|
ප්‍රේම්-ෆ්‍රෙඩී නැවතත් 19 දා රූපවාහිනියට එතිහමුව මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි
අසහාය ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් සහ හෙළ සිනමාවේ විකට රජු ෆ්‍රෙඩී සිල්වා එකමුතුවෙන් බිහි වූ ගීත පිළිබඳ කතිකා කෙරෙන අපූරු වැඩ සටහනක් මෙම මස 19 වැනිදා එනම් එන බදාදා සවස 6 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ. ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍ය තුළ හාස්‍ය සහ උපහාසාත්මක රසය මුල් කරගෙන ගැයූ ගීත ඉතා දුර්ලභය. ඒ අඩුව පිරවීමට ප්‍රේම් සහ ෆ්‍රෙඩී සමත් විය. ඔවුන් දෙපොළගේ සුසංයෝගයෙන් එවැනි සොඳුරු ගීත සමූහයක් බිහි විය. අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ, පාන් කිරිත්තා, හඳමාමා උඩින් යතේ ප්‍රේම් ෆ්‍රෙඩීට ලියූ ගීත අතරින් කිහිපයකි. එම ගීත වර්තමාන සමාජයේ මිනිසාගේ ජීවිකාව පිළිබඳ වඩා පුළුල් පරාසයක් නිර්මාණය වූ බව සැලකේ. සොබා දහම සහ එදිනෙදා අප නෙත ගැටෙන සංසිද්ධීන් උපමාවට ගෙන හාස්‍ය සහ උපහාසාත්මක රසය සරල බසින් ගේය පද තුළට ඇතුළත් කොට ඇත්තේ ජීවිතය පිළිබඳ ගැඹුරු අරුතක් දෙන ලෙසිනි. ප්‍රේම් සහ ෆ්‍රෙඩී දෙපොළ අගයමින් ප්‍රේම් හා ෆ්‍රෙඩී ලෙසට නම් කොට ඇති එම වැඩසටහන මෙහෙය වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. උපහාස රසය තුළින් සමාජයට පාඩම් කියාදීමට ප්‍රේමකීර්ති ගත් උත්සාහය මෙමඟින් වැඩි වශයෙන් කතා කරනු ඇ.ත.
චන්ද්‍රකුමාර් යුග දෙකක් යා කරයි
චන්ද්‍රකුමාර් කඳනාරච්චිගේ නවතම සංයුක්ත තැටිය පසුගියදා නිකුත් විය. 'එදා සහ අද යුග දෙකක ඇසුන නෑසුන විවිධ ගී' ලෙසට නම තබා ඇති එහි පළමු පිටපත ලබා දෙන ලද්දේ ඔස්කා පදනමහි සභාපති ජයන්ත ධර්මදාස මහතාටය. මෙය පැරැණි ගීත දහයකින් සහ නවතම ගීත හයකින් සමන්විතය. චන්ද්‍රකුමාර් 1973 දී පළමුවරට පටිගත කළ 'ඇගෙ සිනහව තහනම්' මුල් පිටපතම එලෙසම මෙම සංයුක්ත තැටියේ අඩංගු වීම විශේෂත්වයකි. එයට අමතරව සත් දිනකින්, මුහුදු තෙරේ, මාවතේ මල් වැහැලා යන චන්ද්‍රකුමාර්ගේ ජනප්‍රිය ගීතයන්හි මුල් පිටපත් මෙහි අන්තර්ගතය. ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුජීව හරිශ්චන්ද්‍ර, බණ්ඩාර කේ. විජේතුංග, ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා, පාලිත ලක්ෂ්මන් ද සිල්වා, මහින්ද අනුර කුමාර, ඇලෙක්ස් ජයන්ත, ජගත් වැල්ලවත්ත, විපුල් ධර්මප්‍රිය ජයසේකර, උපාලි ධනවලවිතාන සහ චන්ද්‍ර කුමාර කඳනාරච්චි විසින් මෙහි ගී රචනා කරන ලදී. සියලු ගී තනු චන්ද්‍රකුමාර නිර්මාණය කොට ඇති අතර සංගීත අධ්‍යක්ෂණය චන්ද්‍රකුමාර සමඟ කුමාර ද සිල්වා සහ උපාලි කන්නංගරගෙනි. |