|
හතරවෙනියත් දාල ගියදාට මම පරාජිත පෙම්වතියක් වේවි
* කොහොමද කවීෂා? මම හොඳින් ඉන්නවා. * මේ දිනවල අඟුරු සිත්තම් ටෙලි සිතුවම තුළින් ඔබේ සොඳුරු රුව අප නෙත ගැටෙනවා? ඔව්. මම ඒකේ අමන්දා. * කවීෂා ක්ෂේත්රයට එන්නේ නිවේදිකාවක ලෙසින් නේද? හරියට හරි. සිරස ආයතනයේ දොළොස් මහේ පහන කියන වැඩසටහනයි මම හාහා පුරා කියලා කළේ. * එතකොට ඔබ රංගනයට එකතු වන්නේ? සම්පත් ශ්‍රී රෝෂන්ගේ තරු අහසට ආදරෙයි තමයි මගේ පළමුවැනි ටෙලි සිතුවම. ඊට පසුව කෝරළේ මත්තයා ධ්ධ් , වාසුලි කන්ද, සිහින සක්මන ආදී ටෙලි නාට්‍ය ගණනාවක මම චරිත මැව්වා. * අමන්දා කියන්නේ මොන වගේ චරිතයක්ද? එයා හොඳ මිතුරියක්. * ඔබ වගේ? හරියට හරි. මම වගේ නිතරම යාළුවන්ට උදව් කරනවා. * මොන වගේ අවස්ථාවන්වලදීද කවීෂා යාළුවන්ට උදවු කරන්නේ? විශේෂයෙන් ආදරය සම්බන්ධ ගැටළු ආවාම මම නිරන්තරයෙන් පෙනී සිටිනවා. * එහෙම උදවු කරන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා අනන්තවත් ඇති? මොකද නැත්තේ. ඔන්න එක දවසක් යාළුවෙක් කතා කර කර දුක කියලා අඬනවා. එයාගේ කොල්ලට මට කියන්නලු අයින් වෙලා යන්න කියලා. ඉතින් මම ඒ පිරිමි ළමයට කතා කරලා ඒක කිව්වා. මගේ යාළුවාගෙන් ඈත් වෙන්න කියලා බල කළා. මෙන්න පහුවවෙනිදාට මුකුත් නොවුණා වගේ දෙන්නා අත් අල්ලගෙන පාරේ යනවා. අන්තිමේ මමයි ඒ දෙන්නට මුණ දෙන්න බැරි වුණේ. * ආදරය ගැන යාළුවන්ට උපදෙස් දෙන්න තරම් කවීෂාට හැයාවක් තියෙන්නේ ආදරය පිළිබඳ අත්දැකීම් රැසක් ඔබට තියෙන නිසා කියලා මට හිතෙනවා? ඔව්. ඒක ඇත්ත. * මේ වෙනකම් කවීෂා පෙම්වතුන් කී දෙනෙක් එක්ක යාළු වෙලා තියෙනවාද? තුන් දෙනෙක් එක්ක යාළු වෙලා තියෙනවා. * ඒ අතරින් අන්තිමයා කවීෂව දාලා ගියේ ඇයි? මාව ඔහු දාලා ගියේ නැහැ. අපි දෙන්නා කතා කරලා වෙන් වුණා. ඔහුට මම අකැමැතිම ගතිගුණ රැසක් තියෙනවා. මම හදා ගන්න හැදුවා. ඒත් බැරි වුණා. එයාට ඉතාම ඉක්මනින් තරහත් යනවා. අන්තිමේ අපි වෙන් වන්නට තීරණය කළා. * මොන වගේ තහංචි ද ඔහු විසින් ඔබට දැම්මේ? මට රඟපාන්න එපා කිව්වා. * ඒ කියන්නේ ඔබට පෞද්ගලික ජීවිතයට වඩා කලාව ලොකුයි? පොඩි කාලේ ඉඳලා මට දැඩි උණක් තිබුණා කලාවට එන්න. මම දැන් ඒ ගමන පටන් අරගෙන ඉවරයි. මට ඕනෑ මගේ කලා දිවියට ආශිර්වාද කරන කෙනෙක්. ඔහු මට එහෙම කළේ නැහැනෙ. ඉතින් ඒ වගේ ආදරයක් වෙනුවෙන් මම මොකටද කලාවෙන් ඉවත් වන්නේ. * බලාගෙන ගියාම කවීෂා පරාජිත පෙම්වතියක්නෙ? තවම එහෙම නැහැ. මට ගැලපෙන කෙනා හතරවෙනියට හමුවේවි. අන්න එයා දාලා ගියදාට මම පරාජිත පෙම්වතියක් වේවි. * කවීෂා ආස කරන චරිතයක් තියෙනවාද ඉදිරියේදී රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න? මම කැමැතියි දුෂ්කර පෙදෙසක ගැමි ගැහැනු ළමයෙකුගේ චරිතයක් කරන්න. * කවීෂාට මේ ක්ෂේත්රය ගැන දැනෙන විදිහ කියන්න? කලාව හොඳයි. නමුත් ඉන්න පුද්ගලයෝ විවිධාකාරයි. ඒ හින්දා ඉතාම කල්පනාවෙන් ඉන්න ඕනෑ. * කවීෂාට දුක හිතුණම මොකද කරන්නේ? අඬනවා. අඬලා අඬලම හිත හදා ගගන්නවා. * නව පරපුරේ නිළියන් හරියට ලණු දෙනවා. කණු තියනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඉතාම වැරැදි වැඩක්. වගකීමක් බාර ගත්තොත් ඒක අකුරටම ඉටු කරන්න ඕනෑ. අට කිව්වොත් අට. හය කිව්වොත් හය. වෙලාවට වැඩ කරන කෙනාට තමයි ඉදිරියට යන්න පුළුවන්. * කවීෂගේ ගම කොහෙද? මාතලේ. * එතකොට ඉගෙන ගත්ත පාසල? මම ඉස්කෝල හතරකට ගියා. පිළිවෙලින් මෙහෙමයි. මුවන්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය, නෙළුවාකන්ද මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ වලල මධ්‍ය මහා විද්‍යාලය සහ මාතලේ විජය විද්‍යාලය. * උපන් දිනය? 1991. 09. 25 * පවුලේ විස්තර කියමු? මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි. * කවදද අන්තිමටම ගමේ ගියේ? පහුගිය සිංහල අවුරුද්දට. * කෙහොමද ගමේ ඔබට තියෙන පිළිගැනීම? එදාට වැඩිය අද ගොඩක් හොඳයි. නිළියක් හැටියට මට අද ගමේ ඉහළ පිළිගැනීමක් තියනවා. ගොඩක් අය අහන්නේ කලාව ගැන. මාත් ඉතින් හොඳට පිළිතුරු දෙනවා. * කවීෂට කවුරු හරි කියලා නැති ද ඔබ සේමිණි ඉද්දමල්ගොඩ වගේ කියලා? මට එහෙම කියලා තියෙනවා. මම ටිකක් ඇය වගේලු. එතකොට මට ආඩම්බර හිතෙනවා. සමහර අය කියනවා මම හෂිනි ගෝනගල වගේ කියලත්. * කවීෂා රන්මිහිතැන්න ගිහින් වෙච්ච හොඳම අකරතැබ්බය ගැනයි මම ඊළඟට අහන්නේ? මේ සිදුවීම වුණේ කෝරළේ මහත්තයා ටෙලි සිතුවම රූගත කරද්දී. මම එහි තිබුණ අම්බලමක වාඩි වෙලා ඉන්නවා. විශ්ව කොඩිකාර මම ළඟට ඇවිත් කතා කර කර ඉන්න ගමන් මොනවදෝ කොළ වගයක් ඇතිල්ලුවා. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ටික වෙලාවක් ගියා විතරයි මාව කසන්න පටන් ගත්තා පුදුම විදිහට. දවසම කැසුවා. එදා නම් මට විශ්ව අයියගෙ බෙල්ල මිරිකන්න හිතුණා. * කොහොමද ඉදිරිය? නිළියක් විදිහටම ඉස්සරහට යන්නයි මගේ එකම කල්පනාව. * කවීෂා ඔබ ගැන ඔබ කෙටියෙන් හඳුන්වා දී මේ කතාව අවසන් කරමු? මම ගොඩක් සංවේදී කෙනෙක්. සමහර දේවල් එවලෙට හිතන්නේ නැතුව කරනවා. පසුවයි ඒ ගැන හිතන්නේ. ඒ මගේ හැටි.
|