මේ ඩියෝල් පවුලයි
මේ ඩියෝල් පවුලයි
ධර්මේන්ද්‍ර, සනී, බොබී,
හේමා, ඊෂා
එහි සාමාජිකයන්
බොලිවුඩයේ පවුල් අතරේ අද අපි කතා කරන්නේ තවත් රජෙකු වැනි රංග ශිල්පියෙකුගේ පවුලක්
ගැනයි. බොලිවුඩයේ රජුන් අතරේ ක්‍රියාදාම රජු ලෙසින් ප්‍රකට වූයේ ඔහුයි. අති සාර්ථක
සිනමා නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දුන් ඔහු සාර්ථක සිනමාපට කිහිපයක්ම
නිෂ්පාදනයට ද දායක විය. ධර්මේන්ද්‍ර සිං ඩියෝල් නම් වූ ඔහු පන්ජාබයේ ලුඩියානා
ප්‍රදේශයේ සික් ජාතික පවුලකට දාව උපත ලැබූයේ 1935 වසරේ දෙසැම්බර් 08 වැනිදාය.
විදුහල්පතිවරයෙකු වූ ඔහුගේ පියා කේවල් කිෂන් ඩියෝල් නම් වූ අතර මව සට්වන්ට් කවුර්
විය. පාසල් අධ්‍යාපනයෙන් පසු අමෙරිකානු සමාගමක සේවයට බැඳුණු ධර්මේන්ද්‍ර වයස
අවුරුදු 19 දී ප්‍රකාශ් කවුර් සමඟින් විවාහ දිවියට එළැඹිණි. සිනමාවට පිවිසීමේ
අරමුණැතිව ඔහු බොම්බායට පැමිණෙන්නේ රැකියාව අතරතුර ෆිල්ම් ෆෙයාර් සිනමා සඟරාව
විසින් පිරිනැමූ ආධුනික කුසලතා සම්මානය ලැබීමෙන් අනතුරුවය.
Dil Bhi Tera Hum Bhi Tere (1960) චිත්‍රපටයෙන් ධර්මේන්ද්‍ර සිනමාවට පිවිසියේය.
හැටේ දශකය ඔහුගේ රංගන
දිවියේ ස්වර්ණමය යුගය බවට පත් විය. Soorat Aur Seerat,
Bandini, Kaajal, Poornima වැනි චිත්‍රපටවල ඔහු ආකර්ෂණීය පෙම්වතා වූයේය. 1987 වසරේදී විජේතා
ෆිල්ම්ස් නමින් සිනමා සමාගමක් ඔහු විසින් ආරම්භ කරන ලදී. 2004 වසරේදී භාරතීය ජනතා
පක්ෂය වෙනුවෙන් තරඟ කර රාජස්ථාන් ප්‍රාන්තයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට පත්වීම ද මේ
සුවිශේෂ රංගන තරුවගේ දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයකි.
ධර්මේන්ද්‍ර - ප්‍රකාශ් කවුර් යුවළට පුතුන් දෙනෙක් හා දියණියන් දෙදෙනෙකි. සනි
ඩියෝල්, බොබි ඩියෝල්, විජයානා ඩියෝල් සහ අජිතා ඩියෝල් අතරින් සනි සහ බොබි රිදී
තිරයට පිවිසියහ. සනි ඩියෝල් 1983 වසරේදී Betaab චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට
පිවිසියේ එම ප්‍රථම රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙසින්
නාමයෝජනා වෙමිනි. එදා සිට මේ දක්වාම සනි චිත්‍රපට හැත්තෑවකටත් අධික සංඛ්‍යාවකට රංගන
දායකත්වය ලබා දී ඇත. Tridev. Arjun, Ghayal. Darr. Border වැනි චිත්‍රපට කා අතරත්
කතාබහට ලක්වන විටදී ඔහු ජාතික සිනමා සම්මාන සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසකට හිමිකම්
කීවේය. සනි ඩියෝල්ගේ පෞද්ගලික ජීවිතය සිනමාව තුළ වැඩි කතාබහට ලක් නොවූවකි. ඔහුගේ
බිරිඳ පූජා ඩියෝල්ය. සනි සහ පූජා හට කරන් සහ රජ්විර් නම් පුතුන් දෙදෙනෙකි. කරන්
ඩියෝල් සහාය අධ්‍යක්ෂණයෙන් සිනමාවට සම්බන්ධ වී සිටින්නේය.
බොබි ඩියෝල් ධර්මේන්ද්රගේ දෙවැනි පුත්‍රයා වේ. ඔහු ද බොලිවුඩයේ සාර්ථක වූ රංගන
ශිල්පියෙකි. 1977 වසරේදී Dharam
Veer චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසියේ ළමා රංගන
ශිල්පියෙකු වශයෙනි. තම පියා මෙන්ම බොනීගේ නම ද ත්‍රාසජනක චිත්‍රපට අතරේ ඉහළින්
කියවෙන්නකි. Badal, Gupt, Jurm, Bichnoo ඒ අතර විශේෂ වන චිත්‍රපට කිහිපයකි.
Barsaat, Gupt, Solier, Dostana ඔහු රඟපෑ චිත්‍රපටවලින් ඉහළ සාර්ථකත්වයක් ලද
චිත්‍රපට වේ. Barsaat හි රංගනය වෙනුවෙන් ඔහු හොඳම නැඟී එන නළුවා ලෙසින් ෆිල්ම්
ෆෙයාර් සම්මානයට ද පාත්‍ර වුණි. ටානියා ඩියෝල් බොබීගේ බිරිඳයි. බොබි - ටානියා යුවළට
ආර්යමාන් සහ ධර්මාම් නම් පුතුන් දෙදෙනෙකි.
හින්දි සිනමාවට පෙම් බැඳි තරුණියන්ගේ ආදරවන්තයා බවට පත්ව සිටි ධර්මේන්ද්‍ර එකල
තිරයේ සිහින කුමරියට පෙම් බැන්දේය. බොලිවුඩයේ සිහින කුමරිය ලෙසින් නම් දැරූ
හේමමාලිනී සහ ධර්මේන්ද්රගේ ප්‍රේම කථාව ආරම්භ වූයේ 1975 වසරේ
Sholay චිත්‍රපටය ද
සමඟිනි. ඒ වන විටත් සිව් දරු පියෙකු බවට පත්ව සිටි ධර්මේන්ද්‍ර සියලු පාර්ශවයන්ගේ
විරෝධතා මධ්‍යයේ හේමාමාලිනී විවාහ කර ගත්තේය. ඒ වන විට ඇය ද තිරයේ අතිශය ජනප්‍රිය
වූ රංගන ශිල්පිනියක බවට පත් වී සිටියාය.
Idhu Sathiyam තෙළිඟු චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි හේමාමාලිනී
Seeta Aur Geeta, Ami Garib, Prem Nager, Sanyasi, Kushboo.
Mehebooba වැනි සිනමා නිර්මාණ
රාශියක ආකර්ෂණීය රංගනයන් ඉදිරිපත් කළේ ලොවම වසඟයට ගනිමිනි. සිනමාව තුළ ඉහළ
සාර්ථකත්වයක් ලද ඇය ෆිල්ම් ෆෙයාර් ලයිෆ් ටයිම් සම්මානයෙන් සහ පද්ම ශ්‍රී සම්මානයෙන්
පිදුම් ලැබූයේ 2000 වසරේදීය. භාරතීය ජනතා පක්ෂයෙන් ඇය දේශපාලනයට ද සම්බන්ධ වූවාය.
ධර්මේන්ද්‍ර - හේමාමාලිනී යුවළට දියණියන් දෙදෙනෙකි. ඔවුන් ද දැන් බොලිවුඩයේ
කොටස්කාරියන් වී හමාරය. වැඩිමල් දියණිය ඊෂා ඩියෝල් Koi Mere
Dilse Poochhe
චිත්‍රපටයෙන් රංගනයට පිවිසියේ එම රංගනයට හොඳම නැඟී එන නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර්
සම්මානයට ද පාත්‍ර වෙමිනි. නමුත් ඇය හට සනි හා බොබි මෙන් රිදී තිරයේ ස්ථාවරයක් ගොඩ
නඟා ගැනීමට හැකි වූයේ නැත. Dhoom, No Entry වැනි චිත්‍රපටවල රංගනයෙන් පසු 2011
වසරේදී Tell Me Kkuda චිත්‍රපටයේ ඊෂා ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය. රංගනයට
පිවිසිය ද ඇය කුඩා කළ දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවකි. පාසල් කාලයේදී ඉතා දක්ෂ අයුරින්
පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ ඇය ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායට ද තේරී පත්ව සිටියාය.
ආහ්නා ඩියෝල් ධර්මේන්ද්‍ර - හේමාමාලිනීගේ බාල දියණියයි. දක්ෂ නර්තන ශිල්පිනික වන ඇය
චිත්‍රපට ක්ෂේත්රයේ මෙන්ම මෝස්තර නිර්මාණ අංශයෙන් ද කටයුතු කරන්නීය. ධර්මේන්ද්‍ර
බොබී සිනමාවට හඳුන්වා දීම වෙනුවෙන් 1995 වසරේදී Barsaat චිත්‍රපටය නිෂ්පාදනය කළේය.
එසේම තම ඥාති බෑණා කෙනෙකු වන අභේ ඩියෝල් සිනමාවට ගෙන ඒම වෙනුවෙන් ඉන් වසර 10 ට පසු
ඔහු Socha Na Tha චිත්‍රපටය නිෂ්පාදනය කළේය. අභේ ද මේ වන විට නළුවෙකු මෙන්ම
නිෂ්පාදකයෙක් හා පසුබිම් ගායකයෙකු ලෙසත් තම අනන්‍යතාව ගොඩනඟා ගෙන සිටින්නේය. 2011
වසරේදී Zindagi Na Milegi Dobara චිත්‍රපටයේ ඔහුගේ රංගනය ෆිල්ම් ෆෙයාර් හා අයිෆා
සම්මාන උළෙලවල හොඳම සහාය නළුවාට නාමයෝජනා විය. එහි පසුබිම් ගායනයට ද ඔහු එක් විය.
පසුගිය වසරේ තිරගත වූ One by Two චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් ද දායක වූවේය.
යතේජා ඥානරත්න
|