හොඳ අරමුණක ඉන්නවා නම් කරන්න බැරි දෙයක් නැහැ
හොඳ අරමුණක ඉන්නවා නම්
කරන්න බැරි
දෙයක් නැහැ
“දුවන මුවන්” තිරයට ගෙනා
ඉන්ද්‍රා වීරසේකර
ඉන්ද්‍රා වීරසේකර අධ්‍යක්ෂණය කළ දුවන මුවන් චිත්‍රපටය අද (27) සිට රිට්ස් ප්‍රමුඛ
එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කෙරේ. දුවන මුවන් සාමාන්‍ය චිත්‍රපට
සම්ප්‍රදායෙන් බැහැරව ගොස් ඉගෙනීමේ අගය කියාදෙන අපූරු චිත්‍රපටයක්. ඉන්ද්‍රා
වීරසේකර දුවන මුවන් චිත්‍රපටය සමඟින් සිංහල සිනමාවට එක් වූ නවතම අධ්‍යක්ෂවරියයි.
වෙනස්ම නිර්මාණයක් රැගෙන අප අතරට පැමිණි මේ අලුත් අධ්‍යක්ෂවරිය සරසවිය හමු වූ
අවස්ථාව මේ අයුරින් සටහන් වේ.
* ප්‍රථමයෙන්ම අපි ඔබ ගැන කතා කරමු. දේශීය සිනමාවේ අතළොස්සක් වූ කාන්තා
අධ්‍යක්ෂවරියන් අතරට එක් වූ නවකයා ඔබයි?
මම කවදාවත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වෙන්න හිතුවේ නැති කෙනෙක්. ගුරුවරියක ලෙසින්
දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නයි මම හැමදාම වෙහෙසුණේ. මම දරුවන්ට ඉගැන්වූයේ ඉංග්‍රීසි
විෂය. බහුතරයක් අද විශාල අභියෝගයක් විදියට සළකන ඉංග්‍රීසි විෂය ඉගෙන ගැනීම ඉතා සරළ
ක්‍රමවේදයක් මඟින් කියා දීම මගේ අරමුණ වුණා. ඇත්තටම එය ඉතා සාර්ථක ක්‍රමයක් වුණා.
මට ඕනෑ වුණේ එය සමාජයට දායාද කිරීමටයි.
ගුරු වෘත්තිය හැරුණාම මම දන්න අනෙක් මාධ්‍ය සිනමාව. මගේ මහත්තයා මනෝ වීරසේකර
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අපේ ගෙදර වැඩියෙන්ම කතා වුණේ සිනමාව ගැන. මම ක්‍රියාකාරීව
සිනමාවේ නොසිටියත් සැමියාගේ කටයුතුවලට හැමදාම සහාය වුණා. ඒ නිසා මගේ මේ ඉංග්‍රීසි
ඉගැන්වීමේ ක්‍රමවේදය කියා දෙන්නත් සිනමාව හොඳ මාධ්‍යයක් කියා හිතුවා. ඒ වෙනුවෙන් මම
තිර පිටපත ලියන්න පටන් ගත්තා.
අධ්‍යක්ෂණය කරන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ
නැහැ. මෙම චිත්‍රපටයේ කතාව සහ නිෂ්පාදනය මගේ සැමියා මනෝගේ. චිත්‍රපටයේ රූගැන්වීම්
ආරම්භයට පෙර කැමරා අධ්‍යක්ෂ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත
ඇතුළු හැමෝම යෝජනා කළේ මෙහි අදහස තියෙන්නේ මගේ හිතේ නිසා මටම අධ්‍යක්ෂණය කරන්න
කියලයි. ඒ අනුව දුවන මුවන් චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරන්න තීරණය කළා.
* දුවන මුවන් චිත්‍රපටය වර්තමාන චිත්‍රපට අතරේ වෙනස්ම වූ නිර්මාණයක්?
ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගත හැකි මේ ක්‍රමවේදය කියාදීම තමයි මෙහි මූලිකම අරමුණ
වුණේ. දරුවන්ට පැය භාගයෙන් ඉංග්‍රීසි උගන්වන ගුරුවරියගේ පුදුම හිතෙන කතාවයි මෙහි
ඇතුළත් වෙන්නේ. මම එය ලියන්න පටන් ගත්තේ 2001 වසරේදියි. මුලදී මගේ අදහස කියලා තිර
රචකයන් කිහිප දෙනෙකුටම එය භාර දෙන්න හැදුවත් ඒ හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ඉදිරිපත්
වෙන්න ටිකක් අදිමදි කළා. ඒ නිසා තමයි මම විසින්ම ලියන්න තිරණය කළේ. සාමාන්‍ය
චිත්‍රපටයකට වඩා වෙනස්ව යමක් අවධාරණය කිරීමයි මෙහි විශේෂත්වය.
මේ කතාව තුළ සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව තමයි දුෂ්ඨයා සහ විරයා ලෙස පෙළ
ගැසෙන්නේ. සිංහල භාෂාව අපේ මව් භාෂාව. එය අපි හොඳින් හැදෑරිය යුතුයි. එයින්
පරිපූර්ණ විය යුතුයි. නමුත් අද කාලයේ ලෝකය සමඟ ගනුදෙනු කරන්න අපි ඉංග්‍රීසි විෂයත්
හැදෑරිය යුතුයි. ඒ නිසා මේ භාෂා දෙකම මාරුවෙන් මාරුවට දුෂ්ඨයා හා වීරයා බවට පත්
වෙනවා.
* මෙය ළමුන් පමණක් ඉලක්ක කර නිර්මාණය කළ චිත්‍රපටයක්ද?
මෙහිදී විශේෂයෙන් ඉලක්කගත වූ පිරිසක් නැහැ. අපේ රටේ සියයට අසූවක් පමණ පිරිසකට
ඉංග්‍රීසි අධ්‍යාපනයේ අවශ්‍යතාව තියෙනවා. නිසි ක්‍රමවේදයකට පිවිසෙන්න නොහැකි වීමෙන්
ඉංග්‍රීසි විෂය එපා වූ අය පවා ඒ අතර සිටිනවා. ඉංග්‍රීසි විෂය කියන්නේ ඉතා අපහසු
විෂයක් බවට ඔවුන් තීරණයන්ට පවා පැමිණ සිටිනවා.
ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදය වෙනස් කළ
යුතුයි. දුවන මුවන් චිත්‍රපටයෙන් මම ඒ සරළ ක්‍රමවේදයක් ගෙන හැර දක්වනවා. ඒ නිසා මේ
චිත්‍රපටය ළමුන්ටම පමණක් වෙන් කරන්න බැහැ.
මෙහි අධ්‍යාපනික පසුබිම සමඟම දිවෙන සමාජීය කතාවක් ඇතුළත්. චිත්‍රපටයේ කතාවට ගැඹුරක්
ලබා දෙන්න සමාජයට බලපාන ප්‍රශ්නයක් අරගෙන එතැනින් එහාට හරවත් පණිවුඩයක් ඒ හරහා
දෙන්න කතා පුවතක් ද එය සමඟ සම්බන්ධ කළා. ඒ සමඟ මෙහි ඉතා අලංකාර ගීත හතරක් ඇතුළත්.
එම ගීත රචනා කළෙත් මවිසින්. ඒවා ළමුන්ට ආකර්ශණීය ගීත වේවි යැයි මම සිතනවා.
* ඔබ කලකට ඉහතදී පාසල් ගුරුවරියක්. මේ නිර්මාණයේ ආරම්භය සමඟ ඔබ එයට සමු දෙනවා. ඒ
ගැන පසුතැවීමක් නැද්ද?
දරුවන්ට මම අධ්‍යාපනය ලබා දෙන්නේ හරිම ආසාවෙන්. ගුරු වෘත්තියට සමු දුන්නේ ඒ වගේම
තවත් කටයුත්තක් නිසා. මම ලොකුවට පංති පවත්වන්න කැමැති නැති කෙනෙක්. මට පුළුවන්
විදියට ගෙදරට එන දරුවන්ට මේ ක්‍රමවේදය තුළින් දරුවන්ට දැනුම ලබා දෙනවා.
චිත්‍රපටයට
සම්බන්ධ කර ගන්නත් සිතමින් එදා උගන්වපු ළමයි අද ලොකු වෙලා. සරසවි අධ්‍යාපනය පවා
අවසන් කරලා තියෙනවා. මට කොහෙත්ම දුකක් ඇති වෙන්නේ නැහැ. මට උවමනා ඉංග්‍රීසි ඉගෙනිම
අපහසුයි කියන අයට එහි සරළ බව කියාදෙන්නයි. දූ දරුවන්ට මට හැකි පමණින් අධ්‍යාපනය ලබා
දී තෘප්තියක් ලබනවා.
* ඔබේ ගුරු ජීවිතය මේ චිත්‍රපටයට අත්දැකීමක් වෙන්න ඇති?
බුලත්සිංහල ප්‍රදේශයේ පාසලකයි අපි මෙය රූගත කළේ. ඒ ළමයි පුදුම ආසාවකින් මේ සඳහා
සම්බන්ධ වුණා. එහිදී දරුවන්ට පාඩම් කියා දෙන අවස්ථාවලදී මෙහි ගුරුවරිය සාමා (පබසරා
දිද්දෙණිය) වෙනුවට මම ඉගැන්වීම් කළා. ඒ අවස්ථාවල මම දුටුවා දරුවන් බොහොම සාමාන්‍ය
විදියට හැසිරුණේ. ඔවුන්ගේ මුහුණෙන් දැක් වුණේ ස්වභාවික ඉරියව්.
මම ඔවුන්ට පුංචි
පුංචි ඉගැන්වීම් කළා. රූගත කිරීම් ආරම්භයට පෙර වැඩමුළු පවා පැවැත්වූවා. ඒ වෙලාවට
චිත්‍රපට කණ්ඩායමේ අය පවා ඒවා උනන්දුවෙන් අහගෙන හිටියා.
විභාගයකට මුහුණ දෙන දර්ශනයක් මෙහි ඇතුළත්. එහිදී මම ගෙදරට එන ළමුන්ට දෙන්න සකස් කළ
ඉංග්‍රීසි දැනුම මැන බලන ප්‍රශ්න පත්‍රයක් ඔවුන්ට ඉදිරිපත් කළා. ඒ සඳහා ඔවුන්
ඉදිරිපත් වුණේ ඇත්තටම විභාගයකට මුහුණ දෙනවා වගෙයි.
* මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ ෆ්ලොරිඩා ජයලත්ගෙන් ආරම්භ වූ කාන්තා චිත්‍රපට
අධ්‍යක්ෂවරියන් අතරේ රූබි ද මැල්, රෝහිණි ජයකොඩි. සුමිත්‍රා පීරිස්, මාලිනී
ෆොන්සේකා, ඉනෝකා සත්‍යාංගනීට පසුව ඔබ පැමිණෙනවා. දශක හයක කාලයක් පුරා සිනමා
අධ්‍යක්ෂණයට කාන්තා නියෝජනය මේ තරම් අඩුවීමට හේතුවක් තියෙනවාද?
කුමන ක්ෂේත්‍රයක කුමන රැකියාවක නිරත වුවත් කාන්තාකට ස්වභාව ධර්මයෙන් උරුම වූ යම්
වැඩ කොටසක් තියෙනවා. දරුවන් පෝෂණය කරමින් නිවසේ කටයුතු බලා ගැනීම ඇයට සිදු කළ යුතු
වෙනවා. ඇය අන් හැම දෙයම සමඟ කටයුතු කරන්නේ මේ වගකීම ද පෙරදැරි කරගෙනයි. අනෙකුත්
රාජකාරි සඳහා නිදහසේ අවධානය යොමු කරන්නට කාන්තාවට මේ දේවල්වල තම සාර්ථකත්වය
බලපානවා. ඒ නිසා බොහොමයක් කාන්තාවන් තමන්ට ස්වභාව ධර්මයෙන් උරුම වූ දේ සමග බැඳී
සිටිනවා. ඒ වුණත් එය කලට වෙලාවට නිම කර වෙනත් ක්ෂේත්‍රයක තම හැකියාවන් වෙනුවෙන්
ඉතිරි කාලය කැප කළා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වේවි.
* ඔබේ සැමියාත් මෙරට සිනමා අධ්‍යක්ෂවරයෙක්. එම අත්දැකීම් ඔබේ මේ නිර්මාණයට දායක
වුණේ කොහොමද?
සැමියාගේ හැම නිර්මාණයක් සමඟම මමත් හිටියා. ඔහුගේ අධ්‍යක්ෂණයට නම් මම අවධානය යොමු
කළේ නැහැ. ඒ වුණත් මම එතැන අඩුපාඩු හොයා බලා ඒවා සිදු නොවෙන්න කටයුතු කරන එකයි කළේ.
ඔහු චිත්‍රපට රූ ගන්වන්දි මම මුලින්ම බලන්නේ හැමෝම තේ බිව්ව ද කෑම කෑවද කියලයි.
උදෙන්ම නැගිටලා හැමෝටම තේ හදන එක නම් කළා. මට අවශ්‍යය වුණේ මමෝට චිත්‍රපට හොඳින්
අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය පසුබිම සකසන්නයි. ඒ හැමදේම මගේ ජීවිතයට අත්දැකීම් එකතු
කළා.
* මෙහි නළු නිළියන් ගැනත් සටහනක් තබමු?
මෙහිදී මම අලුත් මුහුණත් යෙදා ගන්න තීරණය කළත් මුලින්ම මට ඕනෑ වුණේ ප්‍රධාන චරිතයේ
මැදි වියට පුණ්‍යා හීන්දෙනිය නම් වූ ප්‍රවීණ නිළීය සහභාගි කරවා ගන්නයි. ඇය
සිනමාවෙන් ඉවත්ව දැන් රංගනයේ යෙදෙන්න අපහසු බව විදේශයේ සිට අපට දැන්වූවා. පබසරා
දිද්දෙණිය, ප්‍රවීන රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණියගේ දියණිය. හොඳ චිත්‍රපටයක රංගනයට
කැමැත්තෙන් සිටි අයෙක්. ඒ නිසා ඇය අපේ චිත්‍රපටයට සාමා නම් ප්‍රධාන භූමිකාව ඔස්සේ
දායක වුණා. උද්දික ප්‍රේමරත්න, නිශ්ශංක දිද්දෙණිය, මොරින් චාරුණි, ෆර්නි රෝෂිණි,
නිල්මිණි කෝට්ටේගොඩ සමඟින් ළමා නළු කෞෂල්‍ය නිර්මාණ සහ මිහාන් තිලකරත්න ඇතුළු
පිරිසක් මෙහි සාර්ථකත්වයට දායක වුණා.
* අද ඔබේ ආරම්භයයි. මෙතැන් පටන් ඉදිරිය සැකසෙන්නේ කොහොමද?
වටිනා ආදර්ශ සමාජයට දෙන්න පුළුවන් නම් එය තමයි වටිනාම දේ වෙන්නේ. මට ලියන්න
පුළුවන්. ඉදිරියටත් මම බොහෝ දේ ලියා මනෝට දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ අරමුණක
ඉන්නවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
යතේජා ඥානරත්න
ඡායාරූපය – මාලන් කරුණාරත්න
|