|
||||
ආදරය පිළිබඳ අලුත් අර්ථකථනයක්
මේ තනි යාමේ
හද දවනා රැයේ - හිම වැටෙනා පැයේ
සමිතා එරන්දතී මුදුන්කොටුවගේ මිහිරි හඬින් ගැයෙන මේ මිහිරි ගීතය අද බොහෝ දෙනෙකුගේ හද ගත් බොහෝ දෙනෙකුගේ මුවග රැව් දෙන ගීතයක් බවට පත් වෙලා. යොවුන් ආදරය ගැන වෙනස්ම තාලයකට කියන මේ ගීතයේ තනු හා සංගීත නිර්මාණය කළේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය භාගේයශ්රී ෆොන්සේකා විසිනි. යොවුන් ආදරයේ නැවුම් මිහිර මේ ගී තනු අතරට මුසු කළ ආකාරය ඔහු වදන්වලට පෙරලූයේ මේ අයුරින්. ‘මට මේ ගීතය වෙනුවෙන් මුලින්ම අදහස මතු කළේ ආරියවංශ රණවීරගේ ගේ කුරුල්ලෝ වී කරුල්ලෝ කවි පන්තියයි. ගේ කුරුල්ලන් වෙනුනේ අපි මුට්ටියක් රැගෙන පිදුරු ආදිය දමා කූඩු සකස් කර නිවෙස්වල තබනවා. පසුව ගේ කුරුල්ලන් පැමිණ බොහොම ලෙහෙසියට ඔවුන්ගේ කැදැල්ල සකසා ගන්නවා. නමුත් ගේ කුරුල්ලන් හා සමාන රුවින් යුතු වූ වී කුරුල්ලන් තම කූඩු තනා ජීවත් වීමට ගන්නා වූ වෙහෙස ඊට හාත්පසින්ම වෙනස්. ගොයම් ගස් අතරේ කූඩු තනන ඔවුන්ගේ ජීවිත හරිම අවදානම්. ඒ වගේම ජීවත් වෙන්න දරන්නේ අප්‍රමාණ වූ වෙහෙසක්. මට ප්‍රථම ප්‍රේමය දැනුණෙත් මේ වී කුරුල්ලන්ගේ ජීවිතය වගෙයි. ප්‍රථම ආදරය දැනුණු තරුණියක් එය සොබා දහමට කියන ආකාරය මෙහි දැක්වෙනවා.’ මෙහි ඇත්තේ අපට ඉතාම හුරුපුරුදු සංගීත රටාවක්? අපේ ජන ගී, කෙළි ගී ආර මේ ගීතයට උපයෝගි කර ගත්තා. උත්තර භාරතීය සංගීතයේ තරානා සංගීත ශෛලියත් මෙයට මුසු වුණා. උතුරු ඉන්දීය සංගීතයට අද වෙනම ගුවන් කාලයක් වෙන් වෙලා නැහැ. අපේ ජන ගී වුණත් ඇසෙන්නේ කාලයකට පමණයි. උත්තර භාරතීය සංගීතය හා අපේ ජන ගී යන මේ ශෛලීන් දෙකම සමඟින් විශ්මයාර්ථවාචී නිපාත සංගීතමය ස්වරූපයට යොදා තිබීමත් මෙහි විශේෂත්වයක්. වෙනත් ගීතවල මෙන් නොව මෙහි ඇත්තේ එක් අන්තරා කොටසක්. එය විශේෂත්වයක්ද? වෙනත් ගීතවල මෙන් නොවෙයි මෙහි අන්තරා කොටස් එකක් පමණයි අඩංගු වන්නේ. අනෙක් අන්තරා කොටස සඳහා කටහඬ යොදා ගෙන සංගීතය නිර්මාණ කිරීම ගීතයට අපූර්වත්වයක් මුසු කළා. පළමුව තනු නිර්මාණය කර ඉන් අනතුරුව පද රචනය කළා. ‘මේ තනි යාමේ’ පද රචනය කාගේද? හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යාවක වන මල්ෂා සේරසිංහ විසිනුයි මෙහි පද රචනය කළේ. ඇය කවිතා වැඩසටහනේ හොඳම පද රචනය වෙනුවෙන් ජයග්‍රහණය කළ ශිෂ්‍යාවක්. ඔබේ පළමු ගීතය ‘ළා සඳ’ ගීතය වගේම මෙම ගීතයට හඬ මුසු කරන්නෙත් සමිතා එරන්දතී මුදුන්කොටුව විසින්? ඇයගේ පසුබිම මෙම ගීත දෙකම සමඟින් මනාව ගැළපුණා. උත්තර භාරතීය සංගීතයට උචිත එහි ලාලිත්‍යයට ගැළපෙන හඬ පෞරුෂයක් ඇයට පිහිටා තියෙනවා. ඒ වගේම අපේ සිංහල ජන ගී ශෛලියටත් එය විශේෂයක් ලෙසින් මම දුටුවා. මේ දෙකම මිශ්‍ර කර ගයන්න හැකි ශිල්පීන් ඉතාම විරළයි. සමිතා මේ වෙනුවෙන් ගැළපෙන කෙනා ලෙසින් විශේෂ වුණා.
|
||||