|
‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ’සමඟ උදයසිරි යළි වේදිකාවට
ප්‍රේමය සමාජයෙන් වියැකීමත් දේශපාලන ප්‍රශ්නයක්
‘ දේශපාලන කරළියේ අතපත නොගෑවුණු බොහෝ තැන් කරළියට රැගෙන පැමිණි 'සුද්දෙක් ඔබ අමතයි' වේදිකා නාට්‍යයෙන් පසුව ඔබ බොහෝ පරස්පර වූ කාරණයකටද මේ පිවිසෙන්නේ? දේශපාලනය කියන්නේ මිනිස්සුන්ට උවමනා දේ නිර්මාණය කිරීමයි. මිනිස්සුන්ට කෑමට බීමට අවශ්‍ය දේ සුලබ කිරීමත්, ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීම, සතුටු කිරීම, යහපත් කිරීම උදෙසා වන දෙය දේශපාලනයයි. මේ විදියට රටේ තිබෙන විවිධ දේශපාලන ප්‍රශ්න හඳුනා ගැනීමේදී ප්‍රේමය සමාජයෙන් වියැකීමත් ඕනෑ නම් දේශපාලන ප්‍රශ්නයක් ලෙස ගන්නට හැකියි. 'ප්‍රේමය' කියන මාතෘකාව වේදිකාවේ කතා කළ යුතු දෙයක්මද? ප්‍රේමය කියන කාරණය සැමදාම කලාවේ ප්‍රධාන අංගයක් බවට පත් වී තිබුණා. උදාහණයක් විදියට ගත්තොත් ජෝතිපාල කියන්නේ අපේ මහා ගායකයා. ඔහුගේ සෑම ගීිතයක්ම ප්‍රේම ගීතයි. එහෙත් මේ ප්‍රේමය කියන කාරණය සිනමාවෙන්, ගීතයෙන් ක්‍රමයෙන් ඈත් වන බවක් දකින්නට ලැබෙනවා. වර්තමානය වන විට අන්තර්ගතමය වශයෙන්, තේමාව වශයෙන් නම් ප්‍රේමය වෙනුවට දේශපාලනය සහ වෙනත් තේමා නාට්‍ය සහ සිනමාවේ ප්‍රධාන ධාරා බවට පත් වී ඇති වගක් අපට දැකිය හැකියි.
වර්තමානය වන විට ප්‍රේමය වාණිජකරණය වෙලා. එහෙත් ගීතය කියන මාධ්‍යයේ
ප්‍රේමය තිබුණත් නියම ප්‍රේමය නෙවෙයි තිබෙන්නේ. ප්‍රේමය පිළිබඳ එදා අර්ථ දැක්වූයේ
සිනමාවෙන් නම්, නවකතාවෙන් නම්, නාට්‍යයෙන් නම් අද ඒ අර්ථ දැක්වීම අරගෙන තිබෙන්නේ
කොම්පැනිකාරයෝ ටිකක්. ඒ අයට තරුණ අය ගැන වගකීමක් නැහැ. මේ නිසා හැත්තෑවේ දශකයේ සිනමාවේ හා අනෙක් කලා අංශවල අවධානය යොමු වී තිබුණු මේ ප්‍රේමය කියන කාරණය ඊට පස්සේ බිහිවුණු කලාකරුවෝ අත නොගසන දෙයක් බවට පත්වී තිබීමත් අපගේ අවධානයට යොමු විය යුතු ප්‍රබල කාරණයක්. නාට්‍ය කලාවටත් මේ කාරණය පොදුයි. එහෙම වුණේ ඇයි? එහෙම වීමට ප්‍රධාන කාරණය ලෙස මා සිතන්නේ ප්‍රේමය පිළිබඳ නිර්මාණ කිරීමට ඇති අපහසුතාවයි. 'ශාකුන්තලය' වගේ එක් නිර්මාණයක් බිහිවීමෙන් පමණක් ඒ වග අපට පෙනෙනවා. ඒ වගේම සමාජයේ පමණක් නොවෙයි කලාකරුවන් ළඟත් ප්‍රේමය නැතිවීම පිළිබඳ ප්‍රශ්නය ප්‍රේමය පිළිබඳ නිර්මාණ බිහි නොවීමට බලපෑ අනෙක් කාරණයයි. කරුණාසේන ජයලත් වැනි නිර්මාණකරුවෙක් අද බිහි නොවෙන්නේ ඒ නිසයි. වර්තමානය වනවිට එවැනි හදවත් තිබෙන ලේඛකයෝ නැතිව ගිහින්. සමහර සෝවියට් පොතකත්, කරුණාසේන ජයලත්ගේ පොතකත් සමහර සිද්ධි විස්තර කරන අවස්ථාවලදී ජයලත් ඒවා කොයිතරම් සියුම්ව වචන බවට පත් කර තිබෙනවාද කියලා සිතන්න.
ඒ වගේ සිතුම් අපට හිතා ගන්නටවත් බැරි තරම්. ඒ ලස්සන සෝවියට් පොත්වලත් නැති වගයි මට
නම් පෙනෙන්නේ.
ප්‍රේමය කියන තේමාව නිර්මාණයක් දක්වා රැගෙන පැමිණීමට තරම් මුල්වුණු කාරණාව කුමක්ද? දවසක් මම බස් රථයක වාඩි වෙලා ගමනක් යන අතරතුරදී මගේ ආසනයට ඉදිරියෙන් සිටිය පෙම්වතුන් යුවළක් ඇස ගැටුණා. පෙම්වතුන්ගෙත් යම් රඟපෑමක් තිබෙනවානේ. ඒත් මේ දෙන්නා දෙසම බලාගෙන සිටින විට මට එක පාරටම සිතුණේ ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක දකින පෙම්වතුන්ගේ රඟපෑමකට වැඩිය මේ දෙන්න ළඟ යම්කිසි අවංක බවක් රැඳී තිබෙන බවයි. අහිංසක බවත්, අව්‍යාජත්වයත් ඔවුන්ගේ හැසිරීමේ අන්තර්ගත බවයි. ඒ සිදුවීමත් සමඟම මට කල්පනා වුණේ මේ විදියට ඉන්න ඇත්තම පෙම් යුවළක් චිත්‍රපටයකට ගත්තොත් මොකද වෙන්නේ කියලා. සිතට නැඟුණු මේ කාරණය පිළිබඳ මම දිගින් දිගටම කල්පනා කළා. ඒ කල්පනාවේදී සිතට පහළ වන දෙබස්, සිදුවීම් ලියාගෙන ලියාගෙන ගියා. වසර දෙකක් තිස්සේ මෙසේ ලියැවුණු පිටපත තමයි 'පෙම් යුවළක් ඕනෑ කර තිබේ' විදියට වේදිකාවට පිවිසෙන්නේ. මේ කාරණාව වේදිකා නාට්‍යයක් ලෙස වේදිකාවට රැගෙන ඒමේදී යොදා ගත් ආකෘතියේ යම් වෙනසක් සිදු කළාද? මේ මගින් සාමාන්‍ය නාට්‍යයකට වඩා වෙනස්ම නාට්‍යයක් දකින්නට ප්‍රේක්ෂකයාට හැකි වේවි. එතැනදි ආකෘතියේ වෙනසකට වඩා අන්තර්ගතයේ වෙනස මඟින් එකතු වුණු අලුත් ආකෘතියක් අනුවයි මේ නාට්‍ය නිර්මාණය වුණේ. ඒ කියන්නේ මෙතෙක් කිසිවෙකුටත් දකින්නට නොලැබෙන අමුතුම වේදිකා නාට්‍යයක්. එහිදී චිත්‍රපටයක් ආශ්‍රය කරගෙන නාට්‍යය ඇතුළට ප්‍රේමය රැගෙන එන උත්සාහයකයි අප නියැළුණේ. ඒ වග නාට්‍ය නැරුඹුව බොහෝ දෙනෙක් කිව්ව කාරණයක්.
' ප්‍රේමය කියන කාරණයේදී අප අවධානය යොමු කළේ යෞවන යෞවනියන්ගේ ප්‍රේමය පමණක් නොවෙයි. ඒ ප්‍රේමයත් සමඟ බැඳුණු අනෙක් කාරණා පිළිබඳත් අප කතාබහට ලක් කළා. එහිදී දරුවන් දෙමව්පියන්ටත්, දෙමව්පියන් දරුවන්ටත් බැඳුණු ආදරය ගැන කතා කළා. ඒ ආදරය බොහෝ දෙනෙකුට අමතක වී ගිය කාරණයක්. සමාජයේ වෙසෙන්නන්ට ඒ අමතක කරන කාරණය කිසියම් විදියකට නැවතත් මතක්කර දිය යුතුයි. ඉහත කියන ලද සෑම ප්‍රේමයක්ම එකතු වුණොත් විතරයි ප්‍රේමය අර්ථවත් වන්නේ කියන කාරණයත් ඔවුන්ට මතක්කර දිය යුතුයි. ඒ කියන්නේ යුවළකගේ ආදරයත්, මව්පියන් හා දරුවන් අතර තිබෙන ආදරයත් කියන මේ සියල්ල සීරුවෙන් වටහා ගත්තොත් පමණයි සෑම තැනම ආදරය පැතිරෙන්නේ. සෑම තැනම ආදරය ඉතිරි වෙන්නේ. ආදරණීය සමාජයක් හෝ රටක් නිර්මාණය වෙන්නේ.
ආදර්ශවත් කතාවක් ගොඩනැඟීමේදී ඕනෑම අධ්‍යක්ෂවරයෙක් රාමුවක් ඇතුළේ කොටු වෙනවා. ඒ නිසාදෝ එසේ බිහි කරන නිර්මාණ අසාර්ථක බවයි අපට හැඟෙන්නේ. ඒ කාරණය ඔබ ජයග්‍රහණය කළේ කොහොමද? සිතන්න උදාහරණයක් විදියට ගත්තොත් ජාතක කථාව කියන්නේ ප්‍රචාරකවාදී නිර්මාණයක් නොවෙයිනේ. ඒක නිසඟයෙන්ම ජීවිතය පිළිබඳ යථාර්ථවාදී කතාවක් වගේම ආදර්ශවත් කතාවක්. ඒ මඟින් කරුණු දෙකම එකවර ඉෂ්ට වෙනවා. ඒ අනුව මම කල්පනා කරන්නේ යම් විදියකට ප්‍රේමය පිළිබඳවත් යොවුන් පරපුරට මඟ පෙන්වීමක් තිබෙන නිර්මාණ තිබිය යුතුයි. ඔවුන් සිතන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් එහා හිතන්න පොලඹවන නිර්මාණ අප ඉදිරිපත් කළ යුතුයි. ඒ ඔස්සේ ඔවුන් නොසිතන මට්ටමක් දක්වා අප කතා කළ යුතුයි. ආදර්ශවත් කියන වචනය මේ නිර්මාණයට යොදන්නේ බොහෝ නිර්මාණ ආදර්ශවත් නොමැති නිසා. අද නාට්‍යයක් නරඹන්න යන්න බියක් ප්‍රේක්ෂකයන්ට තිබෙනවා. මේ නිසාමදෝ බොහෝ 'පියවරුන් පවුලේම අය මේ නාට්‍යය නරඹන්න ආවොත් ප්‍රශ්නයක් ද' කියල අහන අවස්ථා ඕනෑ තරම්. ඒ නිසයි මා මේ වචනයෙන්ම නාට්‍යය හඳුන්වන්නේ. මොකද අද එහෙම නරඹන්නට නොහැකි නාට්‍ය නිර්මාණය වී තිබෙනවා. බටහිර චිත්‍රපට නරඹලා ඒ දේවල් බලෙන් නාට්‍යවලට ඔබ්බලා තිබෙන නිසා පවුලේ සියලු දෙනා සමඟ නරඹන්නට නොහැකි තත්ත්වයක් ඒ නිර්මාණවල ඇති වෙලා. ඊට පිළිතුරක් ලෙසයි මා මේ නිර්මාණය ආදර්ශවත් කතාවක් ලෙස නම් කරන්නේ. මේ මඟින් මා පවසන්නේ ප්‍රේක්ෂකයාට බණ කියන්න උත්සාහ කරනවා කියන එක නම් නොවෙයි. එතැනින් මේ නාට්‍යය වෙනස් වන්නේ කොහොමද කියලා මේ නාට්‍ය ඇවිත් නරඹලාම ඒ වෙනස අත්දකින්න කියල මම ඔබ සැමට ආරාධනා කරනවා. |