වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




තන්හා - රතී - රඟා සර්පයන් සැඟව සිටින චාරිකාවකි

තන්හා - රතී - රඟා සර්පයන් සැඟව සිටින චාරිකාවකි

අප ජීවත් වන පරිසරය තුළ පමණක් නොව අධ්‍යාත්මයන් තුළ සැඟව ඇති සෞන්දර්ය මෙන්ම ගූඪත්වය, භයංකාරත්වය සොයා යන සිනමාත්මක චාරිකාවකි තන්හා - රතී – රඟා. මෙම චාරිකාව මනරම් සෞන්දර්යාත්මක ගමනක් නොව ඇත්ත ඇති සැටියෙන් දකින, සර්පයන් සැඟව සිටින චාරිකාවකි. මෙහි ඇති අර්ථය සර්වකාලීනය. සෑම දහමකටම පොදුය. විශ්වාන්තරය. සිනමාපටයක් හරහා වන දැක්මක් බැවින් සිනමාත්මකය. රසයක් ජනිත වන නිසා අපූර්වයය.

විශාල ප්‍රචණ්ඩත්වයකට පසු ලබා ගන්නා යුද ජයග්‍රහණය හමුවේ ප්‍රීති වන ජය ඝෝෂා නඟන ජනතාව අතරේ එබඳු ප්‍රීතියක්ම භුක්ති විඳින සිරිතුංග, සුරාජ් සහ විමල් යන මිතුරන් චරිත වශයෙන් ද අත්දැකීම් හා අවබෝධය අතින් ද තිදෙනෙකි. නමුත් ඔවුහු අහිංසක මිනිසුන්ම වෙති. යුද ජයග්‍රහණ ප්‍රීතිය උදෙසා නන්දිකඩාල් වෙත යන චාරිකාව ඔවුනගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වේ. සෑම සමාජ ස්ථරයකම මෙන් ඔවුනට ද තම අපේක්ෂා ඉටු කර ගැනීමට ඇති දුෂ්කරතා ගොනු වන්නේ සමාජයීය පරිසරයේ ඇති සංසිද්ධීන්ගේ පෙළ ගැසීම අනුවය. ඔවුන් තෝරා ගන්නා රථය ධනවත් නොවන පංතියේ වාහනය වූ ත්‍රීරෝද රථයකි. ගමන අරඹන්නේ ඉතා ප්‍රීතියෙනි.

තම පෙම්වතියගේ සොහොයුරාගේ තර්ජන මැරකම් හමුවේ ප්‍රේමය විඳින උගත් තරුණ ශිෂ්‍යයෙකු වූ සුරාජ් ද, එදිනෙදා හම්බ කරගෙන තම කුඩා දරුවන්ගේ හා බිරිඳගේ ආදරය මැද ජීවත් වන සිරිතුංග ද, ආදරයක් සොයමින් සිටින මවගේ ආදරය මැද (උස් මහත් වුවත්) පුංචි දරුවෙකු සේ සිටින විමල් ද, එක මඟ යන්නේ එක හිතෙනි. එකම වාහනයේමය. අවසන තිදෙනාම අහිංසකයන් වුවත් දඬුවම් ලැබ සිර ගෙදරින් පිට වන්නේ ද, යථාර්ථය පසක් කර ගන්නේ ද එකම ආකාරයකිනි. ජීවිතයේ තිබූ අපේක්ෂා බිඳ වැටුණු පසු නැවත පා තබන්නේ ද ප්‍රචණ්ඩත්වය මැදටමය. නොසිතූවිරූ ලෙස ප්‍රචණ්ඩත්වයේ අනියම් ආකාරයෙන් ගොදුරු බවට පත්වන ඔවුන් අනතුරුව පා තබන ලෝකය ද සැනසිලිදායක තැනක් නොවේ. යුද සමයේ වූ ප්‍රචණ්ඩ බව මෙන්ම පශ්චාත් යුද සමයේ කුමන ආකාරයේ සමාජයේ මල් පිපී තිබේදැයි අපේ දෑස් විවර කිරීමට නිලේන්ද්‍ර දේශප්‍රිය සිනමාකරුවා අපට බලකර සිටී.

අවසාන දර්ශනය තෙක් සිනමාපටය දීර්ඝ නොකර සිටියේ නම් වඩා උචිත යයි සමහරුන් සිතන නමුත් සිනමාපටයේ උත්ප්‍රාසය වඩාත් තීව්‍ර කරන්නේ අවසාන දර්ශනය බව සිතේ. තරුණ කාන්තාවකගේ මළසිරුර අපට හඟවන්නේ ප්‍රචණ්ඩත්වය අවසන් නොවන බව පමණක් නොව තවත් බොහෝ ව්‍යංගාර්ථ ද සමඟය. එපමණක් නොව එහි වරදකරු සොයා ගැනීමට ඉවහල් වන සාක්ෂිය වන පිහිය පවා තම බිහිසුණු අත්දැකීම නිසා මිතුරන් තිදෙනා නොදැනුවත්ව ගැඹුරු ජලයට වීසි කර දමති. ඝාතකයා සැඟව යයි. අතරමගදී හමුවන අහිංසක තරුණියක පවා ප්‍රශ්න කිරීම්වලට ලක්වන තරම් හඹායාම්වලදී මෙබඳු ඝාතනවල වරදකරුවන් හෙළි නොවීමේ අඳුරු සහගත අනාගතය සිනමාපටය අපට පෙන්නුම් කරයි.

තන්හා, රතී, රඟා බෝසතුන් මුලා කිරීමට වෙර දැරූයේ බුද්ධත්වයට ආසන්න පූර්ව මොහොතේ බව බෞද්ධ සාහිත්‍යය අපට පෙන්වන්නා සේම සමාජ යථාර්ථය අවබෝධ වන්නේ විමල්ගේත්, සිරීගේත්, සුරාජ්ගේත් දීර්ඝ අප්‍රසන්න චාරිකාවකින් පසුවය. ආරම්භයේදී ඔවුන් තුළ තිබූ ප්‍රබෝධය කුමක් නිසා ඇති වූවක් ද? එමෙන්ම අවසන ඔවුන් ගොදුරු වන ව්‍යසනය සිදු වන්නේ සැකය, භීතිය, නීතිය, අසාධාරණය, බලරහිත බව, අහිංසක බව ආදී විවිධ ප්‍රපංචයන්ගේ එකතුවක් නිසාද? එය සාධාරණද? යුක්ති සහගතද? මෙම සර්වකාලීන සර්ව දේශීය වූ තේමාව සිනමාවට නැඟීමේදී නිලේන්ද්‍ර සිනමාවට අවශ්‍යම සිනමාකරුවෙක් බවට පත් වේ.

තන්හා, රතී රඟා හි වඩාත් සිත් ගන්නා ස්වභාවය බොහෝ අප්‍රසන්න දෑ රූපයට නගන්නේ ඉහළ උත්ප්‍රසායක් සහිතව වීමයි. උදාහරණ ලෙස විමල්ට ගමන අතරමගදී හමු වූ තරුණියක හා පෙම් දමක පැටලී ප්‍රීතියෙන් සිටින විට ඔහු ගහ මුල පයේ ඇඟිලිවලින් වැලි හරන්නේ (තරමක් විශාල ශරිරයක් ඇති මුත්) යොවුන් පෙම්වතෙකු පරිද්දෙන් වුවත්, එක් වරම සැඟ වූ වස්තුව ඇහැට දුටු විට පෙම්වතිය සැනෙන් අමතක වෙයි. තවත් අවස්ථාවක පොලිස් නිලධාරියා (දයාදේව එදිරිසිංහ) දූෂිත ලෙසින් එළවළු රැගෙන පටවන හා ඔහුගේ අසංවර ලීලාව හාස්‍යය ඇති කරන්නේ ප්‍රේක්ෂකයා තුළ විශාල කම්පනයක් ද සමඟිනි. මිතුරන් තිදෙනා හමුදා හා පොලිස් මුර කපොලුවලින් යද්දී කාජල්ගේ පින්තූරය අත ගා නිලධාරියා ‘කාජල්’ කියා මතු කරන උපහාසය, උත්ප්‍රාසය, යහපත් සිනමා අත්පොත තැබූවෙකුට මිස අන් කෙනෙකුට කළ හැකි නොවේ.

මෙහි දුර්වලතාවක් ලෙස පෙනෙන්නේ සිරිතුංගගේ පවුලේ දරුවන් ක්‍රීඩා කිරීමේදී නාගයා ඇස් ඉදිරිපිටම දර්ශනය කරවීමත්, දරුවන්ගේ හැසිරීම් කෘත්‍රිම ආකරයක් ගැනීමත්ය. දේව සංකල්පයේ සිටිනා නාගයා බෞද්ධ සාහිත්‍යයේද වරින් වර හමු වෙයි. තන්හා, රතී, රඟාවල නාගයා වඩා සමීප බෞද්ධ දර්ශනයට වුවත්, එය සීමාව ඉක්ම ගිය බව හැඟේ.

ගීත, යොවුන් ප්‍රේමය, යොවුන් හැසිරීම්, සටන්, සිනමාවේ සුපුරුදු ආම්පන්න සියල්ල ගැඹුරු තේමාවක රඳවා දීර්ඝ කාලයක් තමා ලබාගත් හසල අත්දැකීම්, අනුසාරයෙන් ප්‍රබල යටි පෙළක් සහිත ‘හොඳ සිනනමාපටයක්’ නිර්මාණය කිරිමට ඔහුට දායක වූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර තිර පිටපත් රචකයින් දෙදෙනා අගය කළ යුතුය. නිලේන්ද්‍රගේ නළු වරණය ප්‍රශස්තය.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි, නීටා ප්‍රනාන්දු, දයාදේව සියලුම දෙනා මෙම භූමිකාවන්ට පණ පොවන්නේ එම චරිතවල ඇති හරය අවබෝධ කර ගනිමිනි. විශේෂයෙන් කැමරාකරණය කළ ධනුෂ්ක ගුණතිලකගේ දායකත්වය විසින් මෙම සිනමාපටයට නව මානයක් ලබා දේ. එයින් අර්ථ ගන්වන දෑ මෙන්ම, ගුප්ත බව, ශෝකී බව, හැඟීම්බර වූ වේදනාව පමණක් නොව වරින් වර ප්‍රේක්ෂකයා තුළ දනවන පරිසරයේ සොඳුරු බව, නපුරු බව, යෞවනත්වයේ මිහිර, රූපයට මනා ලෙස හසු කර ගනී. සිරිතුංග අසිහියෙන් සියලුම අපේක්ෂා බිඳ වැටී මහ වැස්සේ බයිසිකලයෙන් එන දර්ශනය විශිෂ්ට ලෙස සිනමා කෘතියට අගයක් ලබා දෙයි.

බුදු පිළිමය, කාජල්ගේ පින්තූරය, සිංහ කොඩිය, උතුරට යන මාවත, වංගු සහිත පරිසරයේ ශුෂ්ක බව කැමරාවට හසු කර ගන්නා ආකාරය සිනමා කෘතියේ අර්ථයට ආලෝකයකි. සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ, කලා අධ්‍යක්ෂ හීනටිගල ප්‍රේමදාසගේ සහාය ද නිලේන්ද්‍රට යහපතක්ම වී ඇත. තන්හා, රතී, රඟා යනු ස්ත්‍රීන්ය. දරුවන්, සැමියන් විපතට පත් වූ පසු වේදනා විඳින්නේ ද ස්ත්‍රීහුමය. පෙම්වතියන් දෙදෙනෙක් මවුවරුන් තිදෙනෙක් මෙහි පීඩා විඳිති. අවසන ප්‍රචණ්ඩත්වයට ගොදුරුව සිටින්නේ ද ගැහැනියකි. නිලේන්ද්‍ර සිනමාපටය පුදා ඇත්තේ ද බිරිඳට සහ දියණියටය. දියණියගේ පුතුට ප්‍රචණ්ඩත්වයෙන් තොර රටක්, ජීවිතයක් ගොඩ නැඟීමට ඔහු ප්‍රාර්ථනා කර ඇත්තේ කලාවෙන් කළ නොහැක්කක් නොමැත යන්න පසක් කරමින්. ඔහු සිනමා නිර්මාණයක් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි ද යන්න ඇසිය යුතුව ඇති ප්‍රශ්නයකි.