තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
ගේයපද රචකයෙක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින්
එය වෙනස් කළේ
ගී පද රචක
උපාලි බණ්ඩාර වීරසේකර
මෙවර මතක ගී පොතට සිය අතීතය විදහා පාන්නේ මාධ්‍යවේදියෙක්, ගී පද රචකයෙක්, ලේඛකයෙක්
වන උපාලි බණ්ඩාර වීරසේකරය. ‘සුසුම් පවන් වැදී’, ‘මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න’,
‘කොණ්ඩෙ දිගට දමලා කරාබුවක් දමලා’, ‘දෙහි මලක්’, ලිහිනි නගේ’, ‘නෙත් විලේ’ ආදී ඔහු
ලියූ ගීත රැසක් රසිකයන් වැළඳ ගත්තේ සෙනෙහසෙනි. ‘සංසාර ආරණ්‍ය’, ‘ඔබව තාම මට ද
හිමි’, ‘සඳ ගිනිගත් රාත්‍රිය’ ආදී නවනකතා රැසක් හා ළමා කතා රැසක් ද හේ රචනා කර ඇත.
එකල මා රැකියාව කළේ තිරතරු පුවත්පතේ බව මට මතකය. මා නවාතැන් ගෙන සිටියේ උඩහමුල්ල
ප්‍රදේශයේය. ඒ වනවිටත් රසිකයන් අතර ජනප්‍රිය ගී පද රචකයෙක් ලෙස නමක් දරා සිටි මම
කලාකරුවන් බෙහෙවින් ළඟින් ඇසුරු කළ අයෙක්මි. ලියන්නට මෙන්ම කියවන්නට ද එක සේ ප්‍රිය
කළ මගේ නවාතැනට එකල මා සොයා ආ අය අතර ජනපි‍්‍රය ගායකයෝ මෙන්ම නළුවෝ ද කිහිප දෙනෙක්
වූහ. මේ තත්ත්වය නිසා මා විසූ නිවැසියන්ට මා කවුරුන් ද යන්න සඟවා ගෙන සිටීමට නොහැකි
කාරණයක් වූ බව නම් සත්‍යයකි. ඒ වන විටත් ප්‍රේමය නම් සොඳුරු ගඟුලේ ගිලී සිටි මම ඒ
නිසාම ලද කටුක වේදනාවට පින් සිදු වන්නට දැඩි තීරණයකට එළැඹ සිටියෙමි. ඒ කිසිම දිනෙක
විවාහ නොවෙමි යන සිතුවිල්ලෙනි. ඒ දැඩි සිතුවිල්ලෙන් පොලඹනු ලැබූ අයෙක් වූ මා දිනෙක
නුඹව දුටුවේ අහම්බයෙනි. ඒ මා නවාතැන් ගෙන සිටි ඥාති නිවෙසට නුඹ පැමිණි විටෙකය.
වරක් දුටු අයෙක් තවත් වරක් හැරී බලන්නට තරම් සොඳුරු රුවකට හිමිකම් කී නුඹ මා සමඟ පෑ
ළඟන්නා සිනහව ද මගේ හදවතේ සටහන් වූයේ මටත් නොදැනීමය. එතැනින් නොනැවතුණු නුඹ මා හා
මිතුරු වූයේ මටත් නොදැනීම ය. පොතපත කියවන්නට ඔබගේ තිබුණු නොතිත් ආශාව අපගේ මිතුරුදම
තව තවත් වර්ධනය කළේය. බාල බොළඳ හරසුන් දේට වඩා ගැඹුරු රසයක ගිලී සිටි නුඹ හා කෙරුණු
කතාබහ නිසා නොදැනීම මගේ හදවතට දැනුණේ අපූරු මිහිරකි.
ඒ මිහිරෙන් මත් වී සිටිය ද මම
නුඹට ඒ වගක් නොපෙන්වන්නට වගබලා ගත්තෙමි. එලෙස වූයේ යට කී මගේ දැඩි සිතුවිල්ල
නිසාමය. එනමුදු දිනෙන් දින නුඹ මා හදවතට සමීප වූවා පමණක් නොව නුඹගේ සිතේ ද මා
පිළිබඳ කුමන හෝ මනරම් සිතුවිල්ලක් සැරිසරන වග මම දැන සිටියෙමි. එහෙත් ඊට අනුබල
නුදුන් මම නුඹගේ දෙනෙත පවසන සොඳුරු ආදර කතාබහ නොදත් ගොළුවෙක්, බිහිරෙක් ලෙස
පසුවීමි. නුඹත් පරාජය බාර ගැනීමට අකැමැති අයෙක් සේ මා සොයා ආවෙන් මට නිශ්ශබ්දව
සිටීමට නොහැකි කාලයක් උද්ගත වූයේ මේ අතරය. එසේ වූ කළ මා ඔබව අමතක කරන්නටත්, ඔබව මඟ
හරින්නටත් නොයෙක් හේතු සෙව් බව මම දනිමි.
‘අපි දෙන්නගේ වයස පරතරය වැඩියි’
මා ඉදිරිපත් කළ ඒ තර්කය නුඹ හුදු ප්‍රලාපයක් සේ බැහැර කළේ පරිණත යුවතියකගේ ගති
ලක්ෂණ ඉදිරිපත් කරමිනි. එලෙස මගේ තර්කය බිඳ හෙළීමට ඔබ නොයෙක් තර්ක ගෙන හැර පෑ අයුරු
මගේ මතකයේ තවමත් නින්නාද වෙයි.
ඒ වන විටත් නුඹට ප්‍රේම කරමින් සිටි මගේ යටි සිත අවදි කරමින් ඒ ඔස්සේ ජයග්‍රහණය අත්
පත් කර ගත් දිනයේ නුඹගේ උවනේ වූ අසිරිය මම අද ද සිහිපත් කරමි. මිල්ටන් මල්ලවාරච්චි
ගයන මේ ගීතයට මා අද ද පෙම් බඳින්නේ ඒ අතීතය සිහිපත් වන බැවිනි.
තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ
මගෙ පාළු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී
ගේය පද – ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
මේ ගීතයේ වඩාත් මා ප්‍රිය කරන්නේ පළමු ගී පේළි දෙකටය. ඒ එය ඒ තරමටම මගේ ජීවිතයට
බලපෑමක් කිරීමට සමත් වූ හෙයිනි. කුමක් වුව ද ඉන් පසුව අප දෙදෙනා ප්‍රේමයෙන් බැඳුණු
සොඳුරු යුවළක් බවට පත් වූවා පමණක්ම නොවේ. අපි ඒ පෙම් ගඟුලේ පිහිනා යමින් පෙම් රස
වින්ඳෙමු. එහෙත් වැඩි කලක් මෙය වැඩිහිටියන්ගෙන් සඟවා තබා ගැනීමට අපි අපොහොසත් වීමු.
දෙපාර්ශවයෙන්ම යුද ප්‍රකාශ කිරීමට ගියේ බොහොම ටික කාලයකි. එහිදි නුඹ තම සිතැඟි
මව්පියන්ට පවසා තිබුණේ ස්ථිරසාර වූ වදනකිනි.
‘මම උපාලි අයියට කැමැතියි. මම බඳින්නේ කවදා හරි එයාවම විතරයි’
මුරණ්ඩු යුවතියක් වූ නුඹ දිනෙන් දිනම ඒ අදහසේ පිහිටා සිටියාය. නුඹගේ අම්මා මා සොයා
ආවේ කිසිම අදහසකින් නුඹේ සිත වෙනස් කිරීමට නොහැකි වූ තැනය.
‘ඔය ළමයට තේරෙනවානේ මම කියන්නේ මොකක්ද කියලා. අපේ කෙල්ලට පිස්සු’
අම්මා නැඟී සිටියේ එසේ කියමිනි.
මේ කාරණය නුඹට කොතරම් පහදා දෙන්නට මා උත්සාහ කළ ද එය ගඟට කැපූ ඉණි මෙන් විය. කුමක්
කරන්නද? මුරණ්ඩු නුඹගේ කීමට පිටු නොපා, වැඩිහිටියන්ගේ විරුද්ධත්වය නොතකා ආදරය
කරන්නට මම ඉටා ගතිමි. බොහෝ දිනවල නුඹ සහභාගි වූ නුගේගොඩ පන්තියට යන පාර දිගේ
අත්වැල් පටලා ඇවිද යන්නට අප පුරුදු වූයේ මුණ ගැසෙන්නට වෙන ක්‍රමයක් නොතිබූ බැවිනි.
දෙපැත්තට වී සිටි අප දෙදෙනාව ධෛර්යවත් කළ නුඹගේ යෙහෙළිය මධූ ද මා සිහිපත් කරන්නේ
සෙනෙහසෙනි.
අවසානයේ අපි තීරණයකට පැමිණීමු. ඒ විවාහ වීමටය. අප දෙදෙනාගේ ආදරයට උදව් කළ ජනප්‍රිය
නළුවෙක් මෙන්ම ගායකයෙක් ද එකල විය. එහෙත් නුඹේ මව්පියන් සැක කළේ නාමල් උඩුගම නම් මා
මිතුරාය. ඒ එකල පටන්ම අප දෙදෙනා අතර තිබුණු මිතුදම ඔවුන් දත් නිසාය.
සියල්ල සිදුවූයේ පෙර කථිකා කරගත් පරිදි නොවේ. නමුදු අපි ජීවිතයට ආ සැටියෙන් මුහුණ
දුන්නෙමු. ඒ අනුව දෙමව්පිය ආශිර්වාදය ඇතුව කුල ගෙට පිය නඟන්නට සිටි නුඹ මා හා
පැමිණියේ මා කෙරෙහි වූ දැඩි විශ්වාසය නිසාවෙනි. ඒ විශ්වාසයේ ඵල දරමින් අප මේසා
කාලයක් සොඳුරු ලෙස කල් ගෙවූ අයුරු කදිමය.
අපේ සොඳුරු කැදැල්ලට තුන් වැන්නෙක් ලෙස පුතු පැමිණියේ ද සියලු ගැටලු විසඳමිනි.
පුතුගේ දුක සැප සොයන්නට වැඩිහිටි දෙපාර්ශවයම අපගේ කැදැල්ලට එක් රොක් වූයේ පෙර තරහ
මරහ නොතකාය. පවුලේ බඩපිස්සිය ලෙස ඉපිද සියල්ලන්ගේම ආදරය හා සුරතලය ලැබ සිටි නුඹ මගේ
ජීවිතයේ යෝධ සෙවණැල්ල වූවාය. හෙල්ගා අද ද නුඹගේ ඒ යෝධ සෙවණැල්ලේ සිසිලස විඳින්නට
තරම් මම පින් කර ඇත්තෙමි. ඒ සොඳුරු සෙනෙහස විඳින්නට තරම් මම වාසනාවන්තයෙක් වීමි.
ඩබ්ලිව. ඩී. අමරදේවයන් ගයන මේ ගීතය ද මගේ සිත කම්පනයට පත් කරන්නේ නිතැතිනි.
සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ
සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකුණු පන්සලේ
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා //
නෙළු මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පාවුණා
සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පිය වී
මෙහා ඉවුරට පාවුණා
ගේය පද – රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය – පණ්ඩිත් අමරදේව
රත්න ශ්‍රී අතෙන් ලියවුණු මේ ගීතය හුලන්දාවේ කුඩා ළමයෙක් වටා ගෙතුණු සිදුවීමක් අළලා
ලියන ලද්දකි. පසුගිය කාලයේදී මට අසන්නට ලැබුණු එවැනිම දුක්ඛදායක සිදුවීමක් අරමුණු
කර ගනිමින් මේ ගීතය මගේ සිතට පිවිසියේ නිතැතිනි. ඒ මගේ සිත වඩාත් කම්පනයට පත්
කරමිනි. ඒ කම්පනය මට වඩාත් දැනෙන්නට වූයේ කලක් මාත් අනුරාධපුර නගරයේ විසූ
සාමාජිකයෙකු නිසාය.
මගේ මුල්ම පත්වීම ලැබුණේ අනුරාධපුර උසාවියටය. මා රැකියාව කළේ නීතිඥයෙකුගේ ළඟ
ලිපිකරුවෙක් විදියටය. අනුරාධපුර නගරයේම පිහිටා තිබූ උසාවිය පේන මානයේ තිබුණේ
කූඹිච්චන්කුලම වැවයි. වැව් දිය පිස හමන මද නලට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. ඒ හමන මද
නලේ නැවුම් වාතයෙන් මගේ පෙනහලු පුරවා ගැනීමට මම එකල දැක් වූයේ දැඩි ආශාවකි. සුදු
නෙළුම් පිපී ඇත. මදනල සමඟ පැමිණෙන සුදු නෙළුම්වල මකරන්දය ජීවිතය නැවුම්
සිතුවිලිවලින් පුරවයි.
උසාවි කටයුතු අවසාන වූ පසුව හාත්පසම පවතින්නේ දැඩි නිහඬතාවක ගිලීය. ඒ නිහඬ බව මඳකට
හෝ ගිලිහී යන්නේ රෝහල සඳහා යන රෝගීන් බලන්නන්ගෙනි. මේ දරාගත නොහැකි වූ පාළුව නිසා
ඇති වන කම්මැලිකම දුරලනු සඳහා මම වැව දෙස බලා සිටින්නට පුරුදු වී සිටියෙමි. එවිට
වැවේ දිය රැළි සුළඟට ලෙළදෙන විට මැවෙන අපූරු රටා සිතින් ගණන් කරන්නට මම පෙලඹුණෙමි.
සුදු නෙළුම් මට අත වනන්නා සේය. දිගු වේලාවක් වැව් දිය සමඟ දැහැන්ගත වන මා ඊළඟ
තත්පරයේ විජේන්ද්‍රා සිනමා හල බලා යන්නේ චිත්‍රපටයක් නැරැඹීමටය.
ඉඳහිට පැමිණෙන යහළුවකු හෝ දෙදෙනකු සමඟ තිසා වැවේ නාන්ට ගිය අවස්ථා ද එමටය. අප සිටි
ස්ථානයේ සිට තිසා වැවට වූයේ සැතපුම් දෙකක් තරම් වූ දුරකි. ඒ දුර පා පැදියේ නැඟී යන
අප තිසා වැවේ හෝරා කිහිපයක් ගත කර පැමිණෙන්නේ ජීවිතය නැවුම් පැතුම්වලින් හද පුරවා
ගනිමිනි.
මගේ දින චර්යාවේ සවස් භාගය බොහෝ විට වෙන් වන්නේ ශ්‍රී මහා බෝධිය වඳින්නට යෑමටය. මා
සිටි තැන සිට ශ්‍රී මහා බෝධියට පා ගමනෙන්ම ඇවිද යන මම බෝ පත් නැළවෙන සැටි බලා
සිටින්නට දැඩි කැමැත්තක් දැක්වීමි. එවිට මගේ මතකයට පිවිසියේ අමරදේවයන්ගේ ‘මහ බෝ
වන්නමේ’ ගීපදයි. එලෙස ගිය දිනවල උඩ මළුවට අරගෙන යන වැලි උරයකට සම්මාදම් වීමට ද මම
අමතක නොකරමි. වැලි උරය උස්සාගෙන ශ්‍රී මහා බෝධිය සිටුවා තිබූ භූමියේ මිදුලට දමන්නට
බොහෝදෙනා උදව් වූ අතර අනිවාර්යයෙන්ම ඒ අතර උන් එක් අයෙක් වූයේ ද මාය. ඒ කාලයේ එලෙස
කටයුතු කරමින් විඳි සැනසිලි සුවය මේ ගීතය අසන සෑම මොහොතකම මම මතකයට නඟමි.
තිලානි ශානිකා විතානාච්චි
|