වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සංදේශය සම්මාන උළෙල - 2014

සංදේශය සම්මාන උළෙල - 2014

යෞවනයේ ජනප්‍රියම සඟරාවට හිමි සම්මානය

සංදේශය සම්මාන උළෙලේදී තාරුණ්‍යයේ ජනපි‍්‍රයම සඟරාව ලෙස "ක්‍රීඩා" සඟරාවට හිමි වූ සම්මානය එහි ප්‍රධාන කර්තෘ ජගත් හේවාපන්න මහතා විසින් ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා අතින් ලබාගත් අවස්ථාව.

කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය විසින් සංවිධානය කළ 'සංදේශය - 2014' සම්මාන උළෙලේදී තරුණයන් අතර ජනප්‍රියතම සඟරාවට හිමි සම්මානය (Youth Choice Magazine)  ලේක්හවුස් ආයතනය මඟින් දෙසතියකට වරක් පළ කෙරෙන 'ක්‍රීඩා' සඟරාවට හිමි විය.

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (16) සන්ධ්‍යාවේ පැවැති මෙම සම්මාන උළෙලට විශේෂ ආරාධිතයන් ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුන් සහභාගි වූ අතර, සම්මාන ප්‍රදානය ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ, ප්‍රවෘත්ති විකාශන ඒකකය භාර ආචාරය ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ සහ සහකාර විදුහල්පතති හඟුරන්කෙත චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම සම්මාන උළෙල ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකය විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අතර, දිවයින පුරා සිදු කරනු ලබන සමීක්ෂණයක් මඟින් ජයග්‍රාහකයන් තෝරා ගනු ලබයි. යොවුන් පරපුර ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද මෙම සමීක්ෂණයට මෙවර දිවයිනේ පාසල් 485 ක සිසු සිසුවියන් දස දහසක් සම්බන්ධ කර ගන්නා ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයේ දායකත්වයෙන් ජයග්‍රාහකයන් තෝරාගෙන තිබේ.

1983 වසරේ ආරම්භ කරන ලද 'ක්‍රීඩා' සඟරාව දෙස් විදෙස් උණුසුම් ක්‍රීඩා තොරතුරු, සාකච්ඡා, විශේෂාංග හා ආකර්ශණීය වර්ණ ඡායාරූප පාඨකයා වෙත ගෙන එමින් මේ දක්වා තිස් දෙවසරක් නොකඩවා පළවන මෙරට එකම සහ ජනප්‍රියම ක්‍රීඩා සඟරාවයි.

ප්‍රවීණ මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා මහතාට සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මියට මෙහිදී සම්මාන පිරිනැමුණු අතර, අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වෙනුවෙන්ද සම්මානයක් පිරිනැමුණි.

ජාතික පුවත්පත්, රූපවාහිනී නාලිකා, එෆ්. එම්. නාලිකා, වෙබ් අඩවි සඳහා ද සංදේශය - 2014 උළෙලේදී සම්මාන පිරිනැමිණි.