වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




‘මට නගින කොට උඹට බහින්න ඕනෑ උඹට නගින කොට මට බහින්න ඕනෑ’

‘මට නගින කොට උඹට බහින්න ඕනෑ උඹට නගින කොට මට බහින්න ඕනෑ’

මගේ ජීවිතයේදී මට හමු වූ ශ්‍රේෂ්ඨතම සිනමා ගුරුවරයා මගේ සිනමා ගුරු ටයිටස් තොටවත්ත මහතාය. ගුරු මුෂ්ථි තබා නොගෙන තමා දන්නා සියලුම දේ ඉගැන් වූ ගුරුවරයා එතුමාය.

එහෙත් එතුමා තරම් වැඩ කිරීමට අසීරුම තැනැත්තකු ද නොවීය. කිසිම වැඩක් කර හොඳ නාමයක් ලබා ගැනීම අසීරුය. ඕනෑම දෙයක අඩුපාඩුවක් දැකීම ඔහුගේ සිරිතය.

ඒ සියල්ලම ඔහු කළේ තම ගෝලයින්ගේ කිසියම් අඩුවීමක් නොතිබීම නිසාය.

ඔහුගේ බොහෝ චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක් වූහ. නිදර්ශනයක් ලෙස ඔහුගේ සිහසුන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරු හය දෙනෙක් වූහ. හත්වැන්නා මාය.

මෙය ඔහු අධ්‍යක්ෂණය කළ සාගරිකා චිත්‍රපටය රූගත කරද්දී වැල්ලවාය තණමල්විලදී සිදු වූවකි.

චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා අසනීප වූ නිසා එම කටයුත්ත ද ටයි මහත්තයා මට පැවරීය.

එදින රූගත කිරීම් කිරීමට නියමිතව තිබුණේ තණමල්විල මංසන්ධියේ ඉදි වූ පොළකය. පෙරදා රාත්‍රී 12 වනතුරු අදාළ පොළ සෙට් එක (පසුතලය) නිර්මාණය කිරීම සිදු විණ. ඒ මා අතිනි. එය එළවලු පොළකි. පොළේ සෙට් එක ගසා පොළට අවශ්‍ය වාහන, පොළ ලෑලි, අතිරේක නළු නිළියන් සම්පාදනය කිරීමෙන් පසු පාන්දර නැවතුම් පොළට ගියෙමි.

පසු දින රූගත කිරීමට නියමිතව තිබුණේ පොළ සෙට් එකේය. එදින රඟපෑම්වල යෙදීමට තිබුණේ රුක්මණී දේවිය හා ඩී. ආර්. නානායක්කාරය.

පිරිස පොළ සෙට් එකට ඒමට පෙර මම සෙට් එකට ගියෙමි. රුක්මණී දේවි සහ අනිත් නළු නිළියන් කැටුව ටයි මහත්තයා සෙට් එකට පැමිණියේය.

පොළ සෙට් එක ටයි මහත්තයා බැලුවේය.

'අර මොකද්ද වේහැල්ලේ'යි ටයි මහත්තයා පොළේ වහල දෙසට අත් දිගු කළේය.

වහලේ බැඳි ලණු කෑලල්ක් වහලේ එල්ලෙමින් තිබිණ.

'අමතකවීමකින් ලණු කෑල්ලක් ඉතුරු වෙලා' මම කීමි.

'සිනමාවේ අමතකවීම් බැහැ. ඔය ළණු කෑල්ල මිනිස්සු දැක්කොත් කලා අධ්‍යක්ෂකගේ පටි රෝල් වෙනවා. මිනිහෝ මං කී දවසක් කියල තියෙනවද වැඩක් කරන කොට ඇදක් කුදක් නැතිව කරන්න කියල. මොන කලා අධ්‍යක්ෂක ද උඹ . . . අර එල්ලෙන ලණු කෑල්ල කපල දානවා' යි ටයි මහත්තයා සැර වැරෙන් කීය.

එහි රුක්මණී දේවිය ද වූවාය. මා කැඳවාගෙන සිටි අතිරේක නළු නිළියෝ ද අමුතු විදියට මා දෙස බැලූහ.

ඔවුන් ඉදිරියේ මට පුංචි මදිකමක් දැනිණ.

මේ චිත්‍රපටයේ තිර පිටපත වූයේ මා අතේය.

මගේ ඉවසීමේ රතු ඉර පැන්නේය. සාගරිකා තිර පිටපත ගෙන ගොස් ටයි මහත්තයා දෙසට වීසි කළ මම ලොකේෂන් එකෙන් පිට විය.

වැල්ලවාය - මඩකලපුව මහා මාර්ගය වුයේ ඒ අසලිනි.

'මං යනවා'යි සැරෙන් කී මම පාරට ගියෙමි. මහා මාර්ගයට පිවිසුණෙමි. ඒ සමඟම කතරගම මඩකලපු බසයක් ආවේය. මම බස් රියට අත පෑවෙමි. බසය නැවතිණ. මම බසයට ගොඩ වී වාඩි වීමි.

'මහත්තයා කොහාටදැ'යි කොන්දෙස්තර ඇසීය.

මේ බස් එක කොහාටද යන්නේ'යි මම ඇසීමි.

'මඩකලපුවට' කොන්දොස්තර කීය.

'මට මඩකලපුවට ටිකක් එකක් කඩනවා'යි මම කීමි.

කොන්දොස්තර ටිකට් පතක් දුන්නේය. අසල වූ අසුනක මම වාඩි වීමි.

බසය පිටත් විය.

බසය ටික දුරක් යන විට වාහනයක හෝන් සද්දයක් ඇසී මම බැලීමි. එකළ ටයි මහත්තයා පායිච්චි කළේ කබල් ජීප් රථයකි.

ටයි මහත්තයාගේ ජීප් රිය බසය හඹා එන බව දුටුවෙමි.

බස් රියට ඕවර්ටේක් කළ ජීප් රිය නැවැත්වීය. බස් රිය ද නැවතිණ.

ජීප් රියෙන් බැස ගත් ටයි මහත්තයා බස් රියට ගොඩ වී වටපිට බැලුවේය.

මා වාඩි වී සිටි හිස් ආසනයේ ඔහු වාඩි විය.

'මහත්තයා කොහාටදැයි' කොන්දොස්තර ඇසීය.

'මේ මහත්තයා කොහාටද යන්නේ' ටයි මහත්තයා ඇසීය.

'ඒ මහත්තයා යන්නේ මඩකලපුවටයි' කොන්දෙස්තර කීය.

'මමත් මඩකලපුවට' යි ටයි මහතා කීය.

කොන්දොස්තර ටිකට් පත දුන්නේය.

බසය පිටත් විය. මම නිසලව සිටියෙමි. ටයි මහත්තයා මා දෙසට හැරුණේය.

'මිනිහෝ උඹට නගින කොට මම බහින්න ඕන. මට නගින කොට උඹට බහින්න ඕන. නැත්නම් සිනමාව කොරන්න බෑ. හා යමන් ආපහු' කී ටයි මහත්තයා බසයේ සීනුව නාද කළේය. බසය නැවතිණ.

ඔහු මගේ අතින් ඇදගෙන බසයෙන් බැස්සේය. බසය පසුපස ආ ජීප් රිය එහි විය.

මගේ අතින් ඇදගෙන ගිය මගේ ගුරුතුමා මා ජීප් රියට තල්ලු කළේය.

ඉන් පසුවද චිත්‍රපට කිහිපයක මම ටයි මහත්තයා සමඟ වැඩ කළෙමි.

ඉන් පසු ටයි මහත්තයා මට බැන වැදුණේ නැත.

'මට නගින කොට උඹට බහින්න ඕන. උඹට නගින කොට මට බහින්න ඕන' ටයි මහතා සිහි වන විට අද ඔහුගේ වචන මට සිහි වේ.