|
|
ඔබගේ ජීවිතය නමැති පොතෙන් මා උගත් පාඩම් බොහෝය
මවක මෙන් ජීවිතයට සමීප වූ ආදරණීය නැන්දණිය පිළිබඳ සේමිණිගේ සෙනෙහෙබර මතකය
රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩගේ නැන්දණිය මිය ගොස් අදට සතියක පමණ කාලයක් ගත වී තිබේ. ඇගේ ජීවිත ගමනට මනා රුකුලක් වූ නැන්දණියගේ හදිසි වියෝව සේමිණීගේ හදවත දුකට පත් කළේය. ඒ දුක ඕ අප හා බෙදා ගත්තේ මෙලෙසිනි. මෑණියනි, හිරුගේ රශ්මියෙන් ලෝකය ශක්තිවන්ත වන්නා සේ ඔබ සතු ශක්තියෙන් අපි ශක්තිවන්තයෝ වීමු. බේදයක් නොැමතිව සැමටම සිය පහස ලබා දී නැවුම් ජිවිතයකට මග පාදා දෙන හිරු කිරණ මෙන් ඔබ ද අප සැමගේ ජීවිතය නැවුම් මඟකට යොමු කළේ අපට නොදැනෙන අයුරිනි. ඒ බව පසක් වන විට ඔබ අප අසල නොමැතිවීම සිත සංවේගයට පත් කරයි. ඒ දැඩි දුක්ඛදායක හැඟීමක් අපගේ හදවත පත්ලේ සිර කරමිනි.
එදින ද ආරම්භ වූයේ සුපුරුදු ලෙස ගෙවී ගිය දවසක ඇරැඹුම සනිටුහන් කරමිනි. නිවෙසේ දුරකථනය නාද දෙන්නට විය. දුරකථනය ගත් විගස ගලා ආවේ ඔබගේ ස්වරයයි. ‘චූටි පුතේ මට ටිකක් අමාරුයි. මාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න’ ඔබ පැවසූ අයුරු මගේ දෙසවනේ තවමත් නින්නාද වෙයි. ඒ ස්වරයේ වූයේ සුපුරුදු ලෙස ඔබ අප අමතන විට ගලාගෙන යන ස්වරය නොවන වග පසක් වීමට අපට වැඩි කාලයක් නම් ගත නොවීය. ධම්මික මගේ උවනතට බැළුම් හෙළුවේ ඔබේ ස්වරයේ වූ වෙනස හඳුනා ගත් නිසාම විය යුතුය. ‘අම්මට කිසිම ලෙඩක් තිබුණේ නැහැනේ’ අමතකව තිබූ යමක් ඔහු මට සිහිපත් කළේ එසැණෙනි. ඔහු පැවසූ කරුණ සැබෑවකි. මෑණියනි, ඔබට ඉහින් බහින රෝගයක් නොතිබුණු බව අප දන්නෙහිය. එනමුදු හදිසියේම හෙළි කළ පුවත අප විප්සෝපයට පත් කළේ ඉබේමය. ඉක්මනින් ක්‍රියාත්මක වූ පි‍්‍රයංක අක්කා වාහනයෙන් ඔබ විගසින් කොළඹට රැගෙන ආවාය. ඒ ආ සැනෙන් අපි ඔබව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළෙමු. ඒ වන විට අසනීපයක් ලෙස ඔබට තිබුණේ සෙම් රෝගයකි. වෛද්‍යවරු ඔබව පරීක්ෂා කර බලා සෙම් රෝගයට ප්‍රතිකාර කළේ හැකි ඉක්මනිනි. එවේලෙහිත් ඔබ, අපට ඉදිරියේ කෙරෙන්නට තිබෙන වැඩ සිහිපත් කළේ වගකීම් දරන කාන්තාවකගේ තරම සිහියට නංවමිනි. ‘චූටි පුතේ 19 වැනිදා රත්නපුර මල්වල වැඩිහිටි නිවාසයට දානය දෙන්න ඕන සල්ලි කලින් ලැබෙන්න සලස්වන්න. ඒ වගේම මගේ ළඟ හිටිය කෙනාට සල්ලි දෙන්න අමතක කරන්න එපා’ එකින් එක කළ යුතු කටයුතු ගෙනහැර පාන ඔබගේ කතාවට කිසිවක් නොකී අපි ඊට සවන් දුන්නේ දැඩි ඕනෑකමෙනි. ඔබගේ කතාව ටිකෙන් ටික අඩු වූයේ හුස්ම ගැනීමට දැමූ ඔක්සිජන් බටය නිසාය. ජීවිතය ගැන යමක් ඔබට දැනුණා ද යන සැකය අපගේ සිතේ පිළිසිඳ ගැනුණේ ඔබ වරෙක කියූ කියුමත් හේතු කරගෙනය. ‘මේ පාර නම් ගොඩ එන පාටක් නැහැ’ මේවන් වදනක් ඔබ තෙපලූ වග අපට දැන් වූයේ හේරත්ය. රෝහලේ උන් තෙවැනි දිනයේ මම කිරි එකක් සාදා පොවන්නදැයි විමසූ කළ ඔබ ඔළුව සොලවා පිළිතුරු දුන් අයුරු මේ මොහෙතේ මට මැවි මැවී පෙනෙයි. එය සාදා අතට ගෙන හැන්දකින් පොවන කළ ඔබගේ දෙනෙතට කඳුළු නැඟුණේ ඉබේමය. ටිෂූ කඩදාසියකින් කඳුළු පිස දැමූ මම ඇගේ දෙනෙතෙන් කඳුළු නැඟුණේ මන්දැයි සිතන්නට පෙලඹුණෙමි. එහෙත් එහි අරුත දැනුදු මට වටහා ගත නොහේ. ඊළඟ දිනයේ අසනීප තත්ත්වය වැඩි වී ඔබව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළේය. එසේ වූයේ ඔබ සුවපත් වෙතැයි අප සිතා සිටියදීමය. ‘නිව්මෝනියාවට ඇවිත්’ වෛද්‍යවරයා පැවසුවේ අප කිසි දිනක බලාපොරොත්තු නොවූ දෙයකි. ඊටත් පසුව ඔහු පැවසූ දේ අප සියල්ලන්ගේම හදවත් ශෝකයට පත් කළේ ක්ෂණයෙනි. ‘හාමුදුරු කෙනෙක් ගෙනැත් පිරිත් කියවන්න’ වෛද්‍යවරු සියල්ල තීන්දු කර තිබිණි. ලහි ලහියේ අපි භික්ෂූන් වහන්සේලා දෙනමක් එහි වැඩම කර වූයෙමු. පිරිත් කියන මොහොතේ යන්ත්‍රය ඔස්සේ හුස්ම ගත් ඔබ දෙනෙත් විවර කළ බැලු අයුරෙන් අපි පුදුමයට පත් වීමු. එහෙත් ඒ දෙනෙත් හැර බැලීම අවසාන බැල්ම යැයි කිසිදු විටෙක අපි නොසිතීමු. ඒ සිතුවිල්ලට සමු දෙමින් සිටි අපට ඔබ මිය ගිය පුවත රෝහලෙන් දැනුම් දුන්නේ රාත්‍රි 10.15 ට පමණය. කිසිවත් නොවිමසූ අප රෝහල වෙතට දුව ගියේ එක පිම්මටය. ඔබ වෙනුවට එතැන තිබුණේ සීතල වී ගිය දෙණකි. ධම්මික මෙන්ම මා ද එතැනින් ඉවත් වූයේ දෙනෙතේ කඳුළු කැට කඩා හැලෙද්දීය. ‘මට අම්මාගේ දෙණ දවසක් තියාගන්න ඕනෑ’ අක්කාගේ ඉල්ලීමට සවන් දුන් අපි ඉන් පසුව දෙණ රත්නපුරය මහ ගෙදරට රැගෙන යන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෙමු. ඒ සඳහා මා හා එක් වූ යහළුවෝ කැළකි. නිල්හාන්, ෂාමිනී, මමෝහාරි අක්කා, ගාමිණී, විෂී මේ ශෝකාන්ත පුවත ඇසූ මොහොතේ පටන් මට උදව් කළේ මගේ සහෝදර සහෝදරියන් මෙනි. මා හා එක්ව දුක බෙදා ගන්නට සහාය වූ ඔවුන්ට ද මගේ කෘතඥතාව හිමි විය යුතුය. එමෙන්ම චූටි බාප්පාව ද විශේෂයෙන්ම මම සිහිපත් කරමි. ධම්මික හැදුණු වැඩුණු ඒ ‘ජයදජ’ නිවසේ ඔබගේ ප්‍රතාපවත් බව එලෙසම රැඳී තිබේ යැයි මට සිතෙයි. මන්ද ඔබ අපහැර ගිය ද ඒ ප්‍රතාපවත් බව, අභිමානය තිබූ ලෙසම තිබෙන වගක් මට හැඟෙයි. ඔබගේ ගුණ කිරණේ රශ්මියේ පහසෙන් මා නැහැ වී මේ ගෙවී යන්නේ විසි වසරක කාලයයි. ඒ කාලයේදී ඔබගේ ජීවිතය නමැති පොතෙන් මා ඉගෙන ගත් පාඩම් බොහෝ බව කිව යුතුය. මා පමණක් නොව ධම්මික ද ඒ වග නොවලහා පිළිගන්නා බව මම දනිමි. එකල සිදු වූ ඒ බොහෝ සිදුවීම් මේ මොහොතේ මගේ මතකය කරා නැඟී එන්නේ ඉබේමය. අප දෙදෙනා විවාහ වන්නට පෙර එක් කලෙක ධම්මිකගේ රැකියාව අහිමි වූයේ ඔහු නොසිතූ විරූ විලසිනි. ඒ මොහොතේ ඔහු සිය මව සොයාගෙන ගියේ ඒ ඇති වූ සිත් පීඩාව නිවාගනු වස්ය. සතියක කාලයක් එහි රැඳී සිටි ඔහුට අම්මා කන්නට, බොන්නට දී සංග්‍රහ කළේ තම සිතේ වූ දයාබර බව නිසාය. ‘පුතේ දැන් සතියකුත් ගියානේ. ඔය රස්සාව විතරක් නෙවෙයිනේ රටේ තියෙන්නේ. තවත් රස්සාවල් ඕනෑ තරම් තියෙනවා. හොඳට අතපය තියෙන නිසා වෙන රස්සාවක් හොයා ගත්තට කමක් නැහැ. දැන් මෙහේ හිටිය ඇති’ ඈ ධම්මිකට කිව්වේ ඇඟටපතට නොදැනීය. ඈ එසේ පැවසූයේ තම පුතුට කන්නට බොන්නට දෙන්නට ඇයට අපහසු නිසා නොවේ. තමනට ජීවිතයේ නැඟෙන ප්‍රශ්න හමුවේ කෙළින් ඉන්නටත්, ඊළඟට කළ යුත්තේ කුමක්දැයි යන්න පෙන්වාදීමත් ඈ කළේ එලෙසිනි. එසේ නොවී ධම්මිකව සුරතල් කරමින් නිවසේ තබා ගත්තේ නම් අද වගකීම් රැසක් කර මත හොවා වැඩ කළ හැකි පුත්‍රයකු නිර්මාණය නොවන වග ඈ දැන උන්නාය. තවත් වරෙක ධම්මිකට රත්නපුරයට මාරුවක් ලැබුණි. අප නවාතැන් ගත්තේ මහ ගෙදරය. කාලය ගෙවී ගියේය. ඒ අතර අම්මා අපට පැවසූයේ විවාහ වූවා නම් තනිවම ජීවත් විය යුතු බවය. අප දෙදෙනා එය දැඩිව ප්‍රතික්ෂේප කළ ද ඈ සිටියේ පෙර දරන ලද දැඩි මතයේමය. ‘ගෙවල් කුළියට අරගෙන යන්න ඕනෑ තරම් තැන් තියෙනවා’ ඇයගේ කියුම අපගේ සිත බෙහෙවින් රිද වූ බව සැබෑය. එහෙත් ඈ අදහස් කළ අරුත වැටහුණේ තනිව වසන්නට පටන්ගෙන ටික කලකිනි. ඒ වන විට නිවෙසකට අවශ්‍ය සියලු බඩු අප දෙදෙනා ලක ලැහැස්ති කරගෙන හමාර වී තිබුණු අතර, තනිව විසීමට හුරු කිරීමේ පළමු පියවර ඇරැඹුවේ ඒ අයුරෙනි. එපමණක් නොව කලක් හෙදියක වී සිටි නිසාදෝ විවිධ සෞඛ්‍යය පුරුදු අපට පුරුදු කරන්නට ඔබ උත්සාහ ගත් අයුරු මට සිහිපත් වෙයි. විශේෂයෙන්ම ලුණු ආහාරයට ගත යුතු ආකාරය පිළිබඳ දෙන ඔබගේ උපදේශය මට කිසි දිනෙක අමතක නොවෙයි. ඔබ සතුව තිබූ මේ ගුණාංග අතර වූ අපූර්ව ගුණය ලෙස මා දකින්නේ යමෙක් දුටුවිට ඔහුව හේ ඇයව හඳුනා ගැනීමට ඔබ සතු වූ දක්ෂතාවයි. බොහෝ විට ඔබ මා ඇසුරු කරන මගේ යහළු යෙහෙළියන් පිළිබඳ කියූ යම් යම් කියුම් ටික කලකට පසු සත්‍ය වූ අයුරු දුටු මම පුදුම වීමි. ඒ නිසා ඔබ යමක් කියන්නේ හොඳට හිතා මතා බව මම දනිමි. ඔබ කෙතරම් ශක්තිවන්තියක් වීද යත් අපත් සහභාගි කරවාගෙන රත්නපුර බස් නැවතුම්පොළේ බෝධිය අසල වූ බුදු මැදුර ඉදි කළේ තාත්තා සිහිපත් කිරීම සඳහාය. ඒ බුදු කුටිය රත්නපුර නගරයටම බුදු සිසිල බෙදා දෙමින් වැඩ වසන අයුරු මට මැවී මැවී පෙනෙයි. මේවන විටත් තාත්තා අප අතැර ගොස් වසර දහඅටකි. ඔබ අප මෙන්ම ඔබගේ මුනුබුරු - මිනිබරියන් පිළිබඳ ද සිතූ මිත්තණියක් වග දැන ගත්තේ අවමංගල්‍ය කටයුතුවලින් පසුවය. ඒ මගේ දියණිය හා පවුලේ අනෙක් දරුවන් පිළිබඳ සිතා ඔබ ඉතිරි කිරිමේ ගිණුම් පොත් කිහිපයක මුදල් තැන්පත් කළ වග දුටු පසුවය. එවැනි මහා දැක්මක් සහිත වූ උදාර කාන්තාවක් වූ ඔබ මෙතරම් ඉක්මනින් අපගෙන් සමුගෙන යා යැයි අපි කිසි දිනෙක බලාපොරොත්තු නොවීමු. එහෙත් එය සිදුවී දින කිහිපයක් ගෙවී ගොසිනි. නමුදු ඔබ වෙනුවෙන් උපන් කඳුළක් මගේ නෙත අතරෙන් සෙමෙන් ගලා බසී. මා යළිත් පියවි ලොවට පිවිසෙන්නේ ඒ කඳුළු අතරෙනි. අම්මේ, අපි දෙදෙනාම ඔබට මොක් සුව පතමු.
|



සන්ධ්‍යාව ගෙවී ගොස් රාත්‍රිය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. එවිට මුළු නිවෙසම
අන්ධකාරය ගිලගනු ඇත. ඒ අන්ධකාරය එන දෙසට මුහුණ ලා හාන්සි පුටුවට බර වී සිටින මට
සිහිපත් වන්නේ ඔබය. ඔබ අපෙන් සමුගෙන ගෙවී ඇත්තේ දින කිහිපයක් පමණි. ඔබ හා සම්බන්ධ
නොයෙක් සිතිවිලි මා සිතට පිවිසෙන්නේ සිනමාපටයක එකින් එක දිග හැරෙන රූප පෙළක් මෙනි.