වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අදටත් කරු ගැන රට තොට කතා කරනවා

අදටත් කරු ගැන රට තොට කතා කරනවා

කරුණාරත්න අබේසේකරයන් පිළිබඳ ඉරාණි අබේසේකරගේ මතකය

හිතවතුන් අතරේ ඔහු ‘කරු’ ය. ගෝල බාලයින් අතරේ ඔහු කරු අයියාය. රටේ අනෙක් කොයි කවුරුත් අතරේ ඔහු කරුණාරත්න අබේසේකරය. කවිය, ගීතය ආත්මය කොට ගත් ළඟන්නා සුළු හඬින් ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ සිත් ඇද බැඳ ගත් මේ අසහාය කලාකරුවා අපෙන් වියෝ වී වසර තිස් එකක් ඉක්ම ගොසිනි.

නිවේදන කලාවේද, ගීත ක්ෂේත්‍රයේ ද අමරණීය සේවාවක් ඉටු කළ මේ අසහාය කලාකරුවා මිය යන විට පනස් තුන්වන වියේ පසු විය. රූපවාහිනිය නොතිබුණු යුගයේ රටට සිටි රූපවාහිනිය කරුණාරත්න අබේසේකර යැයි කීවොත් එය අතිශයෝක්තියක් ද නොවේ. විස්තර ප්‍රචාරයේදී තමා දකින දේ අසා සිටින්නාගේ සිත් තුළ සිතුවම් කරන්නට තරම් අපූරු හැකියාවක් එදා කරුට තිබූ බව අතීත මතකයන් කාටත් සිහිපත් කරනු ඇත.

එදා ගුවන් විදුලියෙන් මිනිසුන්ට නුවර පෙරහැර පෙන්නූවේ ඔහුය. මහ රැජනගේ ලංකා ගමනය පිළිබඳ විචිත්‍ර කථනයෙන් ශ්‍රාවකයන් තුළ රැජන ජීවමාන කළ අයුරු, ඩී. එස්. සේනානායක, බණ්ඩාරනායක අවමඟුල්වලදී විස්තර ප්‍රචාරයෙන් රට හැඬ වූ අයුරු ද අදත් වැඩිහිටි පරපුරට අමතක වී ගොස් නැත.

එදා කවියකු, ගීත රචකයකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ නොමැකෙන අමරණීය සේවාවක් කළ අපි කවුරුත් ආදරය කළ කරු අයියා ජීවන ගමනෙන් සමුගෙන දශක තුනක් ඉක්ම ගොසිනි. මේ සොඳුරු කලාකරුවාගේ අංක 34, කරුණාරත්න අබේසේකර මාවත, කොළඹ 10 ලිපිනයේ නිවහනට ගොඩ වූයේ ඔහුගේ සදාදරණීය බිරිය ඉරාණි අබේසේකර හා කතාබහකට එක් වන්නටයි.

* කරු අයියා ජීවන ගමනෙන් සමුගෙනත් දැන් දශක තුනකටත් වැඩියි?

1983 අප්‍රේල් 20 වැනිදා තමයි එයා අපි අතරින් වියෝ වුණේ. දැන් නැති වෙලා අවුරුදු තිස් එකක්.

* මේ වසර තිස් එක පුරාම ඔහු වෙනුවෙන් ඔබ මොන වගේ කටයුතු ද සිද්ධ කළේ?

හැම වසරකම එයා සිහිපත් කරලා සාංඝික දානයක් ගෙදර දෙනවා. බණක් කියලා දානයක් දීලා එයාට පින් පමුණුවන එක අපි නොකඩවා අදටත් කරගෙන එන දෙයක්. අපේ ගෙදර අලුත්වැඩියා කටයුතු කරපු කාලේ එයාගේ සහෝදරයන්ගේ ගෙදර පවා ඒ කටයුතු අපි සිද්ධ කළා.

* ඔබේ දයාබර සැමියා නැති වුණාට පස්සේ ඔබ බොහෝ සේ හුදකලා වෙන්න ඇති?

කරු නැතිවීම මට ලොකු පාඩුවක්. ඒ වගේම එයාගේ හදිසි මරණය මට ලොකු කම්පනයක් ඇති කළා. ඒත් එයා ජීවිතයෙන් සමුගත්තත් මට ලොකු බලාපොරොත්තුවක් ඉතිරි කරල ගියා. ඒ මගේ පුතා දිලීප. එයා නැති වෙන කොට දිලීපට අවුරුදු දොළහක් විතර ඇති. මට එයා නැති අඩුව ගොඩක් මකා ගන්න එයාගේ නෑදෑයෝ ගොඩක් පිහිට වුණා. මගේ උදව්වට ශක්තියට මාත් එක්ක අදටත් ඒ අය ඉන්නවා.

* සෑම වසරකම අප්‍රේල් විසි වැනිදා වගේම ජුනි තුන් වැනිදාත් ඔබට සුවිශේෂයි නේද?

ඔව්. ජුනි තුන් වැනිදා දිනයක තමයි කරු ඉපදිලා තියෙන්නෙත්. ඒ වගේම කරුගේ පුතා දිලීප ඉපදුණෙත් ජුනි තුන් වෙනිදා. තාත්තගේ වගේ එකම පුතු දිලීපගේත් උපන් දිනය එකම දවසේ වීම ඒ දවස මට ගොඩක් සුවිශේෂයි.

* කරු නැති වුණත් ඔහුගේ ගුණ සුවඳ කාට කාටත් අමතක වී පවුලේ අයට පමණක් සීමා වුණාද?

නෑ, මම එහෙම හිතන්නේ නෑ. එයා ගැන අදටත් මාධ්‍ය කතා කරනවා. එයා මිය ගියාට පස්සේ හැම වසරකම එයා වෙනුවෙන් රටේ විවිධ ස්ථානවල විවිධ ආයතනවල ගුණ සමරු පැවැත්වුණා. පුවත්පත්වල එයා ගැන ලිපි පළ වුණා. ගුවන් විදුලියේ පවා එයා වෙනුවෙන් මැදිරියක් නම් කෙරුණා. අදටත් එයා වෙනුවෙන් අපිටත් විවිධ අවස්ථාවන් කලා කටයුතු සඳහා ආරාධනා ලැබෙනවා.

* කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් වූ කරුණාරත්න අබේසේකර නාමය එදා මෙන් අදත් මතකයන් අලුත් කරනවා?

පනහ දශකයේ ඉඳලා අනූව දශකය දක්වාම එයා අතින් ගී නිර්මාණ බිහි වුණා. මමවත් අද වෙනකම් දන්නේ නැහැ ඒ කොච්චර ද කියලා. ගෙදරදි නම් එයා ලිව්ව ගී රචනා සී ආර් පොත්වල ලියලා තිබුණා. ඒත් ගෙදරින් පිටතදී කරපු නිර්මාණ තව කොච්චර ද කියන්න මම දන්නේ නැහැ. අද ගුවන් විදුලිය ඇහුවත් බහුතරයක් ගීතවල පද රචකයා කරු. ඒ ගීතවලට මොන තරම් එදා මෙන් අදත් රසිකයෝ පෙම් කරනවාද කියලා හිතාගන්නත් බැහැ. ඒ තරමට ඒ ගීත අදත් ජීවමානයි. අදටත් ගුවන් විදුලිය එයා වෙනුවෙන් සංවත්සර සැමරුමක් කරන්න අමතක කරන්නෙත් නැහැ.

* අද ඔබේ කල දවස ගෙවෙන්නේ කොහොමද?

මම බොහෝ විට කරන්නේ පින් දහම් කටයුතු. ගෙදරට ආසන්නයේම තියෙන්නේ පන්සල. එහි කෙරෙන බොහෝ කටයුතු සඳහා මම බැති සිතින් දායක වෙනවා. මගේ හිතවත් යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයත් එක්ක ආගමික කටයුතු කරමින් සැහැල්ලු ජීවිතයක් තමයි මම ගෙවා දමන්නේ.

* ‘දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගෙ උකුල් යහනේ’ එදා ක්ලැරන්ස් වෙනුවෙන් අබේසේකරයන් තම පුතු සඳහාම ගීතයක් පවා රචනා කළා?

ඔව්. පුතා පොඩි කාලේ ඉඳලා චිත්‍ර අඳින්න ආශා කළා. එයා තෝරා ගත්තේ ලොකු වෙන කොට වෙළෙඳ දැන්වීම් කලාව. අද මෙරට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණශීලී ශිල්පීන් කිහිප දෙනා අතරින් එක් කෙනෙක් තමයි පුතා. තාත්තාගේ ගීත රචනා කලාවත් පුතාට පිහිටලා තියෙනවා. ජනප්‍රිය රැල්ලේ ගීත නිර්මාණ කිහිපයක නිර්මාණ කෙරුවත් ඔහු හැබැයි තාමත් අවිවාහකයි.

* අබේසේකරයන් අතින් ලියවුණු ‘එන්න මඳ නලේ ගොස් පවසන්න දුක මගේ . . .’ ගීතය ඔබේ ජීවිතයට ගොඩක් සමීපයි නේද?

එය මගේ ජීවිතයේ දෛවෝපගත ගීතයක් කිව්වොත් හරි. මේ ගීතයට මම වගේම කරුත් බොහෝම ආශා කළ ගීතයක් වුණා. කරු නැති වුණ දවසෙත් එයා අවසන් වරට ඇහුවෙත් එයා අතින්ම රචනා වුණු මේ ගීතය එදා ගුවන් විදුලියෙන් රෑ ප්‍රචාරය වුණා.

චන්ද්‍ර මඬල යට කියලා ඒ වැඩසටහනට ඇවිත් හිටියේ සිරිල් ඒ. සීලවිමල මහතා. එතුමා කැමැති ගීත රචකයකුගේ ගීතයක් අවසන් වශයෙන් ඒ වැඩ සටහනේ ප්‍රචාරය වුණා. ඒ සඳහා එතුමන් තෝරගෙන තිබුනේ ඔය ‘එන්න මඳ නලේ’ කියන ගීතය. වැඩසටහන ගුවන් විදුලියේ යන කොට කරු ඕක අහගෙන හිටියා. මම සිරිතක් වශයෙන් රෑට පත්තර බලනවා. එදත් මම පත්තරේ බලන්න ආවේ කරුට ගිහින් නිදාගන්න කියලා.

කොහොම හරි ටික වෙලාවකදී එයා පේන්න නැති නිසා මම බලන්න ගියා. ඒ යන කොට එයාගේ පහළ තට්ටුවේ තිබුණ ඔෆිස් රූම් එකට ගිහින් සිගරට් එකක් අතේ අරගෙන පඩි පෙළ නගිනවා. ඒ එක්කම එයා මහන්සියි කිව්වා. මම ඒ පාර ඉක්මනින් ඇඳේ හාන්සි කරලා එයාගේ මල්ලිට කතා කළා.

ඔය වෙලාවේ රෑ 1.30 ට විතර ඇති. මම එයාගේ පපුවේ බාම් වගයක් ගාලා අත ගාන්න පටන් ගත්තා. ඒ පාර කරුට නින්ද ගියා. මල්ලි දුවලා ගියා අපේ ෆැමිලි දොස්තර එක්ක එන්න. කොහොම හරි මට හිතුණේ කරුට නින්ද ගියා කියලා. මම දොස්තර එනකන් කරුගේ පපුව අත ගෑවා. ඒ පාර දොස්තර ඇවිත් බලලා කිව්වා කරු නැති වෙලා කියලා.

* කරු ඔබට මුණ ගැහෙන්නේ කොහොමද?

මම පාසල් යන කාලයේ පටන් ගුවන් විදුලියේ කරුගේ හඬට ආශා කළා. හැබැයි කවදාවත් එයාව දැකලා තිබුණේ නැහැ. ඒ කාලේ මම ඉගෙන ගත්තේ බම්බලපිටියේ හෝලිෆැමිලි කොන්වන්ට් එකේ. මට යාළුවෝ හය දෙනෙක් හිටියා. බුද්ධිනී, ශ්‍රීමා සහ බෙරිල් නමින් දෙන්නෙක් හා අයිරාංගනී නමින් දෙන්නෙක්. ඔය ගොඩට මාත් එකතු වුණාම ඔක්කොම හත් දෙනයි. අපි හත් දෙනාට ඒ කාලේ කවුරුත් කිව්වේ ලකී සෙවන් කියලා. අපිට ඉතිං ඒ කාලේ එක එක්කෙනාට කැමැත්ත අනුව වීරයෝ හිටියා. සමහරුන්ට නළුවෝ, තව අයට ගායකයෝ.

මට හිටියේ නිවේදකයෙක්. දවසක් අපි හත් දෙනාගේ අතරින් කීප දෙනෙකු අතර තිබුණ හිතවත්කමක් මත පී. එල්. ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාලගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න ලැබුණා. එදා මඟුල් ගෙදරට විශාල කලාකරුවන් පිරිසක් පැමිණියා. ඔය අතරේ කරුත් මඟුල් ගෙදරට ආරාධනා ලැබ පැමිණියා.

එදා තමයි මම සැබවින් කරුව දැක්කේ. කොහොම හරි යාළුවෝ ටික මගේ වීරයා කරු නිසා මට කෙළි කවටකම් කරන්නත් පටන් ගත්තා. එක යාළුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා ජයදේව කියලා. එයා තමයි ගිහින් අපේ මේසයට කරුව එක්කන් ආවේ. යාළුවෝ නම් මට විහිළු කළා කරු මගේ හිතේ ඉන්න වීරයා කියලා.

කොහොම හරි එදා අපේ හමුවීමෙන් පස්සේ අපි අතර මිත්‍රකමක් ගොඩ නැගුණා.

* මිත්‍රකම ආදරයට පෙරළුණේ කොහොමද?

ඒ කාලේ කරු කවි ලියලා සිළුමිණ පත්තරයේ දානවා. මම ඒවා කියවනවා. එයා ගුවන් විදුලියේ කරන වැඩසටහන් අහනවා. ඔය අතරේ එයාට දුරකථනයෙනුත් කතා කරනවා. කොහොම හරි අපේ පෙම් පලහිලව්ව මවුපියන් දැනගත්තාම තමයි යුද්ධෙ පටන් ගත්තේ. අපේ සම්බන්ධකමට අපේ පැත්තෙන් අම්මා තාත්තා විරුද්ධ වුණා. මට කරු නිවේදනය කරන ගුවන් විදුලි වැඩසටහන් අහන එකට තහංචි වැටුණා. කරු ලියපු පුවත්පත් ලිපි මට කියවන්න තහනම් වුණා. මට උසස් පෙළ කරන්න දුන්නෙත් නැහැ. ගෙදර නතර කර ගත්තා.

ඔය අතරේ මම එයා ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන වෙලාව දැනගෙන හිටියා. මම කරන්නේ ඊට කලින් රේඩියෝව දාලා තියෙනවා. ඔන්න දවසක් ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහනකින් අහන්න ලැබුණා ‘එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ’ කියන තිලකසිරි ප්‍රනාන්දු කියන ගීතය.

ඒක ප්‍රචාරය වුණාට පස්සේ නිවේදකයා කිව්වා ඒ ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර කියලා. ඔය වෙලාවේ රේඩියෝව අහගෙන හිටිය තාත්තා ඒ සිංදුවෙන් පස්සේ මට රේඩියෝව අහන එකත් තහනම් කළා, මම හිරකාරයෙක් වෙලා ඉන්න කොට සිංදුවලින් පණිවිඩ එවනවා කියලා.

කොහොම හරි ලොකු කාලයක් බාධා කම්කටලු මැදින් අපේ සම්බන්ධය දිගටම තිබුණත් එයාට මගේ තොරතුරක්, එයාගේ තොරතුරක් මට නොලැබුණු මාස ගණන් තිබුණා. කොහොම හරි අම්මාගේ නංගි කෙනෙක් හිටියා නිලී කියලා. ඇයගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් කොහොම හරි කරුටත් මටත් 1959 නොවැම්බර් 30 වැනිදා විවාහ වෙන්න ලැබුණා මේ රටේ කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.