වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ලාස් යනවා කියලා රඟපාන්න ගියා

ක්ලාස් යනවා කියලා රඟපාන්න ගියා

ප්‍රීති විජේසිංහ නිළියක වීම පිටුපස ඇත්තේ අපූරු කතාවකි. ගෙදරට මුසාබස් පවසා මල් දෙවැට ටෙලි සිතුවමේ දර්ශන තලයට පැමිණි ඇය එහි නිමාලි වෙමින් රංගනයට පිවිසියාය. මෙලෙස නිවැසියන්ට වහං වෙමින් ප්‍රීති දින ගණනාවක්ම එයට සිය රංගන දායකත්වය ලබා දුන්නාය. ස්වාධීන රූපවාහිනියේ මල්දෙවැට විකාශය වීම ඇරැඹීය.

අම්මේ අන්න මං ඉන්නවා.

ප්‍රීතිට ඉබේම කියවුණේ එහි සිටින තමාගේ රුව දැකීමෙනි. ඇගේ මව, පියා ඇතුළු පවුලේ අය විස්මයෙනුත් විස්මයට පත් විය.

* ඇයි ප්‍රීති හොරෙන් රඟපෑවේ? අඩුම ගානේ ගෙදරටවත් කිව්වෙ නැති හේතුව මොකක්ද?

පුංචි කාලේ ඉඳලා මට ඕනෑ වුණේ නිළියක වෙන්න. මම ඒ බලාපොරොත්තුව ගෙදර අයට කිව්වම එයාලා තදින් විරුද්ධ වුණා. රඟපාන්න ගියොත් අනාගතයක් නැති වේවි කිව්වා. මට හරියට දුක හිතුණා. මට මගේ හැකියාව පෙන්වලා කොහොම හරි ගෙදර අයගෙන් කැමැත්ත ගන්නයි මට වුවමනාව තිබුණේ. ඔය අතරතුරදි මට අහම්බෙන් චන්දන ධර්මප්‍රිය මහත්මයා හමු වුණා. ඔහුගෙන් තමයි මට මල් දෙවැට නාට්‍යයට ඇරැයුම ලැබුණේ. දෙලොවත් අතර තනි වුණා. අන්තිමේ මම තීරණය කළා ගෙදරට නොකියා රඟපාන්න. එතකෙට මම කොළඹ නැවතිලා හිටියේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ක්ලාස් යනවා කියලා රුගත කිරීම්වලට සහභාගි වුණා.

* නාට්‍ය විකාශය වෙන කොට ගෙදර අයට ඔබව පෙන්නුවනේ. එතකොට ලැබුනු ප්‍රතිචාරය කොහොමද?

මම හිතුවට වැඩිය දරුණුයි. අපේ තාත්තා ටිකක් සැරයි. මට හොඳටම බැන්නා. කාලයක් යනතුරු මගෙත් එක්ක කතා කළේ නැහැ ගෙදර අය.

* තවමත් එහෙමද?

නැහැ, දැන් ඒ අය දන්නවා මම රඟපාන්න දක්ෂයි කියලා. මට ගෙදර අයගෙන් හොඳ සහායක් මේ වෙන කොට ලැබෙනවා.

* ප්‍රීති මේ දවස්වල ඉන්න නාට්‍ය කිහිපය මතක් කරමු?

ජයලත් මනෝරත්නගේ ඊළඟට මොකද වෙන්නේ එකක්. එහි මම චමරි. සම්පත් ශ්‍රී රෝෂන්ගේ ධවල කඳුළු තමයි අනෙක් නාට්‍යය. සමන්ති නම් වූ ගැමි තරුණීයකටයි ඒකේ මම රඟපාන්නේ.

* මල් දෙවැටෙන් පසුව ඔබ නාට්‍ය ගණනාවක විවිධ චරිත මැව්වා. ඒවා මතක් කළොත් හොඳයි නේද?

සිහිනයකි ජිවිතේ, තඹ පාට හැන්දෑව, දියමත ලියමි, සංසාරේ පිය සටහන්, තාත්තේ අපි ආවා. ඉස්සරහට යන්න වැනි නාට්‍ය ගණනාවක මම රඟපෑවා.

* ඒ අතරින් ඔබව වඩාත්ම ජනප්‍රිය කළේ?

දිය මත ලියමි නාට්‍යයෙන්.

* කොහොමද රංගන ජීවිතය? සුන්දරද?

හොඳයි. වරදක් නැහැ. හැබැයි අසාධාරණකම් සිදු වන කොට මේවා සේරම දමලා ගහලා යන්න හිතෙනවා.

* මොකක්ද ඔබට වුණු දරුණුම අසාධාරණකම?

මට ඒක කියන්න බැහැ. අසාධාරණකම් ගැන කියනවා නම් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න බලාගෙන කියන්න ඕනෑ.

* පොඩි කාලේ ඉඳලා රඟපාන්න ආසයි කියලා කිව්වනෙ. කවුද ඔබ ඒ කලේ ඉඳලා අනුකරනය කරපු නිළිය?

මාලිනී ෆොන්සේකා මහත්මියව.

* මොනවද ඔබ නරඹා තිබෙන ඇය සිටි චිත්‍රපට?

නම් වශයෙන් කියන්න අමාරුයි. ගොඩක් ඇගේ චිත්‍රපට බලලා තියනවා. ඇය කතා කරන විදිහට කතා කළා. හිනා වුණා. ඇවිද්දා.

* මාලිනී ෆොන්සේකා සමඟ රගපාලා තියෙනවාද?

තවම නැහැ. මම හිතන්නේ නාලක තලගල අධ්‍යක්ෂණය කරන කෙම්මුර කලුවර නාට්‍යයේදී ඇයත් එක්ක එකට රඟපාන්න ලැබේවි.

* රංගනයෙන් ආර්ථික වාසි තියෙනවාද?

දැන් හොඳයි. රඟපාන්න ආපු මුල්ම කාලේ රඟපෑවේ නොමිලයේ.

* දැන්?

මට වටිනාකමට සරිලන මුදලක් මම ගන්නවා.

* හිතමිත්‍ර අධ්‍යක්ෂවරයෙක් පසුව මුදල් දෙන පොරොන්දුවට චරිතයකට කතා කළොත්?

චරිතෙ හොඳ නම් නොමිලයේ යනවා. මොකද මට වටින්නේ මුදලට වැඩිය රඟපාන්න ලැබෙන චරිතයයි.

* කලාකරුවන්ගේ සංවිධානවල ඔබ සාමාජිකයෙක්ද?

ඔව. ටෙලිනිස ඇතුළු කලා සංසද කිහිපයක මම ඉන්නවා.

* ඒවායේ ඉඳලා මොනවද ඔබට ලැබුණේ?

අපට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම විසිර සිටින කලාකරුවෝ එවන් තැන්වලදී එකතු වෙනවා. එතකොට නව පරපුර නියෝජනය කරන අපට අපි නොදන්න අධ්‍යක්ෂවරුන්ගෙන් රංගනයට අරැයුම් ලැබෙනවා. එවන් වූ අවස්ථා මට ලැබිලා තියෙනවා.

* ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය රූගත කරද්දී ඔබ පිටුපස බල්ලෙක් පැන්නුවලු නේද?

එදා තමයි මගේ ජීවිතේ වැඩිපුරම බය හිතුණ දවස. සාමාන්‍ය ප්‍රමාණයක නෙවෙයි තඩිම තඩි බල්ලෙකුයි පස්සෙන් පැන්නුවේ. දුවන ගමන් මාව වැටුණා. බල්ලා ළඟට ඇවිත් ඉව කරන්න පටන් ගත්තා. මට වලහගේ කතාව මතක් වුණා. ටික වේලාවකින් ඉව කරලා ඉව කරලා ඌ ගියා. පූරුවෙ පිනකට හැපුවෙ නහැ.

* ප්‍රීතිගේ ගම කොහෙද?

බලංගොඩ.

* ඉගෙන ගත්තේ?

කොටවෙල මංකඩ මහ විද්‍යාලයෙන්.

* පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි.

* පෙම්වතා?

පෙම්වතෙක් හිටියා. ඒත් දැන් නැහැ.

* ඔහු ඔබෙන් සමු ගත්තද?

ඔව්.

* ඒ මොකෝ?

මගේ නාට්‍ය ජීවිතය එයා තේරුම් ගත්තේ නැහැ. ඔහු හිතන්නේ මේක එක ජොබ් එකක් පමණක් කියලා. මට නයිට් ෂූටිං තියෙනවට ඔහු කැමැති නැහැ. එහෙම බැහැනෙ. අන්තිමේදී තීරණය කළා අපි වෙන් වෙන්න.

* ආයෙ පෙම්තියක් වෙන්න අදහසක් නැතිද?

මේ ක්ෂේත්‍රය තේරුම් ගත්ත කෙනෙක්ව තමයි ආයෙත් මම හොයා ගන්නවා නම් හොයා ගන්නේ.

* ජනප්‍රිය නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත්?

ම්ම්ම් . . . ඒ ගැන කියන්න බැහැ. නළුවා හොඳ නම් කැමැත්ත දෙනවා.

* ඉතිහාස කතා චිත්‍රපට රැල්ල ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඉතිහාස රැල්ල හොඳයි. ඒවා නිසා අපට ඉතිහාසය ගැන දැනගන්නට පුළුවනි.

* එතකොට මෙගා රැල්ල?

ඒකත් හොඳයි. මෙගා හින්දා අපි වගේ අයට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. මෙගා නාට්‍යවල චරිත වැඩියිනෙ. ගොඩක් නවකයින් එළියට එන්නේ මෙගාවලින්.

* කවුද ප්‍රීතිට උදවු කරපු අය?

චන්දන ධර්මප්‍රිය, විරාජ් රත්නායක, නාලක තලගල, අර්ජුන කමලනාත්, ජයලත් මනෝරත්න, ඉරේෂ් ලොකු බණ්ඩාර, සම්පත් ශ්‍රී රෝෂන්.

* ඔබ ගැන ඔබම කෙටියෙක් හඳුන්වා දෙන්න?

ටිකක් නපුරු හොඳ හදවතක් තියන සංවේදී කෙනෙක්.