|
මම දැන් මගේ කතාව ලියනවා
අම්මා ගැන නිල්මිණි කියයි
පුන්නම්මාගේ දුක මාත් වින්ඳා
ගුණාංග එකයි - ඒත් චරිත වෙනස්
‘දෙවැනි බුදුන් ලෙස ඇය සිය දරුවන් වෙනුවෙන් අනේකවිධ දුක්කම් කටුළු වින්ඳාය. මහ මෙර තරම් වූ ඒ ගැහැට ඈ හට නොදැනුණේ දරු සෙනෙහස ඊට වඩා විශාල වූ නිසාවෙනි. පුන්නම්මා ද එයින් වෙනස් නොවන චරිතයකි. පුන්නනම්මා පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේ ද කා අතරත් කතාබහට ලක් වූ චරිතයක් වී ඇත. ඒ කාරණා දෙකක් නිසාවෙනි. එකක් උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ‘අම්මා’ කෘතිය විය. එම කෘතිය ඇසුරෙන් තිළිණ බොරලැස්ස විසින් අධ්‍යක්ණය කර පුංචි තිරයට ගෙන ආ ‘අම්මා’ ටෙලි නාට්‍ය අනෙක් කාරණාව විය. සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 ට දෙරණ රූපවාහිනී නාළිකාවෙන් පුන්නම්මා ඔබ හමුවට එන්නීය. උපුල් ශාන්ත සන්නස්ගල විසින් නිර්මාණය කළ මේ පුන්නම්මා තිරයේ ජීවමාන කරන්නේ පුංචි තිරයට අහිංසකාවිය වූ නිල්මිණි තෙන්නකෝන් විසිනි. * අම්මා ටෙලි නාට්‍යයෙන්ම අපි අපේ කතාබහ ආරම්භ කරමු? පුන්නම්මා කියන්නේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා කෘතියේ එන අම්මාගේ චරිතයයි. ‘අම්මා’ පොත මම ඉතා ආසාවෙන් කියවූ පොතක්. අම්මා ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ජානක සිරිවර්ධන සහ අධ්යක්ෂ තිළිණ බොරලැස්ස සමඟත් මේ පිළිබඳ සාකච්ඡා කළා. කළණ ගුණසේකර එහි පිටපත ඉතා හොඳින් රචනා කර තිබුණා. එයත් කියවා බලා පුන්නාට පණ දෙන්න මම තිරණය කළා. * දැන් මේ ටෙලි නාට්‍ය විකාශය ආරම්භ කර ටික කලක් ගත වෙලා. ‘අම්මා’ පොත රචනා කළ උපුල් ශාන්ත සන්නස්ගලගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද? උපුල් ශාන්ත සන්නස්ගල සමඟත් මම අම්මා ගැන කතා කළා. රංගනයේදී අපට කෘතියක සඳහන් වන සියළු දේ නිරූපණය කරන්න හැකි වෙන්නේ නැහැ. ඒ වුණත් රංගන ශිල්පීන් විදියට අප එවැනි චරිතවලට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටු කළ යුතු වෙනවා. මමත් පුන්නාගේ චරිතය වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප වී දායකත්වය ලබා දුන්නා. උපුල් ශාන්ත සන්නස්ගල විකාශයටත් පෙර එහි පළමු කොටස නරඹා මට දුන් ප්රතිචාරයන් මේ චරිතය වෙනුවෙන් මගේ හිතේ තිබූ ධෛර්යය තව තවත් වැඩි වුණා. ‘අම්මා’ කෘතියේ පුන්නම්මාට නිල්මිණි සම්පූර්ණ සාධාරණයක් ඉටු කරලා තියෙනවා’ යැයි ඔහු පැවසුවා. ඒ ප්‍රතිචාරය මේ රංගනයේදී බොහෝ වැදගත් කාරණාවක්. * පුන්නම්මා කියන්නේ බොහෝ දුක් ගැහැට විඳින කාන්තාවක්? කෙතරම් දුක් ගැහැට වුණත් පවුල වෙනුවෙන් ඇගේ හිතේ තියෙන ධෛර්යය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඇයට දරුවන් දස දෙනෙක් ඉන්නවා. කළු ගල් කඩන ගොඩක් දුක් විඳින කාන්තාවක්. ඉතින් රංගනයේදී මටත් ඒ දුකම විඳින්න සිදු වුණා. අව්වේ කළු ගල් කඩන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. පුන්නම්මා ඇත්තටම ගොඩක් දුක් විඳින කාන්තාවක්. * ‘අම්මා’ කෘතිය අලෙවි වාර්තා අතර ඉහළින්ම සිටි කෘතියක්. විශාල වූ පාඨකයන් පිරිසක් අතරේ අතිශය ජනප්‍රිය වූ මෙවැනි චරිතයකට පණ පෙවීම ඔබට අභියෝගයක් වුණේ නැත්ද? ඇත්තටම ඒක අභියෝගයක් වුණා. ජනතාව අතරට ගිය කෘතියක චරිතයක් නිරූපණය එසේ නොමැති චරිතයක් නිරූපණයට වඩා වෙනස්. පොත කියවා ඇති පාඨකයා විසින් අදාල චරිත තම මනසේ නිර්මාණය කර ගන්නවා. ජනතා මනසේ නිර්මාණය වී ඇති චරිතයක් නිරූපණය ඒ නිසා අභියෝගයක් වෙනවා. මට ලැබෙන ඕනෑම චරිතයක් ඉතා හොඳින් අධ්‍යයනය කිරීම මගේ පුරුද්දක්. ඒ වගේම ඒවා විකාශය වන විටදීත් නොවරදවාම නරඹනවා. අපේ ඇතැම් අඩුපාඩු හදාගන්න තියෙන හොඳම ක්‍රමය වන්නේ එය බව මම විශ්වාස කරනවා. එයින් සාර්ථක රංගනයක් ඉදිරිපත් කළ හැකි වෙනවා. පුන්නම්මාගේ චරිතයටත් එය විශේෂ වුණා. එහි සාර්ථකත්වය මම ලබන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ගෙන්. ඔවුන්ගේ හිත්වල ජීවත් වූ පුන්නම්මා ටෙලි නාට්‍යයේදී සැබැවින් දුටු බවට ප්‍රකාශ කළා. * ‘හැන්දෑවේ’ ටිකිරි මැණිකේ, ‘ගිරිකුලේ’ ඩිංගිරි අම්මා ‘රෑන’ ටෙලි නාට්‍යයේ සුධීරා වගේම ‘අම්මා’ ටෙලි නාට්‍යයේ පුන්නම්මා මේ හැම චරිතයක්ම ජීවමාන කරවීමේ භාරදූර කාර්යයට උර දුන්නේ ඔබයි. පොදුවේ ගත් කළ මේ මවුවරුන්ගේ චරිත ඔබට දැනුණේ මොන ආකාරයට ද? ටිකිරි මැණිකේ, ඩිංගිරි අම්මා, සුධීරා, පුන්නම්මා මේ හැමෝම අම්මලා. එකිනෙකට වෙනස් වුණත් හැමෝම තුළ ජීවත් වන පොදු චරිතය වන්නේ අම්මා. එහිදී අම්මා සතු ගුණාංග ලෝකයේ හැම අම්මා කෙනෙකුටම පොදුයි. ඒ වුණත් මේ හැම අම්මා කෙනෙක්ම එකිනෙකට වෙනස් වන චරිත. රංගනයේදී එකිනෙකට වෙනස් නිරූපණයන්ගෙන් අපිට මේ එකිනෙකා වෙනස් ආකාරයන්ගෙන් දක්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයා දකින ඒ වෙනස තුළ මේ හැම අම්මා කෙනෙකුම ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. හැන්දෑවේ ඩිංගිරි අම්මා එම වසරේ පැවැති සම්මාන උළෙල රැසකදී මා සම්මානනීය කළා. ඩිංගිරි අම්මාගේ චරිතයටත් මම ගොඩක් ආදරය කරනවා. * නිල්මිණි ඔබ රංගන ශිල්පිනියක් විදියට අම්මා නැමැති චරිතයට පමණක් සීමා වෙලා නේද? ඒක අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ සිදුවන දෙයක්. අපි එක චරිතයක් නිරූපණය කළාම එවැනිම තවත් චරිත කිහිපයකටම ආරාධනා ලැබෙනවා. අද බිහි වන නිර්මාණත් බොහෝ දුරට එක හා සමාන ලක්ෂණ පෙන්නුම් කිරීමත් එයට එක් හේතුවක්. විවිධත්වයක් නොමැති වුණාම රංගන ශිල්පීන් ශිල්පිනියක් එකම චරිතයකට කොටු වෙනවා. මමත් කැමැතියි වෙනසක් දකින්න. ඒ වෙනස ඉදිරියේදී ඔබට දැකගන්න ලැබේවි. * ඔබත් මවක් වගේම තනි ධෛර්යයෙන් නැඟී සිටින කාන්තාවක් විදියට ඔබට දැනෙන ජීවිතය රංගනයට ගළපන්නේ කෙසේද? අපි හැමෝම සමාජයෙන් ගන්නා දේවල් බොහොමයක් තියෙනවා. මුහුණ දෙන විවිධාකාර සිදුවීම් තියෙනවා. ඩිංගිරි අම්මා, ටිකිරි මැණිකා, පුන්නම්මා වගේම මමත් අම්මා කෙනෙක්. එහිදී සමහර අවස්ථාවල මගේ ජීවිතය සමඟත් ඇතැම් දේ මට තෝරා ගන්න හැකි වෙනවා. * ඔබේ දියණිය ස්වේතා රංගනයට ලැදියාවක් නැතිද? ඇයට දැන් වයස අවුරුදු දහතුනයි. ඇය අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. රංගනයට නම් දුවගේ එතරම් කැමැත්තක් නැහැ. ඒ වුණත් සංගීතයට ගොඩක් කැමැතියි. අනාගතයේදී ඇය සාර්ථකම මාර්ගයක් ඔස්සේ ගමන් කරාවි. * නිල්මිණිගේ කැමැත්ත තියෙන්නේ පුංචි තිරයට විතරමද? සිනමාවට මගේ හිතේ අකමැත්තක් නැහැ. අන්තිමට මම රංගනයෙන් දායක වුණේ ලේ කිරි කඳුළු චිත්‍රපටයට. පසුගිය කාලයේ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණත් ඒ චරිත මට එතරම් ගැළපුණේ නැහැ. කිසිම තේරුමක් නැති චරිත කරලා වැඩක් නැහැනේ. තමන්ගේ හිතට දැනෙන සාර්ථක රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් චරිත නිරූපණයයි වැදගත්. * පසුගිය කාලයේ ඔබේම නිර්මාණ කටයුත්තක් ගැනත් ආරංචි ලැබුණා. ඒ අදහස දැන් අතහැර දමලාද? පසුගිය කාලයේ මම භාර ගෙන තිබූ වැඩ කටයුතු සමඟ පූර්ණ වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කාලය පුරා මම මගේ කතාව ලිව්වා. එය ටෙලි නිර්මාණයක් හරහා ආදරණීය රසික රසිකාවන් වෙත ගෙන එන්නයි මගේ බලාපොරොත්තුව. දැනට එහි පිටපත රචනය කෙරෙමින් තියෙනවා. ඉදිරියේදී ඒ ගැන වැඩිදුර විස්තර ඉක්මනින්ම කියන්න දැන් පොරොන්දු වෙනවා. * මේ දක්වා පැමිණි ගමන දෙස ආපසු හැරී බැලුවොත්? ඇත්තටම සාර්ථක ගමනක් මම ඇවිත් තියෙනවා කියලා හිතනවා. කලාවට පැමිණි දා පටන් මම මුදල් හම්බ කළා. ඒ වගේම නිසි සැළැස්මකට අනුව ජීවත් වුණා. ආර්ථික ප්‍රශ්න ඇති කරගෙන ජීවත් වෙන්න මම හරිම අකමැතියි. හැම තැනටම ණය වෙලා ලෝකෙට පේන්න බොරුවට ජීවත් වෙන්න ඕනෑ නැහැ. කලාව විතරක් නෙවෙයි මම ව්‍යාපාර අතිනුත් සාර්ථක වු කාන්තාවක්. තනි මම තනි ධෛර්යයෙන් දුක් මහන්සි වෙලා මේ සාර්ථකත්වය ළඟා කර ගත්තේ. කවදාවත් කාගෙන්වත් ගත්තු සත පහක්වත් මා ළඟ නැහැ. මම ළඟ තියෙන්නේ මම දුක් විඳලා හම්බ කරගත්තු දේවල්. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම ආඩම්බරයක්. කලාකරුවෙක් කලාකාරිණියක් වුණාම අනිවාර්යයෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගත යුතු වෙනවා. එවිට කවදාවත් අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒ වගේමයි කලා ජීවිතය අපි ලබන උතුම්ම දෙයක්. ඒ තත්ත්වය රැක ගැනීම කලාකරුවන් සතු වගකීමක්. එහි වටිනාකම හරියට තේරුම් ගෙන අපි හම්බ කරන දෙයටත් උපරිම සාධාරණයක් ඉටු කරන්නත් වග බලා ගන්න ඕනෑ. ඒ වගේම නිහතමානිකමත් ඕනෑම කෙනෙකුගේ සාර්ථකත්වයේ රහසක්. * ඉදිරි රංගන කටයුතු ගැනත් කියමු? මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු යොදාගෙන තියෙනවා. අම්මා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් යෙදිලා තියෙනවා. රෑන ටෙලි නාට්‍යයේ ෂූටින් දැන් අවසන්. ඉරට උඩින් හා දිල් නේත්‍ර ටෙලි නිර්මාණ දෙකටත් දායක වුණා. මගේ නිර්මාණයත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
|