වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනින් කාටත් දෙවෙනි නොවූ ලෙනින්

වෙනින් කාටත් දෙවෙනි නොවූ ලෙනින්

සිංහල ජනප්‍රිය සිනමාවේ සළකුණක් තැබූ ලෙනින් මොරායස්ගේ 78 වැනි ජන්ම සංවත්වසරය නිමිත්තෙනි

ලෙ නි න් මො රා ය ස් - උ ප න් දි න ය - 1 9 3 7 අ ගෝ ස් තු 1 8 දා අ ව ස න් දි න ය - 1 9 9 4 මැ යි 2 8 දා

1969 සූරයන්ගෙත් සූරයා තිරයට ගෙන එමින් ඔහු ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත් වෙයි. එතෙක් එතුමා ලාංකේය සිනමාවේ සම අධ්‍යක්ෂවරයෙකු සහ අද්විතීය කැමරා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සලකුණු කිරීම අතිශයෝක්තියක් නොවෙයි.

ආලෝකකරණය - කැමරාකරණය - අධ්‍යක්ෂණය සහ සිනමා තාක්ෂණය පිළිබඳ උපතින් ගෙන ආ හැකියාවට වැඩි යමක් එකතු කරමින්, දකුණු ඉන්දියාවෙන් ද, ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දන් මහතාගෙන් ද ගුරුහරුකම් ලද ලෙනින් මොරායස් නම් මේ මහා සිනමාකරුවා මෙරට ‘වාණිජ කිඩියර’ (Commercial Magic) සිනමාවේ නොමැකෙන මුද්‍රාවක් තබා ඇත්තේ - සිනමා තාක්ෂණය ගැඹුරට හදාරමින් තම සිනමාපටවලට පර්යේෂණාත්මක මුහුණුවරක් ද එකතු කරමිනි.

‘සිතක මහිම’ - ‘ස්විප් ටිකට්’ - ‘අපරාධය සහ දඬුවම’ - ‘ලොකුම හිනාව‘ - ‘හතර දෙනාම සූරයෝ’ ඇතුළු චිත්‍රපට ගණනාවක කැමරා අධ්‍යක්ෂවරයා වශයෙන්, විශිෂ්ට ගණයේ අර්ථාන්විත ආලෝක ප්‍රයෝගයක් නිර්මාණය කරමින්, සිනමාව වෙනුවෙන් එතුමා දිවිහිමියෙන් පොර බැදුව ද, මෙරට කිසිදු සිනමා සම්මාන උළෙලකදී එතුමාට සම්මානයක් පිදීම තබා, කිසිදු ඇගයීමක් හෝ නොකිරීම, සිංහල සිනමාවේ වර්තමාන ඛේදවාචකයේ ඇරැඹුම් ලකුණක් ලෙසින් මා සටහන් තබන්නේ, වෙනින් කාටවත් නොව, එය අපටම පාඩමක් වශයෙනි.

ලාභ ලබන කර්මාන්තයක් ලෙසින් සිනමාව පවත්වාගෙන යෑමට ‘මැජික්’ හෙවත් ‘කිඩියර’ සිනමාකරුවන් රටක බිහි වන්නේ අතලොස්සකි. එදා, තම තිර නාටකයට ‘ක්‍රියාදාම’ සහ ‘සටන් ජවනිකා’ හෝ කැමරා ප්‍රයෝගයක් හෝ ඇතුළත් නම්, අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂවරයා - ලෙනින් මොරායස් කැමරා අධ්‍යක්ෂවරයා වශයෙන් නම් කරනු ඇත. ඒ ලෙනින් තුළ පැවතියා වූ ක්‍රියාදාම සහ සටන් රූ ගැන්වීමේ උපන් හපන්කම සහ තාක්ෂණික නිපුනතාවය නිසාය.

ලෙනින් මොරායස් වැන්නවුන්ගේ සිනමානුචිත අභිප්‍රායන්, දක්ෂකම් විනාශ කර දමමින්, සමස්ත ලාංකේය සිනමා කර්මාන්තයම කඩා බිඳ දමා සමතලා කිරීමට තරම් හේතු කාරණය වී ඇත්තේ මෙවන් ජනප්‍රිය මාධ්‍යයක් හරහා ප්‍රචලිත වී බැබලෙන සිනමා ශිල්පීන් දෙස බලා සිටිය නොහැකි ඊනියා විචාරක පාණ්ඩිත්වයේ ‘කැටපිලරයක්’ තරම් බලවත් කුහක මානසිකත්වය නිසාය.

ලෙනින් මොරායස් නම් සිනමාවේදියා ශ්‍රී ලාංකේය වාණිජ කිඩියර සිනමාවේ දැවැන්තයෙකු සහ පුරෝගාමී චරිතයක් වන අතර, ඔහු තිර නාටකයේ සිට තිරගත කිරීම දක්වා වූ සිනමාවේ සියළුම අංශයන් පිළිබඳ මහා පරිචයක් ලබා ඇත. එබැවින් ඔහු අභියස සිනමාව පිළිබඳ කිසිවෙකුට සාවද්‍ය ප්‍රකාශනයන් කළ නොහැකි අයුරින් ඔහු ‘සිනමා මුරුගසන්’ වලින් සන්නද්ධ වී ඇත.

ලෙනින්ගේ චිත්‍රපටවල දියාරු දෙබස් නොමැත. කිරා වැටෙන ජවනිකා නොමැත. මන්දගාමි (Slow motion) දර්ශන විනා, ගීත නොමැත. ඇල්මැරුණු සංගීතයක් නොමැත. තවද චිත්‍රපට නොබලන නළු නිළියන් ලෙනින්ගේ ඇසුරේ නොමැත. එපමණක් ද නොව, ප්‍රේක්ෂක හදවත් හොඳින් හඳුනන ලෙනින් මොරායස් සිනමාවේදියා කිසි දිනක තම සිනමා ප්‍රකාශනයට සාපරාධී දර්ශන (Violence Scence) හෝ ප්‍රචණ්ඩත්වය කුලියට ගෙන නොමැත.

කාමුක දර්ශන සහ ප්‍රචණ්ඩ දර්ශනවලින් තොර - ලෙනින්ගේ කැමරාව වහා ක්‍රියාකාරීය. එයටම ගැළපෙන සංස්කරණ රටාව, වේගවත් වන්නේ ද ලෙනින්ගේම නියෝගයෙන්ය. ලෙනින්ගේ ශබ්ද පථය කන්කළුය. අති ප්‍රබලය. එහෙත්, ලෙනින්ගේ ආඥා ප්‍රකාශය (Director’s Order) සුන්දරය, සියුමැලිය. සියළු නළු නිළියන් සැබැවින්ම ලෙනින්ට කීකරුය. අවනතය. එබැවින් එතුමා අතින් නිර්මාණය වී ඇත්තේ නිවැරැදි ක්‍රියාදාම සිනමාපට යැයි කීවොත් වඩාත් නිවැරැදිය.

ලෙනින්, කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් අත ගසන පෙළක් චිත්‍රපට සඳහා එහි ‘නිර්නාමික’ අධ්‍යක්ෂවරයා බවට පත් වන්නේ ද ලෙනින්මය. වත්මනෙහි එහි මුහුණුවර ටිකක් වෙනස්ය. අද අධ්‍යක්ෂවරයෙකු ලවා චිත්‍රපටයක් සාදවා, තවත් අයෙකු නම දාගන්නේ සිංහල සිනමා ඛේදවාචකය තවදුරටත් යථාර්ථයක් බවට පත් කරවමිනි.

ඇතැම් විට දෙමළ චිත්‍රපටයකින් උපුටා ගත් කථා පුවතක් ලාංකේය ජන සමාජයට සරිලන සේ සකස් කොට, ඇඳුමින්, ආයිත්තමෙන් මෙන්ම, කලා අධ්‍යක්ෂණ කටයුත්තෙන් ද, වේශ නිරූපණයෙන් ද සහ ආරියරත්න කහවිටයන්ගේ දෙබස් උපයෝගීත්වයෙන් ද එයට දේශීයත්වය එන්නත් කිරීම, ලෙනින් තුළ පවතින්නා වූ නොමඳ, නොමසුරු හැකියාවක් සහ අවශ්‍යතාවයක් බව පෙන්වා දිය යුතුය. දකුණු ඉන්දියානු අතිශය ජනප්‍රිය නළු ජෙයශංකර් රඟපෑ ‘ඉරු වල්ලවර්ගල්’ සහ ‘වල්ල වනක්කු වල්ලවන්’ යන චිත්‍රපට ද්විත්වයම තම පළමු චිත්‍රපටය වන ‘සූරයන්ගෙත් සූරයා’ ට පාදක කොට ගත් අතර, සිවාජි ගනේෂන් රඟපෑ ‘තිරුඩන්’ කතා පුවත ‘එදත් සූරයා අදත් සූරයා’ට පසුබිම් වී ඇත.

එවන් විදෙස් චිත්‍රපටයක කතා පුවතක් ඔහුගේ අධ්‍යක්ෂණයට යටත් වන්නේ නම් එය කිසිදු අයුරකින් ‘කොපි චිත්‍රපටයක්’ නොවන බවත්, එය ‘අනුවර්ථනයක්’ හෝ ‘පරිවර්ථනයක්’ හෝ ‘නැවත නිර්මාණයක්’ (Re Make) හෝ නොවන බවද මෙහි වැඩිදුරටත් සටහන් කළ යුතුව ඇත්තේ, ලෙනින් මොරායස් නම් සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ගෞරවය ගෙනදීමෙන් කෘතගුණ සැලකීම පිණිසය.

මන්ද නිර්මාණකරුවෙකුගේ නිර්මාණ සංග්‍රහය, තමා ජීවත් වන පරිසරයේ ජනතාව වෙනුවෙනි. එසේ නම් ලෙනින් මොරායස්ගේ නිර්මාණ ද සැබවින්ම මුල් කෘති (Originals) බවට පත් වන්නේය.

ලොව විශිෂ්ටතම සිනමාකරුවන්ගේ චිත්‍රපට හාරා ඇවිස්සීමේදී, ඔවුන් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් වශයෙන් ස්ථාපිත වී ඇත්තේ ද, වෙනත් චිත්‍රපටයකින් හෝ දෙක - තුනකින් උපුටා ගත් ප්‍රබල දර්ශන කොටස් හෝ තේමාවන් තම නිර්මාණකරණයට ‘ඈඳා’ ගනිමිනි. නැතහොත් ‘මුහු’ කර ගනිමිනි.

එය එදා මෙදාතුර සිනමාව තුළ පවතින අහිංසක, ආදරණීය පිළිවෙතකි. ඇමරිකානු සීරියල් චිත්‍රපටවල දර්ශන, ස්පීල්බර්ග්ගේ මෙන්ම එම්. ජී. ආර්. ගේ චිත්‍රපටවල ද දක්නට ලැබෙන්නේ ඒ අයුරිනි.

තමන්ගේ උපුටා ගැනීම් පිළිබඳ හොලිවුඩ් සහ බොලිවුඩ් අධ්‍යක්ෂවරුන් නිර්භයව, චකිතයකින් තොරව නැවත, නැවත ප්‍රකාශ කරන්නේ, ඔවුන් පාසල් අවදියේදී වින්ද සුන්දරත්වය නැවත නව ප්‍රේක්ෂකාගාරය වෙත බෙදා දීමටය.

නවක අධ්‍යක්ෂවරුන් පැරැණි නළු නිළියන්ව තම සිනමාපටවලට දායක කර ගන්නේ ද එවන් වූ සුන්දර අතීතයක් පෙරළා ආවර්ජනය කරමින් රස විඳීමටය.

ස්ටීවන් ස්පීල්බර්ග් - ශෝන් කොනරි ටද (Indiana Jones - 3) ජෝර්ජ් ලූකස් - ක්‍රිස්ටෝපර් ලී ටද (Star Wars II) ජේම්ස් කැමරන් - චාර්ල්ටන් හෙස්ටන් ටද (True Lies) තම සිනමා කෘතීන් තුළ චරිත පවරා දීමෙන් ද, ඉන් නොනැවතී, ඔවුන්ව චිත්‍රපටය තුළ ඉහළම තලයක ස්ථාන ගත කරමින්, අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරන්නේ ‘අතීත රසය’ නැවත ගෞරවනීයත්වයෙන් රස විඳීමටය. ලෙනින් මොරායස් නිර්මාණකරුවා - එඩී, රුක්මණී, හියුගෝ - ගාමිණී, ජෝ, ටෝනි සමඟ වැඩ කටයුතු කිරීමද එබන්දකි.

ලෙනින් මොරායස්ගේ නිර්මාණ නැවත පෙරළ පෙරළා බැලීමේදී සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි ගෙන් ද, දෙබස් රචක ආරියරත්න කහවිටගෙන් ද, ගීත රචක කරුණාරත්න අබේසේකරගෙන් ද අධ්‍යක්ෂවරයාට ලැබී ඇති විශිෂ්ට වූ සහයෝගය මෙහිදී අමතක කළ නොහැකි අතර, ලෙනින්ගේ හොඳම නිෂ්පාදක වන, සියළු මුදල් ‘පළමුව එකවරම’ ගෙවන නිෂ්පාදක සරත් රූපසිංහ මහතාව ද මෙහි ගෞරවයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ සිංහල සිනමාවට පාඩමක් වශයෙනි.

තවද ලෙනින් පැරදවීමට, මතුපිටිින් අත පත ගා ගත් ‘ලෙනින් න්‍යාය’ අනුගමනය කිරීමෙන් එදා සමකාලීන පෙළක් අධ්‍යක්ෂවරුන්, අනාවබෝධයෙන් රූ ගැන් වූ සේයා පටල, සංස්කරණ මේසයේදී වේගවත් ගලා යෑමකට හසු කිරීමට ගොස් අනාගත් සැටි නිමි පිටපත් මඟින්ම අප දැක ඇත.

1971 - නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ’ ඔබට මතකද? එහි ‘ඇන්තනි සී. පෙරේරලා’ පස් දෙනෙකු එකම රූ රාමුවේ සංගීත කණ්ඩායමක් සේ රංගනයේ යෙදෙන්නේ ලෙනින්ගේ අති දක්ෂ කැමරා තාක්ෂණික හරඹයේ ප්‍රතිඵලයෙනි.

එම ප්‍රයෝග දර්ශනය මෙවන් කෙටි ලිපියකින් විග්‍රහ කිරීමට උත්සාහ ගැනීමත් අනුවන ක්‍රියාවකයි මට සිතේ. එවන් දර්ශනයක් 1990 දශකයට පෙර මා හොලිවුඩ් චිත්‍රපටයකවත් දැක තිබුණේ නැත.

අද නම් ඩිජිටල් සිනමාව තුළ කළ නොහැකි දෙයක් ද නොමැත. එහෙත්, කෙනෙකුට අනාගතයේදී නවීන ඩිජිටල් චිත්‍රපටයක් තැනීමට අදහසක් හෝ වේ නම්, හැකි ඉක්මණින් ‘හතර දෙනාම සූරයෝ’ කළු සුදු චිත්‍රපටය නරඹා අධ්‍යයනය කරන්න. ඉන් ඉගෙන ගත යුතු දෑ බොහෝය.

මේ ‘සූර’ කැමරාකරු, වේගයෙන් දිවෙන වාහනයක වමතින් එල්ලී යමින්, බැටරිය ඉනේ ගැට ගසාගෙන, දකුණතින් දරාගත් කැමරාවෙන් රූ ගන්වන්නේ වේගයෙන් දිවෙන තවත් මෝටර් රථයක ප්‍රවේගවත් දර්ශනයකි. එහෙත් එවන් ‘ජීවිත අවදානම්’ දර්ශන රූ ගැන්වීමකට ලෙනින් පසුබට නොවන්නේ, අන්ධකාරයට පහණක් දල්වන්නා සේ අප කර්මාන්තය තුළ ඇති තාක්ෂණික රික්තය පිරවීමටය.

එහෙත්, සිනමාහලට එන චිත්‍රපට පිටපතෙන් නරඹන්නාට නම් හැඟී යන්නේ කිසිදු අවදානමකින් තොරව, සියළු තාක්ෂණික පහසුකම් මධ්‍යයේ චිත්‍රපටය නිම කොට ඇති බවකි.

අද චිත්‍රපට තනන්නන් හට ඕනෑවටත් වඩා පහසුකම් ඇත. එබැවින් ටෙලිවිෂන් තිරය මත චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගසන පම්පෝරිය එමටය. එහෙත්, තෘප්තිය මොට්ටය. ඔවුන් නිෂ්පාදකගෙන් ඉල්ලන්නේ හොඳම නළු නිළියන්ය. හොඳම කැමරාවය. හොඳම කාච කට්ටල්ය. එහෙත්, නිෂ්පාදකයා වෙත හොඳම චිත්‍රපටය දීමට ඔවුන්ට නොහැකිය.

තවත් සමහරු අද ‘වීර චරිත’ තම සිනමාපටයට එබ්බවීමට වෙර දරති. එහෙත් ඔවුන් නොදන්නා කරුණ නම් මේ ‘වීරයා’ අවශ්‍ය වන්නේ කාට ද යන්නය. වීරවරුන් අපේක්ෂිත ප්‍රේක්ෂකයාට අද සිංහල සිනමාහල වසා ඇති බව ‘අසරණ අධ්‍යක්ෂවරුන්’ නොදන්නේද? මධ්‍යම පාන්තික ආසනයක් (02 වෙනි පංතිය) නොමැති අප සිනමාහලේ නළු නිළියන්ගේ හැඩ - වැඩ සහ සටන් කරුවන්ගේ වැඩ - කිඩ කාට බලන්නද?

නිර්ධන පංතිය වෙනුවෙන් නැඟී සිටින වීරයා අසාධාරණ ධනපති ප්‍රවාහයට එරෙහිව පහර දෙන විට, සිනමාහලෙන් නැගෙන ඔල්වරසන් හඬ මධ්‍යයේ වීරයන්ගේ වීරවිකුම් නරඹන - වීරයන් පමණක් අසුන්ගෙන සිටින බැල්කනියට සිදු වන්නේ කුමක් ද යන්න මා අමුතුවෙන් කිවයුතු නොවෙයි.

ලෙනින් චිත්‍රපට හැදුවේ බුද්ධිමතුන් ලෙස වෙස්වලාගත් බැල්කනිවලට නොව, සැබෑ බුද්ධිමතුන් සිටින පොදු ජන පංතියටය. ලෙනින්ගේ ‘ආවා සොයා ආදරේ’ තේමාවෙන්ම ඊට කදිම නිදසුන් සපයන්නේ නිර්ධන පංතියේ - නිලන්තිට, ධනපති පංතියේ ගාමිණීගේ පිවිතුරු ආදරය ද හිමිකර දෙමිනි.

ලෙනින් තම චිත්‍රපටවලට වැඩි හරියක් නම් තැබුවේ එකම වචනය දෙවරක් උච්ඡාරණය වන ආකාරයටය. සූරයන්ගෙත් සූරයා - එදත් සූරයා අදත් සූරයා - සූරයා සූරයාමයි - හිතුවොත් හිතුවාමයි - ආදරෙයි මං ආදරෙයි - උන්නත් දාහයි මලත් දාහයි සහ යුගයෙන් යුගයට යනුවෙනි.

එය මෙම ලිපියට වැදගත් නොවුණද, ලෙනින්ගේ දිශාව, පිළිවෙත සහ අනන්‍යතාවය අවබෝධ කර ගත හැකිය. ‘අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නොවෙයි, ලෙනින් මොරායස්’ යනුවෙන් කරුණාරත්න අබේසේකරයන් ලෙනින් වෙනුවෙන්ම වෙළෙඳ පාඨ සකස් කළේ කට කහනවට හෝ වචන පිරවීමට නොවන වග ලෙනින්ගේ චිත්‍රපට රස විඳි අයට වැටහෙනවා ඇත.

මොරායස්ගේ චිත්‍රපට දෙක තුනක් හැරෙන්නට අන් සියල්ල පුරුෂාධිපත්‍යයේ (Male Format) චිත්‍රපට වන අතර, ඔහුගේ සියළු සිනමාපටවල කතා වස්තුවේ, මූලික හරය වන්නේ ද මිනිසත් බවය.

ලෙනින් මොරායස්ගේ මිනිසත් බව, ඊනියා විචාරකයින් කිසි දින නොදුටු අතර, ලෙනින්ගේ ‘සටන් ජවනිකා’ පිළිබඳ පමණක් ඔවුන් හොඳ හැටි අවබෝධ කරගෙන අතීතයේදී ප්‍රයෝගිකව අත්දැකීම් ලබාගත් බව නම් මට මතකයෙන් කිසිදින බැහැර කළ නොහැකියි.

අප රටේ හැදෙන කලාත්මක යැයි කියා ගන්නා පෙලක් වට්ටෝරු චිත්‍රපටවල ඇති ‘අභව්‍ය’ දර්ශන හෝ ‘අසභ්‍ය’ දර්ශන කිසිවක් ලෙනින්ගේ චිත්‍රපටවල අන්තර්ගත වී නොමැත.

මෙතෙක් ශ්‍රී ලාංකේය රිදී තිරය ඔස්සේ මා දුටු හොඳම වාණිජ පරමාර්ථ සිනමාපට තුනෙන් දෙකක්ම ලෙනින් මොරායස්ගේය. ඒ ‘සූරයන්ගෙත් සූරයා’ සහ ‘එදත් සූරයා අදත් සූරයා’ය.

සූරයන්ගෙත් සූරයා හි පාදඩ සමාජ සංස්කෘතියේ පෙළඹවීමෙන්, දිවි හානි කර ගැනීමට තැත් දැරූ ගැබිණි තරුණියකගේ ‘ආත්ම අභිමානය සහ ජීවිතය’ බේරා ගැනීමට ‘ගාමිණී නම් සූරයා’ මැදිහත් වීමත්, ලැබෙන්නට යන දරුවාගේ පියා තමා යැයි පවසන ලෙස කීමත් මොන තරම් වීරජනක ද? සූරජනක ද? නිර්භීත ද?

එහෙත් අද සිනමාවේ පැහැදිලි වෙනස නම්, අසල්වැසියකු මරා දමන පාතාල මැරයන්ට එරෙහිව කටයුතු නොකරන මේ නවීන වීරයා අඩු තරමින් මියගිය පුද්ගලයා දෙස මොහොතකටවත් හැරි බලන්නේවත් නැත්තේ, ඔහු කාඩ්බෝඩ් වීරයකු නිසා ද? එය මොනතරම් කුලෑටි ද? මොනතරම් නිවටද? මොනතරම් බියගුලු ද?

‘එදත් සූරයා අදත් සූරයා’ නම් ප්‍රබල වේගවත් චිත්‍රපටයේ එන ගාමිණී නම් භයානක හොරාගේ චරිතය තුළින් මිනිස්කම් සහ අවස්ථානුචිත වීරත්වය අධ්‍යක්ෂ ලෙනින් විසින් පිටාර යවන්නේ සියළු තාක්ෂණික ක්‍රියාදාමයන් බොඳ කර දමමිනි.

සමාජශාලා අයිතිකරු (සේනාධීර රූපසිංහ) විසින් ගාමිණීට පවරන සියළු භයානක සොරකම් ඔහු අකුරටම නොපිරිහෙලා ඉටු කරනු ලබයි. එහෙත් එක් දිනක් විශාල ධනස්කන්දයක් අත්පත් කර ගැනීමේ අටියෙන් ක්ලබ් අයිතිකරු කුඩා දරුවකු පැහැරගෙන ඒමට කළ නියෝගය ගාමිණී එකහෙලා ප්‍රතික්ෂේප කිරීමෙන් එම ජවනිකාව තුළ විරාජමාන වන මිනිසත් බවත්, වීරත්වයත් ලෙනින්ගේ උසස් අධ්‍යක්ෂණ ප්‍රතිභාව සළකුණු කිරීමට ඇති ‘හොඳම’ එක් නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැක.

පසුව, සමාජශාලා රාමුවෙන් පිටතට විසි වී ගිය ගාමිණී, තම බිරිඳ සහ කුඩා දියණිය සමඟ දැඩි දරිද්‍රතාවයෙන් තෙරපෙන ජීවිතයකට මුහුණ දී සිටියි.

රෝගීව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තම සිඟිති දියණියගේ ජීවිතය බේරා ගැනීමට දොස්තරවරයෙකු (එඩී ජූනියර්) කැන්දාගෙන ඒමට ගන්නා වූ උත්සාහයේදී, දොස්තර විසින් දරුවා බැලීමට යෑම ප්‍රතික්ෂේප කරන්නේ, තමාට කොළඹ හතේ නිවසක කාන්තාවකගේ සෙම් ප්‍රතිශ්‍යාවට වෙදකම් කිරීමට යා යුතුව ඇති බව කියමිනි.

ඉන් නැඟෙනා කෝපය යටපත් කරගත්තද, දරුවාගේ අසාධ්‍ය තත්ත්වය තුළ අසරණ වන ගාමිණීගේ ඊළග පියවර . . .? මේ ජවනිකාව තුළ ද අධ්‍යක්ෂවරයා ඉතා සූක්ෂමව ගාමිණී සහ දොස්තරව මෙහෙයවා ඇති ආකාරය නැවත නැවත සිතා බැලිය යුතුය. කෙසේ හෝ ගාමිණීගේ ග්‍රහණයෙන් මිදී පිටව යන දොස්තරවරයාට ගාමිණී, ‘ඩොක්ටර්’ යනුවෙන් නැවත අමතන්නේ තම ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය නරඹන්නාට ද නොදැනෙන ආකාරයෙන් දොස්තරවරයාට රහසින් එල්ල කරමිනි.

එමඟින් කිසිවෙකුට නොපෙනෙන සැබෑ තත්ත්වය නම්, ගාමිණී නැමැති භයානක හොරාගේ ක්‍රියා කලාපය තුළින් ප්‍රේක්ෂකයා අභියෝගාත්මක ත්‍රාසයෙන් මුසපත් වීමයි. ඒ වාණිජ සිනමාවට උචිත මෙහෙය වීම, ලෙනින්ගේම න්‍යාය පත්‍රයේ කොටසකි. ලෙනින්ගේ නිර්මාණ ප්‍රතිභාව ඇගැයීමට ලක් කිරීම, සම්මාන උළෙලවල් සහ විචාරයික් විසින් බැහැර කළේ හිතාමතා ද, නැතිනම් ඔවුන් ජාතික ආලකයන් නිසා ද යන්න මා හට අදටත් පිළිතුරු සපයා ගත නොහැකි පැනයක් බවට පත් වී ඇත.

එමෙන්ම එච්. ආර්. ජෝතිපාලයන් සහ ලෙනින් මොරයස් නම් මිතුරු සංගමය දේශීය සිනමා කර්මාන්තයට මහත් පිටිවහලක් වූ කාරණය කිසිදා සැඟවිය නොහැකිය.

ඔහුගේ සෑම චිත්‍රපටයකම ප්‍රධාන පසුබිම් ගායකයා වන්නේ ජෝතිය. ලෙනින්ගේ චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත්වීමත්, රසිකයා නැවත නැවත චිත්‍රපටය නැරැඹීමත් තුළින් විද්‍යාමාන වන්නේ, ජෝතිගේ ‘මධුර මනෝහර චරිතාංග කටහඬ සහ ‘තිර විලාසය’ උපරිම වශයෙන් ලෙනින් විසින් භාවිත කොට ඇති බවයි.

එබැවින් ජෝතිපාලයන් මෙරට ‘පුරාවෘත්තයක්’ බවට පත් කිරීමට ලෙනින්ගෙන් ලද නොමසුරු සහයෝගය අප ප්‍රශංසා සහගතව අගය කළ යුතුය.

සිනමාව වෙනුවෙන්ම ඇප කැපවුණු ලෙනින් මොරායස් වැනි සිනමාවේදීන් සිනමාවක් නොමැති හෝ සිනමාව නොලියලන මෙවන් රටක ඉපදීම - සිනමාවට, කලාවට ගෞරවයෙන් සලකන රාජ්‍ය නිලධාරීන් වෙසෙන රටක - ප්‍රේක්ෂක ජනතාවගේ අභාග්‍යයක් බව සටහන තබන්නේ දැඩි කණගාටුවෙනි.

ශ්‍රීමත් ස්ටීවන් ස්පීල්බර්ග් හෝ අමිතාබ් බච්චන් පිළිබඳ අද අප අභිමානයෙන් යුතු උදානයෙන් කතා කරන්නේ ඔවුන් මෙරට නොඉපදීම නිසා නොවේද?

දකුණු ඉන්දීය සිනමාවේ මහා නළු එම්. ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මෙරට ඉපිද, දෛවයේ සරදමකින් හෝ මෙරටින් නෙරපා දමා දකුණු ඉන්දියාවට සංක්‍රමණය වීමට සිදුවීමම මොන තරම් අගනේද?

කෙසේ වෙතත්, පසුගිය අවුරුදු 38 තුළ සිනමාවෙන් මා ලද අත්දැකීම අනුව, සෑම ශ්‍රී ලාංකික චිත්‍රපට ශිල්පියෙකුම අවසානයේ අත්විඳින ඛේදවාචකය, ලෙනින් මොරායස් නම් සිනමාකරුවාට ද මඟහැර යාමට කිසිදු දිනක නොහැකිවීම, දෛවයේ සරදමක් ලෙසින් සටහන් තැබීමට මා පසුබට නොවන්නේ - එඩී, රුක්මණී, - ගාමිණී, විජය, ජෝ ද - මයික් විල්සන්, කේ. ඒ. ඩබ්. පෙරේරා ද ඇතුළු මෙකී නොකී විසල් පිරිසක් යට කී ඛේදවාචකයට වෙනත්, වෙනත් මුහුණුවරකින් මුහුණ දුන් බැවිනි.

දේශීය සිනමාකරුවකු වශයෙන් මා ද දිනක එම ඛේදාන්තයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුමය. නැතිනම් මෙය ශ්‍රී ලංකාව නොවන බව ඒකාන්තය. ශ්‍රී ලංකාව වෙනුවෙන් චිත්‍රපට කිරීමේ පාපකර්මයට - දණ්ඩනය එය බැව් සිත් හී තබා ගන්නේ නම්, එම ඔවදන සිනමාකරුවන් හට මහත් රැකවරණයක් වන්නේය.

ලෙනින් මොරායස් නම් පෘථුල අත්දැකීම් ලද සිනමාවේදියාගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය වන්නට තිබුණේ - ගාමිණී, විජය රඟපෑමට නියමිතව තිබූ, බර්නාඩ් ගුණසේකර නිෂ්පාදනයක් වන ‘තුන්වෙනි ලෝකය’ නම් විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයයි.

විශේෂ දර්ශන ප්‍රයෝගයන්ගෙන් සපිරි එම වර්ණ සිනමාපටය නිමා වූවා නම් මට ද හොඳ කලක් ලබනු ඇත. ‘තුන්වෙනි ලෝකය’ තිරගත වූවා නම් දේශීය සිනමාව වෙනින් මාවතකට යොමු කරවමින් ලෙනින් වෙනින්ම අධියුරුවරයකු වන බව සැක හැර කිව හැකිය.

එමෙන්ම පුළුල් තිර චිත්‍රපටයක් ලෙනින් අතින් නිමවන තුරු මා පිරූ පෙරුම් 1994 මැයි 28 වැනිදා සදහටම වැලලී ගියේය.

මේ වන විට, ලෙනින් මොරායස් නම් සම්මාන නොලත් අති දක්ෂ අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයා අප අතැර ගොස් වසර 21 කි. එහෙත්, හෙට බිහිවන ‘අංකුර’ සිනමාකරුවන් හට තම සිනමාපටවලින් ලෙනින් කියවා දෙනු ලබන්නේ සැබෑ වූ ධනවත් සිනමා ව්‍යායාමයක න්‍යාය පත්‍රයයි.

2016 දී සිංහල සිනමාව නිතැතින්ම මුහුණ දෙන දීර්ඝ විරාමයෙන් අනතුරුව, කෙදිනක හෝ නැවත සිංහල සිනමාව යළි හිස ඔසවන්නේ නම් ‘එදත් සූරයා අදත් සූරයා’ මැවූ ලෙනින් මොරායස් සිනමාවේ ‘හෙටත් සූරයා’ බව එදින වෙනුවෙන් සඳහන් කිරීම වඩා යෝග්‍යය යැයි සිතමි.

මාද ලෙනින් න්‍යායයෙන් උපුටාගෙන භාවිත කරන දේ බොහෝය.