වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අත්‍යවශ්‍ය ශෝකයේ දැවටූ අහඹු සිනහව

අත්‍යවශ්‍ය ශෝකයේ දැවටූ අහඹු සිනහව

Finding Fanny

තැපැල් ස්ථානාධිපතිතුමාට දිනක් රාත්‍රියේ දොර යටින් දමා ගිය ලිපියක් හමු වේ. හෙතෙම ක්‍රේල් කොණ්ඩය අවුල් කරගෙන, යටි ගිරියෙන් කෑ ගසාහෙන හඬන්නට ගන්නේ මැදියම් රැයේදීය. පෝකෝලිම් නම් කුඩා ගමේ සෑම ගෙදරකම විදුලි පහන් එකිනෙක දැල්වෙන්නේ මහා මැදියමේ ඇසෙන හැඬුම් ශබ්දයටය. එතරම් කුඩා ගමක, එතරම් හුදෙකලා ගමක වෙන්, වෙන්ව සඟවාගෙන සිටීමට තරම් රහස් නැති හෙයින් තැපැල්පතිතුමාගේ හැඬුම පොදු ගැටලුවක් බවට පත් වේ. හේ ෆර්ඩි නම් වෙයි. රූමත් කෙල්ලකද පෝකෝලිම් හි වසයි. ඈ ඇන්ජි නම් වෙයි. විවාහ මංගල්‍යය දා ඇගේ ස්වාමියා වූ ගබෝ මිය යන්නේ කේක් ගෙඩියේ තිබූ මනමාල යුවළගේ අනුරුව උගුරේ හිරවීමෙනි. ඇන්ජි කනවැන්දුම් වන්නේ එයාකාර විප්‍රකාර මරණයක් හේතුවෙනි. ඇන්ජි වෙසෙන්නේ ඇගේ නැන්දම්මා සමඟය. ඈ කොච්චි කරලකි. නිතර පුපුරා හැලෙන්නියකි. ඈ රෝසිය. ඈට වහ වැටුණු චිත්‍ර ශිල්පියා දොන් පේද්‍රෝය. පූජකතුමා ෆ්‍රාන්සිස්ය ඇන්ජිගේ අප්‍රකාශිත ප්‍රේමය ඇත්තේ සාවියෝ ද ගාමා වෙතය.

මේ පාත්‍ර වර්ගයා 'ෆයින්ඩින් ෆැනී' සිනමාපටය කළඹවන්නේ හාස්‍ය එහි සැරසිල්ලක් මෙන් තවරමිනි. එහෙත් මට පෙනෙන්නේ මේ සියලු චරිත යට තිබෙන අප්‍රමාණ ශෝකයයි. සන්තාපයයි. තනිකමයි. ප්‍රේමය විරහිත බවයි.

ෆර්ඩි සොයන්නේ වසර 46කට පෙර තැපැල් කරන්නට යෙදුණු ලිපියක යොමු කිරීමේ පාර්ශ්වයයි. ඔහු ඇගෙන් විවාහ ගිවිස ගැනීමට කැමතිදැයි අසා යැවූ ලිපියයි මේ දොර යටින් දමා ගොස් තිබියදී හමු වන්නේ. මහලුව, තනිව, වේදනාවට පත්ව සිටින ඔහු මහත් කම්පනයකට පත් වන්නේ ඈ ඔහු විසින් යොමු කළ ලිපිය කිසිදා නොලද බව දැන ගැනීමත් සමඟය. එය විප්‍රයෝගයක් දැයි කිව නොහැක. එය බොහෝ විට කළු ගලක් දෙබෑ කරමින් රෝස මලක් පිපෙන තුරු බලා සිටින්නක් වැනිය. ඉතාම නිෂ්ඵල සහ අවාසනාවන්ත ඉරණමක් වෙතට ෆර්ඩිව තල්ලු කර ඇත්තේ ඔහුගේ මිත්‍රයෙකි. සාවියෝ ද ගාමා ගේ පියතුමන්ය. ජීවිතයේ විප්‍රකාර බව තුළින් හදිසියේ මතුව එන ශෝකය ඕනෑ නම් අල්ලා ගන්නැයි සිනමාපටය විසින් අපට දමා ගසන්නාක් මෙනි.

හින්දි සිනමාපටයකට අයිති සිහිනමය ගති ලක්ෂණය මතු කරමින් ඇන්ජි විසින් ෆර්ඩිව පොළඹවන්නේ 'ෆැනී'ව සොයා යන්නය. ෆර්ඩි ගේ දුකෙන් ඇන්ජි ලබන ප්‍රමෝදය ද වෙනත් දෙයකි. ප්‍රේමයට ඉතාම ආසන්නව හිඳ ඒ අහිමිව ගිය ඇන්ජි ෆර්ඩි ගේ දුක තුළින් තමාවම දකියි. ඈ ෆර්ඩි ගේ ලිපිය කියවමින් හඬන්නේ ඒ නිසා විය යුතුය.

ඉතාම සුළු සිද්ධියක් වටා ගෙතුණ හෙයින්දෝ 'ෆයින්ඩින් ෆැනී' සිනමාපටය පුරාම අපූරු බුහුටි බවක් පෙනෙන්නට තිබෙයි. කතාන්දර වැඩි ගණනක් පටලවමින්, සිහිනමය අවසානයක් කරා ගෙන යන වට්ටෝරුගත හින්දි සිනමාවෙන් 'ෆයින්ඩින් ෆැනී' පීලි පනී. ප්‍රේක්ෂකයාගේ උරහිසට අනිමින්, ඔහුගේ දුක එළියට අදිමින් වෙනත් අවකාශයක ගමන් අරඹයි.

මේ සියලු පාත්‍ර වර්ගයාට පොදු දුකක් ඇති අතර එය එකිනෙකාට අනන්‍ය වෙයි. ඒ ශෝකය විසින්ම ඔවුනොවුන් හුදෙකලා කර දමා ඇති සැටියකි. ඇන්ජි විත් මේ සියලු හුදෙකලා කඳවුරු අතර උමගක් තනයි. එකිනෙකාගේ ජීවිත තුළට ඇතුළු වීමට ඈ තැනූ මේ උමග භාවිතයට ගැනෙයි. විශේෂයෙන්ම ඇගේ නැන්දම්මා විෂයෙහි ඇන්ජි දක්වන ඉවසිල්ල සහ වටහා ගැනීම සුළුවෙන් තැකිය යුතු නොහේ. සිය ස්වාමියා මිය ගොස් ඇතැයි අන්‍යයන්ට කියන ඈ සත්‍ය වසන් කරයි. සේලරුවෙකු වූ ඇගේ ස්වාමියා වෙන කෙල්ලක හා පැන ගොසිනි. මේ මහත් දුක වසංගමින් ඈ වඩාත් නපුරු, වැසුණු චරිතයක් සේ සමාජය ඉදිරියේ පෙනී සිටියි. එහෙත් ශෝකය සියුම් හුයක් සේ ඇගේ ජීවිතය යටින් ගලා යනු අපට පෙනෙයි.

හෝමි අඩජීනියා අධ්‍යක්ෂණය කළ දිනේෂ් විජාන් නිෂ්පාදනය කළ 'ෆයින්ඩින් ෆැනී' තිර රචනය හෝමි සහ කර්සි කැම්බාටාගේය. සිනමාපටය නිකුත් කර ඇත්තේ 2014 සැප්තැම්බර් 1 වැනිදාය. මිනිත්තු 106ක් පුරා දිවෙන 'ෆයින්ඩින් ෆැනී' හි නිෂ්පාදන ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් මිලියන 2.3කි. සිනමාපටය මඟින් උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 9.2කි.

මේ සිනමාපටය ප්‍රහසන ගණයට ශ්‍රේණිගත කර තිබුණත් ප්‍රහසනය සිසාරා යන මානුෂීය බන්ධන සහසක් එතුළින් අපට හමුවේ. සිනහව උපදන්නට සිතන සෑම මොහොතකම ඊට යටින් ඇති ශෝකී ස්වාභාවය විසින් සිනමාපටයට අපව බැද තමයි. මහලු ෆ්‍රෙඩී ගේ වසර 46ක් පැරැණි පෙම් කතාව තවත් කිහිප දෙනෙකුව මාර්ග චාරිකාවකට එකතු කරවයි. ඒ අතර ස්ත්‍රී ලෝලී චිත්‍ර ශිල්පියකු වන දොන් පේද්‍රෝ, ස්වාමියා අන් තරුණියක හා හොර රහසේ පැන ගිය වැන්දඹුවක් වන රෝසී යුකරස්ටිකා, විවාපත් දිනම ස්වාමියා මිය ගිය තරුණ වැන්දඹුව ඇන්ජි, තමන්ගේ හොඳම මිත්‍රයාට තමා පෙම් කළ තරුණිය දන් දී මුම්බායට පලා ගිය තරුණ පෙම්වතා සාවියෝ ද ගාමා සහ රෝසීගේ ප්‍රාණසම බළල් සුරතලා නීරියස් ද මේ ගමනට සහභාගි වෙයි. ෆැනී සොයන්නට යන අතරතුර නයා සහ මුගටියා සේ එකිනෙකා නුරුස්සමින් සිටි රෝසී සහ ෆර්ඩි මෙන්ම දොන් පේද්‍රෝ අතර සම්බන්ධයක් ගොඩ නැගේ. ඔවුනොවුන් හඳුනා ගන්නට පටන් ගනී. ඇන්ජි සහ සාවියෝ පෙමෙන් බැදෙයි.

තමන්ට අත් හැරුණු ප්‍රේමවන්තිය සොයා යන ෆර්ඩිට ඈ හමු වන්නේ ඇගේම අවමඟුල් පෙරහරේදීය. වඩාත් උත්ප්‍රාසය සහ දුක්බර සිදුවීම වන්නේ ෆර්ඩිගේ ආදර පෙම්වතිය ස්ටෙෆනී ෆර්නැන්ඩස් ඒ වන විට මිනී පෙට්ටියක බාවා ගෙන යාමයි.

හෝමි අඩජීනියා විසින් මේ තිර පිටපත ලියන්නට යෙදුණේ ඔහු සැල්වදෝර් ද මුන්ඩෝ හි වෙසෙන කාලය ඇතුළතයි. පෝකෝලිම් නම් මන:කල්පිත ගම ඔහුගේ සිත තුළ ගොඩනැඟෙන්නේ මේ කාලය ඇතුළතයි. ගෝවේ වෙසෙන සිසිල් පින්ටෝගේ උපකාරද මේ සඳහා හෙතෙම යොදා ගෙන තිබේ. කර්සි කැම්බාටා විසින් රචිත පිටු 200ක නවකතාවක් 'ෆයින්ඩින් ෆැනී' සිනමාපටය තැනීමට පාදක කරගෙන තිබේ. ගෝවා හි නොයෙක් ග්‍රාමයන්හි රූගත කෙරුණ මේ සිනමාපටය දින 36ක මහන්සියකි. සිනමාපටය නිකුත් වීමට පෙර නිකුත් කළ 'ශේක් යුවර් බූටියා' වීඩියෝව නොසිතූ තරමින් ප්‍රසිද්ධියට පත් විය.

සුරූපී ඇන්ජිට රඟන දීපිකා පදුකෝන් සිනමාපටයට නව පැහැයක් තවරන අතර සාවියෝ ද ගාමා ට රඟන අර්ජුන් කපූර් එතරම් විශිෂ්ට රංගනයක් නොදක්වයි. ෆර්ඩිට රඟන නස් රුදීන් ෂා සිනමාපටය පුරා ඇති කරන කැළැඹීම අපූරුය. රෝසී ට රඟන ඩිම්පල් කපාඩියා මැකී යන තාරුණ්‍ය සහ එළැඹුණ මැදි විය පවා තමන්ගේ චරිතය විකාශනයට අපූරුවට යොදා ගෙන තිබෙන සැටියකි. දොන් පේද්‍රෝට රඟන පංකජ් කපූර්, ෆ්‍රැන්සිස් පියතුමාට රඟන ආනන්ද් තිවාරි, ස්ටෙෆනි ෆර්ඩිනැන්ඩස්ට පෙනී සිටින අන්ජලී පාඨලී මෙන්ම ගබෝට රඟන රන්වීර් සිං කුඩා පෙනී සිටීමකින් වුව විශාල බලපෑමක් කිරීමට සමත් සැටියකි.

ආදරය දොරට තට්ටු කරන තෙක් නොසිට දොර සොයාගෙන ගොස් තට්ටුවක් දැමීමට ඔබට සිදු වන බව කියන 'ෆයින්ඩින් ෆැනී' ආදරය සහ අහිමි වීමේ ශෝකය සියුම්ව පෙන්වයි. ඒද ප්‍රහසනයක ලීලාවෙනි. වේදනාව සහ ශෝකය තුළ ඇතැයි සිතන සිනහ උපදවන ගතිය අපට අමතක කළ දැමිය නොහැකිය. සිනමාපටයේ පළමු භාගය තුළ මතු කරන විනෝදාත්මක ස්වභාවය ඉතිරි අඩ වෙත යන විට තරමක් වේගවත් වෙයි. ඉන් පසුව විනෝදය හීන කරමින් සැබෑව තුළට සෙමින්, සෙමින් ඔබව හෙළයි. බලා සිටීම යනු කුමක්දැයි අර්ථ ගන්වා ගැන්වීම ප්‍රේක්ෂකයාටම භාර කරයි. සැබෑවටම මේ සිනමාපටයේ සිටින සියල්ලෝම යමක් බලාපොරොත්තුවෙන් සිටින්නෝය. ඒ බලාපොරොත්තු එකිනෙකාට අනන්‍ය අතර එකිනෙකාගේ සහයෝගයෙන් තොරව විසිරී පවතී. ඊළඟ මොහොතේ එකී විසිරුණු බලාපොරොත්තු එකිනෙකාගේ අනු දැනුම මත එහා-මෙහා ගමන් කරන්නට පටන් ගන්නා සැටියකි.

සැබෑ ජීවිතය තුළත් අප සියලු දෙනාම එකිනෙකාට අනන්‍ය වූ බලාපොරොත්තු වෙනුවෙන් මග බලා සිටින්නෝ නොවෙමුද? එහෙත් අපේම දුකට අපිටම සිනාසෙමින් සිටින්නෝ නොවේද? විනෝදාත්මක සිනමාපටයකින් වුව ශෝකයක් හෝ සන්තාපයක් සොයා ගන්නට සමත් වූවන් වන අප එකී ශෝකය බලාපොරොත්තුවෙන් සිටින්නෝ නොවෙමුද?

'ෆයින්ඩින් ෆැනී' යනු එකී අත්‍යවශ්‍ය ශෝකයේ දැවටූ අහඹු සිනහවක් ලෙස මට පෙනෙන්නේ ඒ නිසා විය හැකිය.