|
ඔව්! මේ ඇත්තම පාතාලයයිගිනි අවි සහ ගිනි කෙළි අධ්යක්ෂ සාරංග මෙන්ඩිස්
ත්‍රාසජනක නැතහොත් ක්‍රියාදාම චිත්‍රපට නැරැඹීමට කැමැති බොහෝ දෙනා වෙති. එහෙත් ලාංකේය ප්‍රේක්ෂක අපට ත්‍රාසජනක, ක්‍රියාදාම ටෙලි නාට්‍ය ඉතා විරළය. නොඑසේ නම් නැති තරම්ය. එහෙත් පසුගිය කාලයක පටන් එවැනි ටෙලි නාට්‍යයක් නැරැඹීමේ අවස්ථාව අපට උදා වී ඇත. ප්‍රේමණිය, සුරංගනා කතාවන්ට ඇබ්බැහිව, හෙම්බත්ව සිටි ප්‍රේක්ෂකයාගේ අවධානය වෙනතකට යොමු කරමින් ක්‍රියාදාම ටෙලි නිර්මාණයක් කිරීමේ අභියෝගය ඔහු භාරගත්තේය. යොවුන් පරපුරේ අධ්යක්ෂවරයෙක් වූ හේ නමින් සාරංග මෙන්ඩිස්ය. ටෙලි නිර්මාණ කලාව වෙනස් කළ ඒ අපූර්ව නිර්මාණය ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයයි. සරසවිය අද මේ පිටුව වෙන් කළේ ඔහු වෙනුවෙනි. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ පුංචි තිරයට අලුත් අත්දැකීමක්? ඇත්තෙන්ම ඔව්. ලාංකේය ටෙලි විෂනයේ ටෙලි නිර්මාණ කලාව වෙනස් මඟට යොමු කළ නිර්මාණයක් යැයි කිව්වොත් වඩාත් නිවැරැදියි. පාතාලය, දේශපාලනය සම්බන්ධ බිහිසුණු කතාවක් මෙහි ඇතුළත්. ඒ වගේම එය සත්‍ය කතාවක් වීම ප්‍රේක්ෂක උනන්දුව වැඩි කළා. ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යය නරඹන විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. මේ වනවිට එහි කොටස් දෙසීයක් විකාශය වෙලා තියෙනවා. එය මුල සිට මේ දක්වාම එක ලෙස සාර්ථකව පවත්වා ගැනීමට හැකිවීම අප ලැබූ ඉමහත් භාග්‍යයක්. මෙවැනි තේමාවක් යටතේ නිර්මාණයක් කිරීමේදී බලපෑම්වලට යටත් වෙන්න සිදු වූ අවස්ථාත් ඇති? වාසනාවට එවැනි බලපෑමක් නම් ඇති වුණේ නෑ. මෙහි ඇතැම් සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයන් ගේ පවුල්වල සාමාජිකයන් තවමත් ඉන්නවා. ඒ වගේම දේශපාලනයත් මෙයට සම්බන්ධයි. දේශපාලන පොදු චරිතයක් විදියටයි මම නිර්මාණයට දායක කර ගත්තේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම ටෙලි නාට්‍යයේ නරඹන්නන් අතර ඉහළ පෙළේ දේශපාලනඥයන් පවා ඉන්නවා. මේ සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබුණා. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කියන්නේ ඇත්තටම පාතාලයද? ඔව්, මේක ඇත්තම පාතාලයයි. අනුර හොරේෂස් අයියා රචනා කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කෘතිය ඇසුරෙන් මෙය නිර්මාණය කළේ. අනුර අයියා තම කෘතිය රචනා කළේ සත්‍ය සිදුවීම් ඇසුරෙන්. ඒ වුණත් ටෙලි නිර්මාණයේ දී අපට ඇතැම් දේ වෙනස් කරන්න සිදු වුණා. ඇතැම් සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයන්ගේ ඥාතීන් අදටත් ජීවතුන් අතර සිටිනවා. ඔවුන්ගේ තොරතුරු වගේම පොත පත මට විශාල රුකුලක් වුණා මෙය නිර්මාණයේ දී. දුම්වැටි සහ මත්පැන් ඇතුළත් දර්ශන මෙහි වැඩි බවක් පෙනෙනවා නේද? බොහෝ ටීවී චැනල් මෙය ප්‍රතික්ෂේප කරන්න හේතු වුණෙත් එයයි. නමුත් දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ ඇතුළු කණඩායම ඒ අභියෝගය භාර ගත්තා. එයින් වන විපාක පෙන්වන්න අපි එය භාවිත කළා. ඔවුන්ගේ ජීවිත අවදානම හා එයින් ජීවිතයට වන හානිය පෙන්නුම් කරනවා. මෙහි චරිත නිරූපණය කරන්නා වූ නළු, නිළියන් ගැන කතා කළොත්? ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නිර්මාණයට දායක වුණේ සුවිශේෂ රංගන ශිල්පීන් පිරිසක්. මහේන්ද්‍ර පෙරේරා, ශි්රයන්ත මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, පාලිත සිල්වා වැනි රංගන ශිල්පීන් ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ද සුවිශේෂ වූ චරිත. ඊට අමතරව වේදිකාවේ ජනපි‍්‍රය චරිතත් මේ නිර්මාණයට දායක වුණා. ඒක ටෙලි විෂනය තුළ විශාල වෙනසක් බවට පත් වුණා. කල්‍යාණ ගුණසේකර, අතුල පතිරණ, ඉසුරු ලොකුගේ, මිහිර සිරිතිලක, ජගත් මනුවර්ණ, නිරෝෂන් විජේසිංහ වැනි අය වේදිකාවේ මෙන් තාත්වික රංගනයන් මෙහි සාර්ථකත්ව ඉහළ නංවන්න දායක වුණා. කතාවේ සුවිශේෂත්වය වගේම තාක්ෂණික ශිල්පීන් සහ අප සැවොම හැඟීමෙන් කටයුතු කිරීමත් මෙහි දී සඳහන් කළ යුතුයි. වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්රය ගැනත් කතා කළහොත්, ඔබ එය දකින්නේ කුමන ආකාරයෙන්ද? අපේ ටෙලි නාට්‍ය කලාව කාලයෙන් කාලයට වෙනස් වන එකක්. කාලයක් ඉන්දීය මෙගා ටෙලි නාට්‍ය ගෙනත් අපේ ටෙලි නාට්‍ය අලකරලා තිබුණා. ආනන්ද අබේනායක, සුදත් රෝහණ, දයාරත්න රටගෙදර වැනි නිර්මාණකරුවන් අපේ දේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැක ගත්තා. වර්තමානයේ කොරියානු ටෙලි නාට්‍ය රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. මෙවැනි විදෙස් නිර්මාණ ජනතාව ඉල්ලන්නේ නැහැ. රූපවාහිනී චැනල් තමයි මේවා බලෙන් ජනතාවට පෙන්වන්නේ. ජනතාවට අපි හොඳ නිර්මාණ දුන්නොත් ඔවුන් ඒවා පිළිගන්නවා. මම හිතන්නේ අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ශ්‍රේණි ක්‍රමයක් ඇති කළ යුතුයි. ඇත්තටම අපට නිසි ටෙලි නාට්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීම මේ ගැටලුවලට ප්‍රධාන වෙනවා. මීට පෙර ඔබ ජනතාව අතර කතාබහට ලක්වන ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කළා. ඒ ගැනත් සිහිපත් කරමු? පළමුවෙන්ම මම නිර්මාණය කළ ‘ගඟ අද්දර’ ටෙලි නාට්‍යයත් ජනතාව දැඩි ආදරයෙන් වැලඳ ගත් නිර්මාණයක් බවට පත් වුණා. ඊට පසුව කළ ‘භාර්යාවෝ’ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර ලොකු මත වාදයක් ඇති කළ ටෙලි නාට්‍යයක්. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නිර්මාණය පෙර ටෙලි නාට්‍ය දෙකටම වඩා සාර්ථක අයුරින් ජනතාව අතරට ගියා. සිනමා නිර්මාණයක් පිළිබඳ බලාපොරොත්තුවක් සාරංගට නැතිද? මගේ වැඩි මනාපය තියෙන්නේ ටෙලි විෂනය අධ්‍යයනය කිරීම ගැනයි. ඒත් සිනමා කෘතියක් නිර්මාණය කිරීම අධ්යක්ෂවරයෙක් අමරණීය වෙනවා වගේ දෙයක්. මගේ මීළඟ නිර්මාණය චිත්‍රපටයක්. වසර තුනක් පුරා මම එහි පිටපත රචනා කළා. ආදර කතාවක් එයට පාදක වෙනවා. ඒ සඳහාත් සුවිශේෂ නළු නිළි පිරිසක් දායක කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වසරේ මැද භාගයේ එහි වැඩකටයුතු ආරම්භ කරන්න කටයුතු යොදා තියෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්රය වගේම සිනමාව ගැනත් මම අධ්‍යයනයේ යෙදෙනවා. ඉදිරියේ දී ඔබ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයාට තිළිණ කරන නිර්මාණ? කම්පනය කරවන තේමාවක් ඔස්සේ නිර්මාණ කරන්න මම විශේෂ කැමැත්ත්ක් දක්වනවා. ඒක මෙගා ටෙලි නාට්‍යයක් ද කොටස් ගණනකට සීමා වූ එකක් ද යන්න නෙවෙයි වැදගත් වෙන්නේ. ටෙලි නිර්මාණයේ ගුණාත්මක බව අනුවයි ජනතාව එය වැලඳ ගන්නේ. අපි කළ යුත්තේ ජනතාව වැලඳ ගන්නා ආකාරයේ නිර්මාණයි. එහි මුල සිට අවසානය දක්වාම ගුණාත්මක බව එක සේ රැක ගතහොත් අපට සාර්ථක විය හැකියි. මගේ බලාපොරොත්තුවත් එයයි. සමාජ දේශපාලනය ගැන වැඩි උන්නදුවක් මා තුළ තියෙනවා. ඒ පිළිබඳ කතා කරන්න මා වැඩි කැමැත්තක් දක්වනවා. |