇත්ත වශයෙන්ම එය අභියෝගයක්. මෙම වැඩසටහනට අපි සම්බන්ධ කර ගන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පමණයි.

සමාජයට දැනෙන්න වටිනා යමක් දායාද කළ අනන්‍ය වූ මාවතක් තිබෙන කලාකරුවන්ට අවස්ථාව ඕනෑ තරම් තිබෙනවා ඊට සම්බන්ධ වෙන්න. ඒ අප පතන අයුරින් මිනිස් හදවතට දැනෙන ගී නිර්මාණය කළ, ගීත ලියූ, තනු සැකසූ කලාකරුවන්ට.