|
ගැලෙව්වේ නෑ, ගැලවුණාගයාන් රණධීරට ඊ. ඒ. පී. පිළිතුරක්පසුගිය 12 වැනිදා සරසවිය පුවත්පතේ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර පළ කළ අදහස් පිළිබඳ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් එහි කළමනාකාර බෙදා හැරීම් නිලධාරි කේ. ජී. විමලදාස මහතා ලිපියක් මඟින් කරුණු දක්වා ඇත. ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය පිළිබඳව එහි නිෂ්පාදක වශයෙන් ගයාන් රණධීර මහතා සරසවිය පුවත්පත සමඟ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම චිත්‍රපටය බෙදා හරින ලද චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලය වශයෙන් ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම පිළිබඳව ඔහු විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අප පාර්ශවයෙන් ද කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත. සරසවිය විසින් ද අදාළ පාර්ශවයන්ට ඉඩප්රස්ථා ලබාදෙන බැව් සඳහන් කර තිබුණි. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙමි. ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ බෙදා හැරීම් කළමනාකරු වයෙන් අපගේ අදහස් ඉදිරිපත් කර සිටිමි. මෙහි සඳහන් සංඛ්‍යා ලේඛන සහ අනෙකුත් තොරතුරු පිළිබඳව බෙදා හැරීමේ කළමනාකරු වශයෙන් එහි වගකීම මා විසින් භාර ගනිමි. ගයාන් මහතාගේ ලිපියට ලබාදුන් ප්‍රමුඛත්වය මෙම ලිපියට ද ලබා දෙන්නේ නම් අතිශයින් කෘතඥ වෙමි. ඉතා අධික පිරිවැයක් දරමින් විජය කුවේනි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි ශ්‍රේෂ්ඨ ගණයේ චිත්‍රපට දේශීය සිනමාවට දායාද කළ ගයාන් රණධීර මහතා පිළිබඳව අප සමාගම තුළ පවතිනුයේ ගෞරවනීය හැඟීමකි. එවැනි අගනා සිනමා නිර්මාණයක් බිහි කළ ඒ මහතාට සිදු වී ඇති මූල්‍යමය අලාභය පිළිබඳව අපි ද බෙහෙවින් කණගාටු වෙමු. එහෙත් ඒ මහතා විසින් 2015. 02. 12 දින සරසවිය සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී ඉහත චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාගම ක්‍රියා කළ ආකාරය පිළිබඳව කරුණු දක්වා තිබුණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් එම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා බෙදා හරිනු ලැබූ සමාගම වශයෙන් අප පාර්ශවයෙන් ද කරුණු ඉදිිරිපත් කළ යුතුව ඇත. ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය 2014 අගෝස්තු මස 01 දින ප්‍රදර්ශනය ආරම්භ කළ අතර 2014 ඔක්තෝම්බර් මස 16 දින දක්වා අඛණ්ඩව දින 77 ක් ආරම්භක වටයේ සිනමා ශාලා 45 ක ප්‍රදර්ශනය විය. ආරම්භයේදීම පාසල් නිවාඩුව යෙදි තිබීම චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. පාසල් නිවාඩුව අවසන් වන විට චිත්‍රපටය මිලියන 65.8 ක ආදායම් ලබා තිබුණි. එහෙත් පාසල් වාරය ආරම්භ වෙත්ම නොසිතූ අයුරින් චිත්‍රපටයේ ආදායම බෙහෙවින් අඩු වුණි. ප්‍රදර්ශනය වූ අවසන් සති දෙක තුළ ප්‍රේක්ෂකයන් නොමැතිකමින් සමහර දර්ශන අවලංගු කිරීමට බොහෝ සිනමා ශාලාවන්ට සිදු විය. අපගේ වාර්තා අනුව මොරටුව ටවර් සිනමාහල දර්ශන වාර 10 ක්ද, දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව දර්ශන වාර 13 ක්ද, අම්පාර රීගල් සිනමා ශාලාව දර්ශන වාර 07 ක්ද, කොස්වාඩිය දර්ශන සිනමා ශාලාව දර්ශන වාර 12 ක්ද, අවිස්සාවේල්ල චන්ද්‍රා සිනමා ශාලාව දර්ශන වාර 07 ක්ද, හෝමාගම ලේඛා සිනමා ශාලාව දර්ශන වාර 11 ක්ද, ගම්පොල ජයබිම සිනමා ශාලාව දර්ශන වාර 18 ක්ද ආදී වශයෙන් දර්ශන අවලංගු වී තිබුණි. ඇත්ත වශයෙන්ම සිනමා ශාලා කිහිපයක් හැරුණු විට බොහෝමයක් සිනමා ශාලා ප්‍රේක්ෂකයින් නොමැතිකමින් දර්ශන අවලංගු කිිරීමට සිදු වී ඇත. ලිපියේ කරුණු දීර්ඝ වන හෙයින් වෙන් වෙන් වශයෙන් සඳහන් කිරීමට මෙය අස්ථාවක් නොවේ. සාමාන්‍යයෙන් ඉහළ ආදායම් ලබන ගම්පොල ජයබිම සිනමා ශාලාව සැප්තැම්බර් 17 සිට ඔක්තෝම්බර් 15 දක්වා කාලය තුළ සති අන්ත සෙනසුරාදා සහ ඉරිදා හැර වෙනත් කිසිදු දිනක ප. ව. 6 සිට දර්ශන තිරගත කොට නොමැත. සියලු නාගරික පහසුකම් ඇති පානදුර මාෂා වැනි සිනමා ශාලාවේ පවා අවසන් දින කිහිපය තුළ අවසන් දර්ශන වාර 7 ක් අවලංගු වී තිබුණි. එම සිනමා ශාලාවේ 2014. 10. 14 වන දින 2.30 සහ 6.30 දර්ශන දෙකම ප්‍රේක්ෂකයන් නොමැති නිසා අවලංගු කර ඇත. ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය සාර්ථකව තිරගත වන අවස්ථාවක ප්‍රදර්ශනයෙන් ඉවත් කළ බව රණධීර මහතා දක්වන චෝදනාව පිළිබඳ මීට වඩා විස්තරයක් ඉදිරිපත් නොකරමි. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන දිනයේදී ඉහළ ආදායමක් ලැබූ බව ගයාන් රණධීර මහතා ප්‍රකාශ කර ඇත. එය සත්‍යයකි. එදින චිත්‍රපටය රු. 544,662.76 ක ආදායමක් ලබා තිබිණි. කිසියම් චිත්‍රපටයක් ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට සාමාන්‍යයෙන් දින 14 කට පෙර සිටම සියලු මුද්‍රිත සහ විද්්‍යුත් නාළිකා මඟින් ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිපත්තියක් වශයෙන් අප අනුගමනය කරන ක්‍රියාවලියයි. චිත්‍රපටය නැරඹීමට අපේක්ෂිත එහෙත් චිත්‍රපටය නරඹා නොමැති ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරිම එමඟින් සිදු කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ අනුව අවසන් දින කිහිපය තුළ චිත්‍රපටයේ ආදායම වැඩිවීම නිරන්තරයෙන්ම සිදු වන්නකි. පහත සඳහන් නිදසුන්වලින් ඒ බැව් මනාව සනාථ වේ. සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් කළ දිනයේදී රු. 2,239,616.77 ක ආදායමක් ලැබීය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය 612,792.31 කි. කුස පබා 1,170,460.11 කි. අප සමාගමෙහිම නිෂ්පාදනයක් වූ ශ්‍රී දළදාගමනය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන දින රු. 2,028,084.37 ක ආදායමක් ලබා තිබිණි. චිත්‍රපටය ප්රදර්ශණයෙන් ඉවත් කරන දිනය කල් තබා ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් අවසන් දින කිහිපය තුළ ආදායම් වැඩිවීම සාමාන්‍ය සිරිත බැව් මෙම සංඛ්‍යා සටහන්වලින් මනාව විද්‍යාමාන වේ. ගයාන් රණධීර මහතාගේ ඇහැළේපොල කුමාරිහාමි මෙන්ම අප සමාගමේ නිෂ්පාදනයක් වූ සිරි දළදාගමනය චිත්‍රපටය ඊ. ඒ. පී. සමාගමේ ප්‍රදර්ශනය වූ අවස්ථාවේදී ද අප කටයුතු කළේ මේ අයුරිනි. එම චිත්‍රපටයේ සම නිෂ්පාදක වශයෙන් කටයුතු කළේ පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිියන් සහ ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයේ අධිපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියයි. එම චිත්‍රපටය ද ඒ වන විට දැඩ් මූල්‍ය අලාභයකට පත්වෙමින් තිබිණි. එහෙත් ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපටය ද මේ අයුරින්ම බොහෝ සිනමා ශාලාවල අවසන් දර්ශන අවලංගු වෙමින් තිබිණි. සිරි දළදාගමනය අපගේම නිෂ්පාදනයක් වුව ද චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට දින නියම කිරීම හැර වෙනත් විකල්පයක් නොවීය. චිත්‍රපටය අවසන් දිනය සඳහන් කොට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අතර සිරි දළදාගමනය චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කළ දින රු. 2,028,084.37 ක ආදායමක් ලබා ගැනීමට හැකි විය. ප්‍රදර්ශන මණ්ඩලයක් වශයෙන් දේශීය නිෂ්පාදකවරුන් මෙන්ම සිනමා ශාලා පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතු වේ. දර්ශන අවලංගු වී ආදායම් නොමැතිවීමෙන් සිනමා ශාලා අර්බුදයකට ලක් කිරීම සිදු නොවිය යුත්තකි. නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය අතර කිසියම් සමතුලිත බවක් පවතින තෙක් ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අප බැඳී සිටී. පේ්රක්ෂකයින් නොමැති දර්ශන වාර අවලංගු වී එම සමතුලිතභාවය බිඳී යත්ම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. අපගේම නිෂ්පාදනයක් වූ සිරි දළදාගමනයටත්, ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයටත් අප කටයුතු කළේ එම ප්‍රතිපත්තියේ රැඳෙමින් සෘජු තීරණයක සිටිමිනි. ඉදිරියේදී ද ඊ. ඒ .පී. මණ්ඩලයේ ස්ථාවරය වනුයේ එයයි. ලබා ගත් ණය මුදලක් වෙනුවන් පොලිය අය කිරීමක් පිළිබඳව ගයාන් රණධීර මහතා එම සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි. ඊ. ඒ. පී. ආයතනය විසින් දේශීය නිෂ්පාදකයින්ට සිය චිත්‍රපටය වෙනුවෙන් ණය මුදල් ලබා දීම දේශීය සිනමාවේ ප්‍රවර්ධනය සඳහා සිදු කරනු ලබන ක්රියාදාමයකි. එම ණය මුදල් ලබාදීමට පෙර සියලු කොන්දේසි ඇතුළත් ගිවිසුමකට අප දෙපාර්ශවයම අත්සන් කරනු ලබයි. ණය මුදල් ආපසු අය කර ඇත්තේ එහි සඳහන් කර තිබූ කොන්දේසි වලට අනුකූලවය. එම ගිවිසුමට එකඟ නොවූ කිසිදු නියමයක් අප සමාගම විසින් කඩ කර නොමැති බැව් ද දන්වනු කැමැත්තෙමි. අප විසින් ආරම්භයෙහිම සඳහන් කළ පරිදි ගයාන් රණධීර මහතා පිළිබඳ අප තුළ ඇති ගෞරවය කිසිසේත් වෙනස් වී නෙැමැත. දේශීය සිනමාවට ආදරය කරන රණධීර වැනි පුද්ගලයෙකු සිනමාවෙන් ඈත් වීම කණගාටුවට කරුණකි. ඒ මහතා සමඟ ‘මහාරාවණා’ වැනි දැවැන්ත චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබිණි. ඒ සියල්ල ව්‍යර්ථ වීම පිළිබඳව අප තුළ ඇත්තේ සංවේගයකි. ඉහත කරුණු දැක්වීමෙන් ගයාන් මහතා අපහසුතාවයකට පත් කිරීමට අපි කිසිසේත් අදහස් නොකළෙමු. සිදු කර ඇත්තේ එම චිත්‍රපටය බෙදා හරිනු ලැබූ සමාගම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමක් පමණි. එහෙයින් මෙම සංවාදය දිගින් දිගටම ගෙන යෑමට අදහස් නොකරන බව මෙහිලා විශේෂයෙන් සඳහන් කර සිටිමි. |