වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




M. I. මෙහෙයුම  නැවතත්

M. I. මෙහෙයුම  නැවතත්

කළ නොහැකි දේ කරන්නා වූ බලකාය විසින් රහස් ඔත්තු සේවා නියෝජිත ඊතන් හන්ට් හට නැවත වරක් ක්‍රියාන්විතයක් භාර දෙනු ලැබේ. අදාළ කාර්යයේ ඇති අතිශය රහසිගත බව හේතුවෙන් ඊතන්හට මෙම පණිවුඩය සිය අනන්‍යතාවය තහවුරු කර එක්වරක් පමණක් කියවීමට ලැබෙයි. තවත් තත්පර කිහිපයකින් පණිවුඩය විනාශ වේ.

මේ සිදුවීම හොලිවුඩ් සිනමා රසික ඔබට නුහුරු නුපුරුදු එකක් නම් නොවන බව විශ්වාසය. සුප්‍රසිද්ධ Mission : Impossible (මිෂන් ඉම්පොසිබල්) චිත්‍රපට මාලාවේ මෙය අනිවාර්ය ජවනිකාවකි. සුපිරි නළු ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන Mission : Impossible රිදී තිරයේ ඉහළ ආදායම් වාර්තා තැබූ සූක්ෂ්ම චර ක්‍රියාදාම ගණයේ සංඛේතයක් ලෙස සැළකිය හැකි ආකර්ෂණීය චිත්‍රපට මාලාවකි.

මෙයට පාදක වී ඇත්තේ 1966 – 1973 කාල වකවානුවේ විකාශය කෙරුණු බ්‍රේස් ගෙලර්ගේ Mission : Impossible රූපවාහිනි කතා මාලාවයි. එහි සාර්ථකත්වය සිනමාව කරා ගෙනඒමට ටොම් කෲස්හට අදහසක් පහළ වීමේ ප්‍රතිඵලයක් ලෙස Mission : Impossible චිත්‍රපට මාලාව නිර්මාණය වීය. මේ දක්වා එහි චිත්‍රපට හතරක් නිෂ්පාදනය කිරීමට ටොම් කෲස් දායක වීය. පිළිවෙලින් 1996, 2000, 2006 සහ 2011 යන වසරවලදී එම චිත්‍රපට තිරගත කෙරුණු අතර බ්‍රයන් ඩී පැල්මා පළමු වැන්න අධ්‍යක්ෂණය කළේය. අනතුරුව ජෝන් වූ දෙවැන්න අධ්‍යක්ෂණය කළ අතර ජේ. ජේ අබ්‍රාස් තෙවැන්න ද බ්‍රාන් බර්ඩ් විසින් සිව්වැන්න Mission : Impossible – Ghost Protocole හෙවත් M : I  - 4 අධ්‍යක්ෂණය කළේය.

මෙම චිත්‍රපට මාලාවේ පස් වැන්න පසුගිය ජූලි මස 31 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹිණි. Mission : Impossible Force හෙවත් IMF හට එරෙහිව තිබූ තහනම ඉවත් කෙරී ඇත. පොදු එකමුතුව නමින් හැඳින්වෙන නව ත්‍රස්තවාදී කල්ලියක් විසින් ලෝකය හීතියෙන් අලළා ඇත. අතිශය කාර්යශූර හා කැප වූ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සැදුණු මෙම එකමුතුවේ එකම අභිප්‍රාය වන්නේ ලෝකය ඔවුන්ගේ පාලනයට නතුකර ගැනීමයි. මෙතෙක් මුහුණදීමට සිදුවූ දුෂ්කරතම ක්‍රියාන්විතය වන පොදු එකමුතුව බලරහිත කිරීම උදෙසා ඊතන් ඇතුළු කණ්ඩායම කැඳවේ.

මෙම කාර්යයේදී ඊතන්හට නව සහයිකාවක මුණ ගැසේ. ඇය ප්‍රතික්ෂේපිත බ්‍රිතාන්‍ය නියෝජිතවරියකි. බොහෝ අපහසුතා මැද මෙතෙක් වූ දුෂ්කරතම මඟ ඔස්සේ කල නොහැකි දේ කරන ඊතන් ඇතුළු බල ඇණියේ නවතම ක්‍රියාන්විතය මෙලෙස ආරම්භ වී ඇත.

ටොම් කෲස් විසින් පෙර පරිදිම මෙහිදීද රහස් ඔත්තු සේවා නියෝජිත ඊතන් හන්ට්ගේ චරිතයට පණ පොවයි. ඔහු සමඟින් ජෙරමි රේනර්, සිමන් පෙග්, රෙබෙකා ෆර්ගියුසන්, වින්ග් රහ්මේස්, ශෝන් හැරිස් සහ ඇලික් බෝල්ඩ්වින් ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. Mission : Impossible 5 – Rogue Nation අධ්‍යක්ෂණය සේම තිර රචනයද ක්‍රිස්ටෝෆර් මැක්‍යුරි විසිනි. මිනිත්තු 131ක ධාවන කාලයකින් යුතු Mission : Impossible 5 – Rogue Nation නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් මිලියන 150ක පිරිවැයක් වෙන් වී ඇත. එය බෙදාහරිනු ලබන්නේ ලෝප්‍රකට පැරාමවුන්ට් පික්චර්ස් විසිනි.

සිය අතීත චිත්‍රපට සේම Mission : Impossible 5 – Rogue Nation  ද ඉහළ විචාරක පැසසුම් ලද චිත්‍රපටයක් බවට පත් වී ඇත. මෙම චිත්‍රපට මාලාවේ ත්‍රාසජනක ස්වභාවය නොනසා පවත්වා ගැනීම ඔවුන්ගේ පැසසුමට ලක් වී ඇත. ටොම් කෲස් නැවත වරක් හොඳම ක්‍රියාදාම නළුවා බව ඔප්පු කර ඇති බවත් විචාරකයන්ගේ විශ්වාසයයි. ආදේශක රංගන ශිල්පීන් යොදා නෙගෙන අවදානම් සහිත රඟපෑම් තමා විසින්ම කිරීම ටොම් කෲස්ගේ විශේෂත්වයයි. M : I  - 4 හිදී ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන බ්‍රිජ් කලිෆා ගොඩනැල්ලේ පිටතින් ඉහළට නැගීමේ අභියෝගය භාරගත් ඔහු මෙම නව චිත්‍රපටයේදී ද තවත් අභියෝග කිහිපයකටම මුහුණ දෙන අයුරු ඔබට දැකගත හැකිවනු ඇත.

IMDB  දර්ශකයේ ලකුණු 8/10ක් ලබා ඇති M : I  - 5 මෙටාක්‍රිටික් හිදී සියයට 75ක් සහ රොටෙන්ටොමැටෝස් හිදි සියයට 93ක් ලබා ගෙන තිබේ. ආරම්භයේ සිට අවසානය දක්වාම රසවිඳිය හැකි විශිෂ්ට නිර්මාණයක් ලෙස M : I  - 5 විචාරක පැසසුමට ලක් වන විටදී ඉහළ ආදායම් ලබමින් තිරගත වන චිත්‍රපට අතර ඉදිරියට පැමිණිමට ද සමත් වී තිබේ. එය මේ වන විට වාර්තා කර ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 134.5කි. ධෛර්යය, අධිෂ්ඨානය ඇති නම් කළ නොහැක්කක් නොමැත යන්න M : I  - 5 ඔස්සේ ඔබට තවත් අයුරකින් මෙලෙස දැක ගැනීමට අවස්ථාව උදා වී ඇත.