මම මුලින්ම තනන්නට සැරසුණේ කරුමක්කාරයෝ
මම මුලින්ම තනන්නට සැරසුණේ
කරුමක්කාරයෝ
මනමාලයෝ තිරයට කැන්දන් ආ ටී. භවානන්දන්
පැරැණි සිංහල සිනමාවේ තිරයෙන් පිටුපස ශිල්පීන් අද ජීවත්ව සිටින්නේ දෙතුන් දෙනෙකු
පමණි. ඔවුන් ද ප්‍රසිද්ධියෙන් තොර ඉතාමත් අප්‍රකට ජීවන රටාවකට හුරු පුරුදුව සිටිති.
කොටින්ම තම අසල්වාසීන් පවා ඔවුන් තම විනෝද මාධ්‍ය වෙනුවෙන් කරන ලද මෙහෙවර නොදනී.
මෙවන් පසුබිමක් තුළ දිවියේ සැඳෑ සමය ගෙවන ශිල්පියකු ඉකුත් 12 වැනි දින සිය ජීවිතයේ
83 වෙනි විය පසු කළේය. ගල්කිස්ස ඕඩියන් සිනමාහල ඉදිරිපිට අංක 199/1ර් දරන නිවසේ
හුදකලාව ජීවත් වන මේ ශිල්පියා ටී. භවානන්දන් නමින් ඔබට අමතක කළ නොහැක.
* ඔබ ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මම තුරෙයිසිංහම් භවානන්දන්. ඉපදුණේ යාපනයේ. උපන් දිනය 1931 නොවැම්බර් 12. ඉගෙන
ගත්තේ යාපනයේ හින්දු විද්‍යාලයේ. සිනමාවට ආදරය කළේ පාසල් කාලයේ ඉඳලා. මම විතරක්
නෙමෙයි හුඟක් අය එහෙමයි.
* ඔබට සිනමාවට සම්බන්ධ වෙන්න මඟපෑදුණේ?
ඔය කාලේ සුන්දර සවුන්ඩ් කියලා චිත්‍රාගාරයක් තිබුණා කඳානේ. ඒකේ අයිතිකාරයා එස්.
එම්. නායගම්. මම එයාව මුණ ගැහෙන්න ගිහින් චිත්‍රාගාරයට සම්බන්ධ වෙන්න ඇහුවා. එයා
මගේ පවුල් පසුබිම දැනගෙන එයට ඉඩ දුන්නේ නැහැ.
* ඔබ කියන ඔය කතාවේ තේරුම?
කේ. තවමනි දේවි කියන්නේ ලංකාවේ උපන් තරුණියක්. මගේ පියාගේ ඥාති සහෝදරියකගේ දුවක්.
ඇගේ පියා නීතිඥවරයෙක්. පදිංචිව සිටියේ වැල්ලවත්තේ. පසු කාලයක එයාලා ඉන්දියාවේ
පදිංචියට ගියා.
ඒ රටේ ඇය ජනප්‍රියම නිළිය බට පත් වෙන්නේ වනමෝහිනි විදියට අඩ
නිරුවතින් රඟපෑමෙන්. එස්. එම්. නායගම් එයාගේ දෙවන නිෂ්පාදනය හැටියට ඇරැඹූ
චිත්‍රපටයේ ප්‍රධාන නිළිය තවමනි දේවි. මේකේ රූපගත කිරීම් කරගෙන යද්දී නායගම්ගේ මධුර
නගරයේ පිහිටා තිබුණු චිත්‍රකලා චිත්‍රාගාරය ගින්නෙන් පිච්චුණා.
මේ සිද්ධිය මුල්
කරගෙන මොන යම් හේතුවක් නිසා තවමනි දේවි හා නායගම් අතර තරහා නෝක්කාඩුවක් ඇති වුණා.
මම තවමනි දේවිගේ කිට්ටුම නෑයෙක් නිසා නායගම් මාව චිත්‍රාගාරයට බඳවා ගන්න කැමැති
වුණේ නැහැ.
* ඔබ කියන ඔය චිත්‍රපටය සර්කස් ගර්ල්?
අන්න හරි. ඔය වගේ නමක් තමා. කඩවුණු පොරොන්දුව පෙන්නලා ටික දවසකින් බී. ඒ. ඩබ්ලිව්.
ජයමාන්න සමඟ නායගම් තරහා වුණා. චිත්‍රකලා මුවිටෝන් සමාගම කැඩී ගියා. එයාගේ දෙවැනි
චිත්‍රපටයේ ග්‍රැමෆෝන් ගායිකාවක් හා වේදිකා නළුවෙකුත් රඟපෑවලු.
* ඔබ ගත් ඊළඟ පියවර?
කොටහේනේ කිංස්ලි තියටර්ස් අයිතිකරු මගේ පියාගේ මිතුරෙක්. එයා නායගම්ගේ මල්ලි එස්.
රාමනාදන් හොඳට හඳුනනවා. චිත්‍රාගාරයේ රසායනාගාරයේ වැඩ කළ එයාගේ උදව්වෙන් සුන්දර
සවුන්ඩ් චිත්‍රාගාරයට රිංගා ගත්තා. වැඩ කරන්න ලැබුණු මුල්ම චිත්‍රපටය ප්‍රේම තරගය.
අධ්‍යක්ෂවරයා ඒ. බී. රාජ්. එයාගේ එක සහායකයෙක් මම.
* ඔබ අධ්‍යක්ෂ සහායකයකු ලෙස ගිය දුර?
නායගම්ගේ ඊළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැවරුවේ ඒ. එස්. නාගරාජන්ට. එයා චිත්‍රාගාරයේ
සංස්කරණ ශිල්පියා. ඒ. බී. රාජ්ගේ අහංකාර ස්ත්‍රී මගේ තවත් සහාය අධ්‍යක්ෂණයක්.
එයා
බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ අයියා විලී ජයමාන්න නිපද වූ පෙරකදෝරු බෑණා චිත්‍රපටය භාර
ගත් විට මා ප්‍රධාන සහාය අධ්‍යක්ෂ හැටියට තෝරා ගත්තා. මම සුන්දර සවුන්ඩ් ඒකෙන්
අයින් වී එයාට එකතු වුණා. පෙරකදෝරු බෑණා කරන කාලයේම රාජ් වාහිනි චිත්‍රාගාරය තුළදීම
ඉන්දීය නිෂ්පාදකවරයකුට දෙමළ චිත්‍රපටයක් හැදුවා.
ඒකෙත් මා වැඩ කෙරුවා. නල්ලතාන්
කියා නිපද වූ මේ චිත්‍රපටය තිරගත වුණේ සංස්කරණ ශිල්පී කේ. වෙම්බුගේ අධ්‍යක්ෂණයක්
හැටියට මනිදනේ මනවින් මානික්කම් නමින්. ප්‍රධාන චරිතය ජෙමිණි ගනේෂන්, පන්ඩරි බායි,
එන්. එම්. රාජම් රඟපෑවා.
* ඔබ පෙරළා ලංකාවට ආ පසුව?
ආයෙත් මම ඉන්දියාවට තනිවම ගියා. ඒ ගමනේදී මයිලාපූර්වල පදිංචිව සිටි තවමනි දේවි සොයා
ගොස් මාව චිත්‍රාගාරයට ඇතුළු කරන ලෙස ඉල්ලුවා. ඇය මාව රෝයල් ස්ටුඩියෝ එකට යැව්වා.
කලින් ස්ටාර් කොම්බයින් ස්ටුඩියෝ කියා රාමයියා නැමැත්තෙක් පවත්වාගෙන ගිය ඔය
චිත්‍රාගාරය ඒ වෙන කොට බදුගෙන සිටියේ ලංකාවේ කෙනෙක්. එයා තමා දේව සුන්දරී නිෂ්පාදක
එම්. එච්. එම්. මුනාස්. එයා මගේ අවශ්‍යතාවය ඒතරම් සැලකිල්ලට ගත්තේ නැහැ.
* ඔබේ මේ ප්‍රයත්නය අඩාලවීමෙන් පසු?
සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ සේවය කළ එම්. ඩී. සුමනසේකර ස්වාධීන කැමරා ශිල්පියකු
හැටියට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට එකතු වෙලා හිටියා. එයා මාව ජයමාන්නට හඳුන්වා
දුන්නා. ඔය විදියට වනලිය, හදිසි විවාහය, කවට අන්දරේ, මංගලිකා වගේ චිත්‍රපටවලට
අධ්‍යක්ෂණයෙන් සහාය වුණා. සුජාගේ රහස, ගංතෙර, සුහද දිවි පිදුම යන චිත්‍රපටවලත් වැඩ
කෙරුවා.
* ඔබ සහාය අධ්‍යක්ෂණයෙන් සංස්කරණයට මාරු වෙනවා?
චිත්‍රපට රූපගත කිරීම් අවසන් වුණාම බොහෝ විට ගැවසුණේ සංස්කරණ මැදිරි අතුළේ. මෙයින්
ලැබුණු අවබෝධය හා අත්දැකිීම් නිසා 1966 කිංකිණිපාද චිත්‍රපටය සංස්කරණය කරන්න
ලැබුණා.
ඊට පස්සේ සිහින හතක්, සුදුසුදා සංස්කරණය කළා. තුෂාරාගෙන් පටන් ගත් යසපාලිත
නානායක්කාර සමඟ වැඩ කිරීම ගැහැනියක්, මොනරතැන්න, රෝසි දක්වා පැවතුණා. එයාගේ ගීතිකා
සිංහල චිත්‍රපටයෙත්, ඒකේ දෙමළ නිෂ්පාදනය අනුරාගම් චිත්‍රපටයෙත් සංස්කරණ ශිල්පියා
මම.
* ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වුණේ?
සහාය අධ්‍යක්ෂවරයකුට හා සංස්කරණ ශිල්පියකුට චිත්‍රපටයක් මෙහෙය වන්න සුදුසුකම්
වැඩියි. මම ලබා ගත් දැනුම ප්‍රයෝජනයට ගන්න හිතාගෙන කරුමක්කාරයෝ නවකතාව සිනමාවට
ගේන්න උත්සාහයක් ගත්තා.
ගුණදාස අමරසේකරගේ අවසරය මත තිර නාටකය ලිවීමට කිහිප
දෙනෙකුගෙන් විමසුවා. සුදුස්සෙක් හමු වුණේ නැහැ. ඒ අදහස අතහැර දැම්මා. බොරැල්ලේ
සයිකල් බසාර් අධිපති ඩී. එම්. හෙට්ිටිආරච්චි එකවර චිත්‍රපට තුනක් නිෂ්පාදනය කරන්න
අදහස් කොට එක චිත්‍රපටයක් මා වෙත පැවරුවා.
මේ සඳහා මම මුලින්ම තෝරා ගත්තේ ඩබ්ලිව්.
ඒ. සිල්වාගේ ජූලි හත නවකතාව. නමුත් ඒකේ භාරකරුවන්ගෙන් අවසර ලැබුණේ නැහැ. ඒ නිසා
විනෝදයට බර තේමාවක් මුල් කරගෙන මනමාලයෝ 1967 නිර්මාණය කළා. මේක සර්ව සුන්දරම්
චිත්‍රපටයට සමාන වුණත් කොපියක් කියනවාට මම සතුටු නැහැ.
* ඔබ සිනමාවෙන් සමුගැනීම?
කාලයක් ජර්මනියේ පදිංචිව සිටියා. සිනමාවෙන් දුරස් වෙන්න ඒක හේතුවක්. අනික වයසට යන
කොට කොයි කවුරුත් ඊළඟ පරම්පරාවට ඉඩ දෙන්න ඕනෑ. මම දැන් මහලුයි. අසනීප තත්ත්වයෙන්
ඉන්නේ. අමාරුවෙන් වැඩ කරන්න මට වුවමනා නැහැ.
* ඔබේ සේවය වෙනුවෙන් කරන අවසන් ඉල්ලීම?
අපි වැඩ කරන කාලේ ගෙවීම හරි අඩුයි. අද වැඩියි. අපි නොලබපු වරප්‍රසාද නව පරපුර ලබා
ගැනීම ගැන දැනෙන්නේ පුදුම සතුටක්. මගේ සේවය අගය කර චිත්‍රපට සංස්ථාව මුදලක් ලබා
දෙනවා. මගේ බිරිඳ මිය ගිහින්. අපිට දරුවන් නැහැ. මාව මතක තියෙන රසිකයන් ඉන්නවා නම්
හැකි විටක 071-3017116 කතා කරන්න. ඒ ඇති.
රූපසේන සිල්වා
|