වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




බලදේවගේ චරිතයට මුල පිරුණේ මහගම සේකරගෙන්
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාව

බලදේවගේ චරිතයට මුල පිරුණේ මහගම සේකරගෙන්

- සෝමවීර සේනානායක

නිර්මාණකරුවන් යනු අප සතු වටිනා සම්පත් අතර විශේෂ පිරිසකි. ඔවුන් තම නිර්මාණයන් ගෙන් සාහිත්‍ය පෝෂණය කරනවා සේම මිනිස් ජීවිත වලටද එක් කරන්නේ විශාල වටිනාකමකි. අද අපේ විශේෂ කතාබහ දශක හතරකට අධික කාලයක් පුරාවට අපේ කලා ලොව පෝෂණය කළ අපූරු නිර්මාණකරුවෙකු සමඟිනි.

ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක නම් ඔහු අතින් මේ දශක හතර පුරාවට රචනා වූ කෙටිකතා, නවකතා, වාර්තා, රූපවාහිනි සහ චිත්‍රපට තිරපිටපත් සංඛ්‍යාව අතිවිශාලය. එම නිර්මාණ අතරින් ඔහු වඩාත් ප්‍රිය කරන්නා වූ නිර්මාණයට හිමි තැන දිනා ගත්තේ යශෝරාවය යි. යශෝරාවයේ අප නොදන්නා තතු සෝමවීර සේනානායකයන් සරසවියට පැවසූයේ මේ අයුරින්.

යශෝරාවය කියන්නා වූ විශේෂත්වය?

යශෝරාවය කියලා නම යෙදුවේ හොඳ දේ පිළිබඳ පැතිර යන ආරංචිය කියන අර්ථයෙන්. එය අදහස් කළේ මෙම කතා පුවතේ එන බලදේවගේ චරිතය ඇසුරෙන්. බලදේව මැද පන්තික වැරදි ආකල්ප, වැරදි අපේක්ෂා, යම්යම් සිදුවීම් ආදිය නිර්දය විචාරයට ලක් කරන චරිතයක්. ඒ නිසා ඔහුගේ චරිතය මුල්කොට ගෙන යශෝරාවය යන නම මෙම කෘතියට යොදන්න මම තීරණය කළා. එයට බලපෑවේ ධම්මපදයේ තිබෙන ගාථාවක්.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්ස ධම්ම ජීවනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඪතී

මෙහි යෙදී තිබෙන යසෝභි වඩ්ඪතී කියන වචන දෙක තමයි මම යශෝරාවය ලෙසින් ආරම්භ කළේ. ගාථාවේ තිබෙන්නේ යහපත් කටයුතුවල යෙදෙන යහපත් අදහස් ඇති අයගේ යයස වර්ධනය වෙනවා කියන අදහසයි. මම බලදේව එවැනි පුද්ගලයෙක් සේ සළකා මෙම කෘතිය ‘යශෝරාවය’ ලෙසින් නම් කළා.

මේ කෘතිය ඔබගේ කෘති අතර වඩාත්ම ප්‍රිය කරන්නා වූ කෘතිය බවට පත් වෙලා?

මම විවිධ විෂය යටතේ රචනා කළ කෘති අතරේ යශෝරාවයට වඩාත් ප්‍රිය වන්නට හේතු කිහිපයක් තිබෙනවා. ම විසින් රචනා කරන ලද කෘති අතරේ නවකතා දහහතරක් තිබෙනවා. ඒ අතරෙන් යශෝරාවය මම රචනා කළේ 1976 වසරේදී . ඒ කාලයේදී මම ලේක්හවුස් ආයතයේ කතෘ මණ්ඩලයේ සේවය කළා. ඒ අතරතුර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදැරුවා. එහිදී ලංකාවේ විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රපති උපාධියට ප්‍රථමවරට නිර්මාණාත්මක ලේඛනය නමින් විෂයක් ආරම්භ කළා. මේ විෂයට නිබන්ධයක් කළ යුතු වුණා. ඒ නිබන්ධයට කළ විෂය තමයි යශෝරාවය. ඒ නිසාම මෙතැන විශේෂත්වයක් තිබෙනවා. මගේත් ලංකාවේත් ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් කළ ප්‍රථම නවකතාව වෙන්නේත් යශෝරාවය යි.

යශෝරාවය 1978 වසරේ හොඳම නව කතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. අපේ රටේ ටෙලි නාට්‍යයක් බවට පත් වුණු ප්‍රථම සිංහල නවකතාවත් යශෝරාවය. මේ කරුණු ත්‍රිත්වය යශෝරායට මා වඩාත් ප්‍රිය කිරීමට හේතු වෙනවා.

යශෝරාවය ඔබේ ජීවිතයටත් සම්බන්ධයක් ඇති?

මේ නිර්මාණයටත් මගේ පෞද්ගලික අත්දැකීම් බොහෝ දුරට බලපෑවා. මේ කෘතිය ලියන්න පෙර මා ලියූ නවකතාවල වඩාත්ම පසුතල වෙලා තිබුණේ ගම ආශ්‍රිත අත්දැකීම්. මවගේ ගීතය, අඹු සැමියෝ වැනි නවකතාවල මගේ උපන්ගම ආශ්‍රිත අත්දැකීම් තමයි තිබුණේ. යශෝරාවය ලියන කාලය වන විට මම ගමෙන් ඇවිත් කාලයක් ගත වෙලා උප නගරාශ්‍රිත අත්දැකීම් ලබමින් සිටියේ. එහිදී මධ්‍යම පාන්ති ජීවිතවල අත්දැකීම් රැසක් මට විඳ ගන්න ලැබුණා. ඒ අත්දැකීම් ඇසුරෙන් නවකතාවක් ලියන්න මට ආසාවක් ඇති වුණා. භෞතික පරිසරය වුණේ බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත අවට පරිසරයයි.

මේ නවකතාව පිළිබඳ අදහස මට පහළ වුණේ මම ඉතාමත්ම ළඟින් ඇසුරු කළ කලාකරුවෙක් නිසා. ඔහු මහගම සේකර. මුල් කාලයේ ඔහු ගුරුවරයෙක්. සේකරයන් අලුත් අදහස් වලින් යුතු වූ චරිතයක්. ඒ කාලයේ මම ලේක්හවුස් එකේ සේවය කරන විට සේකරයන් සේවය කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. අපි දෙදෙනා අතරේ හොඳ මිතුරු ඇසුරක් තිබුණා. කාව්‍ය ගීත මේ ආදි සියල්ල සමඟින් මම ඔහුගේ අදහස් බොහොමයක් අගය කළා. ඔහුගේ මරණය සිදුවෙලා ආදාහනය සිදු වූ රදාවානේ තුංමං හන්දියට මමත් ගියා. ඒ අවමංග්‍යයට කිසිම පුද්ගලයෙකුගේ අවමංගල්‍යයකට නොපැමිණි තරම් විශාල සෙනඟක් පැමිණ සිටියා. යාපනය, මඩකලපුවෙන් පවා තරුණයෝ ඇවිත් හිටියා. ඔවුන් සියයට අනූවක් පමණ කිසිම දිනක සේකරයන් සමඟ කතාබහ කරලා තියා සැබැවින් දැකලාවත් නැති අය. නිර්මාණ සම්බන්ධය පමණයි තිබුණේ.

එදා රාත්‍රියේ මගේ හිතට විශාල වේදනාවක් දැනුණා. මිදුල පුරා ඇවිදිමින් මම කල්පනා කළේ මහගම සේකරයන්ගේ අවමඟුල ගැනයි. යහපත් දේ කරන පුද්ලයින් පිළිබඳ ආරංචිය රටපුරා පැතිර යනවා නේද යන්න එහිදී මට වැටහුණා. එදා රෑ පළමුවෙන්ම මගේ හිතට ආවේ නවකතාව නෙවෙයි යශෝරාවය කියන නමයි. මම මුලින්ම ලිව්වෙත් යශෝරාවය කියලයි. ඊට පසුව මම නවකතාව ලියන්න පටන් ගත්තා.

යශෝරාවය කියන්නේ මහගම සේකරගේ කතාවද?

මුල් පරිච්ඡේදය ලියවුණේ ජාතික ඇඳුමින් සැරසුණු බලදේව නිවසට පැමිණීම ගැනයි. ඒ හැඩරුව සියල්ල මහගම සේකරට සමාන බව මගේ හැඟිමයි. සේකර මුල් කාලයේදී භාවිත කළේ ජාතික ඇඳුමයි. ඒ වුණත් මේ චරිතය මහගම සේකර නොවෙයි. බලදේව කියන චරිතය සම්පූර්ණයෙන්ම මහගම සේකර නොවෙයි. සේකරගේ චරිතය ඇසුරෙන් හා තවත් චරිත ඇසුරෙනුත් මගේ ඕනෑ එපාකම් අනුවත් බලදේව නම් චරිතය ගොඩනැඟුණා. ෙමි අලුත් අදහස් තියෙන ගුරුවරයෙක් ගෙනත් දාන්න ඕනි මධ්‍යම පාන්තික බොරු සෝබන විපරීත අදහස් තියෙන මධ්‍යම පාන්තික පවුලකට කියලා මට හිතුණා. ඒ නිසා මම මධ්‍යම පාන්තික පවුලක් වූ වීරසේකර පවුල ගොඩනැඟුවා. ඒ පවුලේ දරුවෝ නානාප්‍රකාරයි.

මේ පවුලට ආභාෂය වුණෙත් මා දන්නා පවුලක්. වීරසේකරගේ චරිතය ගොඩනැඟීමට ඒ පවුලේ ගෘහ මූලිකයා මම උපයෝගී කර ගත්තා. ඊළඟට මේ දුක් ගැහැට විඳීන මව බොහෝ තැන්වලදී මම දැකලා තිබුණා. ඇය එක නිවෙසකට සීමා වුණේ නැහැ. විවිධ තරුණ දූ පුතුන් අප අවට පරිසරයේ ඇසුරු කරන පවුල් වලින් අපට හමු වෙනවා. මේ සියල්ල දායකත්වයෙන් තමයි යශෝරාවය ගොඩනැඟුවේ.

යශෝරාවය ජනප්‍රිය නවකතාවක් සේම අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්?

ඒක නම් ඇත්ත. මං හිතන්නේ එදා තිබූ පහසුකම් අනුව හැකි බොහෝ දෙනෙක් යශෝරාවය නැරඹුවා. අපේ ගේ ළඟ තුංමං හන්දියක් තිබෙනවා. මම ලේක්හවුස් එකේ සේවය කරන කාලයේදී දවසක් මම වැඩට යන්න ඇඹිල්ලවත්ත පාර දිගේ ප්‍රධාන පාරට පැම්ණෙන විටදී මාළු වෙළෙන්ඳන් දෙදෙනෙක් ඔවුන්ගේ වෙළඳාමට පිටත් වෙන්න කතාබහේ යෙදී සිටියා. මේ දෙන්නාටම එකම පාරේ වෙළඳාම් කරන්න බැරි නිසා පාරවල් දෙකක යන්න තීරණය කළා. බයිසිකලට නැඟි එක් වෙළෙන්දෙක් “මං මේ පාරෙන් යන්නම්. උඹ අර පාරෙන් පලයං. හවසට යශෝරාවය මෑන්ස්ගේ ගේ ළඟදී හමුවෙමු” යැයි කියමින් පිටව ගියා. ඔවුන් බස් එක එන තෙක් එතැන සිටි මා හඳුනා ගත්තේ නැතත් මගේ නිර්මාණ ඇසුරු කර තිබුණා සේම මා ජීවත්වන තැන ගැන පවා දැනුවත්ව සිටියා. ඒ ගැන දැනුණේ ලොකු සතුටත්.

ඒ විතරක් නොවෙයි. මම මුලින් කියූ වීරසේකර පවුලට මූලික වු පවුලේ ගෘහ මූලිකයාත් මේ කතාවට ඉතාම ලොල් වූ පුද්ගලයෙක්. යශෝරාවය විකාශය වනවිට අනෙක් දේ නරඹනවාට වඩා රූපවාහිනිය ළඟින් පුටුව තබා නරඹන්න ඔහු පුරුදුව සිටියා. ගෙදර අනිත් අයට නම් මේ කතාවට ඔවුන්ගේ සම්බන්ධය තේරුම් ගෙන තිබුණා. ‘අපට නම් හොඳට වැදුනා’ යැයි නිතරම ඔවුන් මා සමඟින් පැවසුවා. ඒ වුණත් මේ ගෙදර තාත්තාට ඒක තේරුණේ නැහැ. ඔහු යශෝරාවයට සේම වීරසේකරටත් බොහෝ සෙයින් ඇලුම් කළා. කෙතරම් ඇලුම් කලාද කියනවා නම් ‘මට මේ මනුස්සයා හමු වුණොත් ඩ්‍රින්ක් එකක් අරන් දෙනවා’ යැයි නිතරම පැවසුවා.

පවුල් කතා ගැන එදා අදහස?

යශෝරාවය නව කතාව සම්බන්ධයෙන් නැතත් ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් මම මධ්‍යම පාන්තික පවුල් කතාම ලියනවා කියලා චෝදනා කළේ යශෝරාවය නිසාම නොවෙයි. දූදරුවෝ ආදි වූ අනෙකුත් ටෙලි නාට්‍යයත් එයට බලපෑවා. ඒ වුණත් චෝදනා නැතුවාම නොවෙයි. නමුත් යශෝරාවයට චෝදනා කළේ යශෝරාවයේ සිටින දරුවෝ වගේ අය යි. නවකතාවට වඩා ටෙලි නාට්‍යයෙන් දැක ගන්න ලැබුණාට පසුව තමයි චෝදනාව ආවේ. නවකතාව බැලූ අයගෙන් මේ චෝදනාව ආවේ නැහැ. උදාහරණයක් ලෙසින් මේ පවුලේ අම්මා සුදුහාමිනේ ගෙදර අගහිඟකම් නිසා සියලුම දරුවන්ට බත් බෙදලා අන්තිමට ඇය දංකුඩ සූරගෙන කනවා. ටෙලි නාට්‍ය නිර්මාණය කළාම මධ්‍යම පාන්තික අම්මා දංකුඩ සූරගෙන කන තත්ත්වයට පත් කළා කියලා මට චෝදනා කළා. නමුත් ඒක ඇත්ත. සමහර ගෙවල්වල දරුවන්ට ඒක පහරක් වගේ දැනුණා. කෙනෙක් ලියන්නේ තමන් කැමැති, තමන්ට සමීප අත්දැකීම් තියෙන සිදුවීම් ඇසුරෙන්. මෙහිදී මට අර්ධ නාගරික මධ්‍යම පාන්ති පවුල විෂය වුණා.

යශෝරාවය නවකතාව රචනා වුණේ 1969 වසරේදීයි. එය ටෙලි නිර්මාණයක් වුණේ 1984 වසරේදීයි. එදා මෙදා තුර දශක තුනකට වඩා වැඩි කාලයක් ගත වෙලා.වර්තමානයේ දී ඔබ මේ නිර්මාණය කළා නම්?

මෙහි ප්‍රධාන තේමාව වන්නේ දෙමාපිය දූදරු සම්බන්ධය වගේම විසිර යාමයි. අදටත් අපට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ලියවෙනවා. නමුත් අදාල කරගනු ලබන සිදුවීම්වල නම් වෙනසක් තිබෙනවා. නවකතාව රචනා කරලා වසර හතළිහකට ආසන්න වෙනවා. දැන් සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මෙතැන සිදු වන්නේ එක එක දරුවා මහ පවුලෙන් වෙන් වෙමින් තම තමන්ගේ ලෝකවලට යාමයි. අදත් ඒ දේ ඒ විදියටම සිදු වෙනවා. නමුත් අද යන්නේ වෙනත් නිවෙසකට යනවාට වඩා රටින්ම පිටතට යාමයි. අම්මා තාත්තා තනිකර දමා බටහිර රටවලට සීඝ්‍රයෙන් යන දරු පරපුරක් තමයි වර්තමානයේ අපට දකින්න ලැබෙන්නේ. නමුත් මූලික වශයෙන් සිදුවීම එකයිත දෙමව්පියන්ගෙන් දරුවන් ඈත්වීම එදා වගේම අදත් සිදු වෙනවා. ඈත් වෙන රටාව පමණයි වෙනස් වෙලා තියෙන්නේ.

කොහොම වුණත් එදා අම්මා, තාත්තා, දුව, පුතා අතර කතාබහේ යම් සම්බන්ධයක් තිබුණා. අද ඒකත් බිඳ වැටිලා. එක් කොටසක් අද රට හැර ගොසින්. අනෙක් කොටස න්‍යෂ්ටික පවුල් ඒකක ලෙසින් හුදකලා වෙලා. එහි සාමාජිකයන් ගේ තුළ තිබෙන මෙවලම් අතරේ හුදකලා වෙලා. රූපවාහිනිය, ජංගම දුරකථනය, ෆේස්බුක්, ඊමේල් වැනි පහසුකම් සමඟ භෞතික පරිසරයේ දකින්න තියෙන්නේ ලොකු වෙනසක්. මේ ආකාරයේ හේතු නිසා සම්බන්ධතා එහා මෙහා වෙලා. සම්බන්ධතා අඩුයි. තේමාව තිබුණත් පරිසරය වෙනස්.