|
||||||
ගෙදර මුලින්ම අවදි වන්නේ චූටි දූමල් යායක හැදුණු හසන්තගේ නිවහනට යමු
සෑම බදාදාවකම රාත්‍රි 7.30ට ස්වාධීන රූපවාහිනියෙන් ඔබගේ සාලයට අටපට්ටම අරගෙන පැමිණෙන දඩිබිඩිස්ගේ නිවහනට අප යන විටත් දඩිබිඩිස්, දඩිබිඩි ගගා වැඩක්. ඒ ඔහුගේ ලොකු දුව ඔනෙලි විහස්නා එක්ක තරගයට සෙල්ලමක්. අවුරුදු තුනක් තරම් වයස දඟකාර සුදු දුව තාත්තත් එක්ක හරි හරියට සෙල්ලම් කරන්නේ උඩ පැන පැන. අපව දුටු ගමන් සෙල්ලම නැවැත්තුව සිඟිති දූ තාත්තාගේ අතේ එල්ලුණා. ඒ මේ ආව අමුත්තෝ කවුරුද කියලා හඳුනන්නේ නැති නිසා. 'එන්න . . . එන්න . . .' දඩිබිඩිස් කියලා ඔබ ආදරයට හඳුන්වන හසන්ත හෙට්ටිආරච්චිගේ හඬ අපට ආරාධනා කළේ සුහද කතාබහකට. ඒ අතර හෙමිහිට එබිලා බැලුවේ හසන්තගේ ආදර බිරිය චමුදිකා පියුමි. ඇගේ උණුසුමට ගුලි වෙලා හිටියේ මේ පවුල සුන්දර කරන්න ආව අලුත්ම සාමාජිකාව. ඒ චූටි දූ හසෙලි බිනායා. 'අලුත්ම සාමාජිකාව පවුලට ඇවිත් ගොඩක් කාලයක්ද?' 'චූටි දුවට තවම වෙන්නේ මාස පහක් වැනි චූටි කාලයක්. එයාගේ සුරතල් හඬෙන් මුළු නිවෙසම පිරිලා ඉතිරිලා. එයාගේ සුරතල් බලන අතරම ලොකු දුවත් සමඟත් කාලය ගත කරනවා. ජීවිතය බොහොම සුන්දරව අලුත් වෙවී ගලාගෙන යනවා. ඒ කටයුතු අතර වගකීම් රැසකින් බැඳුණු තාත්තා කෙනෙක් කියන හැඟීමත් සිතට පිවිසෙන්නේ ඉබේමයි' වගකීමකින් බැඳුණු තාත්තා කියන භූමිකාව අවබෝධ කරගත් කෙනෙක් වගෙයි හසන්ත පැවසුවේ. 'තමන්ගේ රැකියාවේ කටයුතුත් සමඟ ගෙදර කටයුතු සමබර කරගන්නේ කොහොමද?' 'ඒ කටයුත්තට බොහොම සහයෝගයක් ලබා දෙන්නේ මගේ නෝනායි. ගෙදර වැඩ කටයතු සියල්ල බලා ගන්න අතරම මගේ කටයුතුවලටත් සහයෝගය ලබා දෙන්න ඈ මැළි වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර කටයුතු වගේම රැකියාවේ රාජකාරියත් හරියට කරන්න මම උත්සාහ ගන්නවා.' බිරිය චමුදිකා දෙස ආදරණීය හැඟීමෙන් බලන ගමන්ම ඔහු පැවසුවා. ඈ හසන්තගේ අදහසට මදහස නැඟුවා. 'බිරියගේ ඔබ වඩාත් අගය කරන ගතිගුණ මොනවාද?' 'මගේ රැකියාව පිළිබඳ තිබෙන අවබෝධයත්, කරන වැඩ කටයුතු පිළිබඳත් ඇයට තිබෙන්නේ මනා අවබෝධයක්. ඒ විතරක් නෙවෙයි ඈ මම කරන වැඩසටහන් නරඹලා, ගුණදොස් ඉදිරිපත් කරන හොඳ ප්‍රේක්ෂකයෙක්.' ස්්වාධීන රූපවාහිනයේ කළමනාකරු - මහජන සම්බන්ධතා කියන තනතුරේ රැඳිලා ඉන්න හසන්ත බොහොම කාර්යබහුල කෙනෙක්. මේ තනතුරට අමතරව ඔහු ලංකාවේ ජනප්‍රියම 'දොරමඬලාව', 'අටපට්ටම් කියන වැඩසටහන් ද්විිත්වයේ නිවේදකයා. 'කාර්යබහුලත්වය සමඟ කාලය ගත වෙන්නේ කුමන අයුරෙන්ද? 'වැඩසටහන් දෙක ගුණාත්මකව පවත්වාගෙන යන්න මට නොයෙක් දේ කරන්න වෙනවා. ඒ සඳහා විවිධ දේ හොයන්න, වෙනත් රටවලට යන්න සිද්ධ වෙනවා. ආයතනයේ විිවිධ කටයුතුවලට සහභාගිවීම නිසා මම කාර්යබහුල නම් තමයි. ඒත් කිසිම ප්‍රශ්නයක් පැන නොනැගෙන්න දෙපැත්තම සමාන කරගෙන වැඩකටයුතු සිදු කරන්න නිතරම මම මහන්සි ගන්නවා' මේ සියලු කටයතු නිවැරැදිව සිදු කරන්න මහන්සි ගන්න හසන්තගේ දවස ආරම්භ වෙන්නේ අලුයම අවදිවීමෙන්. ඔහුව අවදි කරන්නේ චූටි දූ. 'චුටි දුව අවදි වනවාත් සමඟම ඔබත් අවදි වෙනවා' 'අපේ ගෙදර මුලින්ම අවදි වෙන්නේ චූටි දූ තමයි. එයා උදෙන්ම නැඟිටින විටම අපිත් නැඟිටිනවා. දවස ආරම්භ වන්නේ එකම විදියට නොවෙයි. සඳුදාත්, බදාදාත් කියන දවස් දෙක බොහොම කාර්යබහුලයි. අනෙක් දවස්වලදීත් ඒ ඒ වැඩ කටයුතු යෙදෙන පිළිවෙළටයි දවස ආරම්භ වෙන්නේ'. තාත්තාගේ ඔඩොක්කුවට වෙලා කාටුන් නරඹන ඔනෙලි දූගේ හිස ආදරයෙන් සිපගත්ත හසන්ත ආයෙත් කතාබහ ආරම්භ කළේ. 'ඔබ කැමැති කෑම බීම ද නිවෙසේ සැකසෙන්නේ?' 'මම කොහොමත් කන්න කැමැති ගෙදරින්ම හදන කෑම තමයි. ඒ වගේම ගමේ කෑම බීමවලට මම බොහොම ප්‍රියයි. වැඩිපුරම අපි දෙන්නම හිතන්නේ දූලා දෙන්න ගැන නිසා එයාලාගේ ආහාර ගැනත් අපි නිතරම සිතනවා. විශේෂයෙන්ම වස විස නැති කෑම උයන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා. මේ දෙන්නා තවම චූටි නිසා බිරියටත් ගොඩක් වැඩ වැඩියි. ඒ කියන්නේ ලොකු දූ චූටි දුව වඩා ගන්න, අල්ලන්න වගේ දේවල්වලට යන නිසා ඒ දෙන්නා ගැනම ඇහැ ගහගෙන ඉන්න වෙනවා. අපේ උදව්වට බිරියගේ අම්මාත්, තාත්තාත්, නංගිත් ඇවිත් ඉන්න නිසා වැඩ කටයුතු පහසුයි. එහෙම වුණත් කෑම බීම සකස් කරන්නේ බිරින්දෑම තමයි' හසෙලි චූටි දූ වඩා ගත්ත චමුදිකා අපේ කතාබහ අතරට ආවා. හසන්ත්ගේ අතට පැන්න චූටි දූ ළඟට ලොකු දූත් ළං වුණා. ඒ අතර ඈ අප සමඟ කතාබහට එක් වුණේ මනබඳින සිනහවක් මුවඟට නංවමින්. 'දූලා දෙන්නගේ කටයුතුත් ගෙදර වැඩ කටයුතුත් සඳහා ඔබ ගොඩක් වෙහෙස මහන්සි වෙනවා වගෙයි' 'ගෙදර කටයුතුත්, දරුවන් දෙන්නාගේ කටයුතුත් කරන්නේ මම තමයි. අපේ ගෙදර අය ඉන්න නිසා දැන් මට ටිකක් පහසුයි. ගෙදර අස්පස් කරන කටයුත්තේ පටන් උයන පිහන කටයුත්ත දක්වාම කෙරෙන්නෙ මගේ අතින්' එක්වරම පියඹාගෙන සමනලයෙක් සාලයට ආවා. ඒ ගෙවත්තේ තිබෙන සීනියස් මල්යායේ ඉඳලා. ගෙවත්ත සුන්දර කරන සීනියස් මල්යායත්, බෝගන්විලා මල්යායත් හසන්තගේ කැදැල්ලට ගෙනවේ අපූරු සුන්දරත්වයක්. 'ඔබගේ අතෙන්ම ද මල්වලට සාත්තුව කෙරෙන්නෙත්? 'ඒ කටයුතු ගොඩක් වෙලාවට කෙරෙන්නේ චුටි දූ නිදා ගත්තට පස්සේ. ලොකු දුවත් සහභාගි කරගෙන හවස අපි දෙන්නම මල් හිටවනවා. ඒ අතර දුවගේ ඉගෙනීමේ කටයුතුත් කෙරෙනවා' දුවගේ ඉගෙනීමට විතරක් නෙවෙයි චමුදිකා උදව් කළේ. චූටි දූ ඉපදෙන්නටත් කලින් හසන්තගේ ආචාර්ය උපාධියටත් ඇගෙන් ලැබුණු සහය අපමණයි. 'මගේ ආචාර්ය උපාධි නිබන්ධනය කරන්න ඇගෙන් ලැබුණු සහයෝගය අපමණයි. මම දැන් උපාධිය කරලා අවසන්. ආචාර්ය උපාධිය සඳහා කළ නිබන්ධනය පොතක් ලෙස ඉදිරියේදී මුද්‍රණයෙන් ප්‍රකාශ කරන්නත් අදහසක් තිබෙනවා. ඒ කටයුතු අවසාන නිසා දූත් සමඟ කාලය ගත කරන්න ඉඩ හසර බොහෝයි. ඉඳහිට විවේකය ගත කරන්න පවුලේ හැමෝමත් එක්කම එළියට යනවා. ඊට අමතරව චිත්‍රපට නරඹන්නටත් මම ඔවුන්ව රැගෙන යනවා. මේ විදියට ගෙවෙන ජීවිතය බොහාම සුන්දරයි' මේ අතර ඔනෙලි දූ පාට කළ චිත්‍ර තියෙන පොතක් අරගෙන ආවේ අපට පෙන්වන්න. පොතේ පිටු එකින් එක පෙරළ පෙරළා ඔනෙලි දූ බොහොම අපූරුවට ඇන්ද චිත්‍ර අප නැරැඹුවේ බොහොම සතුටෙන්. හසන්තගේ කැදැල්ලේ පිටත් වනවිට ඔනෙලි දූ අපත් සමඟ කොයිතරම් කුළුපඟ වුණා ද කිව්වොත් අප සමුගන්නා විට ඈ බලාගෙන සිටියේ ශෝකය රැදුණු උවනෙන්.
|
||||||