වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඉසුරින් කිත් යසසින් බැබළෙන දා ඔබගේ බැණුමත් ගීයක් වේ
ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

ඉසුරින් කිත් යසසින් බැබළෙන දා ඔබගේ බැණුමත් ගීයක් වේ

ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය

ජීවන ගමනේදී අප එකිනෙකා මුහුණ දෙන්නේ විවිධ වූ ගැටලුවලටය. ඒ සියල්ල හදවත පත්ලේ එකින් එක තැන්පත් වන්නේ අප නොසිතන පරිදිය. එවැනි සිතුවිලි වරින්වර මතු කරමින් අවශ්‍ය පරිදි සැරිසරන්නට ඉඩ හසර සලසන 'මතක ගී පොතට' මෙවර සහභාගි වන්නේ ගායන ශිල්පිනියක වන දමයන්ති ජයසූරියයි.

මධ්‍යාහ්නේ සිට මිහිමතට පතිත වන හිරු කිරණේ දැඩි බව ගතට රැගෙන පැමිණෙන්නේ විඩාවකි. ඒ විඩාව මඳකට හෝ දුරුවන්නේ හිරු අස්ථාන ගත වන්නට සැරැසෙන මොහොතක ආරම්භයේදීය. නිල් සයුර පිස හමන මද නලේ සුවය ගත සිප ගන්න ඒ මොහොතේ මම නිවෙසේ සාලයේ අසුන් ගෙන සිටිමි. ඒ ඔබ කොයි වේලේ පැමිණේ ද යන බලාපොරොත්තුව පෙරදැරිවය.

සැඳෑ අඳුරත් සමඟ නිවෙසට ගොඩ වදින ඔබ පළමුව විමසන්නේ මා පිළිබඳය.

'දම්මි අද ගෙදර නැද්ද?'

'කෝ පුතා අම්මා?'

ඔබව පිළිගන්නට නොසිටියහොත් නිරතුරුව පවසන වදන් පෙළ මට දැන් කටපාඩම්ය. ඒ නිසා එවේලෙහි නිවසේ කුමන කාර්යයක නියැළුණ ද ඒ පසෙක ලා ඔබ පිළිගන්නට මා නිතරම සැදී පැහැදී සිටින්නේ හදවත නැගෙන අපරිමිත සෙනෙහසෙනි. දවස පුරා විසිරී ගිය බොහෝ සිදුවීම් සිත පෙරැළි කළ ද ඒ කිසිවක් ඔබගේ සවනතට මුමුනා නොකියන්නට මම සෑම දිනෙකම පරිස්සම් වෙමි. ඒ දවස තිස්සේම වෙහෙස වී පැමිණෙන ඔබ තවත් වෙහෙස කිරීමට තිබෙන අකැමැත්ත නිසාමය. කාර්යාලයේ වෙහෙසකර පරිසරයෙන් ඈත් වී ඔබ නිවෙසට පැමිණෙන්නේ සැනසිල්ලේ විසීමේ මූලික පැතුම ද සමගිනි. ඒ සැනසිල්ල එලෙසම විඳින්නට හැර යමක් ඇතොත් පසුව පවසන්නට ද මම කටයුතු කරමි.

වෙහෙස වී පැමිණි ඔබ මගේ සුරතෙන් හදනා තේ කෝප්පය පානය කිරීමට දැඩි සේ කැමැත්තක් දක්වන බව දත් හෙයින් මා එය පිළියෙල කරන්නේ බොහෝ සතුටෙනි. ඉන් පසුව රාත්‍රියේ ආහාර ගැනීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සම්පාදනය කෙරෙයි. සමහර දිනෙක රැකියාව අවසාන වී රාත්‍රියේ පැමිණෙන විටෙක මම ඔබ පැමිණෙන තුරු නිදි නොලබා අවදිව සිටින්නෙමි. ඒ ඔබ රාත්‍රී ආහාරය ගන්නා තුරුය. මේ සියල්ල මෙසේ සිදුවීමට නිරතුරුවම මා මඟ පාදන්නේ සොඳුරු කැදැල්ලක සිටින බිරියකගේ වගකීම මේ යැයි සිතමිනි. ඒ වගකීම නැවතත් ආරම්භ වන්නේ ඊළඟ දිනයේ උදෑසනය.

උදෑසනම අවදිව දවස ආරම්භ කරන මගේ අවධානය යොමු වී තිබෙන්නේ ඔබ කෙරෙහිමය. රසවත් ලෙස සකසන ලද බත්පත අතට දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින්, කාර්යාලයට රැගෙන යායුතු දෑ මතකයට නඟමින් ඔබ අසලම රැඳෙන්නට මම ප්‍රිය කරමි. ඒ අනුව මා සතු උදෑසන වගකීම අවසාන වන්නේ ඔබ කාර්යාලයට පිවිසීමට නිවෙසේ ගේට්ටුවෙන් පිටවීමත් සමඟය. ඊට පසුව නිවෙසේ අනෙක් කටයුතු සඳහා සිත යොමු කරන මම ඒ අරතුර ඔබව අමතමි. මන්ද ඒ නිසි අයුරෙන් ඔබ ආහාර ගත්තේදැයි, නියමිත ලෙස බෙහෙත් ගත යුතුව ඇත්නම් ඒවා ගත්තේදැයි විමසා සිටින්නටය. නිරන්තරයෙන්ම ඔබ ද මගේ සැප දුක විමසා සිටින්නට දුරකථන ඇමතුමක් දෙන වග මම දනිමි. මේ නිසාදෝ සොඳුරු කැදැල්ලක අසිරිය සිත් සේ විඳීමට මට හැකියාව හිමි වී තිබේ. මේ අසිරිය සිත් සේ විඳින මොහොතේ මගේ සිතට පිවිසෙන්නේ මහාචාර්ය සනත් නන්දසිරි ගයන සොඳුරු කැදැල්ලක සිරිය පිළිබඳ කියැවෙන මේ ගීතයයි.

සැන්ඳෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්ඳෑ කළුවර ගලා . . .

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණ
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූදා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අලුයම යළි පිට විය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතකම
ඔබ ගාවට වැඩියෙන් තව ළං වේ

 

ගේය පද - සුනිල් සරත් පෙරේරා

සංගීතය - මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

ගායනය - මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

සනත් නන්දසිරි කෝකිලයාගේ මියුරු හා නිවුණු ස්වරය සොඳුරු කැදැල්ලක අසිරිය මොනවාට කියාපායි. නිවි සැනසිල්ලේ සිටින මොහොතක මගේ සිතට පිවිසෙන්නේ මා රැකියාවක් කරනවාට ඔබගේ සිතේ තිබුණු අකැමැත්තයි. එය කෙතරම් වටිනා අදහසක් දැයි මට වැටහෙන්නේ මේ මොහොතේය. බිරියක් ලෙස ඒ භූමිකාවට පිවිසි විගස කිරීමට තිබෙන්නා වූ කාර්යයන් සුළුපටු නොවේ. එයත් රැකියාවක් කිරීමටත් වඩා ඈත ගිය රාජකාරියක් බව මට පසක් වන්නේ දැන්ය. බිරියක් ලෙස ඔබට මෙසේ සිතීමට ද පුළුවන.

'තේ එක හදලා දෙන්න අම්මා ඉන්නවා'

ඒ සිතුවිල්ල එසේ වුව ද සැමියාගේ හා බිරියගේ මනා ගැළපීම මුසු වී තිබෙන්නේ බිරියකගේ වගකීම මත බව නොඉඳුරාම මම පවසමි. සොඳුරු කැදැල්ලක පදනම වී ඇත්තේ බිරියගේ කැප කිරීම මත බව මට හැඟෙන්නේ අත්දැකීම් ඔස්සේමය. බිරියකගේ වගකීම මඟ හැරැණු කළ වූ අපූරු සිදුවීමක් මගේ මතකයට පිවිසෙයි.

ඒ කලක් මා අසනීප වී රෝහල්ගතව සිටි සමයයි. එකල නුවන් පුතා පාසල් යන වයසේ කුඩා ළමයෙකි. දින කිහිපයක් රෝහල්ගත වීමෙන් පසුව නිවෙසට පැමිණි දින මේ තිබෙන්නේ මගේ නිවෙසම දැයි මට අදහා ගැනීමට තරම් නොහැකි විය. එක තැනෙක රෙදි ගොඩකි. තවත් තැනෙක අල්මාරියේ තිබුණු රෙදි සියල්ල බිමට ඇද දමා ඇති සැටි දුටු මම මවිත වීමි. නිවෙසේ සියලු කටයුතු කණපිට පෙරැළී තිබිණි. මීට හේතු වූයේ නිවෙසේ සියලු බඩු බාහිරාදිය තිබෙන ස්ථානය දන්නේ මා පමණක් බැවිනි. ඔවුන් කිසිවෙක් ඒ කිසිවක් දැන නොසිටීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් විය. නමුදු එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මට කාලයක් ගත විය. මේ මා වටහා ගත්තේ බිරියකට, ගෘහිණියකට, මවකට උරුම වුණු වගකීම් සම්භාරයයි. ඒ වගකීම් සම්භාරය නියම අයුරෙන් ඉටු කරන්නේ කීයෙන් කී දෙනාදැයි මගේ සිත මට මොරගායි. එසේ නොවුණු කළ කැදැල්ල සීසි කඩ විසිර නොයාදැයි මට සිතෙයි. දරුවන් නොමඟ නොයා සිටිත්දැයි මට සිතෙයි. මේ සියල්ල සකස් කරන්නේ බිරියය. අම්මා යන උතුම් පදවිය ඇයට ලැබී ඇත්තේ මේ නිසාම විය යුතු යැයි මට සිතෙන්නේ ඉබේමය. මේ තරමට එවැනි බොහෝ සිතුවිලි අතර මා සිර කරන මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

නන්දා මාලිනියන් ගයන මේ ගීතයට ද මම සැමදා ප්‍රිය කරමි. ඒ මේ ගීතය ජීවිතයේ නියම ස්වරූපය අසල සිටින්නන්ගේ යථා ස්වභාවය අපූරු අයුරෙන් විදහා දක්වන නිසාය.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා . . .

ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණදා
සිනාසුණත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬ වැටේ
අතමිට හිඟ වී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

 

ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - එච්. එම්. ජයවර්ධන

ගායනය - විශාරද නන්දා මාලිනී

කලක් මගේ සැමියා කලාකරුවන් හා රසිකයන් අතර සිත් ගත් සුමති සම්මාන උළෙලේ සංවිධායකවරයා වූයේය. කෙතරම් ඔහු ඒ වෙනුවෙන් කැප වූයේ ද යත් දන්නේ මා පමණි. ඒ ඔහු එලෙස කැප වූයේ සම්මාන උළෙල බොහෝ සාර්ථක ලෙස පැවැත්වීම සඳහාය. විනිශ්චය මණ්ඩලයක් මඟින් එහි විනිශ්චය සිදු කළ අතර සම්මාන රාත්‍රිය බොහෝ වර්ණවත් අයුරෙන් සිදුවිණි. සන්ධ්‍යාවේ ආරම්භ කෙරුණු මේ උළෙල මධ්‍යම රාත්‍රිය ආසන්නය දක්වා තරම් කාලයක් පැවැත්වීමට සිදුවූයේ එහි තිබුණු ජයග්‍රහණ හේතු කර ගනිමිනි. සම්මාන උළෙල ආරම්භකර ගත වී ගියේ හෝරා කිහිපයකි. මේ අතර අපේ නිවසේ දුරකථනය දිගින් දිගටම නාද වූයේ මහත් කරදරයක් වෙමිනි. දුරකථනය වෙත ගිය මා එය එසැවූයේ මෙසේ දිගින් දිගටම දුරකථනයේ රැඳී සිටින්නේ කවුරුන්දැයි සිතමිනි.

'මටයි ඒ සම්මානය ලැබෙන්න තිබුණේ. ඒ වුණාට ලැබුණේ වෙන කෙනෙකුට. ඒක ඔයාගේ මහත්තයාගේ වැඩක්'

මෙලෙස කියමින් දිගින් දිගටම අසැබි ලෙස බැණ වැදෙන්නට ගත් මේ තැනැත්තාගේ චෝදනාවට මා සිටියේ පුදුමවය. තව බොහෝ දේ පවසමින් බැණ වැදෙන්නට වූ කළ අවසරයක් නොගෙනම මම දුරකථනය තැබීමි. ඒ කතා කළ කෙනාත්, ඔහුගේ ස්වරයත් මට බෙහෙවින් හුරුපුරුදු වූවකි. ඒ නිසා ඒ කතා කළේ කවුරුන් දැයි මම හඳුනා ගතිමි.

'අනෙක් කෙනාගේ ජයග්‍රහණය ඉවසගෙන ඉන්න බෑ'

මට කියැවුණේ ඉබේටමය. මුවඟට නැඟුණු මද සිනහවෙන් යුතුව මම රූපවාහිනිය ඉදිරිපස අසුන් ගතිමි. විවිධ වූ සිතුවිලි මගේ සිතට නැඟ එයි. තරගවලට ඉදිරිපත් විය යුත්තේ ජය, පරාජය යන දෙඅංශයම විඳ දරා ගත හැකි අය බව මම මටම මතක් කර දුනිමි. මා ද සම්මාන ලබා ඇති බව සැබවි. එනමුදු තවත් වරක් ඒ සම්මානය මටම ලැබේවිය යන බලාපොරොත්තුවක් ඇති කර ගැනීම මා දකින්නේ නිරර්ථක පැතුමක් ලෙසිනි. එය යළිත් වරක් වෙනත් කෙනෙකුට හිමි විය යුතුය. පොදු ධර්මතාව වන්නේ එයයි. ඒ ධර්මතාවෙන් පැවසෙන්නේ ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැති වගය. ස්ථිරසාර නොවන බවය. ඒ මඟින් ජීවිතය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතුව ඇත. ජීවිතය පිළිබඳ උපේක්ෂා සහගතව සිතිය යුතුව ඇත. ඒ දෙස උපේක්ෂා සහගතව බැලිය යුතුව ඇත.

මේ ජීවිත ගමනේදී මා අවබෝධ කරගත් අනෙක් අපූර්ව ධර්මතාව නම් බොහෝ දෙනා අප අසල සිටින්නේ ධනය, නිලය, බලය තිබෙන තුරු පමණක් බවය. ඒ සියල්ල අහිමි වූ කළ ඔවුන් අප හැර යන බව ද නොරහසකි. මේ සියල්ල දෙස උපේක්ෂා සහගතව බලා සිටීමට තරම් මම ශක්තිමත් බව දනිමි. බුදුරදුන් දෙසූ අට ලෝ දහම මෙයම නොවේද? යළි යළිත් මම එය සිහිපත් කරමි. බුදු පියාණන්ගේ දහම සිහිපත් කරමි. මේ ගීතය ඒ අපූරු ධර්මතාව මගේ මතකයට නංවයි.