වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සමහර කලාකරුවන්ගෙත් වත්කම් හොයන්න ඕනෑ

සමහර කලාකරුවන්ගෙත් වත්කම් හොයන්න ඕනෑ

ජනප්‍රිය ගායක සමන් ද සිල්වා

ඇතැමුන්ට ඔහු බයිලා ගායකයෙකි. තවත් අයකු ඔහු හඳුන්වන්නේ වේග රිද්ම ගායකයකු ලෙසිනි. එමෙන්ම ඔහු මියුරු ආදරබර ගී රැසක් ගැයූ ගායන ශිල්පියකු ද වේ. කවුරු කෙලෙස හැඳින්වුවද ඔහු රසික හදවත් දිනූ ජනප්‍රිය ගායන ශිිල්පියකු බව නම් අවිවාදිතය.

සමන් ද සිල්වා . . .

ඔහු එදත් අදත් අපේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියකු යැයි පැවසුවහොත් එය ද බොරුවක් නොවේ. ප්‍රතාපවත් හඬ පෞරුෂයකින් මෙන්ම ළඟන්නා සුළු ගායන ශෛලියකින් අපේ ගී ලොව උණුසුම් කළ මේ ආදරණීය කලාකරුවා සමඟ 'සරසවිය' කළ විවාදාත්මක කතාබහකි මේ.

* කොහොමද මේ දවස්වල කලා කටයුතු?

මැතිවරණයෙන් පසු මේ ගෙවුණු කාලය ඇතුළත ප්‍රසංග වේදිකාවේ වැඩ අඩු වෙලා තියෙනවා. ඒක මට විතරක් නෙවෙයි අපේ අනෙකුත් ගායක, ගායිකාවන්ටත් බලපෑ තත්ත්වයක්. සංගීත කණ්ඩායම්වලටත් එහෙමයි. හැබැයි මාර්තු මාසේ වෙන කොට ටිකක් හොඳ වෙයි.

* අප්‍රේල් මාසේ නම් කොහොමත් වැඩිපුර ප්‍රසංග පැවැත්වෙනවා?

ඔව්. හැබැයි මේ අප්‍රේල් මාසේ වැඩියෙන් ප්‍රසංග පැවැත්වෙයි කියලා හිතෙනවා වෙනදාටත් වඩා. මොකද රටේ තියෙන වාතාවරණයත් හොඳයිනේ. අප්‍රේල්, දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් අපි එක මාසයකට ප්‍රසංග හැටක් විතර කරනවා.

* වැඩිපුර ප්‍රසංග බාර අරගෙන සංවිධායකයෝ අමාරුවේ දාන ගායකයෝ ගැනත් අපි අසා තිබෙනවා?

මම නම් බාර ගන්නේ මට කවර් කරන්න පුළුවන් ෂෝස් විතරයි. ඔබ කිව්වා වගේ සමහරු ඉන්නවා හැම තැනම ප්‍රසංග බාර අරගෙන සංවිධායකයන්ට පොලු තියන. ඒක වැරදියි. අද රටේ තියෙන නීතියට අනුව පොලීසියට පුළුවන් රෑ 1.00 ට නැතිනම් 2.00 ට ප්‍රසංගයක් නවත්වන්න. එහෙම කළොත් ගායක, ගායිකාවෝ අතරමං. ඒ නිසා මම අපේ ගායක, ගායිකාවන්ගෙන් ඉල්ලන්නේ අප්‍රේල් මාසයේදීවත් වැඩියෙන් මුදලක් අය කරලා අඩු ප්‍රසංග සංඛ්‍යාවක් බාර ගන්න කියලා.

* ඇයි එහෙම කියන්නේ?

ඒකෙන් හැමෝටම ලොකු චාන්ස් එකක් එනවා. මොකද හැමෝටම එතකොට ප්‍රසංග බෙදෙනවනේ. අහිංසක කලාකරුවෝ රැිසකට එයින් ලොකු සහනයක් ලැබෙනවා. ආත්මාර්ථකාමී වෙලා තමන්ම එක දාගගන්න හදන එක අනෙක් අයට කරන අසාධාරණයක්. සමහරු ඉන්නවා මුලින්ම තමන්ව ප්‍රසංගයට දාන්නෙ නැතිනම් සහභාගි වෙන්නේ නෑ කියලා සංවිධායකයන් බිය වද්දන ගායක, ගායිකාවන්. ගිය රජය තියෙන කාලේ එක, දෙක, තුන, හතර, පහ ක්ලීන් අවුට්. ආපු ගමන් එයාලව දාන්න ඕනෑ. එහෙමත් ප්‍රශ්න තිබුණා. දැන් තියෙන්නේ යහ පාලනයක් නේ. කවුරු හරි එහෙම ලිස්ට් එකෙන් පැනලා සිංදු කියන්න අදත් සූදානම් නම් ඒක අසාධාරණයි.

* සමන් ද සිල්වාට අද එදා තරම් ඉල්ලුමක් නෑ වගේ?

ඉල්ලුම කොහොමද, කාටද කියන එක මම දන්නවා. එක දවසේ ප්‍රසංග දාහතරක ගීත ගායනා කරලා තියෙන කෙනෙක් මම. මේ සමන් ද සිල්වා අදත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියයි. තවම මට ඉල්ලුම තියෙන්නේ ඒකයි. ඊළඟට චන්ද්‍රලේඛා පෙරේරා.

* පසුගිය කාලේ ඔබ විදෙස් සංචාරවලත් නියැළුණා?

දැන් අවුරුදු දාහතක කාලයක ඉඳන් හැම දෙසැම්බර් මාසයකම මම හිටියේ එංගලන්තයේ. ඒක මට හැමදාම එන වැඩක්. මොකද මගේ පුතත් එහෙ සංගීත කණ්ඩායමක ර්‍ථතචර කරන්නේ. හැබැයි මේ සැරේ මම ඉක්මනින් ආවා. ඒකට හේතුව කුවේට් තානාපති කාර්යාලයෙන් මට ප්‍රසංග දෙකකට ආරාධනා ලැබුණ නිසා. ඒ දෙකම ගෘහස්ත ප්‍රසංග. පසු ගිය ජනාධිපතිවරණය කාලේ මම හිටියේ එහේ. ඒ නිසා කිසිම මැතිවරණ වේදිකාවකට නැග්ගේ නෑ. ලංකාවේ හිටියා නම් මම නගින්නේ කාගේ වේදිකාවට ද කියලා කවුරු කවුරුත් දන්නවා.

* මේ වෙනකොට නව රජය යටතේ සංගීත ශිල්පීන් වෙනුවෙන් කර්තෘ භාග ගෙව්මේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය සංකේතවත් කරමින් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල උත්සවයක් පැවැත්වුණා. ගායන ශිල්පියෙක් හැටියට ඔබ කොහොමද මේක දකින්නේ?

කර්තෘ භාග දෙන එක ඕ(ර්)ගනයිස් කරලා තිබුණේ 'ඔස්කා' සංවිධානය මඟින්. ගායක ගායිකා සංගමය මඟින් එවැනි කාර්යයක් සඳහා මැදිහත්වීමකුත් තිබුණා. නමුත් අන්තිමට ඒක ක්‍රියාවට නැඟුණේ ගුවන් විදුලි සංස්ථාව හරහා. අපේ ගුවන් විදුලිය කියන්නේ ඇත්තටම පාඩු ලබන, හරි අමාරුවෙන් පවත්වාගෙන යන ආයතනයක්. විශේෂයෙන් පෞද්ගලික ගුවන් විදුලි නාළිකා එක්ක බලනකොට. හැමදාම මේ කර්තෘභාග ගෙවීමේ වැඩේ දියත් වෙන්නේ ගුවන් විදුලිය හරහානේ.

* ඇයි ඒක හොඳ නැද්ද?

හොඳ නෑ නෙවෙයි. ඇයි පෞද්ගලික නාළිකාවලට අපි ඒ වගකීම පවරන්නේ නැත්තේ. සමහර නාළිකා පැය විසි හතරේම ප්‍රචාරය කරන්නේ ගීත. ඔවුන් කොයි තරම් ධනයක් උපයනවද මේ ගීත විකුණලා. ඒත් ඒවාට සම්බන්ධ ශිල්පීන්ට සත පහක් ගෙවන්නේ නෑ. අනෙක ජනමාධ්‍ය ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කාර්තෘ භාග ගෙවීමේ උත්සවය පැවැත් වුණේ. ගායක,ගායිකාවෝ ඇතුළු ගී පද රචකයන්, සංගීතඥයන් හැමෝම මේ ගැන දැනුම්වත් කළා නම් වඩා හොඳයි. එක්තරා ගායිකාවකට අවශ්‍ය වුණේ තමන් කැමැති අය ගෙන්වලා ඒ අයට කර්තෘ භාග ගෙවන්න. එහෙම කරලා වැඩක් නෑනේ. ගුවන් විදුලිය උස්සන්න ඕනෑ වෙලාවේ ඒ සල්ලිවලින් කර්තෘ භාග ගෙවන එකනේ මේ කරන්නේ.

* කවුද මේකට වගකිවයුත්තේ?

ඔස්කා සංවිධානයට හා ගායක, ගායිකා සංගමයට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. සංගීත ශිල්පීන්ගේ කර්තෘභාග ගෙවීමේ කර්යයේදී ඔවුන් තමන්ගේ කාර්යයට හරිහැටි මැදිහත් වුණේ නෑ.

* ගායක, ගායිකා සංගමයේ හිටපු සභාපතිවරයෙක් ඔබ. නමුත් සංගමයේ වර්තමාන වැඩ පිළිවෙල පිළිබඳ ඔබේ එතරම් පැහැදීමක් නැති වගයි පෙනෙන්නේ?

මේ ළඟදී මීටින් එකක් තිබිලා පස් දෙනයි ද කොහෙද ගිහිල්ලා තියෙන්නේ. මම ඉන්න කාලේ මීටින් එකකට පනහක් හැටක් එනවා. අද එහෙම තත්ත්වයක් නෑ. හැබැයි 'ඔස්කා' සංවිධානය මඟින් අපේ නළු, නිළියන්ට, ගායක, ගායිකාවන්ට ලොකු සේවයක් සිදු වෙනවා. ජයන්ත ධර්මදාස මහතා ඒ සඳහා ලොකු වෙහෙසක් ගන්නවා. දැන් තියෙන්නේ ඔය ගායක ගායිකා සංගම් ඔක්කොම නැති කරලා දාලා හරියට වැඩක් වෙන දෙයකට අත ගහන්න.

* එක්තරා යුගයක ගායක, ගායිකා සංගමයේ ලොකු පිබිදීමක්, එකමුතුවක් තිබුණා. කෙමෙන් කෙමෙන් එය දියාරු මට්ටමකට පත් වුණා කියන එක ද ඔබ කියන්නේ.?

සභාපතිතුමාගේ අතේ තමයි ගායක, ගායිකාවන් එකතු කරලා සංගමය තුළ රඳවා ගන්න වැඩේ තියෙන්නේ. එම්. එස්. ප්‍රනාන්දු, එඩ්වඩ් ජයකොඩි, සනත් නන්දසිරි වැනි ප්‍රවීණ ශිල්පීන් මේකෙ සභාපති ධූරය දැරුවා. ඊළඟට මම. අපි හැමෝගෙම හිත් දිනාගෙන වැඩ කළා. මොකද එක එක අදහස් තියෙන, මතවාද තියෙන පිරිස් මෙතන ඉන්නවනේ. ඒ හැමෝම බැලන්ස් කරගෙන යන්න ඕනෑ. අනෙක තමයි සංගමය ගැන ඒ හැමෝගෙම විශ්වාසය ඇති කරන්න ඕනෑ. ඒ අතින් බලන කොට මම හිතන්නේ සාර්ථකම සභාපතිවරයා මම වෙන්න ඇති.

* සංගමයේ අරමුදල තර කිරීම සඳහා ඔබ විශේෂයෙන් දායක වූ අයෙක්?

මම සභාපති ධූරය දැරූ කාලයේ එන්. සී. සී. එකේ ප්‍රසංගයක් සංවිධානය කළා. ප්‍රසංගයට ආරාධනා කළේ සිය දෙනෙකුට විතරයි. අපි හතළිස් ගාණක් ගීත ගායනා කළා. රුපියල් හත් ලක්ෂ පනස් දාහක මුදලක් අපි හෙව්වා. ඇත්තටම සුනාමි ව්‍යසනයට එයින් සෑහෙන මුදලක් අපිට වියදම් වුණා. එදා අසරණ වුණ අපේ ජනතාවට පුළුවන් අයුරින් අපි උදවු උපකාර කළා.

* මෑතකදීත් සංගමය මඟින් එවැනි ප්‍රසංගයක් සංවිධානය කළා නේද?

ඔව්. ඒ ප්‍රසංගයට හත්සිය පනහක්, දාහක් අතර ප්‍රමාණයක් සහභාගි වී සිටියා. මම හිතන විදිහට, අනුර සේනානායක, අමල් පෙරේරා ලක්ෂ තුන බැගින් හොයලා දීලත් තිබුණා. නමුත් මම හිතන්නේ නෑ එහෙම කරලත් අර මම හොයපු ගණන හොයා ගන්න පුළුවන් වුණා කියලා. ඒකෙන් පෙනෙන්නේ ගායක, ගායිකා සංගමයේ වගකිවයුත්තන් තමන්ගේ බ්ධඡ එක හරියට කරලා නෑ කියන එකයි.

* ගායක, ගායිකා සංගමයක් අවශ්‍ය නෑ කියා ඔබ කිව්වා. එහෙනම් මොකක්ද විකල්පය?

රුපියල් 100 ගනේ එකතු කරලා ඒකෙන් සංගමයක් පවත්වාගෙන යන්න බෑ. අපේ කලාකරුවන්ගේ සුබසාධන කටයුතුවලට අපි මුදල් හොයාගන්න ඕනෑ. ඒකට අපි හොඳ වෙළෙඳ ප්‍රජාවක් සම්බන්ධ කර ගත යුතුයි. එහෙම සල්ලි තියන ප්‍රජාවක් හදා ගත්තා නම් අපි එක එක් කෙනාගේ තිබෙන යහළුකම්වලට අපිට ඔවුන්ගෙන් අනුග්‍රහය ලබා ගන්න පුළුවන්. කීර්ති පැස්කුවෙල්, නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්ත, ජගත් වික්‍රමසිංහ, රජීව් සෙබස්තියන් වගේ අදත් ප්‍රසංග වේදිකාවට හරි යන අපේ ගායන ශිල්පීන් ඉන්නවා. එතකොට සෙවන්ටීස් ටීම් එකක් ඉන්නවා. මාසෙකට සැරයක්වත් කොහෙ හරි හොඳ ඉඩධඹ එකක් කරලා අඩුම ගානේ මාසෙකට සැරයක්වත් අපට සෑහෙන මුදලක් හොයාගන්න පුළුවන්.

* වැඩිම විදෙස් සංචාරවලට සහභාගි වූ ගායන ශිල්පියා ලෙස කලක් ඔබ වාර්තාවක් තබා තිබුණා. තාමත් ඒක වලංගුද?

මම හිතන්නේ අසංක ඒක කඩන්න බැරි රෙකෝඩ් එකක්. රටවල් තිහකට වැඩි ප්‍රමාණයක ප්‍රසංග එකසිය හැට අටක් මම කරලා තියෙනවා. තාමත් යනවනේ. සංවිධායකයන් එක්ක සුහදශීලීව කටයුතු කරලා අපි ඒ තත්ත්වය ගොඩ නඟා ගත්තේ. ගැරන්ටියක් නැතිව ගිහින් පොලු කාලා ආපු අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් මම හොඳට හොයලා බලලයි විදෙස් සංචාරවලට යන්නේ.

* අපේ කලාකරුවෝ අද දේශපාලනය නිසා පිල් බෙදිලා, විරසක වෙලා ඉන්නවා. සමහරු කුලල් කා ගන්න තත්ත්වයට පත් වෙලා. ඔබටත් මේ අත්දැකීම් නුහුරු නැතිව ඇති?

කලාකරුවෙක් තමන් කැමැති දේශපාලන නායකයකුට, පක්ෂයකට වැඩ කළාට කමක් නෑ. ඒක තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්නේ. නමුත් එකිනෙකා ඇන කොටා ගන්න එක අපට අනුමත කරන්න බෑ. පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ මම ටවර් හෝල් ඩිරෙක්ටර්, මහාභාරකාර අරමුදලේ ඩිරෙක්ටර්, මහවැලියේ ඇඩ්වයිසර් කෙනෙක්. ඒත් හැම ෂෝ එකකම අපි සංවිධානය කරපු දිවුල්ගනේත් සිංදු කිව්වා. වේරලියද්දත් සිංදු කිව්වා. ඒ අයගේ නම් ප්‍රසංගවලට යෝජනා කරන්නේ මම. මට ප්‍රශ්න ගොඩක් ආවා ඇමැතිවරුන්ගෙන්. ඒත් මම අපේ සහෝදර ශිල්පීන්ට අසාධාරණයක් කළේ නෑ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.

* ඒ මොකක්ද?

පසුගිය රජයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සමහර කලාකරුවන්ට යම් යම් දූෂණ, වංචා චෝදනා තියෙනවා. චෝගම් එක, රන්මිහිතැන්න, දැයට කිරුළ, නිදහස් දවස, මැයි දිනය මේ වගේ ව්‍යාපෘතිවලින් අයථා ලෙස මුදල් ඉපයූ බවට චෝදනා තියෙනවා ඔවුන්ට. ඇත්තටම දේශපාලඥයන් ගැන විතරක් නෙමේ සමහර කලාකරුවන්ගෙත් වත්කම් හොයන්න ඕනෑ. මට එවනවා ලියුම් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්. මට මාසෙකට රුපියල් හැත්තෑපන් දාහක් හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. මාසෙකට ලක්ෂ එක හමාරක් විතර මට වියදම යනවා. මට දඩයකුත් එවලා තියෙනවා. එක සිංදුවක් කියලා දවසකට රුපියල් දෙලක්ෂ පනස් දාහක් ගත්තු ගායකයෝ ඉන්නවා. ඒත් ඒ ගැන හොයලා බලපු කවුරුත් නෑ. මම මේ ළඟදි අර්ජුන රණතුංග ඇමැතිතුමාටත්, හරීන් ප්‍රනාන්දු මහ ඇමැතිතුමාටත් කිව්වා ඒ ගැනත් හොයලා බලමු කියලා.