|
මට’ම පුදුමයි මම මෙතරම් ජනප්‍රියද?
ඇගේ රුව දුටුව සැණින් ඔබ මතකයට නැඟෙන්නේ සරා ටෙලි සිතුවමේ ඇය නිරූපණය කළ චරිතයයි. ඊට පසුව මලී හරහා ද මෙ යෞවනියව ඔබ නෙත ගැටුණා. එහෙත් වසර ගණනාවක් තිස්සේ ඇයව අපි කිසිදු ටෙලි සිතුවමකින් දුටුවේ නැහැ. නමුත් ඇගේ හඬ නම් අපට නිතර දෙවේලේ ඇසුණා. කලා පවුලක තෙවැනි පරපුරේ පුරුකක් වන ඇය නමින් ළසඳුනී ජයවර්ධනයි. දිගු කාලයකට පසු ඇය අප හා කතාබහක මෙසේ නියැලුණා. ඉතින් ළසඳුනි, පහුගිය කාලේ මොකද කළේ? ටෙලි නාට්‍යයක රඟපෑවේ නැති වුණාට හඬ කැවීමේ ශිල්පිණියක් විදිහට වැඩ කළා නේද? ඇත්තටම කිව්වොත් මට ටෙලි නාට්‍යවලට දායක වෙන්න බැරි වුණේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. වසර හතරක් මම විශ්ව විද්‍යාලයට ගියා. දැන් උපාධිය අරගෙන ඉවරයි. ඔබ කිව්වා වගේ රඟපෑවේ නැති වුණාට හඬ කැවීමේ ශිල්පිණියක් වශයෙන් බොහොම කාර්යබහුල වුණා. මේ දවස්වල කොහොමද ඔබේ හඬ කැවීමේ කටයුතු? දෙරණ නාළිකාවේ රොබයියා සහ සාගරේ සේ ආදරේ යන වැඩසටහන්වල තමයි මේ දවස්වල හඬ කවන්නේ? කවදා විතරද ඔබේ හඬ කැවීම් කටයුතු පටන් ගත්තේ? බොහොම පොඩි කාලෙදි. එතකොට මට වයස අවුරුදු හතරක් විතර ඇති. අපේ තාත්තව (නිහාල් ජයවර්ධන) චිත්‍රපටයක ඩබිංවලට එක්කගෙන යන්න රෝයි ද සිල්වා මහතා අපේ ගෙදර ආවා. එතකොට මාව දැකලා ඔහු මාවත් එක්කගෙනම ස්ටුඩියෝ එකට ගියා. මගෙන් ඇහැව්වා පොඩි ඩබ් එකක් කරමුද කියලා. අනේ මම ඩබිං කියන වචනෙවත් එතකොට අහලා තිබුණේ නැහැ. මම ආසාවට ඔළුව වැනුවා. ඔහුගේ ඒ චිත්‍රපටයේ පොඩි ළමයකුට මම එදා හඬ කැව්වා. සුමනා ආන්ටි මාව ඔඩොක්කුවේ තියාගෙනයි එදා හිටියේ. මට ඩබ් කරන්න ඕනැ අවස්ථා එනකොට ඇය මගේ පිටට ගහනවා. මාත් හයියෙන් දෙබස් කිව්වා. එදා ඉඳලා අද වෙනකම්ම මං විවිධ වැඩසටහන්වලට හඬ කවනවා. ඒත් ඔබ ප්‍රධාන චරිතයකට හඬ කැව්වේ ඉතාම මෑතකදි නේද? ඔව්. ඉසිවර වෙදදුරු කොරියන් මාලා නාටකයේ ජිංයොන් කියන චරිතය තමයි ඒ. යොන්දරා කිව්වාමයි ගොඩක් අය දන්නේ. ඊට පසුව දෙරණ සිහින කුමරා හි සේර්යෝනටත් හඬ කැව්වා. ඒකත් ප්‍රධාන චරිතයක්. ඔබ වැඩිපුරම කැමැති හඬ කැවීම් ක්ෂේත්රයට වගේ? ඇත්ත වශයෙන්ම මම ඒ ක්ෂේත්රයට වැඩි කැමැත්තක් තියෙනවා තමයි. ඇයි ඒ? මම හිතනවා මම වැඩිපුරම දක්ෂ ඒ ක්ෂේත්රයට කියලා. ඒත් හඬ කැවීම් ශිල්පිණියක් ජනප්‍රිය වන්නේ නැහැ? ඇයි නැත්තේ. මම හඬින් ජනප්‍රිය කෙනෙක්. ඔබ කොහොමද එහෙම කියන්නේ? කී දෙනෙක් ඔබව හඬින් හඳුනගෙන තියෙනවද මේ අහවලා කියලා? නළුවන් නිළියන් මුහුණින් ජනප්‍රිය වගේ තමයි අපි හඬින් ජනප්‍රියයි. ෆ්රේස්බුක් හරහා මට අනන්තවත් අය අමතනවා. මගේ කටහඬින් මාව හඳුනා ගත්තු ගොඩක් දෙනෙක් ඉන්නවා. මම ඒක උදාහරණයක් එක්කම කියන්නම්. ඔන්න අප වැඩමුළුවකට ගම්පහ රත්නාවලී බාලිකාවට ගියා. එය අවසන් මොහොතේ තමයි මම අහවලා කියලා හඬ කවපු චරිතවලින් හඳුන්වා දුන්නේ. එවේලේ ඉඳන් මගේ වටේ සෑහෙන්න කට්ටිය පිරුණා. සමරු පොත් පවා ගෙනාවා අත්සන් කරගන්න. මටම පුදුමයි මම මෙච්චර ජනප්‍රිය ද කියලා. ටෙලි නාට්‍යවල නොමැති වුණත් ඔබ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ ඉන්නවා නේද? ඔව්. මර්සි එදිරිසිංහ මහත්මිය රඟපාපු චරිතය අද මම කරන්නේ. ඒ කියන්නේ ඔබට ගීත ගයන්නත් පුළුවන්? මොකද බැරි. මඩේ ලගින තාරාවන් ගීතය මම සජීවීව ගයනවා නාට්‍ය තුළදී. ඔය චරිතය නව පරපුරේ රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම ඉදිරිපත් කළා. නමුත් ඔවුන් අද නැහැ. ඔබටත් ඒ ඉරණම අත් වේවිද? මෙහෙමයි, ප්‍රේක්ෂකයා මාව ප්‍රතික්ෂේප කළොත් මම යනවා. ඒතාක් මම මේ චරිතය රඟපානවා. තවම කවුරුවත් මුකුත් කිව්වේ නම් නැහැ. මර්සි එදිරිසිංහ කෙටි අඩි තියමින් තමන්ගේම වූ අනන්‍ය බසක් හසුරවමින් තමයි එම චරිතය රඟපෑවේ. එතකොට ඔබ? මා ඇයව අනුකරණය කරන්නේ නැහැ. අධ්යක්ෂ ලූෂන් බුලත්සිංහල මහත්මයා කිව්වා මට උපරිම නිදහසකින් යුතුව රඟපාන්න කියලා. මම මට හැකි විදිහට ඒ චරිතය මවනවා. තාරාවෝ ඉගිලෙති නාට්‍ය බලන්න ඔබේ මිතුරන් වැඩිපුර එන්නේ ඇයි? මගේ යාවළුන්ට ෂුවර් නැහැ මම ඒ වගේ චරිතයක් කරනවා කියලා. මොකද මට තියෙන්නේ වෙස්ටර්න් ලුක් එකක් සහ වෙස්ටර්න් හඬක්නේ. ඉතින් යාළුවො මාව බයිට් කරන්නත් එක්ක නාට්‍ය බලන්න එනවා මම හරියට රඟපානවද කියලා බලන්න. ඔබේ වෘත්තීය කලාවද? දැනට නම් කලාව තමයි. කලින් මම ජොබ් එකක් කළා. ඩබිංවලට වෙලාව වෙන් කර ගන්න බැරි නිසා එයින් අයින් වුණා. නමුත් ආයේ ජොබ් එකක් කළොත් හොඳයි වගේ. ඇයි කලාවෙන් හම්බ වෙන මුදල මදි වගේද ළසඳුනිට? කලාවෙන් මුදල් ලැබෙනවා, ඒවා ස්ථිර නැහැ. කාලෙකට වැඩ තියෙනවා යහමින්. නමුත් තව කාලෙකට වැඩ නැත්තටම නැහැ. එහෙම තත්ත්වයක් මත මට ජොබ් එකක් කරන්න ඕනෑ. කොහොමද ඉදිරිය? තව මාසෙකින් රැකියාවකට යන්න හිතාගෙන ඉන්නවා. ඒ අතරතුරදි දිගටම ඩබිං කරගෙන යනවා. හොඳ චරිතයක් ලැබුණොත් ආයෙත් නොවැරැදීම රඟපාන්න එනවා. මේවෙලාවෙ මගේ අම්මා ශ්‍රීයානී වත්තේගම සහ මං ඉගෙනගත් නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහලත් මතක් කරන්න ඕනෑ.
|