|
මඟ මරුවා ට්‍රාන්ස්පෝට්
විල්මන් සිරිමාන්න කියන්නේ අපට සිටින දක්ෂ නළුවෙක්. ඒ වගේම කලා අධ්යක්ෂවරයෙක්. මේ විල්මන්ට බස් රියදුරකුගේ චරිතයක් ලැබිලා. අධ්යක්ෂවරයා ඇහැව්වලු ඩ්‍රයිවිං පුළුවන්ද කියලා. චරිතෙට තිබුණු ලෝබකමට විල්මන් එක පාරටම හා කියලා. හැබැයි කලෙකින් වාහන පදවපු නැති හින්දා විල්මන්ට ටිකක් විතර මතක නැතිලු වාහන පදවන විදිහ. විල්මන් හිතලා තියෙන්නේ වැඩේ ඒතරම්ම බරපතල නැහැ කියලා. ඔන්න විල්මන් බස් රියදුරුකු වන දවස උදා වුණා. ඔහු ගිහින් රියදුරු අසුනේ වාඩි වෙලා බස් එක පණගන්වලා. පාරේ ටිකක් පල්ලම වගේ නිසා බසය හිමින් ඉදිරියට ඇදුනලු. ඔය අතරේ නළු නිළියෝ රැසක් දැන් බසයට නැගලා. දර්ශනයට ලකලැහැස්ති වෙනවලු. විල්මන්ට ටිකක් වේගයෙන් බසය පදවන්න කියලා අධ්යක්ෂවරයාගෙන් උපදෙස් ලැබිලා. විල්මන් මොකද කළේ දනිපනි ගාලා පහළ තිබුණු බ්රේක් එක පාගපු එක. ඒ වෙලාවේ බස් රිය ඇතුළේ සර්කස් සන්දර්ශනයක් වගේ එළියේ ඉන්න අයට පෙනුනලු. කරනම් ගහපු නළු නිළියෝ කොන්දවල් අතපය අල්ලගෙන නැගිට්ටේ කෙඳිරිගාන ගමන්ලු. සියල්ල එහෙම වෙද්දි විල්මන් බසයෙන් බැහැලා මුකුත් නොවුණ ගාණට. අධ්යක්ෂවරයා දෙස් දෙවොල් තියන්න පටන් ගත්තලු විල්මන් කරපු වැඩේට. විල්මන් ඔහු කියන දේවල් අහගෙන ඉන්න බැරිම තැන මෙන්න මෙහෙම කිව්වලු. 'මහත්තයෝ මට ඩ්‍රයිවිං පුළුවන්. හැබැයි මට දැන් වුණේ බ්රේක් එකයි ඇක්සලේටෙරෙයි මාරු වෙච්ච එක'.
දොස්තර මහත්තයාගේ තේමා ගීතය
සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ භාග්‍යා ටෙලි සිතුවම සතියේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රාත්‍රී 7.30 ට ටී. එන්. එල්. නාළිකාවෙන් විකාශය වෙනවා. එහි තේමා ගීතය ඇරැඹෙන්නේ කඳුළු විලක පිපුණු මලක යනුවෙන්. එය ගයන්නේ වෘත්තීය මට්ටමේ ගායක යුවළක් නම් නෙවෙයි. හැබැයි ඒ ගීතය ඉතාමත් මිහිරියි. ඒ හින්දම අපි හොයලා බැලුවා එය කියන්නේ කවුද කියලා. භාග්‍යා තේමා ගීතය ගයලා තියෙන්නේ වෛද්‍ය රනිල් ජයසේන සහ ඔහුගේ බිරිය මාධනීය.
එහි පද මාලාව රචනා කර ඇත්තේ දොස්තර රනිල් විසින්මයි. දැනගන්නට ලැබෙන
පරිදි මෙය ඔහුගේ පළමු ටෙලි නාට්‍ය තේමා ගැයුමලු. භාග්‍යා නමින් මීට පෙර ද ටෙලි
සිතුවමක් නිර්මාණය වුණා. එහි අඩංගු ආජු තපර ලාහිලා ගීතය අදටත් ඉමහත් ජනප්‍රියයි. ඒ
වගේම මේ භාග්‍යාගේ ගීතයත් ජනප්‍රිය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් එහි මුල්
පද පේළි කිහිපය මෙසේ සටහන් කරන්නට කැමැතියි. කඳුළු විලක පිපුණු මලක විකසිත පෙති ඔබෙ දෙතොලේ කෙලෙස මැව්වදෝ මුදු සිනහා දේදුන්නෙන් අහසට ගොස් තරු මිණි කැට අරන් ඇවිත් අඳුර බින්දදෝ භාග්‍යා . . .
ලස්සන දෑතක්
මේ දවස්වල සතුටින්ම ඉන්න නිළිය පහළ ඉන්නවා. මේ දවස්වල වැඩිපුරම දුකට පත් වෙලා ඉන්න නිළිය ගැනයි මේ කියන්න හදන්නේ. ඇය තමයි විනු උදානි සිරිවර්ධන. විනුගේ දුකට හේතුව වෙලා තියෙන්නේ ඇගේ සුකොමල අතෙහි නියපොතුවල කියුටෙක්ස් ගෑමට නොහැකි වීම. එහෙම වෙලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි චිත්‍රපටයේ ඇයට හිමි වෙලා තිනෙ ඓතිහාසික චරිතය නිසා. ඒ වගේ චරිතයක් රඟපාන කොට කියුටෙක්ස් ගාන්න බැහැනෙ. මේ දිනවල විනූ ටෙලි නාට්‍ය රූපගත කිරීම් වගේම රූපවාහිනි වැඩසටන්වලට ද සහභාගි වන්නේ කියුටෙක්ස් නැතුව. විනුගෙ මේකප් ගැන දන්න හැමෝම ඇගෙන් කියුටෙක්ස් කතාව අහනවා. එතකොට විනු අර උත්තරය තමයි දෙන්නේ. ඒ වගෙ චරිතයක් වෙනුවෙන් මේ වගේ තවත් කැප කිරීම් කිරීමට විනු සූදානම් බවත් ඔවුනට කියන්න විනු අමතක කරන්නේ නැහැ. බොරුවට දුක් වුණත් වැඩි දෙනෙකු විනු හට කියන්නේ කියුටෙක්ස් නැති ස්වභාවික ලස්සන දෑඟලි කියුටෙක්ස් ගාන ලද දෑඟිලිවලට වඩා ලස්සන බවයි. කෙසේ වෙතත් විනු මෙවන් වූ චරිත බාර ගන්නේ ඉතාම කැමැත්තෙන් බව පසුව කරන ලද විමසීමකදී අපිට හෙළි වුණා.
ලෝචනාට වාරණයක්
මේ දවස්වල වැඩියෙන්ම සතුටින් ඉන්න නිළියව අපි හොයා ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ලෝචනා ඉමාෂි. ඇය මෙහෙම සතුටින් ඉන්නේ එක්තරා කාරණාවක් හින්දා. ලෝචිගේ ජීවිතයට හරියනම සහකරුවා හමු වෙලා. 'සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හමු වුණා' කියාගෙන හැන්ඩ්සම් කොල්ලෙක් ලෝචිට ආදරෙයි කිව්වලු. ඇය ඉතින් එක පාරටම හා කියලා නැහැ. ටිකක් විතර ගණන් උස්සලා. ඒක නිළියන්ගේ හැටියක්නේ. කොහොම හරි දැන් දෙන්නා පෙම්වතුන්ලු. ලෝචනා හිතාගෙන ඉන්නේ ඉතාම ඉක්මනින් පවුලක් පන්සලක් වෙන්න. මේ වන විට ලෝචි පෙම්වතියක් කියලා ඇයගේ ළඟම හිතවත් අය දන්නවා. හැබැයි ලෝචි මේ ගැන ප්‍රසිද්ධ කරන්න නම් හරිම අකැමැතියි. එයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලෝචිගේ පෙම්වතා ක්ෂේත්රයේම කෙනෙකු වීම. තමන්ගේ අනාගත සහකරුවා පැහැර ගනියි කියලා හිතලද දන්නේ නැහැ ඇය ඔහුව මෙහෙම සඟවන්නේ. ලෝචනාගේ කට ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ලෝචනාගේ කට තමයි කට. ඇය, මේ කෙරවළේ කතා කරන දෙයක් අනෙක් කෙරවළටත් ඇහෙන්නේ කන තිබ්බා වගේ. සමහරු නම් කියන්නේ ඇයගේ ගෙවල් අහල පහල සතෙක් සරුපයෙක්වත් ඉන්නේ නැහැ ඇයගේ මේ නලා කට නිසා. නමුත් මේ කට ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් අද අපි ඔබට කියා දෙනවා. ලෝචනාව දුටුව තැනදි ඇගේ පෙම්වතා ගැන අහන්න. අයේ කතා දෙකක් නැහැ ලෝචනාගේ කට ලොක් වෙන එක ලොක් වෙනවාමයි.
කණ්ණාඩි නැතුව හඳුනගන්න බැරුව
අකිල සඳකැලුම් මේ දිනවල සහාය අධ්යක්ෂවරයකු ද හැටියට ප්‍රසිද්ධයි. ඔහු මේ දවස්වල නාට්‍ය දෙක තුනකම සහාය අධ්‍යක්ෂණය බාර අරන්. ඒ හින්දා අකිල මේ දවස්වල එහෙ මෙහෙ දුවනවලු ඒකට අවශ්‍ය වැඩ කටයුතු සඳහා. ඔය අතරේ තමයි අකිලට නාට්‍යයක දර්ශනයකට පැරැණි ගෙයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. අකිල කටුනායක පැත්තේ ටිකක් ඇවිදලා බලලා ඊට අවශ්‍ය තැනක් තියෙනවද බලන්න. ඔහොම යද්දී එක්තරා පැරැණි ගෙයක් අකිලගේ නෙත ගැටිලා. එතන වැඩේට හොඳයි වගේ දැනුණ නිසා ඔහු ගේට්ටුව ඇරගෙන ගෙදරට ඇතුළු වුණාලු. වත්තේ හිටපු බල්ලෙකු අකිල එනවා දැකලා බුරාගෙන පැන්නත් ඔහු දන්න ශිල්ප දාලා එතනින් ද ගැලවිලා ගෙදර ඉස්තෝප්පුවට ආවම බල්ලගෙ කෑගැහිල්ලට වෙන්න ඇති ගෙදර සිටි වයසක පුද්ගලයකු එළියට ආවා. අකිල උගුර ටිකක් පාදලා කිහිප පාරක්ම තමන්ව හඳුන්වා දුන්නා. නමුත් ඒ තැනැත්තා බලාගෙන හිටියා මිසක කිසිම ප්‍රතිචාරයක් දැක් වූයේ නම් නැහැ. බැරිම තැන තමන් නළුවකු යන වග ද ඔහු විසින් හඳුන්වා දුන්නා. නමුත් ඒ අවස්ථාවේ ද ප්‍රතිචාර නැහැ. ඔහු අකිල දිහා මහත් වූ නුරුස්සන ගතියෙන් බලාගෙන ඉන්නවා. තවත් වැඩ කිඩ දාලා අකිල තමන්ව හඳුන්වලා දුන්නලු. ඒත් වැඩේ අවුල්. බැරිම තැන අකිල ගෙදරින් එළියට බැස්සා. අකිලට හරිම අප්සට්ලු, වසර ගණනාවක් රඟපාලත් තමන්ව හඳුන ගත්තු නැති එකට. ඔන්න එතකොටම නිවස තුළින් හඬක් ඇවිල්ලා මෙන්න මෙහෙම. 'තාත්තේ, අදත් තාත්තා එළියට බැහැලා තියෙන්නේ කන්නාඩි දෙක නැතුවනෙ' එහෙම කියූ තරුණියක් අර පුද්ගලයාට කන්නාඩිය පැළඳුවලු. අන්න එතකොට තමයි අකිලව ඔහු හඳුනාගෙන තියෙන්නේ. |