|
|||
බටහිරින් අලුත් වීරයෙක්Kingsman
ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල ජේම්ස් බොන්ඩ්, බොන් චිත්‍රපට මාලවේ ජේසන් බෝන්, මිෂන් ඉම්පොසිබල් හි ඊතන් හන්ට් බටහිර චිත්‍රපට ඉතිහාසයේ රහසක් නොවූ රහස් ඔත්තු සේවා නිළධාරීහු වෙති. Spy'' යනු ඔවුන් හැඳින්වීමට බහුලව භාවිත වන නමයි. එය අපට චර පුරුෂයා නම් වෙයි. මෙම චර පුරුෂයන් අතරට එක්වන අලුත්ම සාමාජිකයා පැමිණෙන්නේ Kingsman : The Secret Service චිත්‍රපටයෙනි. රාජකීය නාවුක හමුදාවේ පුහුණුව සම්පූර්ණ නොකළ එග්සි වීදි ළමුන් සමඟින් නොමඟ ගිය තරුණයෙකි. නමුත් බුද්ධිමත් කාර්යශූර තරුණ ජවය ඔහු සතුව පවතියි. මැර ක්‍රියාවකට මැදි වී අත් අඩංගුවට පත් වන එග්සි නිදහස් කර ගැනිමට පැමිණෙනේ ඔහුගේ පියාගේ පැරැණි මිිතුරෙකු වන හැරී හාට්ය. හැරී ද එග්සිගේ පියා මෙන්ම වූ රහස් ඔත්තු සේවා නිළධාරියෙකු වෙයි. නොමඟ ගිය ද එග්සි තුළ වූ හැකියාවන් හඳුනා ගැනීමට හැරී හට වැඩි කාලයක් ගත නොවේ. එග්සිගේ එම හැකියාවන් දකින හැරී අතිශය තීරණාත්මක වූත් බිහිසුණු වූත් පුහුණුවක් යටතේ එග්සි තම සංවිධානයට බඳවා ගැනීමට කටයුතු කරයි. එග්සි මුහුණ දෙන ත්‍රාසජනක වික්‍රමයන් ඔබ වෙත ගෙන එන්නේ Kingsman : The Secret Service චිත්‍රපටයයි. මාර්ක් මිලර් සහ ඩේව් ගිබන්ස් දෙපළ විසින් රචිත The Secret Service චිත්‍ර කතා මාලාව ඇසුරින් මෙම චිත්‍රපටය තිරයට රචනා කරන ලද්දේ ජේන් ගොල්ඩ්මන් හා මැතිව් වොග්න් විසිනි. Stardust, Kick-Ass, X-Men : First Class වැනි චිත්‍රපට තිරයට ගෙන ආ මැතිව් වොග්න් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය මෙය වේ. කොලින් ෆ්රික් හැරී හාට් ලෙසත් ටෙරොන් එගර්ටන් එග්සි ලෙසත් චරිත නිරූපණය කරන මෙහි මාර්ක් ස්ට්‍රෝන්ග්, මයිකල් කේග්, සැමුඑල් එල්. ජැක්සන්, ඇලෙක්ස් නිකොලොව්, සමන්නා වොමාක් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් ද රංගනයෙන් දායක වෙති. පසුගිය ජනවාරි 29 වැනිදා සිට එක්සත් රාජධානියේ සහ පෙබරවාරි 13 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදයේත් තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වන විට ලබා ඇති ආදායම ඩොලර් මිලියන 88.8 කි. එමෙන්මKingsman : The Secret Service විචාරකයන්ගෙන් ඉහළ පැසසුම් ලද චිත්‍රපටයක් බවට පත් වී ඇත. ක්‍රියාදාම රහස් පරීක්ෂක චිත්‍රපටයක අඩංගු විය යුතු සියලු අංගයන්ගෙන් සමන්විත චිත්‍රපටයක් ලෙස ඔවුන් මෙම චිත්‍රපටය හඳුන්වා දී තිබේ. ජේම්ස් බොන්ඩ් වැනි චිත්‍රපටවල ක්‍රියාදාම චරිත නිර්මාණාත්මක ලෙසින් යළි පණ ගැනවීමක් ලෙසත් ඔවුන් මෙම චිත්‍රපටය දකී. ඊට අමතරව දිගු කලකින් නිර්මාණය වූ හොඳම චර පුරුෂ චිත්‍රපටයක් ලෙසත් ඇතැම් විචාරකයන් මේ පිළිබඳ අදහස් දක්වා ඇත. ලොව ප්‍රකට චිත්‍රපට දර්ශක වන IMDB හි 8.3 ක්, රොටෙන් ටොමැටෝස් හි සියයට 71 ක් සහ මෙටා ක්‍රිටික් හි සියයට 59 ක් දක්වමින් Kingsman : The Secret Service සිය සාර්ථකත්වය පෙන්නුම් කර තිබේ. රහස් ඔත්තු සේවයේ සාර්ථකත්වය එයයි.
|
|||