|
අකුරු උගනිව් කුමරු සොඳවා
සිනමාව නැමැති විෂය ලොව පුරා වර්ධනය වී ශත වර්ෂයකට අධික කාලයක් ගත වී ඇත. මේ කාලය ඇතුළත සිනමා රූපයේ ද, ශබ්දයේ ද වඩාත් දියුණු හා අලුත් මංපෙත් සොය ගැනිණි. එබැවින්ම එය විෂයයක් ලෙස අධ්‍යයනය කිරීම වැදගත් විය. ශ්‍රී ලාංකික සිනමාව ආරම්භ කොට දශක හතකට ආසන්න වුව ද මෙම පුළුල් විෂය අධ්‍යනය සඳහා සුදුසු ක්‍රමවේදයක් හෝ නොපැවතිණ. පසුගිය දවස්වල එම අඩුව එක්තරා දුරකට පුරවමින් ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් කරනු ලැබීම ලාංකික සිනමාවේ අනාගතය පිළිබඳ යහපත් ආකල්පයක් ඉස්මතු කරලීමකි. ඒ අනුව ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සිනමාව හා රූපවාහිනිය යන විෂයන් උදෙසා වෙනම උපාධි පාඨමාලාවක් ආරම්භ වනු ඇත. එමෙන්ම සිනමාව හා රූපවාහිනි ක්ෂේත්‍රය අරඹයා මහාචාර්ය පදවියකට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් වන්නේය. ආචාර්ය නිහාල්සිංහයන් යනු ලාංකික සිනමා විෂයෙහි මහා පෙරළිකාර චරිතයකි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ආරම්භක සාමාන්‍යාධිකාරිවරයා වූ නිහාල්සිංහයන් කරන ලද මෙහෙය කෙතරම් විශිෂ්ටදැයි පැවසුවහොත් අද ද එහි ස්වර්ණමය යුගය හඳුන්වා දෙනුයේ නිහාල්සිංහ යුගය හැටියටය. එමෙන්ම ටෙලිවිෂන ක්ෂේත්‍රයෙහි මෙරට පුරෝගාමියෙකු වූ මහාචාර්ය නිහාල්සිංහයන් වර්තමාන ටෙලිවිෂන පරම්පරාවේ මුල් ගුරුවරයා ද විය. රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස නිහාල්සිංහයන් කළ මෙහෙය අනගිභවනීය එකකි. සිනමාව නම් විෂය හරහා අපේ බොහෝ සිනමාකරුවන් මෑත භාගයේ ලෝකයේ අවධානයට පාත්‍ර වුව ද එයින් බහුතරය සිනමාව විෂයයක් ලෙස හෑදැරුවෝ නොවෙති. ඔවුන් බහුතරය සිනමාව විෂයයක් ලෙස ඉගෙන ගන්නේ එක් එක් නිර්මාණවලට දායක වෙමින් ලත් අත්දැකීම් ඔස්සේය. සිනමාව ඉගෙන ගැනීමෙහිලා බොහෝ ගැටවරයන්ට තිබූ ආශාව ඇතැම් කූට ව්‍යාපාරිකයන් ළඟ නතර වූයේය. යමක් කළ හැකි බොහෝ කිහිප දෙනෙකු පමණක් විදෙස් රටවලට ගොස් සිනමාකරණය හැදෑරූහ. සිනමාකරණය නැමැති ලෝකයේ සත්වැනි කලාව ගැඹුරු විෂයක් කොට උපාධියක් දක්වා ලබාදීමට බොහෝ කතිකාවන් මෙහි කෙරුණ ද එහි බහුතරය ඵලදායි වූයේ නැත. සිනමාව හෝ වේවා වෙනත් විෂයකින් හෝ වේවා ඉදිරියට යා හැක්කේ විධිමත් අධ්‍යාපනයක් ඔස්සේය. මෑත භාගයේ ඉතාම නිර්මාණශීලී තරුණ පරම්පරාවක් මෙරට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙහි නිරත වනු දකින අප ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලැබුණේ නම් කෙතරම් අගනේදැයි කල්පනා කරන වාර අනන්තය. සිනමාකරණය හැදෑරීම යනු වෙනත් විෂයකට වඩා එයට ඇඟෙන්ම දායක විය යුතු කරුණකි. සිනමාව හදාරනවාට වඩා සීතල කාමරයක සැප පහසුවට ඉඳිමින් කටයුතු කළ හැකි බොහෝ උපාධි පාඨමාලා විශ්වවිද්‍යාලයේ ඇත්තේය. එපමණකුදු නොව සිනමාකරණය යනු කවරාකාරයෙන් බැලුව ද දුෂ්කර ක්‍රියාවකි. එසේ නැතිනම් වනුයේ සිනමාව ගැන උගන්වන්නටය. එබැවින් එම විෂය තෝරා ගැනීම සිහි බුද්ධියෙන් සහ හැඟීම්බරව කළ යුතු එකකි. ශ්‍රී ලාංකික සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන යමින් ඊළඟ පරම්පරාව ගොඩ නැං වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියකින් බුහුමන් ලබනුයේ එම විෂයෙහි ඔහු පල කළ අප්‍රමාණ ප්‍රතිභාව හේතුවෙනි. එහිදී කලින් උපාධියක් ද නොලත් නමුත් ආචාර්ය ලෙස්ටර් සිනමාකරණය පිළිබඳ අධ්‍යනයක යෙදුනෙකි. මෑත පරම්පරාවේ විශ්වනාත් බුද්ධික කීර්තිසේන, විමුක්ති ජයසුන්දර, ප්‍රියංකර විතානාරච්චි, ධනුෂ්ක රත්නායක, සංජීව පුෂ්පකුමාර ඇතුලු කිහිප දෙනෙක්ම විදෙස් රටවලදී සිනමාව හැදෑරූවෝ වෙති. විදෙස් රටවල සිට චිත්‍රපට නිර්මාණය කරනු ලබන ක්‍රිස්ටෝපර් සමරසිංහ, ඉන්දික උඩුගම්පල ආදීන් ද සිනමාකරණය හැදෑරූවෝ වෙති. වර්තමාන ඉන්දියානු සිනමාවේ නියැලෙන සිනමාකරුවන්ගෙන් 90% ක්ම එලෙස විෂයක් කොට සිනමාව හැදෑරූවෝ වෙති. ඉන්දියාව සිනමාව විෂයක් කොට හදාරන්නට සිය තරුණ පරම්පරාව පොළඹවා ගන්නේ 1960 දී පමණය. ඒ පූනා නගරයේ ඉන්දියානු සිනමා පාසල හා රූපවාහිනි පාසල ආරම්භ කළ පසුය. එය මුලින් ඇරැඹුණේ නවදිල්ලියේය. ඒ සිනමාව පමණි. එය පූනාවට ගෙන ගියේ 1974 දීය. මෙම සිනමා පාසල 70 දශකය වන විට ඉන්දියානු සිනමාවේ නව සම්ප්‍රදායන් ගොඩ නඟන්නට මූලික විය. අද ද ඉන්දියානු සිනමාව තුළ විශිෂ්ට රංගන ශිල්පීන් ලෙස සැළකෙන නස්රුද්දීන් ෂා, ඕම් පූරීන් ආදීන් පවා බිහි කරන ලද්දේ මෙම සිනමා පාසලයි. ශ්‍රී ලංකාවේ ඉපිද දකුනු ඉන්දියාවේ විශිෂ්ට සිනමාකරුවෙකු බවට පත් වූ බාලු මහේන්ද්‍රයන් එරට දී සිය සිනමාව ආරම්භ කරන ලද්දේ පූනාවේදී සිනමාව හැදෑරූ පසුවය. ඔහු විශ්වවිද්‍යාලයෙන් නික්ම ගියේ ද එම වසරේ හොඳම ශිෂ්‍යයා හැටියට සම්මානයක් ද සහිතවය. මෙරට පුවත්පත් පරිශීලනය කරන්නෙකුට නිතිපතා දකින දැන්වීම් අතර සිනමා පාඨමාලාවන් පිළිබඳ ඇති දැන්වීම් සංඛ්‍යාව විශාල බැව් පෙනී යයි. ඒවයේ සිනමා රංගනයේ සිට ආලෝකකරණය දක්වා අනේකවිධ විෂයයන් උගන්වනු ලැබෙන බව සඳහන්ය. එහෙත් මේ බහුතරයක් පිළිබඳ විමසා බැලුවහොත් එයට දායක වූවන් අතර එම විෂයන් කෙරෙහි අබමල් රේණුවකවත් දැනුමක් ඇත්තන් නොවේ. එබඳු සිනමා පාඨමාලාවක් හැදෑරූ ඈත දුර පළාතක දරුවෙකු විසින් එම පාඨමාලාවේදී හැදෑරූ කාරණා පිළිබඳ දීර්ඝ විස්තරයක් මට කළේය. ඒ උගන්වා ඇති කරුණු මගේ දැනුම අනුව නම් මේ ලෝකයේ කිසිදු සිනමාවක් පිළිබඳ උගන්වන කෙනෙකුගේ දේශන නොවේ. එහි නියැලී ගුරුවරුන් කිසිවකු හෝ සිනමාව තබා කවර හෝ කලාවක් සඳහාවත් අධ්‍යාපනය ලබා ඇත්දැයි මම විශ්වාස නොකරමි. එහෙත් එයින් මෙරට හොඳ සිනමා පාඨමාලාවන් නැතැයි යන්න අදහස් නොකරමි. සමහර සිනමා හා රූපවාහිනි පාඨමාලා බෙහෙවින්ම උසස් තලයේ ඇති බව මගේ විශ්වාසයයි. ඒ කවර පාඨමාලා තිබුණ ද සිනමාවට මහාචාර්යවරයෙක් පත් කරමින් ඒ සඳහා වෙනම ම උපාධියක් ලබාදීමේ ක්‍රමයක් මෙරට තිබුණේ නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයෙහි පැවැති ප්‍රතිබිම්බ කලා විෂය යටතට අලුතෙන්ම එක් වූ සිනමාව නම් වෙනම උපාධිය මෙරට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන හැම දෙනාගේම සොම්නසට හේතුවකි. මෙම උපාධියේ ඇති විශේෂත්වය වනුයේ එය හැදෑරීම සඳහා කලා, විද්‍යා, වාණිජ ආදී වූ ඕනෑම සිසුවෙකුට ඉල්ලීමට ඇති හැකියාවයි. ඒ කවර විෂයක් සඳහා තෝරා ගනු ලැබුව ද සිනමාව හැදෑරීම සඳහා වෙනම ම තෝරා ගැනීමක් කරනු ලැබේ. වෙනත් විශ්වවිද්‍යාල තුළ ද පසුගිය දස වසරක කාලය මුලුල්ලේ සිනමාව විෂයක් කොට ගත්ත ද එය මෙලෙස වෙනම උපාධියක් කොට නොතිබිණි. මෙහිදී කැලණි සරසවිය ලැබූ ගෞරවය අපගේ ප්‍රශංසාවට හේතු වේ. එහෙත් තවමත් අපේ රටේ සමහරු තර්ක කරන්නේ සිනමාව හැදෑරිය යුතු ද යන්නය. ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ආධුනික දරුවන් පුහුණුව සඳහා යොමු කරන්නේ සිනමාව ගැන ලියන්නටය. අප සිටින්නේ එබඳු ආකල්වලින් පිරි රටකය. ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල වැනි අන්තර් ජාතික කීර්තිමත් සිනමා උළෙලක හොඳම නිළිය වීමේ ගෞරවය දිනූ අනෝජා වීරසිංහ (ඇය සම්මාන දිනුවේ ඩී. බී. නිහාල්සිංහයන්ගේ 'මල්දෙණියේ සිමියොන්' චිත්‍රපටයටය) සිය ජගත් පූජිත සම්මානය දිනූ පසු රංගන හදාරන්නට විදෙස් ගත වූවාය. ඒ ඇය එම විෂයෙහි ඉගෙන ගැන්මෙහි ඇති වටිනාකම අවබෝධ කොට ගත් බැවිනි. වර්තමානයේ මෙරට පිදෙන බොහෝ උපාධි සහතිකවල කඩදාසියේ වටිනාකම හැර වෙන කිසිවක් නැත. එයට මූලිකම කාරණාව වනුයේ ඇතැම් ඇදුරන්ගේ විෂය දැනුම ද එයට එහා නොයෑමයි. කෙසේ වෙතත් කැලණි විශ්වවිද්‍යාලයේ එම කටයුත්තට මුල පුරනුයේ ආචාර්ය නිහාල්සිංහයන් වීම ඉතා වැදගත් වේ. හේතුව ඔහු කිසි කලෙක පොතේ ගුරෙකු නොවීමය. සිනමාව පිළිබඳ විෂය වෙනත් විශ්වවිද්‍යාලවල තනි උපාධියක් සේ නොහැදෑරුව ද ඒවායේ ඇති පුහුණුව මේ හරහා කිසිසේත් අවතක්සේරු කරන්නට මා සූදානම් නැත. මෙහි වඩා වැදගත් වනුයේ සිනමාව වෙනම උපාධියක් කොට ඒ සඳහා මහාචාර්ය නිහාල්සිංහයන් පත් කිරිම නිසාවෙනි. එහිදී කැප වූ මහාචාර්ය පැට්‍රික් රත්නායකටත් අපගේ ස්තූතිය පුද කරමු. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආරම්භ කොට දස වසර පිරුණේ මේ වසරටය. පසුගිය දස වසර ඇතුළත මෙරට නාට්‍ය හා රංග කලාව ඇතුලු විෂයන්ගේ ප්‍රබෝධයක් ලබාදීමට එයින් බිහි වුණ විද්‍යාර්ථීන්ට හැකි විණ. 2010 වසරේ පැවැති සරසවිය සම්මාන උළෙලේදී සම්මාන සඳහා තෝරා ගන්නා ලද්දේ 2008 වසරේදී තැනුණු චිත්‍රපටයන්ය. ඒ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලය ආරම්භ වී සිව් වසරකි. සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය යන දෙදෙනාම එහි විද්‍යාර්ථීන් වීම කොතරම් අපූර්ව කාරණයක්ද. ඒ 'මචං' චිත්‍රපටය සඳහා සම්මාන දිනූ ධර්මප්‍රිය ඩයස් සහ 'විජය කුවේණි' චිත්‍රපටයේ රඟපෑ දුලානි අනුරාධාය. මේ විධිමත් අධ්‍යාපනය පිළිබඳ වැදගත් සාක්ෂියකි. කැලණිය සරසවිය ආරම්භ කළ අලුත් ගමන් මඟ අපේ සිනමාවේ ඉදිරි අනාගතය පිළිබඳ වඩා සුබපල දෙනු ඇතැයි එහෙයින්ම මම විශ්වාසය පළ කරමි. එයට වඩාත්ම හේතු වන්නේ එයට මඟපාදන මහා ගුරුවරයාණන්ය. ඒ මහාචාර්ය නිහාල්සිංහයන්ය.
'ගුරු සිත නොරිදවා නිතර අරගලයන්හි යෙදෙන බොහෝ සිසු දරුවන්ට සිනමාව හැදෑරීමෙහි ඒ කව සිහිපත් වේවා. |