වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඕනෑම අයෙක් ගාව ශෘංගාරය තියෙනවා

ඕනෑම අයෙක් ගාව ශෘංගාරය තියෙනවා

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් නටන්න පටන් අරන්

ශී‍්‍රමත්-දමයන්ති ඩාන්සින් කොන්සට් 14 දා

තම පියා විසින් නයිට් පදවිය ලබා දුන් එකම තැනැත්තා ඔහු විය හැකිය. එමෙන්ම අප කලා ලොව එම නමින් සිටින වන් ඇන්ඩ් ඔන්ලි කෙනාද නිසැකවම ඔහුය. නයිට් නාමය සිංහලයට පරිවර්තනය වන්නේ ශ්‍රීමත් යනුවෙනි. මේ කතාවේ නායකයාද මේ ශ්‍රීමත්ය. ඔහුගේ නම සම්පූර්ණයෙන්ම සඳහන් කළහොත් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ වේ. මෙම මස 14 වැනිදා ඔහුගේ නවතම ප්‍රසංගය “ශ්‍රීමත් – දමයන්ති ඩාන්සින් කොන්සට්” කොළඹ සවුත් ඉන්ටර්නැෂනල් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ කතාව ලියවෙනුයේ එයට මුල්තැන දෙමිනි.

ශ්‍රීමත්, මොකක්ද මේ ප්‍රසංගය?

මේක නර්තන ප්‍රසංගයක්. සීදූවෙ සරසි සංගීත කණ්ඩායම තමයි මෙහි සංගීතමය පැත්ත බලා කියා ගන්නෙ. මම සහ දමයන්ති ප්‍රධාන කොට නර්තන කණ්ඩායම් 20 ක් එකම වේදිකාවෙ නර්තනයේ යෙදෙනවා. ජාවා, චචචා, සුම්බා, රුම්බා, සල්සා ඇතුළු නර්තන විධි ගණනාවකින් ප්‍රසංගය සමන්විතයි. ඒ වගේම ජනපි‍්‍රය ගායක, ගායිකාවො නළු, නිළියො මෙහි ගීත ගායනයේ යෙදෙනවා. විශේෂය කියන්නේ මේ ප්‍රසංගය නරඹන්නන්ට නොමිලයේයි පෙන්වන්නෙ.

ඔබ මෙයට එකතු වන්නෙ නර්තන ශිල්පියකු විදිහටද?

ඔව්.

නිවේදකයකු, රංගන ශිල්පියකු, හඬ කැවීම් ශිල්පියකු වශයෙන් ක්ෂේත්‍රයේදි ඔබව හමුවුණාට ඔබ නටනවා කියලා අපි අහලා නැහැ?

බුදු අම්මෝ ... නර්තනය මං හදාරන්නෙ අවුරුදු ගණනාවක් තිස්සෙ. ඩබ්ලිව්. චන්ද්‍රතිලකයි මගෙ මුල්ම නර්තන ගුරුවරයා. ඊට පස්සෙ කෙවින් නුගාර, නලින්ද සුබසිංහ ඇතුළු නර්තන ආචාර්යවරුන් ගණනාවක් යටතේ මං නැටුම් හැදෑරුවා. සාපේක්‍ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් පවසලා තියෙනවා “සාර්ථක වෙන්න දඟලන්න එපා. ඔබේ හැකියාව වර්ධනය කරගන්න” කියලා. ඒක දේවභාෂිතයෙන් අදහන කෙනෙක් මම. අපිට හැකියා ශෛල කෝටියක් විතර තියෙනවා. ඒවායින් අප ප්‍රයෝජනයට ගන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මම කරන්නෙ මගෙ හැකියාවන් හඳුනාගෙන ඒවා එකින් එක කලඑළියට ගෙනෙන එක.

හිටි හැටියෙම ඔබට ප්‍රසිධියේ නටන්නට හිතුණේ ඇයි?

මට කාලෙන් කාලෙට විවිධාකාර පිස්සු හැදෙනවා. කාලයක් තිබුණා පත්‍ර කලාවේදියකු වීමේ පිස්සුව. ඒ මගේ පියා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන ගුණදාස ලියනගේ නිසා. ඊට පස්සෙ චිත්‍ර ශිල්පියකු වීමේ පිස්සුව, ග්‍රන්ථකරණයේ පිස්සුව, රංගන ශිල්පියකු වීමේ පිස්සුව මගෙ ඔළුවට ආවා.

දැන් තියෙන්නෙ නර්තන ශිල්පියකු වීමේ පිස්සුව?

අනිවාර්යයෙන්ම.

ඔබේ ප්‍රසංගය නම් කරලා තියෙන්නෙ ශ්‍රීමත් – දමයන්ති ඩාන්සින් කොන්සට් කියලා. කවුද මේ දමයන්ති?

දමයන්ති නිළියක්, නිරූපිකාවක්. හිරු අමාවකයි ඇතුළු නාට්‍ය ගණනාවක රඟපෑවා. ඇය නර්තනයටත් දක්‍ෂයි.

මොකක්ද ඔබ සහ දමයන්ති අතර ඇති සම්බන්ධය?

ඇය තමයි මගේ කටහඬ පදනමේ කළමනාකාරිනිය. දමයන්ති සෑහෙන කාලෙක ඉඳලා මගේ ගමනට ශක්තියක් ධෛර්යයක් ලබාදෙනවා.

එතැනින් එහා ගිය කිසිම සම්බන්ධයක් නැහැ?

ඔව්.

ඒත් ඔබ සහ ඇය ඡායාරූපවලට පෙනීසිටින්නෙ හරියට පෙම්වතුන් යුවළක් වගේ?

අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විදිහට ඡායාරූපවලට ඉන්න ඕන. නැත්නම් කරන වැඩෙන් තේරුමක් නැහැනේ. නේද...

ඔබ ගුරුවරයෙක්. එවැනි වෘත්තියක යෙදෙන ගමන් ඔබ තරුණ නිරූපිකාවන් සමඟ තුරුළු වී ඡායාරූප ගන්නවා. ඒවා හරිම ශෘංගාරාත්මකයි. විශේෂයෙන් ඔබ ලියූ ආකස්මික ආදරය ග්‍රන්ථයේ තිබෙන ඡායාරූප. ඒවායේ ශෘංගාරය වෑහෙනවා?

එතන ගැටලුවක් නැහැ. ශෘංගාරය කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. ඕනෑම පුද්ගලයකු ගාව ශෘංගාරය තියෙනවා. මං සාම්ප්‍රදායක කෙනෙක් නෙවෙයි. අනික මං ලත් තැනම ලොප් වෙන්නෙත් නැහැ. ඒ හින්දා මං ඒ වගේ ඡායාරූපවලට පෙනී සිටිනවා.

ඔබ ඔය නොකියා කියන්නෙ ඔබ තවමත් තාරුණ්‍යයේ සිටින කෙනෙක් කියලා?

අපොයි නැහැ.

හැබැයි බහුතරයක් අය කියනවා ශ්‍රීමත් එන්න එන්න තරුණ වෙනවාලු?

මං හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම නිතරම ධනාත්මකව හිතනවා. කාටවත් වෛර කරන්නෙ නැහැ. මැදහත් සිතින් හැමදෙයක් ගැනම බලන්නේ. ඒකයි එහෙම පේනවා ඇත්තෙ. මේ විදිහට හිටපුවාම හැට පැන්නත් ජවසම්පන්නව ඉන්නට පුළුවන්.

නිරූපිකාවන් එක්ක තුරුළු වෙලා ෆොටෝ ගනිද්දි ඇත්තටම ඔවුනට ආදරේ හිතුණු අවස්ථා ඇති?

බොරු කියන්නෙ මොකටද. එහෙම හිතිලා තියෙනවා. නමුත් ඒ ආදර අන්දර දුරදිග ගෙනිහිල්ලා නැහැ. දිගුකාලීන ආදර කතා නොව ඒවා කෙටි කාලීන ආදර කතා.

කොහොමද ඔබේ පවුල් ජීවිතේ එහෙම?

හොඳින් ගෙවෙනවා. මගෙ බිරිය ශානිකා. පුතා සන්දිව්. මගෙ මුළු ලෝකෙම මගෙ පුතා. එයාගේ බොහෝ වැඩකටයුතු වෙන්නෙ මගෙ අතින්.

ඔබේ බිරිය කලබල වෙන්නෙ නැද්ද ඔබ එක එක ගැහැනු ළමයි තුරුළු කරගෙන ඉන්නකොට?

ඇය දන්නවා මම එහෙම ඉන්නෙ නිර්මාණ කටයුතුවලට පමණයි කියලා.

ඔබේ මුදල් හොයන්නෙ කලාවෙන්?

ඔව්, මට වෙන ආදායම් මාර්ගයක් නෑ.

ජීවිතය ගෙවන්න එය ප්‍රමාණවත්ද?

හොඳටම ඇති.

මේ දවස්වල දේශපාලනඥයො සහ ඔවුන්ගේ ලේකම්වරු එනවා කියන්නෙ ඇත්තද රැස්වීම්වල කතා කරන්න ඉගෙන ගන්න?

ඔව්. ඒ කතාව ඇත්ත. මං ඒ අයව යවන්නේ හොඳ පුහුණුවක් ලබා දීලා.

එහෙනම් ඉතින් හොඳට අතමිට සරු ඇති මේ දවස්වල?

නිසැකවම ඔව්.

බහුතරයක් කලාකරුවො කියනවා කලාවෙන් පමණක් ජීවත් වෙන්න බැහැ කියලා.

මොන බොරුද. කලාව තරම් හම්බකරන්න පුළුවන් වෙනත් ක්ෂේත්‍රයක් නැහැ. තමන්ගෙ ශිල්පය හරියට භාවිත කරනවා නම් සල්ලි හොයාත හැකි ඕන තරම්. එහෙම ඉන්නකොට කලාකරුවන්ට දේශපාලනඥයින්ගේ යටිපතුල් ලෙව කන්න ඕන නැහැ. මං නිතරම කියන දෙයක් තියෙනවා. ඒ එච්. එම්. වී. තැටියක් නොවී තනි තනිව නැගී සිටිමු කියන එක.

කාලෙන් කාලෙට කොණ්ඩා මෝස්තර වෙනස් කරන්නේ ඇයි?

මං අලුත් වෙන්න ආසයි. ඒකයි එහෙම කරන්නෙ. මං සාමාන්‍යයෙන් පුද්ගලයින් අධ්‍යයනය කරමින් අනුගමනය කරනවා. ඔවුන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අලුත් වෙන්න වෙනස් වෙන්න ඕනෑ.

මේ දවස්වල ඔබ කාවද අධ්‍යනය කරන්නේ?

මාර්ටිං ලූතර් කිංව.

ගුණදාස ලියනගේ නම් අපේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියා ඔබට ශ්‍රීමත් කියන නම යොදනවා. ඒ කියන්නේ උපතින්ම ඔබ නයිට් පදවිකරුවෙක්?

ශ්‍රීමත් කියන්නේ අසිරිමත් පුද්ගලයා කියන එකට. තාත්තා මං ඒ වගේ කෙනෙක් වෙනවට ආස වෙන්න ඇති. තාත්තා එයාගේ දරුවන්ට යෙදුවේ අපූරු නම්. මගේ අක්කා උපේක්ෂා බන්දුමතී, මල්ලි බුද්ධිමත් වජිරපානි, නංගි චේතනා මනෝරම්‍යා. හරිම අර්ථවත් නේද නම් ටික.

ඔබ වැඩ සටහන් ඉදිරිපත් කරද්දී එයට සහභාගි වන ආරාධිතයාව අමාරුවෙ දානවා. ඇයි එහෙම කරන්නේ?

සාම්ප්‍රදායික සංවාද රටාව කටුගෙට යවමු කියලයි මං හැම තිස්සෙම කියන්නේ. මං ප්‍රශ්න අහන ඇහිල්ල කොච්චර සැරද කියනවා නම් අනූෂා දමයන්ති, ගයනා සුදර්ශනී වගේ අය පුටුවෙන් නැගිටලා ගිහිල්ලා තියෙනවා. රෙක්ස් කොඩිප්පිලි මට ගහන්නත් ආවා. ඔහුගේ පෞද්ගලික දෙයක් අහලා. මං කාම චිත්‍රපට රැල්ලට විරුද්ධව කතා කළාම සුනිල් ටී, ලා මට චෝදනා කළ. රූපා ඉන්දුමතීගේ ගීතයක ප්‍රශ්නයක් ඇදලා අපරාධ විමර්ශන කොමිසමට ගිහින් කට උත්තර දුන්නා. මේ වගේ ගොඩක් දේවල් වුණා මගේ කට සැරකම නිසා. ඒත් මගේ රටාව මං වෙනස් කර ගත්තේ නැහැ.

ඔබ අංශ ගණනාවක නියැලෙන කෙනෙක්. කොහොමද ඊට කාලය වෙන් කර ගන්නේ?

කාලය කළමනාකරණය කිරීම තමයි එහි රහස. මගේ කලා කටයුතු, පුතාගේ වැඩවලට අමතරව අම්මාව බලාගන්න එකත් මං කරනවා. ඇය මේ දිනවල ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ. 'කරන්න ඔබ සතු යුතුකම නොසිතා එහි පළවිපාක' කියලා තියෙනවනෙ. ඒ වගේම තිරුක්කුරල් ග්‍රන්ථයේ තියෙනවා 'දෙවියන් මිනිසුන් කරන වැරැදිවලට සමාව දෙන්න සූදානම්. නමුත් කිසිදු කලෙක දෙවියන් යුතුකම් ඉටු නොකරන මිනිසුන්ට සමාව දෙන්න සූදානම් නැහැ' කියලා. මං ඒ වචනවලට ගරු කරනවා.

ප්‍රසංගයට අමතරව මොනවද ඔබේ අනෙකුත් කලා කටයුතු?

පීලිපැන්න නහර වැල් කියලා වේදිකා නාට්‍යයක් කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම චිත්‍ර ප්‍රදර්ශනයකුත් තියන්න ඕනෑ. ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.