වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මම රංගනය හැදෑරුවේ එංගලන්තේ ගුරුවරයකුගෙන්

මම රංගනය හැදෑරුවේ එංගලන්තේ ගුරුවරයකුගෙන්
 

නවක රංගන ශිල්පී ඉඳුනිල් ලංකා

පොළොන්නරුව ලංකාපුර ගමෙන් කොළොම්පුරවරයට ආව ඉඳුනිල් ලංකා සුගතපාල කොළඹ ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සම්බන්ධ රැකියාවක් කරන අයෙකි. එහෙම වුණත් ඉඳුනිල් රංගනයටත් බෙහෙවින් ඇලුම් කළේ කලා හැකියා කුඩා කාලයේ පටන් තමා ළඟ තිබෙන බව දැන සිටි නිසාය. නිසඟයෙන්ම තමන් කෙරෙහි සැඟව තිබූ මේ කලා කුසලතා ඔප් නැංවූයේ ඔහුගේ පාසල බවත්, ඉන් පසුව ඔහු යෙදුණු කලා කටයුතු පිළිබඳත් සරසවිය සමඟ මෙසේ සඳහනක යෙදුණේය.

‘මම පාසල් ගියේ ගැමුණුපුර කනිෂ්ඨ විද්‍යාලයට වගේම හිඟුරත්දමන මහා විද්‍යාලයටයි. එහිදී තමයි මගේ ළඟ තිබුණු කලා හැකියා මොනවද කියලා මට අවබෝධයක් ලැබුණේ. කුඩා කාලයේ පටන් කොයි තරම් මම කලාවට ආදරය කළාද කිව්වොත් පාසලේදී උඩරට නැටුම් හදාරන්න පෙලඹුණා. ඒ රංගනයට නර්තනයත් වැදගත් කියලා සිතුණ නිසා රංගන කටයුතු වැඩි දියුණු කර ගන්නට මා උතුරු මැද නාට්‍ය පාසලට සහභාගි වෙලා නාට්‍ය හා රංග කලාව හැදෑරුවේ මේ අතරමයි.

ඉන් පස්සේ එංගලන්තයෙන් ආව ගුරුවරයෙක් යටතේ මට නාට්‍ය හා රංග කලාව හදාරන්න අවස්ථාව හිමි වුණා. වැඩියෙන්ම මගේ කැමැත්ත හිමි වී තිබුණේ වේදිකාවට නිසා මුලින්ම මා රඟපාන්නේ වේදිකා නාට්‍යවලයි. මා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ ‘මිටියාවතේ ගීතය’, ‘කැන්ගරුවෝ’ කියන වේදිකා නාට්‍යවලින්. මේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කරන්න තරම් වාසනාව හිමි වෙනවා. ඒ වගේම ධර්මජිත් පුනර්ජීවගේ ‘රැගෙන අවි මම ද එමි’ සහ ‘උඩි යටිකුරු’ නාට්‍යයටත් රංගනයෙන් දායකවීමට ලැබීම මා සලකන්නේ මගේ ජීවිතයේදී මට ලැබුණු අපූරු අවස්ථාවක් විදියටයි.

ඊට පස්සේ මා ටෙලි මාධ්‍යයට රංගනයෙන් සහභාගි වන්නේ විශේෂයෙන්ම ‘අත්තම්මා’, ‘ස්වර්ණපාලි’, ධම්මික පීරිස්ගේ ‘චරිතයකට පාට දෙන්න’, තුසිත ද සිල්වාගේ ‘තෙරණි ගීතය’ වැනි ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ නිර්මාණවලින් ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ ජයපාලගේ චරිතය බොහෝ දෙනාගේ මතකය පැහැර ගත් චරිතයක්.

සිනමා මාධ්‍යයට මා සම්බන්ධ වන්නේ ‘විජය කුවේනි’ හා ‘ඇහැළේපොළ කුමාරිහාමි’ කියන චිත්‍රපට ඔස්සේ. මා මෙතෙක් රඟපෑ බොහෝ නිර්මාණවලදී ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කරන්න නොලැබුණත් කළ සුළු චරිතය මා රඟපෑවේ බොහොම ආශාවෙන්. ඉදිරියටත් ඒ විදියට හොඳ නිර්මාණවලට රංගනයෙන් දායකවීමට අදහස් කරගෙන සිටිනවා. මගේ මේ රංගන කටයුතුවලට රැකියාව කරන රෝහලෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී මා සිහිපත් කළ යුතුයි.