විචාර කලාවේ විකිපීඩියාව

විචාර කලාවේ
විකිපීඩියාව
ලාංකික සිනමා විචාර කලාවේ දැනට ජීවත්ව සිටින පැරණිතම සිනමා විචාරකයාගේ උපන් දිනය
මෙම දෙසැම්බර් තුන් වැනි දිනට යෙදී ඇත්තේය.මේ සිනමා විචාරකයා වෙන කවුරුවත් නොව
මාධ්‍ය ගුරු ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ය.ආරියදාස මහත්තයාට ආචාර්ය උපාධියක් පිරි
නැමුණේ ඔහුට අවුරුදු අනූව පැන්න පසුය.ඒ පිරිනැමීමෙන් ආචාර්ය උපාධිය මහාචාර්ය ගෞරවය
දිනා ගත්තේය.එහෙත් ආරියදාස මහත්තයා ගේ ගුරු හරුකම් මැද නිබන්ධන ලියා ගත් නැතහොත්
ඔහු විසින්ම නිබන්ධන ලියා දුන් ඇතැම් මාධ්‍ය ඔස්තාද් ලා ආචාර්ය උපාධි දිනා ගත්තේ
බොහෝ කලකට පෙරය.එය වෙනම කතාවකි.
මෙරට සිනමා විචාර කලාව අපේ සිනමාවේ කතානාද සිනමා ඉතිහාසයට වඩා පැරැණිය.කතානාද
සිනමාව අපේ රටට පහළ වනුයේ 1947 වසරේ වුව ද විදේශිය චිත්‍රපට සම්බන්ධ ඇතැම් සිනමා
විචාර පළවනුයේ එයට වඩා අතීතයේ සිටය.කොහොමටත් කඩවුණ පොරොන්දුව තිර ගත වන්නට දශකයකට
පමණ පෙරාතුව එකල පළකරන ලද ස්වදේශීය මිත්‍රයා වැනි පුවත්පතක් සිනමාව සඳහා පිටුවක්ම
වෙන් කර දීමෙන් එය සම්බන්ධ රටේ තොටේ තිබුණ උනන්දුව පෙන්වා දිය හැක. ලොව එතෙක්
මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන සිටිසන් කේන් චිත්‍රපටය කොළඹ
ඔලිම්පියා සිනමාහලේ තිර ගත වනුයේ ද කඩවුණ පොරොන්දුව හදන්නට කලිනි.එමෙන්ම දකුණු
ආසියාවේ පැරණිතම සිනමා සමාජය වන කොළඹ සිනමා සමාජය පිහිටුවා ගනුයේ ද මුල්ම සිංහල
කතානාද චිත්‍රපටය තිර ගත වන්නට කලිනි.එහෙත් අවාසනාවට සිනමාවේ ඇති වන මෙම ප්‍රබෝධය
පොදු මහජනයා වෙත සමීප වන්නට ක්‍රමවේදයක් නොවිණ.
එයට හේතුව වනුයේ මෙම කලා ප්‍රබෝධය
පවතිනුයේ එවකට කොළඹ ජීවත් වන ඉංගීසි උගත් සමාජ තලයේ පමණක් වීමය.එබැවින් හොඳ
සිනමාවක් ලෙස පොදු ජනයා වෙත සමීප වනුයේ තොග ගණනේ ඉන්දියාවේ සිට ආනයනය කළ චිත්‍රපට
ගොන්නය.එයින් මද කිපුණ අපේ සමහරු එවකට අතිශය ජනප්‍රිය දෙමළ චිත්‍රපටය වන චින්තාමණි
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන අශ්වතම්මා නම් නිළිය දකින්නට මදුරාසි යන්නට තම
ඉඩකඩම් උගස් කළ බව අපේ සිනමා ඉතිහාසයේ ප්‍රසිද්ධ කතාවකි.අපේ මුල් යුගයේ සිංහලෙන්
සිනමා විචාර ලියැවුණේ ද එම ආභාසය මුල් කර ගෙනය.කතාව හොඳ නම් චිත්‍රපටය
හොඳය.ආදර්ශවත් වන්නේ නම් තවත් හොඳය.අපේ දෙවැනි නිහඬ චිත්‍රපටය වන පලිගැනීම ලත් තැනම
ලොප් කරන ලද්දේත් දෙවැනි කතානාද චිත්‍රපටය වන අශෝකමාලා සඳහා සාධාරණය ඉෂ්ට නොවුනේ ද
මෙම ඊනියා සිනමා විචාර කලාව නිසාය.
එහෙත් මේ සිනමා විචාර කලාවට විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස පැමිණෙනුයේ සිනමා
මාධ්‍යය පිළිබඳ අවබෝධයෙන් සහ ලාංකික සංස්කෘතියේ ලක්ෂණය ද ඇතිවය.ඔහු කොළඹ උපන්නෙකු
නොවේ.හැදෙනු වැඩෙනුයේ ගාල්ලට නුදුරු උණවටුන ගම්මානයේ ය. මුලින් ඉගෙනුම ලබනුයේ
උණවටුනේ බෞද්ධ පාසලේය.දෙවැනුව ගාල්ලේ මහින්ද විද්‍යාලයේය.එබැවින් එවකට අපේ
මිනිසුන්ගේ සිනමා සංස්කෘතිය පිළිබඳ කියා දෙන්නට ඔහුට අමුතුවෙන් වුවමනා නොවීය.පසුව
ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකු වන්නේය.එහි ඔහුගේ සමකාලින ඇතැම් සිසුන් කොළඹ ඉහල
යැයි සම්මත සංස්කෘතියේ සහ විදග්ධ කලාවෙන් ද ඇසුර ලබා ගත් අය වූහ.ආරියදාසයන් අනතුරුව
යොමුවනුයේ ඉංග්‍රිසි පුවත්පත් කලාවටය.නැතහොත් ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර්
පුවත්පතටය.ඒ 1949 වසර තරම් අතීතයේය. ඔහුට රැකියාව ලබා දෙනුයේ ලේක්හවුස් ආයතනයේ
නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතානන්ය.ආරියදාස මහත්තයා ඒ බව අද පවසන්නේ ආඩම්බරයෙනි.
පෙර පරම්පරාවේ සිනමා විචාරකයන්ට වඩා ආරියදාසයන් වෙනස් වන මූලික ලකුණ වනුයේ ඔහු
සංස්කෘතින් දෙකක ආභාසය ලැබීමය.ඔහු ආදර්ශවත් චිත්‍රපට කතා ගැන කියනවාට වඩා එහි සිනමා
රූපී බව දැන සිටියේය.සාමාන්‍ය මිනිසුන්ට තේරෙන බසින් ලියන්නට ද දැන උන්නේය.ඔහු
හැදුණ සංස්කෘතිය ද වැඩුන සංස්කෘතිය ද දෙකකි.එමෙන්ම එයට පෙර සිටි විචාරකයන්ට වඩා
සිංහලයෙහි මෙන්ම ඉංගිරිසියෙහි ද ආරියදාසයන් කෙළ පැමිණියෙකි.ඉංග්‍රීසියන් සිතා
සිංහලෙන් විචාර ලියන්නට ඔහුට වුවමනාවක් නැත.එමෙන්ම ඉංග්‍රිසියෙන් සිතා සිංහලෙන්
ලියන්නට වුවමනාවක් ද ඔහුට නොවීය.1950 වසර වන විට සිනමාව පිළිබඳ මෙරට උසස් යැයි
සම්මත මිනිසුන්ගේ තිබුණේ එය කුස්සි අම්මලාගේ කලාවක් හැටියටය.
මහාචාර්ය
සරච්චන්ද්‍රයන් සිය පින් ඇති සරසවි වරමක් දෙන්නේ ග්‍රන්ථෙයහි එය බව මනාව කියාපාන්නේ
මනමේ නාටකය වේදිකා ගත කිරීම පිළිබඳ සිය අත්දැකීම් ගෙන හැර පාමිණි.මේ තත්ත්වයම එදා
රේඛාව නිර්මාණය කරන අවදියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මුහුණ දෙන්නට සිදු වුණ
කරුණකි.එම තත්ත්වය වෙනස් කරලීමටත් සිනමාකරුවන් උනන්දු වූයේ යම් ආකාරයෙන් ද ඒ
ආකාරයෙන්ම සිනමා විචාර කලාවේ දියුණුවක් ද අවශ්‍ය විය.ගැටලුව වූයේ ලෝක සිනමාවේ
සිදුවන්නේ කුමක්ද යන්න සමකාලින ඇතැම් සිංහල සිනමා බොහෝ විචාරකයන් දැන නොසිටීමය.මේ
බොහෝ සිනමා විචාරකයන් ඒ වන විට දැක තිබුණ ලොව විශිෂ්ටතම සිනමා කෘතිය මදර් ඉන්ඩියා
බැව් ඇතැම් තැනක පළවනුයේ අතිශයෝක්තියෙන් නොවන වග පැරණි සිනමා ලිපි පරිශීලනයේ දී
පෙනී යන්නකි.එමෙන්ම අද මෙන් නොව ලොකයේ සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට තිබුණ
මාර්ගය ද ඉතා දුෂ්කර එකක් වූයේය. එබැවින් එකල සිටි සිනමා විචාරකයන් පිළිබඳ දොස්
නැගීම ද යුතු නැත.මේ ඇතැම් දෙනෙකුට රේඛාවේ වටිනාකම පමණක් නොව ගම්පෙරළිය, දෙළොවක්
අතර නිධානය වැනි චිත්‍රපට කියවීමට හැකියාවක් තිබුනේ ද නැත.
අනිත් අතට ඇතැම්
විචාරයන්ගේ අවශ්‍යතාව තිබුණේ ඉන්දියානු අනුකරණවාදි සිනමාවෙන් ප්‍රෙක්ෂකයා ඈත්
කරවීමය.ඒ සඳහා ඔවුන් උපයෝගී කර ගත්තේ ඉතා ප්‍රහාරාත්මක සහ අල්ලලා යන වාග් මාලාවකි
.එඩ්වින් ආරියදාසයන් ගේ සිනමා විචාර සහ ලිපි කලාව එයින් බැහරැ ව යනුයේ එහිදීය.ඔහු
ප්‍රහාරාත්මක ආකාරයෙන් චිත්‍රපට විචාර කලාවට යොමු වනවාට වඩා ලෝකයේ හොඳ සිනමාව
පිළිබඳ පාඨකයා දැනුවත් කිරිමේ වගකීම බාර ගත්තේය ඒ සඳහා ඔහුට මහත් ආලෝකයක් වනුයේ
සරසවිය පුවත්පතයි.පුවත්පතේ මුල් යුගයේම ලොව වඩා හොඳ සිනමාව කවරේ ද යන්න පමණක් නොව
සමකාලින සිනමාව පිළිබඳ ඉතා වැදගත් ලිපි මාලාවක් මගින් පාඨකයා දැනුවත් කිරීමේ වගකීම
ඉතා හොඳීන් ඔහු ඉෂ්ට කළේය.
වර්තමානය මෙන් නොව එකල චිත්‍රපට නැරඹීම මහත් දුෂ්කර බව
අප අමතක කළ යුතු නොවේ.එහෙත් ප්‍රංශ නවරැල්ල ගැන ඉතාලි නව තාත්වික වාදය ගැන පමණක්
නොව සත්‍යජිත් රායි ලා ගැන ද සිංහල පාඨකයන් මුල් වරට කියැවුයේ එඩ්වින් ආරියදාසයන්ගේ
පරම්පරාව ට පින්සිද්ධ වන්නටය. ඔහු මෙන්ම සිනමා බස දැන විචාර ලියන පනහ දශකයේ
පරම්පරාවේ කිසිවකු අද අතර නැත. ඔවුන් බොහොමයක් වියපත් වත්ම සිනමා විචාරයේ නියැළුණේ
ද අල්ප වශයෙනි. එමෙන්ම එම සිනමා විචාරකයන් අතර පුවත්පත් කලාවේදීන් සිටියේ ද දෙතුන්
දෙනෙකි.
ඔවුන් සිය වෘත්තියෙන් සමුගත් පසු පුවත්පතකට ලියන ලද්දේ ඉඳහිටය. එඩ්වින්
ආරියදාසයන් සිය ජීවිතයේ අනූව වැනි සැතපුම් කනුව පසු කරන ලද්දේ දැනට දෙවසරකට
පෙරය.ඔහු උපත ලබන්නේ 1922 වසරේ දෙසැම්බර් තුන් වැනිදාය.එහෙත් මේ කදිම ඉලන්දාරි
මහත්මයා තවමත් සිනමා විචාරයේ යෙදෙයි.හොල්මන් කතා සහිත චිත්‍රපට බලන්නට අකමැති නමුත්
සෙසු චිත්‍රපට බලන්නට යෑම කිසිවිටෙකත් ඔහු අත හැර නොමැත.හොඳ සිනමා කෘතියක් පිළිබඳ
ඔහුගේ රස වින්දනය ඔහු මෙන්ම තරුණය.එදා මෙදා සිනමා පරම්පරාවන් සියල්ල ගේ චිත්‍රපට
ගෞරවයෙන් වැලඳ එය නිසි ලෙස විචාරය කරන්නට තරම් ඔහු යාවත්කාලින විය.පසුගිය වසර
ගණනාවක් මුළුල්ලේ සරසවිය ඇතුළු බොහෝ සිනමා සම්මාන උළෙලවලදී ආරියදාසයන්ගේ යාවත්කාලින
සිනමා දැනුම නව පරපුරේ සිනමාකරුවන් රැසකට නිසි වටිනාකම් ලබා දුන්නේය.
සිනමා පත්තර කලාවේ දි එඩ්වින් ආරියදාසයන් වෙතින් ලද අත්වැල අප වැන්නවුන් ට
කිසිකලකත් අමතක වන්නේ නැත.මා සිනමා පුවත්පත් කලාවට පැමිණි මුල් දවස්වල එඩ්වින්
ආරියදාසයන් මට හඳුන්වා දුන්නේ අභාවප්‍රාප්ත සිනමාවේදි අමරනාත් ජයතිලකයන් විසින් බව
මගේ මතකයයි .ඒ දවස්වල මා උන්නේ ආරියදාස මහත්තයා ජීවත්ව සිටින නිවසේ සිට කිලෝමීටර්
භාගයක් පමණ දුරකය.මගේ සිනමා උනන්දුව ඔහු බෙහෙවින් අගය කළේය.එපමණක් නොව ඒ දවස් වල
තානාපති කාර්යාලවල හෝ ඇතැම් සිනමා දර්ශනවලට ආරාධනා ලැබෙද්දි මා කැටුව ගියා පමණක්
නොව එහි හමුවන ලොකු මහත්වරුන්ට ලොකු රෙකමදාරුවකින් යුතුව මා හඳුන්වා දෙන්නට ද ඔහු
පසුබට නොවීය.මේ අතහිත මට පමණක් නොව පරම්පරා ගණනක බොහෝ තරුණයන්ට ලැබුණ වගද මම සඳහන්
කරන්නට කැමැත්තෙමි.කලකට ඉහත ආරියදාස මහත්තයා සම්බන්ධයෙන් මගේ ගෞරවය වැඩි වුන
සිද්ධියක් මෙහිලා සඳහන් කළ යුතුය.ඒ ඩයනා කුමරියගේ හදිසි මරණය සිදුවූ
දවස්වලය.පැපරාසි නම් වචනය අපේ ජනවහරට එන්නේ ඒ දවස්වලය.
මේ පැපරාසි යන වචනය හැටේ
දශකයේ පමණ ලෝකයට පිවිසි වචනයක් බැව් ආරියදාස මහත්තයා මට පැවසුවේය.මගේ ඔළුවට ආවේ ඒ
දවස්වල මා කියවමින් සිටි තිරනාටකයක එන චරිතයක් ගැනය. එම චිත්‍රපටය නැරඹුවේ ද එම
දවස්වලය. චිත්‍රපටය ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ල ඩොල්ස් විටාය. පැපරාසෝ එහි එන චරිතයකි.මම
එඩ්වින් ආරියදාසයන්ටමේ බව කියා සිටියෙමි.පසුවදා ආරියදාස මහත්තයා ඩයනාගේ අවමගුල ගැන
ටෙලිවිෂනය ඔස්සේ සජිව විකාශයක් ගෙනාවේය.ඔහු පැපරාසි යන වචනයේ ඉතිහාසය මනාව විස්තර
කළේය.එපමනක් නොව මේ චරිතය සිනමා චරිතයක් බවත් එය ආරියදාස මහත්තයාට පැවසුවේ මා බවත්
කියා සිටියේය.ඒ කාලෙය් මා පිළිබඳ අද තරම් වත් ලෝකය දන්නේ නැත.
කෙතරම් කාර්ය බහුල වුවත් එඩ්වින් ආරියදාස මහතානන් සිය දැනුම කිසිවෙකුට බෙදා දෙන්නට
දෙවරක් සිතන්නේ නැත.අද පවා ඇතැම් ඉංග්‍රීසි වචනක සැබෑ නිරුක්තිය සොයන්නට බොහෝ විට
සොයන්නේ ඔහුය.එය අප හඳුන්වන්නේ වචනයක් අහගන්න කතා කළා යනුවෙනි.මම ඔහේට හොඳ වචනයක්
කියන්නම් ආරියදාස මහත්තයාගේ සරල පිළිතුර එයයි.අනතුරුව ඒ පිළිබඳව ඔහු දන්නා සියලු දේ
ඔහු කියා සිටින්නේය.එක් අතකින් භාෂා ද්විත්වයෙන්ම උගත් මිනිසුන්ගේ අඩුව දැනෙන්නේ
ආරියදාස මහත්තයා ගැන විමසා බලද්දීය.එකී පරම්පරාවේ අද ඇත්තේ අතළොස්සකි.මේ
පරම්පරාවෙන් පසු ශබ්දකෝෂයක් හැර වෙනත් පිහිටක් අපට අහිමි වනු ඇත.එහෙත් ශබ්දකෝෂය යනු
වචනාර්ථයන් ගොන්න පමණී.
ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස අදට ද ජීවමාන සංකේතයක් වන නමුත් පුවත්පත් කතුවරයකු ලෙස
ඔහුට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක් නොවේ.ඔහු පුවත්පත් කතුවරයකු වූයේ නවයුගය පුවත්පතේය. එකල
අපි පාසල් සිසුන් වීමු.නවයුගය එකල අපට දැනුම් සම්භාරයක් ගෙනාවේය.එහෙත් ඔහුගේ
ලිපියක් නොපළවුන එකදු සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පතක් ලේක්හවුස් ආයතනයේ නොවීය.අවුරුදු
ගණනාවක් ප්‍රධාන පුවත්පත් වල කතුවරුන් ව සිටිය ද එයින් බොහෝ දෙනා ගැන දන්නේ
නැත.එහෙත් ආරියදාස මහත්තයා මාධ්‍ය ලෝකයේ අදටත් සජීවි චරිතයකි.
ඔහු සතු දැනුම්
සම්භාරය එතරම්ය. ඇත්ත නම් අප ඔහුගෙන් නෙළා ගත්තේ දැනුම් සම්භාරයෙන් සිනමාව සම්බන්ධ
සහ ඉඳහිට සොයා බලන වචන නිරුක්තියන් වැනි අතළොස්සක් පමණී.එහෙත් ලෝකය පිළිබඳ ඔහු සතු
දැනුම ද ඉතා පුළුල් එකකි.එදා අප වැනි ගැටවරයන්ට විකිපීඩියාවක් වූයේ ඔහු වැන්නන්ය.මේ
විකිපීඩියාව අද පරිගණකයේ ඇති විකිපීඩියාව මෙන් ඩවුන්ලෝඩ් වන්නට වෙලා ගන්නේ ද
නැත.වැරදි කරුණු කියා සිටියේ ද නැත.එහි වැදගත් වනුයේ එය දිනපතා යාවත්කාලින කරන්නට
තරම් ඔහු සැදී පැහැදී සිටීමය.මේ දැනුම දුහුනන් දැනුම් උදෙසා ගලා ගියේය.මාධ්‍ය ලෝකයේ
ඔහුගේ යාවත්කාලින වීම කෙතරම් ද යත් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට මාධ්‍ය විෂයක් කොට
ගන්නට පිහිට වූයේ ද ඔහුය.එහෙත් ඔහුට ආචාර්ය උපාධියක් නොවිණ.අවසානයේ ඔහුට එය පිරි
නැමෙන්නේ විශ්ව විද්‍යාල සනාතන සභාව මගින් තීරණය කළ පසුය. ඒ කළ ගුණ දත් මිනිසුන්
එහි සිටි නිසාය.
මාධ්‍ය ලෝකයේ පරම්පරා ගණනාවකට ගුරු වූ ආරියදාස සූරීන්ට නැතහොත් සිනමා විචාර කලා වේ
ජ්‍යෙෂ්ඨයාට සුබ උපන් දිනයක් වේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි.
එඩ්වින් ආරියදාස
අපේ මාධ්‍ය ගුරුතුමන්ට දීඝායු වේවා
|